සර්වපාක්ෂික සම්මේලනයේ සභාපති තිස්ස විතාරණ මහතා සර්වපාක්ෂික සම්මේලනය අදහස් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙන සංක්ෂිප්ත වාර්තාවට ඇතුළත් මූලික කරුණු ඔක්තෝබර් 5 වැනිදා “ඩේලි නිව්ස්” පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. ඔහු ප්‍රකාශ කර තිබෙන ආකාරයට ආණ්ඩුව සිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පසුවය. ජනාධිපතිවරණය 2010 ජනවාරි මාසයේද, පාර්ලිමේන්තු මැතිවරණය මාර්තු මාසයේද පැවැත්වීමට නියමිතය. ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන විසඳුම් යෝජනා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන මැතිවරණ ප්රකාශනයට ඇතුළත් කෙරෙනු ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් සීමාසහිතකම් සර්ව පාක්ෂික සම්මේලනය පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කරයි. සර්වපාක්ෂික සම්මේලනය ඉදිරිපත් කර තිබෙන සංක්ෂිප්ත වාර්තාවෙන් තිබෙන ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට යෝජනා කර තිබේ.
ඒ අනුව තිබෙන විධායක ජනාධිති ක්‍රමය අහෝසි කොට පැරණි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයට මාරුවනු ඇත. පාර්ලිමේන්තුවට පමණක් සීමාවූ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් වෙනුවට සෙනෙට් මණ්ඩලයක් ද ඇතුළත් ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් ස්ථාපිත කිරීමට අදහස් කරයි. ඉඩම් හා ජලය සඳහා ජාතික කොමිසමක් පත් කෙරෙනු ඇති අතර, ගම් සභා ක්‍රමයක් ද ඇති කෙරෙනු ඇත. බලය බෙදාහැරීමේ ඒකකය ලෙස ක්‍රියා කෙරෙනු ඇත්තේ පළාත් සභාය. පළාත් සභා ඒකකවලට කේන්ද්‍රයෙන් එල්ල වන අනිසි බලපෑම්වලින් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය බලතල ලබාදෙනු ඇත. පළාත් සභාවලට ලබාදෙන බලතලවල ආරක්ෂකයා ලෙස ක්‍රියා කරනු ඇත්තේ සෙනෙට් මණ්ඩලයයි. ද්වි මණ්ඩලයේ පොදු එකඟතාවකින් තොරව පළාත් සභාවලට අමුතු බලතල ලබාදීමට හෝ දී තිබෙන බලතල ඉවත් කිරීමට හෝ අඩු කිරීමට නොහැකිය. කේන්ද්‍රයේ බලතල හා පරිධියේ බලතල පැහැදිලිව වෙන් කිරීමක් කෙරෙන නිසා 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමක් අවශ්‍ය නොවනු ඇත.
ව්‍යවස්ථාව ආශ්රයෙන් මතුවන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් ඇති කිරීමට ද බලාපොරොත්තු වේ. මෙම යෝජනා සඳහා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ 13ක එකඟතාව ලැබී ඇති බව ද තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂය මුල් කොටගෙන ගොඩනගන්නට යන විරුද්ධ පක්ෂ සන්ධානය ද තමන් ඇති කරන්නට අපේක්ෂා කරන වෙනස්කම් සංක්ෂිප්ත වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඔවුහු ද පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වෙති. ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීමට බලාපොරොත්තු වේ. තොරතුරු දැනගැනීමේ හා ලබාගැනීමේ අයිතිය සහතික කරන තොරතුරු පනතක් නීතිගත කරන බවද කියයි. මෙම සන්ධානයට ඇතුළත් දේශපාලන ව්‍යාපාර වනුයේ එජාපය, මුස්ලිම් කොංග්‍රසය, මංගලගේ (ම) පාර්ශ්වය හා මනෝ ගනේෂන්ගේ දේශපාලන ව්‍යාපාරයයි. ජනතා විමුක්ති පෙරමුණ තරයේ කියා සිටින්නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.
