ආණ්ඩුව දකුණු පළාත් සභා මැතිවරණයෙන් කැපී පෙනෙන තරමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුවත් තමන්ගේ ප්‍රධාන බලප්‍රදේශය වශයෙන් ආණ්ඩුව ඊට වඩා විශාල ජයග්‍රහණයක් බලාපොරොත්තු වූවා පමණක් නොව ඒ බව ප්‍රකාශ කරද තිබුණේය. ආණ්ඩුවේ අපේක්ෂාව යථාර්ථවාදී තක්සේරුවක් නොවූ අතර ඒ මගින් තමන් හිමිකරගත් විශාල ජයග්‍රහණය කිසියම් ප්‍රමාණයකට හෑල්ලු කරගැනීමක් සිදුවිය. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව මොනතරම් කර්කෂක විවේචන තිබුණද මහජනතාව අතර තවමත් ජනාධිපතිවරයාට සේ ම ආණ්ඩුවට ද තිබෙන පිළිගැනීම ඉතාමත් ශක්තිමත් තත්ත්වයක පවත්නා බව එම ප්‍රතිඵලවලින් පෙනීයයි. ආණ්ඩුවට සතුටුවිය හැකි ලොකුම දේ ප්‍රධාන විරුද්ධවාදී දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකි එජාප කිසියම් සුළු ප්‍රමාණයකින් හෝ වර්ධනයක් පෙන්නුම් කිරීමට අසමත්ව තිබීමය. ජනාධිපතිවරයාගේ ජන්ම භූමිය ලෙස සැලකිය හැකි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින අතිවිශාල සංවර්ධන ව්‍යාපාරයන් තිබියදීත් එජාපයට ආසන තුනක් හිමිකර ගැනීමට හැකිවීම එම පක්ෂය ලද සුළු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත් ගාලු දිස්ත්‍රික්කයේ පෙන්නුම් කර තිබෙන්නේ වඩා විශාල පරිහානියකි.
පෙර පැවති තත්ත්වයට වඩා හම්බන්තොට හා මාතරින් අහිමි කරගත් ආසන සංඛ්‍යාව දිස්ත්‍රික්කයක් සඳහා එක ආසනයක් වුවත් ගාලු දිස්ත්‍රික්කයෙන් අඩුවී තිබෙන ආසන සංඛ්‍යාව තුනකි. මොන මොන හේතු නිසා හෝ ආත්ම විශ්වාසයකින් යුතුව නැගී සිටිය හැකි තත්ත්වයක් දිනාගැනීමට රටේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස එජාප සමත්ව නැති බව ඉන් පෙනීයයි. කලක් තනිව තරග කොට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවී නැවත තනිව තරග කරන තැනකට ඒමෙන් පසු ජවිපෙ සන්ධානගතව සිටින තත්ත්වයක් තුළ හිමි කරගෙන සිටි තමන්ගේ ප්‍රමාණයට නොගැළපෙන විශාල නියෝජනයක් අහිමි කරගනිමින් පුංචි ව්‍යාපාරයක් බවට පත්වූවා පමණක් නොව තනිව තරග කරන මුල් යුගයේදී හිමි කරගෙන සිටි තත්ත්වයටත් වඩා අඩු නියෝජනයක් හිමිකර ගන්නා තත්ත්වයකට ඇද වැටී සිටින්නේය. එහෙත් අනෙකුත් පළාත් සභා මැතිවරණවලදී ලබාගත් ප්‍රතිඵලයට වඩා සාපේක්ෂ වශයෙන් යහපත් ප්‍රතිඵලයක් දකුණෙන් ජවිපෙ දිනාගැනීමට සමත් වී තිබෙන බව ද කිවයුතුය.
