අල්ලස හා දූෂණයෙන් රටේ ඉදිරි ගමනට එල්ල වී තිබෙන අභියෝගය ත්‍රස්තවාදයෙන් එල්ල වී තිබූ අභියෝගයටත් වඩා විශාල හා සංකීර්ණය. එය රටේ සංවර්ධනය කෙරෙහි බලපා තිබෙන එක් විශාලතම අභියෝගයක් ලෙස සැලකිය හැකි අතර, රටේ ප්‍රාග්ධන ආයෝජනයන්ගේ ඵලදායීතාව හීන කිරීමට සේ ම මහජන සේවා සඳහා අවශ්‍ය වියදම් හීන කරන වැදගත් සාධකයක් ලෙස ද ක්‍රියා කරයි. අපට මුලින් තිබුණේ අල්ලස් දෙපාර්තමේන්තුවය. පසුව 1994දී අල්ලස් දෙපාර්තමේන්තුව අහෝසි කොට ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් ඇති කරන ලදි. අල්ලස් නීතිය සංශෝධනය කොට රජයේ සේවකයන් යන ගණයට මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් ද ඇතුළත් කරන ලදි. 1977 සිට අද දක්වා අල්ලස් දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට දේශපාලනඥයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 100කටත් වැඩිවිය හැකිය.
එහෙත් මේ කිසිම දේශපාලනඥයකුට එරෙහිව දඬුවම් කිරීමක් සිදුවී නැත. අල්ලස් හෝ දූෂණ දැල බලාත්මක වී ඇත්තේ හාල්මැස්සන්ට එරෙහිව මිස තෝරුන්ට මෝරුන්ට එරෙහිව නොවේ. දේශපාලනඥයන්ට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලිවලදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූයේ ඔවුන් සියලුදෙනා අහිංසකයන් වූ නිසාද, නැතිනම් විවිධ හේතු නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇතිවූ නිසාද? බලයේ සිටින පක්ෂයට සම්බන්ධ දේශපාලකයන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක නොවන තත්ත්වයක් 1977 සිට අද දක්වා රටේ පවතී. මෙය ඉතාමත් අයහපත් තත්ත්වයක් වන අතර අතිවිශාල මහජන මුදලක් වැය කොට මෙවැනි ආයතනයක් පවත්වාගෙන යන්නේ ඇයිද යන ප්රශ්නය මතු කරයි. දැන් නැවත වරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම උරගා බැලෙන තැනකට පැමිණ තිබේ. තමන් ඉදිරියේ ඇසෙන නඩුවක පාර්ශ්වකරුවකුගෙන් රුපියල් ලක්ෂ 650ක් වටිනා ත්‍යාගයක් ලබාගැනීම හිටපු අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ නිමිත්ත වී තිබේ.
එල්ටීටීඊයට තිබුණේයැ”යි කියන සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය CBN Sat ටෙලිවිෂන් සේවාවට සීල් තබන ලදි. එම ආයතනය ආනයනය කර තිබූ උපකරණ තොගයක්ද වරායෙන් මුදාහැරීම තහනම් කර තිබුණි. ආයතනයේ හිමිකරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. පෙත්සම විභාගයට ගැනුණේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේය. අගවිනිසුරුවරයා ආයතනයට පවරා තිබූ තහනම් නියෝගය ඉවත් නොකළද ආයතනය වෙනත් බලපත්‍රලාභියකුට විකිණීමට අවසර දෙන ලෙසට කර තිබූ ඉල්ලීමට ඉඩදෙන ලදි. ආයතනයේ හිමිකරුවා සිය ව්‍යාපාරය රුපියල් ලක්ෂ 5238කට ඩයලොග් සමාගමට විකුණුවේය. පෙත්සම්කරු රුපියල් ලක්ෂ 650ක වියදමින් රූපවාහිනී ආයතනයක් තනවා එය අගවිනිසුරු ප්රමුඛ කණ්ඩායමකට තෑගි කළේය. එය අන්තර්ජාලයේ එ ෙෙ වාර්තා වී ඇත්තේ මෙම පරිත්‍යාගය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ලොකුම ධන පරිත්‍යාගය වූ බවය.
ආයතනය පවත්වාගෙන යෑම සඳහා ඇති කර ගන්නා ලද සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ නඩු තීන්දුව දුන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද සාමාජිකයෙකි. පුදුමයකට මෙන් සමාගම් රෙජිස්ටරයේ ඔහු නම ඉදිරියෙන් ඇති තත්ත්වය හෝ තනතුර හඟවන තීරයේ ඔහු හඳුන්වා තිබෙන්නේ අගවිනිසුරු වශයෙන් නොව සමාජ සේවකයකු වශයෙනි. මෙම පෙත්සම්කරුගේ නඩුව ඇසුවේ අගවිනිසුරු ප්රමුඛ විනිශ්චය මණ්ඩලයකි. සීල් තබා තිබූ ආයතනය ඩයලොග් සමාගමට විකිණීමට අවසර දී වරායේ හිරවී තිබූ උපකරණ තොගය නිදහස් කරදීමට මැදිහත්වූයේද අගවිනිසුරුය. අවසානයේ පෙත්සම්කරු සිය ආයතනය ඩයලොග් සමාගමට රුපියල් ලක්ෂ 5238කට විකුණා රුපියල් ලක්ෂ 650ක රූපවාහිනී ආයතනයක් අගවිනිසුරුට (හිටපු) තෑගි දෙයි. අගවිනිසුරු (හිටපු) පෙත්සම්කරුගෙන් ලැබුණු තෑග්ග ආදරයෙන් භාරගනී. මෙම ගනුදෙනුව අල්ලසක් හෝ දූෂණයක් නොවේ නම් අල්ලසක් හෝ දූෂණයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද?