ඉදිරියේ විය හැක්කේ කුමක්ද?

November 1, 2009
Publication:
State power is gathered around the executive presidency, so the presidential election matters more than any other, and the system is built so that whoever holds the office can arrange every other election to suit. Ivan works through the court judgment, the Sarath Fonseka factor, where the Tamil vote will go, and the steady evaporation of the war's pleasure.

රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය බලය කේන්ද්‍රගතවී තිබෙන්නේ විධායක ජනාධිපති වටාය. ඒ නිසා සියලු මැතිවරණ අතුරින් රාජ්‍ය බලයේදී ප්‍රධාන වන්නේ ජනාධිපතිවරණයයි. පවතින දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ බලයේ සිටින ජනාධිපතිට සියලු මැතිවරණ තමන්ගේ වාසියට හේතුවන ලෙස හැසිරවිය හැකි ආකාරයටය. රාජ්‍ය බලයේදී ජනාධිපතිවරණයකට පමණක් දෙවැනි වුවත් පාර්ලිමේන්තු මැතිවරණයකට ලැබෙන වැදගත්කම ද විශාලය. සීමාසහිතකම් තිබියදීත් පාර්ලිමේන්තුවේ සංයුතිය ජනාධිපති කෙරෙහි බලපායි. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබිය හැකි පක්ෂයකට ජනාධිපති කෙරෙහි හොඳට හෝ නරකට බලපෑ හැකිය.

උසාවි තීන්දුව

දේශපාලන ක්‍රමය සකස් වී තිබුණේ ජනාධිපතිගේ නිල කාලය අවුරුදු හයක් වුවත් නිල කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණයකට යමින් එය ජයගැනීමෙන් පසු පළමු නිල කාලය ඇතුළත් ඉතිරි කොටසද අඩුවක් නැති ආකාරයට දෙවැනි නිල කාලය භුක්ති විඳිය හැකි ආකාරයටය. එහෙත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අදාළව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දී තිබෙන තීන්දුව අනුව පළමු නිල කාලයේ අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිවරණයකට ගොස් ජයගන්නා ජනාධිපතිවරයකුට පළමු නිල කාලයේ අඩු කොටසක භුක්ති විඳීමේ අයිතිය අහෝසි වේ. එය අක්‍රමවත් දේශපාලන ක්‍රමයේ එක් අක්‍රමවත් ලක්ෂණයක් නිවැරදි කිරීමට හේතුවන ලෙස දෙන ලද ඉදිරිගාමී අර්ථකථනයක් ලෙස සැලකිය හැකි වුවත් ඒ තුළ ද පරස්පරතාවක් ඇති බව කිව හැකිය. හිටපු ජනාධිපතිනියට ටවුන්හෝල් බෝම්බ සිද්ධියෙන් පසු දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන ආකාරය කියාදී තිබුණේ එම තීන්දුව දෙනු ලැබූ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාමය.