ඒ අර්ථයෙන් ජවිපෙ සිය පරිහානිය යම් පමණකට පාලනය කරගැනීමට සමත්ව තිබෙන බව කිවයුතුය. ප්‍රාදේශීය මට්ටමෙන් තරග කරන දේශපාලන කණ්ඩායම් අතර ගැටුම් තිබුණද රාජ්‍ය මට්ටමෙන් සංවිධානාත්මක බලහත්කාරයක් ක්‍රියාත්මක නොවීය. එහෙත් හැම ආණ්ඩුවක් යටතේම සිදුවීයැ”යි කිවහැකි ආණ්ඩුවේ සම්පත් ඡන්ද කටයුතු සඳහා යොදාගැනීමක් සිදුවිය. ක්‍රමානුකූලව පළාත් සභා ඡන්ද සඳහා තරග කරන අපේක්ෂකයන් රුපියල් කෝටි ගණනින් වියදම් කරන තරගයක් බවට හැරී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පළාත් සභාවලට තේරීපත්වීමෙන් නිල වශයෙන් ඉපැයිය හැකි ආදායම තේරී පත්වීමට දරන වියදම අතර පරතරය අහසට පොළොව තරම් විශාලය. මේ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ ඉක්මනින් ඇති නොකළහොත් රටේ දේශපාලනය මුළුමනින් කළු සල්ලිකාරයන්ගේ පාලනයට නතුවන දිනය බොහෝ ඈත නොවනු ඇත්තේය. ආණ්ඩුව කෙරෙහි ඇති මහජන විශ්වාසයේ බරපතළ බිඳවැටීමක් ඇතිවී නැතත් ආර්ථික දුෂ්කරතා නිසා ඇති කරගත් අසහනයක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ඒ තත්ත්වය ආණ්ඩුවට ජයගත හැකිවනු ඇත්තේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට හිතකර වටාපිටාවක් ඇතිකිරීමෙනි. දැනට රටට ලැබෙන දේවල් ආරක්ෂා කරගත යුතුය. බටහිර ලෝකය සමග තිබෙන ගැටුම් දෙපක්ෂයේම ගෞරවයට හේතුවන ලෙස ඉක්මනින් විසඳාගත යුතුය. සරණාගත කඳවුරුවල සිටින ප්‍රබල එල්ටීටීඊ ආධාරකරුවන් හැර අන් අය හැකි ඉක්මනින් නැවත ඔවුන්ගේ ගම් බිම්වලට යන්නට ඉඩදෙන පිළිවෙතක් විදේශ ආධාර ගලා ඒම වේගවත් කිරීමට හේතුවනු ඇත. යුද්ධය අවසන් කර ඇති නිසා හෝ නැවත සන්නද්ධ අරගලයකට යොමුවීමට ඉඩක් ඇත්තේම නැති තරමට එල්ටීටීඊය පරාජය කර ඇති නිසා කඳවුරුවල සිටින දෙමළ ජනයා සම්බන්ධයෙන් පවත්වාගෙන යන ප්‍රතිපත්ති ලිහිල් කළහැකි තත්ත්වයක් රටේ පවතී. නීතිය කුමක් වුවත් තිස්සනායගම්ට විසි අවුරුදු සිරදඬුවමක් ලබාදීමේ සිද්ධියද ශ්‍රී ලංකාවේ හොඳ නම දුර්වල කිරීමට බලපා තිබෙන සංසිද්ධියක් බවට පත්වී තිබේ.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවන්නට සිදුවී තිබෙන වන්දියේ ප්‍රමාණය දෙස බලන විට ඔහුට සමාව දී නිදහස් කරන පිළිවෙතක් රටට වාසිදායකය. ඔහු එල්ටීටීඊයෙන් මුදල් ලබාගත්තේය කියන කතාව සත්‍යයක් වුවත්, වසර තුනකට වැඩි කාලයක් අත්අඩංගුවේ ඉඳීමෙන් වරදක් සිදුවී ඇත්නම් ඊට ඒ මගින් වන්දි ගෙවීමක්ද සිදුවී ඇතැ”යි කිවහැකිය. තිස්සනායගම් ද සමාවක් දී නිදහස් කරන අතර අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින දෙමළ ජනයාට ද ඔවුන්ගේ ගම් බිම්වලට යන්නට ඉඩදෙන පිළිවෙතක් බටහිර ලෝකය ශ්‍රී ලංකාව දෙස බලපන ආකල්පයේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇති අතර එය ජීඑස්පී ප්ලස් ආරාවුල කෙරෙහි ද වාසිදායක ලෙස බලපානු ඇතිවා සේ ම ඒ නිසා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වී රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද වේගවත් කිරීමට හේතුවිය හැකිය. යුද්ධය ජයගැනීමෙන් පමණක් රටට ඉදිරියට යා නොහැකිය. යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයේ නියම ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත්තේ දේශපාලන ක්‍රමය අර්ථවත් ප්රතිසංවිධානයකට ලක්කිරීමෙනි.
එය ආණ්ඩුවේ ඒක පුද්ගල ක්‍රියාවක් නොවිය යුතු අතර විරුද්ධ පක්ෂවල ද අවබෝධය හා සහාය ඇතිව සිදුකරන්නක් විය යුතුය.