ජාතික හෙළ උරුමය පමණක් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගත යුතු බව කියයි. ඔවුන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොවී නම් බෙදුම්වාදයට එරෙහිව කෙරුණු යුද්ධය ජයගැනීමට නොහැකි වන්නට ඉඩ තිබුණු බවය. පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතික හෙළ උරුමය හැර ප්‍රධාන ධාරාවේ අන් සියලු දේශපාලන පක්ෂවල පොදු මතය වී තිබීම යහපත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මේ කිසිම ව්‍යාපාරයක් තමන් දරන අදහස් විධිමත් ලෙස, සංයුක්ත ලෙස හා විස්තරාත්මකව ප්‍රකාශ කර නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු නම් ඒ ඇයිද යන ප්රශ්නය මෙම පක්ෂ රටට විස්තරාත්මකව පැහැදිලි කළ යුතුය. දැන් රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බව කියයි. ඔවුන් විසින්ම රටට හඳුන්වා දෙන ලද දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය රටට නුසුදුසු ඇයිද යන ප්‍රශ්නයට විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීමේ වගකීමක් එම පක්ෂයට ඇත්තේය.
අනෙකුත් දේශපාලන පක්ෂ බලයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය උපරිම ලෙස රසවින්දද අඩුම වශයෙන් විරුද්ධ පක්ෂයේ සිටියදීත් ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව විවේචනයක් තිබුණි. එහෙත් මේ ක්‍රමය රටට හඳුන්වා දුන් එජාපයට ඒ ක්‍රමය පිළිබඳව විවේචනයක් තිබුණේ නැත. ඔවුන්ට ඒ පිළිබඳව තිබෙන විවේචනය කුමක්ද යන්න රටට පැහැදිලි කළ යුතුය. ඇති කළ යුතු දේශපාලන වෙනස්කම් පිළිබඳව යහපත් සංවාදයක් රටේ ඇතිවනු ඇත්තේ එවිටය. දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රටේ යහපතට හේතුවන ලෙස සංශෝධනය කළ නව විධායක ජනාධිපති ක්‍රමයක් හෝ යහපත් අන් දේශපාලන ක්‍රමයක් රටට අවශ්‍ය වී ඇත්තේ ඇයි? මෙම ක්‍රමය සකස් කර තිබෙන්නේ බලයට පත්වන පාලන පක්ෂවලට හිතුවක්කාරී ලෙස රටේ පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය ලැබෙන ආකාරයටය. මේ රටේ පවතින මහජන සේවා (අධ්‍යාපනය, සෞඛ්‍ය, මහාමාර්ග හා පොදු ප්‍රවාහන සේවා, සහනාධාර) දියුණුම තත්ත්වයකින් පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් ආදායම් උපයා ගැනීමේ හැකියාව රජයට ඇතත්, භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම්වලින් වැඩි පංගුවක් ගලා යන්නේ දේශපාලකයන්ගේ හා ඔවුන් ගජමිතුරන්ගේ සාක්කුවලටය.
රටේ දේශපාලනය මහා පරිමාණයෙන් මුදල් උපයන ජාවාරමක් බවට පත්වී ඇත්තේද මේ නිසාය. රටේ නීතියේ පාලනයක් නැතිකම කෙරෙහි සේ ම, රටේ පවතින සමස්ත ආයතන ක්‍රමය කෙරෙහිම බලපා තිබෙන දේශපාලනකරණය කෙරෙහි සේම, ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පවතින අගාධ වෛරය කෙරෙහි ද ප්‍රධාන කොට බලපා තිබෙන්නේ එම සාධකයයි. ඇති කරන්නට යන ඕනෑම විකල්ප දේශපාලන ක්‍රමයක් තුළ බලයට පත්වන පාලක පක්ෂයට පොදු දේපළ කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය මුළුමනින් අහෝසි කරන ක්‍රමයක් ඇතුළත් විය යුතුය. ඒ සාධකය අහෝසි කිරීමෙන් පමණක් යහපත් දේශපාලන ක්‍රමයක් ඇති කරගත හැකිවනු ඇති අතර, ඒ සමග රට විශ්වාස කළ නොහැකි තරම් වේගයෙන් දියුණුව කරා යන රටක් බවට පත්කිරීමට හැකිවනු ඇත. රටේ දේශපාලනය මහා පරිමාණයෙන් ධනය උපයන ජාවාරමක් බවට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකිවනු ඇත්තේ ද එවිටය. මෙම ක්‍රමයට ආවේණික තවත් ලොකුම දෝෂයක් වනුයේ නිලතල දරන්නන්ගේ ක්‍රියාකාරකම් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් නැතිකමය.