ඇය ප්‍රසිද්ධියේ කරන ලද පළමු දිවුරුම්දීමෙන් පසු අප්‍රසිද්ධියේ කරන ලද දෙවැනි දිවුරුම්දීම කර තිබුණේද අගවිනිසුරු සරත් නන්ද සිල්වාගෙන් ලබාගත් උපදෙස් මත ඔහු ඉදිරියේය. පළමු ධුර කාලයෙන් වන ඉතිරි කොටස අඩුවක් නැතිව දෙවැනි ධුර කාලයත් සමග භුක්ති විඳීම රහසිගතව කරන ලද දෙවැනි දෙවැනි දිවුරුමේ උපායමාර්ගික අරමුණ විය. එම දිවුරුම්දීම ඔහු ප්‍රසිද්ධියේ අනුමත කළේය. එහෙත් හිටපු ජනාධිපතිනිය සමග ප්‍රශ්න ඇතිකර ගනිමින් ඇගේ ධුර කාලය කෙටි කිරීමට අගවිනිසුරු සරත් නන්ද සිල්වාට අවශ්‍ය වූ විට ඔහු ඒ සඳහා වන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගෙන්වා ගනිමින් එය තමා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ඇගේ ධුර කාලය කෙටි කිරීමට හේතුවන එම තීන්දුව ලබාදුන්නේය. ඔහු නීතිගරුක හා යුක්තිගරුක පුද්ගලයකු වී නම් හිටපු ජනාධිපතිනියගේ දෙවරක් දිවුරුම්දීමේ සිද්ධිදාමයට බලවත් ලෙස මැදිහත්වූ පුද්ගලයකු වශයෙන් එම නඩුව ඇසීමේ හා තීන්දුදීමේ ක්‍රියාවලියට ඔහු සම්බන්ධ නොවිය යුතුව තිබුණි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් දෙන ලද මෙම තීන්දුව නිසා දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ ඉදිරියේ බලයට එන කවර ජනාධිපතිවරයකුට වුවද පළමු ධුර කාලයේ නිල කාලය අඩු කරගැනීමකින් තොරව වේලාසනින් දෙවැනි ජනාධිපතිවරණයකට යා නොහැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පළමු නිල කාලය සම්පූර්ණවීමට පෙර ජනාධිපතිවරණයකට යන්නේ නම් මෙම තීන්දු මගින් ධුර කාලය සඳහා අධිකරණය ඇති කර තිබෙන සීමා ඔහු කෙරෙහි ද බලපායි.

සරත් ෆොන්සේකා සාධකය

දැන් පාර්ලිමේන්තුවේ නිල කාලය සම්පූර්ණවීමට ආසන්නය. පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් පාර්ලිමේන්තුවේ නිල කාලය සම්පූර්ණවීමට පෙර එසේ කළ යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයට යෑම ආණ්ඩු පක්ෂයට වාසිදායක බව කියන මතයක් සේ ම ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම ආණ්ඩු පක්ෂයට වාසිදායකය කියන මතයක් ද පවතී. එහෙත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විරුද්ධ පක්ෂය කියන්නේ පළමුව පවත්වන ජනාධිපතිවරණයකට වඩා පළමුව පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් විපක්ෂයට වාසිදායක බවය. එහෙත් ජනාධිපති සිටින්නේ මේ මැතිවරණ දෙකෙන් තමන් කැමති ඕනෑම මැතිවරණයක් ඉදිරියට ගතහැකි තත්ත්වයකය. එසේම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මේ මැතිවරණ දෙකම එකම දිනකදී වුවද පැවැත්විය හැකිය. විරුද්ධ පක්ෂය තමන්ගේ පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කරන බවට ඉදිරියට ගෙනා මතවාදයේ එක් උපාය මාර්ගික අරමුණක් වූයේද ජනාධිපතිවරයා බියගන්වා ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියට ගැනීමය.

ජවිපෙ හා එජාප තමන්ගේ පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා මහතා බව එක හඬින් ප්‍රකාශ කරන්නේ නම් සමහරවිට සරත් ෆොන්සේකා මහතා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග බිමට ආ හැකිය. එහෙත් ජවිපෙට මෙන් නොව එජාපයට එවැනි තීන්දුවකට ඒම සරල හෝ පහසුවන්නේ නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණ ජයගැනීම සඳහා එජාපයේ නායකත්වය අත්හැරීමට රනිල් කැමති වනු ඇතැ”යි සිතිය නොහැකිය. රනිල් එවැනි වැඩපිළිවෙළකට එකඟ වුවහොත් ජනාධිපතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් රනිල් දේශපාලන වශයන් නොවැදගත් හා අවලංගු කාසියක් බවට පත්වන්නේය. අනෙක් අතට එජාපයේ දෙවැනි පෙළ නායකත්වය ද තමන් නොදන්නා පිටස්තර පුද්ගලයකු සඳහා තමන්ගේ අනාගතය පරදුවට තබන තැනකට යනු ඇතැ”යි සිතිය නොහැක්කේ එවැනි නායකයකු යටතේ අනාගතයේ තමන්ට හිමි තැන පැහැදිලි නැති නිසාය. ජවිපෙට පිටස්තරින් ලොකු අපේක්ෂකයකු අවශ්‍ය වී ඇත්තේ තමන්ගේ කෙනකු තරග කොට ලබාගන්නා අයහපත් ප්‍රතිඵලයක් තමන්ගේ දේශපාලන අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපාන බව දන්නා නිසාය.

