පාලිත රංග බණ්ඩාර පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහුගේ නිවස හා කාර්යාලය කිසියම් සාහසික පිරිසක් විසින් ගිනි තබා විනාශ කරන ලදි. දැන් එම මන්ත්‍රීවරයා කියන්නේ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට පොලීසිය උනන්දුවක් නොදක්වන බවය. ඒ නිසා එම සාහසික සිද්ධියට වගකිවයුතු අයට දෙවියන් ලවා දඬුවම් කරවීමේ අරමුණින් දේවාල ගානේ යමින් පොල් ගසන තැනකට තල්ලුවීමට ඔහුට සිදුවී තිබේ. මෙම ඛේදජනක සිද්ධිය රටේ නීතියේ පාලනය බිඳ වැටී තිබෙන තරම පෙන්නුම් කරයි. මීට පෙර මේ හා සමාන සාහසික සිද්ධියක් උතුරුමැද පළාතෙන් ද අසන්නට ලැබුණි. එජාපයේ ප්‍රධාන ආධාරකරුවකු ලෙස ක්‍රියා කළ වෛද්‍යවරයකු වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවයට හේතුවී සිටි ජෝන්පුල්ලේ මහතාගේ නිවස ද මේ ආකාරයටම ගිනි තබා විනාශ කරන ලදි.
චන්ද්‍රිකා පාලන යුගයේදී සම්මානලාභී චිත්‍රපටි නිළියක් වූ අනෝජා වීරසිංහගේ නිවස ද ගිනිබත් කොට විනාශ කරන ලදි. එජාපයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලැබෙන 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුද රට පුරා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිය ගණනකගේ නිවෙස් ගිනිබත් කරන ලදි. වඩාත්ම නරක දේ මෙවැනි සාහසික දේශපාලන සිද්ධීන් රටේ සිදුවීම නොව එවැනි සිද්ධියකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොතිබීමය. ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ ක්‍රියාත්මක වන අරුම පුදුම විධායක ජනාධිපති ක්‍රමය සකස් කර තිබෙනුයේ පාලකයා පමණක් නොව පාලක පක්ෂය ද නීතියට ඉහළින් සිටින ආකාරයටය. පාලක පක්ෂයට සම්බන්ධ අය කරන වැරදිවලදී නීතිය ක්‍රියාත්මක වන්නේම නැති තරම්ය. මේ දේශපාලන ක්‍රමයට ආවේණික ඊළඟ වැදගත් ලක්ෂණය වන්නේ විරුද්ධ පක්ෂය පාලක පක්ෂයේ පළිගැනීමට ලක්වීමයි. 1977 සිට 1994 දක්වා වන දාහත් අවුරුදු පාලන කාලය තුළ එජාප ආණ්ඩුව ශ්‍රීලනිප ආධාරකරුවන්ගෙන් පළිගත්තේය.
ඔවුන්ගේ නිවෙස් විනාශ කළේය. රැකීරක්ෂාවලින් පලවා හැරියේය. බොරු නඩු පටලවා ඔවුන්ට හිරිහැර කළේය. එජාපයේ 17 අවුරුදු පාලනය අවසන් වී ශ්‍රීලනිප ප්රමුඛ පොදු පෙරමුණ බලයට පැමිණීමෙන් පසු චක්‍රය උඩයට පෙරලුණි. එහෙත් පළිගන්නන්ගේ භූමිකාව රඟපෑ එජා පාක්ෂිකයන්ට පළිගැන්වීමට ලක්වන්නන්ගේ භූමිකාව රඟපාන්නට සිදුවූ අතර එතෙක් පළිගැනීමට ලක්වන්නන්ගේ භූමිකාව රඟපෑ එජාප විරෝධීන් පළිගන්නන්ගේ භූමිකාව රඟපාන්නන් බවට පත්වූහ. ජනවර්ග අතර පවතින එකිනෙකා කෙරෙහි පවත්නා අවිශ්වාසය, නොකැමත්ත ඉක්මවා ගිය අවිශ්වාසයක් හා නොකැමැත්තක් බලතරගය තුළ සිටින ප්රතිපක්ෂ අතර පවතී. ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධ පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ පෙනෙන්නේ ද්‍රෝහියකු ලෙසය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනෙන්නේ ද ද්‍රෝහියකු ලෙසය. ප්රතිපක්ෂ කෙරෙහි වෛරසහගත ආකල්පයක් ඇති කොට, එම හැඟීම නොමැරෙන්නට ඉඩ නොදී පවත්වාගෙන යෑම මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ දේශපාලන බලඅරගලය ජවසම්පන්න ලෙස පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වැදගත් කොන්දේසියක් වී තිබේ.
මෙම අශීලාචාර දේශපාලන සදාචාරයෙන් අප අත්මිදෙන්නේ කවදාද?