ඒ නිසා නිල බලයක් ඇති අයට තමන්ට තිබෙන නිල බලය අයථා ලෙස පාවිච්චි කිරීමට ඉඩ ලැබී තිබේ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන යුගය තුළ අධිකරණයේ ප්‍රධානියා වශයෙන් තමන් අකමැති පුද්ගලයන්ට දඬුවම් දීම සඳහාත් තමන් කැමති පුද්ගලයන්ට සහන ලබාදීම සඳහාත් අධිකරණයට පෙත්සම් ගෙන්වා ගත්තේය. තමන්ට තිබුණු අතිවිශාල නිල බලය යොදාගනිමින් ඔහු තමන් අකමැති පුද්ගලයන්ට දඬුවම් කළේය. තමන් කැමති පුද්ගලයන්ට විවිධ සහන දුන්නේය. මෙය අධිකරණය තුළ පමණක් නොව, හැම ආයතනයක් තුළම දක්නට ලැබෙන අයහපත් ලක්ෂණයකි. මහාභාරකාරයා වෙත පැවරී තිබෙන වගකීම ඔහු හොඳින් ඉටුකරන්නේද, ඔහු යටතේ තිබෙන සම්පත්වලින් ඔහු අයුතු ප්‍රයෝජන ගන්නේද යන්න සොයා බැලීමට විධිමත් ක්‍රමයක් නැත. ස්වාධීනයැ”යි කියන කොමිෂන් සභාවල පැවති තත්ත්වයද මීට සමානය. ඒ කාර්යය විගණකාධිපතිවරයාට පමණක් කළ නොහැකිය.
විගණකාධිපතිවරයා සලකා බලන්නේ මූල්‍ය පාලනය ගැන පමණය. නිල බලයක් දරන මොනම පුද්ගලයකුටවත් ඒ බලය වැරදි ලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබෙන ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමවේදයක් ඇති කරගත යුතුය. සමස්ත රාජ්‍ය සේවයේ පවත්නා අකාර්යක්ෂමතාව කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් සාධකයක් වී ඇත්තේද එයයි. දේශපාලන ක්‍රමය ප්රතිසංවිධානයකට ලක් කෙරෙන ප්රවේශයකදී මතුපිට කාරණාවලට සීමා නොවී ගැඹුරින් හා අවංකව කරුණු සොයා බලන තැනකට යායුතුය. එහිදී අපට ආදර්ශයට ගත හැකි හොඳම රට දකුණු අප්‍රිකාවය. රටට සුදුසු දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීමේදී ඔවුහු හැම වැදගත් අංශයක්ම හොඳින් සලකා බලන තැනකට ගියෝය. විශේෂඥ අදහස් පමණක් නොව මහජන අදහස් ද හොඳින් සැලකිල්ලට ගත්තේය. ආණ්ඩුවේ කල්පනාව වී ඇත්තේ අවශ්‍ය වෙනස්කම් ඇති කරගැනීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් තුනෙන් දෙකක බලයක් ලැබිය යුතු බවය.
එහෙත් ඒ ප්‍රවේශය යහපත් නැත. තුනෙන් දෙකේ බලයක් ඇතිවිට ව්‍යවස්ථාවක් ගොඩනැගෙන්නේ ඒකපාක්ෂික ආකාරයටය. 70වේදී සේ ම 77දී සිදුවූයේ එයයි. තනි බලයකින් ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නවා වෙනුවට වෙනස් මත දරන්නන් සමග සාකච්ඡා කරමින් ව්‍යවස්ථාවේ මූලධර්ම පිළිබඳව පොදු එකඟතාවක් ඇති කරගැනීමෙන් වඩා යහපත් ව්‍යවස්ථා සම්පාදනයකට යොමුවිය හැකිය.