1994 ජනාධිපතිවරණයේදීද තරගබිමෙන් ඉවත්වීමට මාර්ගයක් ඔවුන්ට අවශ්‍ය වූ අතර, පොදු පෙරමුණේ අපේක්ෂිකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දුවක් දෙන්නේ නම් තමන්ගේ තරගකරුවා තරගයෙන් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළේය. ඊට අනුකූලව ක්‍රියාකරන බවට පොදු පෙරමුණේ අපේක්ෂිකාව ප්‍රකාශ කිරීමත් සමග ඔවුහු තමන්ගේ අපේක්ෂකයා තරග බිමෙන් ඉවත් කරගත්තෝය. ඉන්පසු 1999 ජනාධිපතිවරණයට තරග කළද ආකර්ෂණීය ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් විය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ඇඟේ එල්ලී ඒ අරමුණ ඉටුකර ගත්තේය. දැන් ඔවුන් සරත් ෆොන්සේකා සිය අපේක්ෂකයා කරගැනීම මගින් ඒ අරමුණ සපුරා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ. එහෙත් අවසාන විග්‍රහයේදී සරත් ෆොන්සේකා විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මිස ජවිපෙ අපේක්ෂකයා ලෙස තරග කරනු ඇතැ”යි සිතිය නොහැකිය.

ඒ මහතා ජවිපෙ අපේක්ෂකයා ලෙස තරග කළහොත් ජනාධිපතිට කිසියම් විශාල ප්‍රමාණයක හානියක් කළහැකිමුත් ඒ මගින් ජනාධිපතිවරයා මේ මොහොතේ පරාජය කළ හැකි බවක් පෙනෙන්නේ නැත. පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණයක් නම්, එහිදී සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා වශයෙන් තරග බිමට ගැනීමට විරුද්ධ පක්ෂය අසමත්වෙතොත් එය එජාප කෙරෙහි පමණක් නොව, ජවිපෙ කෙරෙහි ද විනාශකාරී ලෙස බලපෑ හැකිය. ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සරත් ෆොන්සේකා බවට අනියම් ලෙස හෝ ප්‍රකාශ වූ විට එය විරුද්ධ පක්ෂ බලවේගයක් තුළ අලුත් බලාපොරොත්තු ඇති කරමින් ඔවුන් තාවකාලික වශයෙන් වුවත් ප්‍රබෝධයට පත් කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. එම සාධකය අනෙක් අතට රනිල් වික්‍රමසිංහට හා විරුද්ධ පක්ෂයෙන් තරග බිමට ආ හැකි වෙනත් පුද්ගලයන්ට ලැබෙන වැදගත්කම හීන කොට ඔවුන් නොවැදගත් පුංචි මිනිසුන් බවට පත් කළේය.

ජනාධිපතිවරණයක් පළමුවෙන් කරලියට විත් මොන මොන හේතු නිසා හෝ විරුද්ධ පක්ෂ බලවේගය සිය පොදු අපේක්ෂකයා වශයෙන් සරත් ෆොන්සේකා තරග බිමට ගැනීමට අසමත් වී, රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අපේක්ෂකයකු ඉදිරියට ගන්නා තත්ත්වයක් ඇතිවුවහොත් එම අපේක්ෂකයා විරුද්ධ පක්ෂ බලවේගයන්ගේ ආස්වාදයට හා තෘප්තියට හේතු නොවී, විරුද්ධ පක්ෂ ඡන්ද ව්‍යාපාරයේ මහා ඇදවැටීමක් ඇතිවී ජනාධිපති මහින්ද රාජපක්ෂට පහසු හා විශාල ජයක් ද, විරුද්ධ පක්ෂ ව්‍යාපාරයන්ට අන්ත පරාජයක්ද හිමිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. පිටස්තරින් ලොකු මිනිසකු තමන්ගේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන විට ඉන් අනියම් ලෙස සිය අනුගාමිකයන්ට පමණක් නොව රටටද කියන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි තරම් විශාල පුද්ගලයකු තමන්ගේ ව්‍යාපාර තුළ නොසිටින බවය. එවැනි මතවාදයක් ඇතිකිරීමෙන් පසු තරග බිමට ගන්නේ පිටස්තරින් ලබාගන්නා ලොකු පුද්ගලයකු නොවී අභ්‍යන්තරින් ලබාගන්නා පුංචි පුද්ගලයකු වේ නම්, ඒ තත්ත්වය පාක්ෂිකයන් හා ආධාරකරුවන් අතර විශාල මානසික කඩාවැටීමක් ඇති කිරීමට හේතුවිය හැකිය.

ජනතාව අතර වර්ධනය වන අගහිඟකම් ගැන හා පිළිගත හැකි මට්ටමේ යහපාලනයක් නැතිකම ගැන මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව අසහනයක් හා විවේචනයක් තිබියදීත් තවමත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සිටින්නේ මේ මැතිවරණ දෙකෙන් කවර මැතිවරණයක් හෝ ඉදිරියට ගෙන හා අවශ්‍ය නම් මැතිවරණ දෙකම එකම එක දිනක පවත්වා ජයගත හැකි තත්ත්වයකය. පොදුවේ ගත් විට විරුද්ධ පක්ෂ ව්‍යාපාරය සිටින්නේ ආණ්ඩුව පරාජය කළහැකි තරම් වන ශක්තිමත් තත්ත්වයක නොවේ.

දෙමළ කැමැත්ත

දෙමළ ජනතාව ජනාධිපතිවරණයේදී එක පොදියකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කරනු ඇතැ”යි විරුද්ධ පක්ෂවල තක්සේරුව වී තිබේ. එහෙත් ඒ තක්සේරුවද නිවැරදි නැත. එල්ටීටීඊ ව්‍යාපාරය අනුකම්පා විරහිතව පරාජය කළ ආකාරය ගැන ආණ්ඩුව පිළිබඳව දෙමළ ජනතාවට බලවත් විවේචනයක් තිබිය හැකිය. එල්ටීටීඊ විරෝධී යුද්ධය එල්ටීටීඊයට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය දෙමළ ජනතාවද පීඩාවට පත් කළේය. අවතැන්වූවන්ගේ ප්‍රශ්නය ගැනද ඔවුන්ට බලවත් විවේචනයක් තිබිය හැකිය. ඒ සියල්ලටත් වඩා තමන්ගේ සාධාරණ දුක්ගැනවිලිවලට පිළිගතහැකි දේශපාලන විසඳුමක් ලබා නොදීම නිසා ඇති කරගත් අසහනයක් ද ඔවුන් අතර පවතී. ඒ සියල්ල එසේ තිබියදීත් එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ සාධකය ඔවුන්ගේ පැරණි ආකල්ප යම් ප්‍රමාණයකට හෝ වෙනස් කිරීමට හේතුවී තිබෙන බවද කිවයුතුය. එල්ටීටීඊය චිත්‍රයෙන් ඉවත් කර තිබෙන තත්ත්වයක් තුළ නැවත දෙමළ ජනතාව අතර වැඩිම පිළිගැනීමක් ඇති දේශපාලන ව්‍යාපාරය බවට පත්ව සිටින්නේ දෙමළ සන්ධානය නියෝජනය කරන සාම්ප්‍රදායික දෙමළ නායකයන්ය.

දෙමළ සන්ධානයට ආණ්ඩුව ගැන බලවත් විවේචනයක් ඇතත්, දෙමළ සන්ධානයේ නායකයන් සිටින්නේ මේ මොහොතේ විරුද්ධ පක්ෂ බලවේග සමග එකතු වී මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළයුතුයි කියන ස්ථාවරයක නොවේ. ඔවුහු තවදුරටත් වෙනම දෙමළ රාජ්‍යයක් ගැන විශ්වාස නොකරති. ඔවුන් දැන් සිතන්නේ ඒකීය රාජ්‍යයක් තුළ තමන්ගේ ප්‍රශ්නවලට සිංහල ජනතාවටද පිළිගත හැකි විසඳුමක් ලබාගත යුතු බවය. දෙමළ ජනතාව සේ ම සිංහල ජනතාව ද මේ ප්‍රශ්නය අලුතෙන් සිතන තැනකට යායුතු බව ඔවුන් අතර පවත්නා පිළිගත් මතය වී තිබේ. දෙමළ සන්ධානයේ නායකයන් මුල්වී දෙමළ දේශපාලන පක්ෂ පොදු සන්ධානයකට එකට එකතු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙමින් පවතී. ඔවුන් දැන් හිතන්නේ තමන්ගේ ප්‍රශ්නයට සිංහල ජනතාවගේ බලවත් පිළිගැනීමට හේතුවී සිටින නායකයකු විසින් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බවය. සිංහල ජනතාවගේ බලවත් පිළිගැනීමට හේතු නොවන නායකයකු දෙන කවර තරම් හොඳ විසඳුමක් වුවද එම විසඳුම සිංහල ජනතාව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ නැවත අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බව ඔවුන්ගේ නිල පිළිගැනීම වී තිබේ.

එම අස්ථානය තුළ ඔවුන් දැන් සිතන්නේ පිළිගත හැකි විසඳුමක් ලබාගත යුතු හොඳම නායකයා මහින්ද රාජපක්ෂ බවය. මහින්ද රාජපක්ෂ වැනි නායකයකු දෙන විසඳුමක් සිංහල ජනතාවගේද පිළිගැනීමට හේතුවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. මේ තත්ත්වය යටතේ ඔවුන් හිතන්නේ විරුද්ධ පක්ෂ ව්‍යාපාර සමග එකට එකතු වී මහින්ද රාජපක්ෂ පරාජය කරන වැඩපිළිවෙළකට යනවා වෙනුවට ඔහු සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යායුතු බවය. මෙම තත්ත්වය යටතේ බොහෝවිට ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙන තැනකට යා හැකිය. එම තත්ත්වය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය පාවිච්චි කරන තැනකට යා හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ තත්ත්වය විරුද්ධ පක්ෂ බලවේගයන්ගේ තත්ත්වය වඩා දුර්වල කිරීමට හේතුවිය හැකිය.

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම ජයගැනීමේ හැකියාව මහින්ද රාජපක්ෂ පාලනයට ඇතත්, මහින්ද රාජපක්ෂ පාලනයේ හොඳ නරක ඉතාමත් තියුණු උරගා බැලීමකට ලක් කෙරෙනු ඇත්තේ එම මැතිවරණ දෙකේදී නොව ඉන්පසුව එළැඹෙන පාලන අදියරේදීය.

යුද්ධයේ ආස්වාදය දියවීම

එල්ටීටීඊ බෙදුම්වාදය පරාජය කළ යුද්ධයට ලැබෙන ඓතිහාසික වැදගත්කම දීර්ඝකාලීන වුවත් ඒ යුද්ධයේ ජයග්‍රහණය මහජනයා තුළ ඇති කළ ආස්වාදය පැවතිය හැක්කේ කෙටි කාලයක් පමණය. මේ වන විට ගම්බද සාමාන්‍ය ජනයා පමණක් නොව, ව්‍යාපාරිකයන් ද, වැටුප් ආදායම්වලින් ජීවත්වන නාගරික ජනයා ද කල්පනා කරන්නේ යුද්ධය අවසන් වී මාස පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, තමන්ගේ ජීවිතවල යහපත් වෙනසක් ඇති නොවී තිබෙන්නේ ඇයිද යන්නයි. මහාමාර්ග ඇතුළු අලුත් සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ආරම්භ කොට ඇතත්, ජනතාවගේ ආර්ථික ජීවිතවල යහපත් වෙනසක් ඇති කිරීමට තවමත් ඒ කිසිවක් හේතුවී නැත. මොන මොන හේතු නිසා හෝ මහජනයාට ආර්ථික වශයෙන් ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ යුද්ධයේ අවසානයට පෙර ජීවත් වූ දුෂ්කර තත්ත්වයේමය. ජිඇස්පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් එය රටේ ආර්ථික චිත්‍රය වඩා අයහපත් තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

බටහිර ලෝකය සමග ඇති කරගෙන තිබෙන ආරාවුලද විසඳුමකින් තොරව ඉදිරියට යන්නට ඉඩ හැරීම රටේ යහපතට හේතුවන්නේ නැත. බටහිර රටවලින් අපට ලැබෙන ආධාර නොසලකා සිටීමේ හැකියාවක් අපට ඇතත්, බටහිර ලෝකය සමග කරන වෙළෙඳාම අත්හැරීමේ හැකියාවක් අපට නැත. අප බටහිර ලෝකයට අපනයනය කරන භාණ්ඩ මුළුමනින් මිලදී ගැනීමේ හැකියාවක් අපට ආධාර කරන බටහිර විරෝධී මිතුරු පිලට නැත. සැලකිල්ලට ගත යුතුව තිබෙන ඊළඟ වැදගත්ම කාරණය වන්නේ සංඛ්‍යාවෙන් විශාල ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් බටහිර රටවල ජීවත් වන බවය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම විනිමය ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන සංක්‍රාම ආදායමෙන් කිසියම් විශාල පංගුවක් ලැබෙන්නේ ඔවුන්ගෙන් වන බවය. ඔවුන්ට තවදුරටත් ඒ රටවල ගෞරවයෙන් ජීවත්විය හැකි තත්ත්වයක් සහතික කිරීම අපේ රටේ වගකීමකි. විවිධ හේතු මත විදේශ ගතවීමට සිහින දකින අය තෝරාගන්නේද බටහිර ලෝකය මිස රුසියාව, චීනය, වියට්නාමය හෝ බුරුමය නොවන බව අප අමතක නොකළ යුතුය.

එල්ටීටීඊ විරෝධී යුද්ධය විසින් බිහිකළ ප්‍රධානම වීරයන් දෙදෙනා ලෙස සැලකිය හැකි සරත් ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ද ජීවත්වීමට විදේශ රටක් තෝරාගැනීමේදී තෝරාගත්තේ ඉහත කියන ලද රටවල් නොව, ඇමරිකා එක්සත් ජනපදයයි. බටහිර ලෝකයට ආර්ථික බලයේදී ලැබී තිබෙන ශක්තිය නිසා ඔවුන් ඇති කරගත් විශේෂ අධිපතිවාදයක් සේ ම අප වැනි රටවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන තත්ත්වයක් පවතින බව සත්‍යයකි. එවැනි අවලස්සණ දේ තිබියදී මුළුමනින් බටහිර ලෝකය බැහැර කරන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන්නේ නැත. මෙවැනි ආරාවුල් ඉක්මනින් විසඳාගැනීම අවශ්‍ය වන අතර, ඒ සමග ජනවාර්ගික අර්බුදයට ලබාදෙන විසඳුමත් සමග දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමද රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ක්‍රියාකරයි. දේශපාලන ක්‍රමයේ ඇති කරන වෙනස ආණ්ඩු පක්ෂයේ දේශපාලන අභිලාෂයන්ට සීමා නොවූ විරුද්ධ පක්ෂ බලවේගයන් ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා හා රටේ වර්තමාන වුවමනා පමණක් නොව, අනාගත වුවමනා ද හොඳින් සැලකිල්ලට ගනිමින් කරන්නක් විය යුතුය.

එය පාලකයාට හෝ පාලක පක්ෂයට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට තිබෙන හැකියාව හා දූෂිතව ක්‍රියාකිරීමට තිබෙන හැකියාව වළකන විරුද්ධ පක්ෂවලට ද ගෞරවනීය පැවැත්මක් සහතික කරන අතර ඒවාට බලයට පත්වීමට සාධාරණ අවකාශ ලබාදෙන සුළු ජාතීන්ගේද අයිතිවාසිකම් ඇතුළුව මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් උපරිම ලෙස සහතික කරන ක්‍රමයක් විය යුතුය. එවැනි වෙනසක් ඇතිකර ගැනීමට හැකිවේ නම්, විවිධ ආකාරවලින් එල්ලවෙමින් තිබෙන සම්බාධක ජයගනිමින් මුළු ලෝකයේම ගෞරවයට හේතුවන රටක් ලෙස අභිමානවත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.