හිටපු අගවිනිසුරු ලක්ෂ 650ක අල්ලසක් ගත්තේද?

September 20, 2009
Publication:
The Sunday Leader has reported that the retired chief justice obtained a television station worth 65 million rupees for an institution connected to him from a party to a case before him. Ivan follows the transaction through the licences neither side held, the equipment released from the port, and the pattern of electronic media praising the chief justice while their own cases were being heard in front of him.

පසුගිය සති අන්තයේ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සහිත කතාව වෙන්කර තිබුණේ හිටපු අගවිනිසුරුට අදාළ අයථා ගනුදෙනුවක් පිළිබඳවය. තමන් ඉදිරියේ ඇසෙන නඩු විභාගයකට සම්බන්ධ පුද්ගලයකුගෙන් තමන් සම්බන්ධ ආයතනයක් සඳහා රුපියල් ලක්ෂ 650ක් වටිනා රූපවාහිනී ආයතනයක් ලබාගෙන ඇති බවත්, ඒ ගැන හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්වීමට නියමිත බවත් එහි සඳහන් විය. පුවත්පතේ ඇතුල් පිටුවක මෙම ගනුදෙනුවේ පසුබිම් විස්තර ඇතුළත් වාර්තාවක් ද පළ කොට තිබුණි. මෙම ගනුදෙනුව පිළිබඳව හිටපු අගවිනිසුරු තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කරන කෙටි ප්‍රකාශයක් ද ඊට ඇතුළත්ව තිබුණි. සන්ඩේ ලීඩර් පුවත්පත ඉදිරිපත් කර තිබෙන කථාව ඉතාම වැදගත් වුවත් කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය තුළ අඩුපාඩුකම් පවතී. මෙම සටහන ලියන්නේ එම ගනුදෙනුව පිළිබඳව වඩා හොඳ චිත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහාය.

සීබීඑන් සැට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකාවේ සැටලයිට් ටෙලිවිෂන් සේවාවක් පවත්වාගෙන ගිය ආයතනයකි. එම ආයතනයට රූපවාහිනී සංස්ථා පනතේ 28 වැනි වගන්තිය යටතේ ලබාගත් මාධ්‍ය බලපත්‍රයක් තිබුණද සැටලයිට් ටෙලිවිෂන් සේවාවක් සඳහා වන බලපත්‍රයක් නොතිබුණි. ඒ අනුව එම ආයතනය මෙම ටෙලිවිෂන් සේවාව පවත්වාගෙන ගියේ ඒ සඳහා අවශ්‍ය කරන නිසි බලපත්‍රයක් නොමැතිවය. මෙම සමාගමේ හිමිකරු වූ මුහන්දන් කනගිට එල්ටීටීඊය සමග සම්බන්ධකම් තිබුණු බව ආරක්ෂක අංශවල මතය වී තිබුණි. එල්ටීටීඊය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කරගැනීමෙන් පසු කනගි එල්ටීටීඊයට සිය විකාශන සේවා විධිමත් කරගැනීම සඳහා තාක්ෂණික සැලැස්මක් ලබාදී තිබුණේය යන්න ආණ්ඩුවේ බුද්ධි අංශවල මතය වී තිබුණි. මෙම වටාපිටාව යටතේ ආණ්ඩුව 2006 ජූනි 06 වැනි දින සීබීඑන් සැට් සමාගම පවත්වාගෙන ගිය කේබල් ටෙලිවිෂන් සේවයට සීල් තැබුවේය.

ඒ සමග එම ආයතනය ආනයනය කර තිබූ උපකරණ තොගයක් වරායෙන් නිදහස් කිරීමද වැළකුවේය. තමන්ගේ ටෙලිවිෂන් සේවාව පවත්වාගෙන යෑමට තමන්ට ඉඩ නොලැබෙන බව කනගි දැන සිටියේය. ඒ නිසා ඔහුට මෙම තත්ත්වයෙන් නිදහස්වීමට මගක් සොයාගැනීම අවශ්‍ය වී තිබුණේය. මේ වන විට ඩයලොග් සමාගමද සැටලයිට් ටෙලිවිෂන් සේවාවන් සඳහා සිහින දකින තත්ත්වයක සිටි අතර, ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයක් ලබාගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක වී තිබුණේ නීතියේ පවතින අවධිමත්භාවය වෙනස් කරන තෙක් මෙවැනි ටෙලිවිෂන් සේවා සඳහා අලුතෙන් බලපත්‍ර ලබානොදීමට ආණ්ඩුව තීරණය කර තිබුණු නිසාය. නෛතික බාධාවකින් තොරව සීබීඑන් සැට් ටෙලිවිෂන් සේවාව පවත්වාගෙන යෑමට ඉඩ ලැබෙන්නේ නම් එම සමාගම මිලදී ගැනීමට ඩයලොග් සමාගම උනන්දුවක් දැක්වීය. අවසානයේදී මෙම ආරාවුලට විසඳුමක් ලබාදෙන ගැලවුම්කාරයාගේ භූමිකාව රඟපාන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය.

ඔහුද තමාගේ අනාගත දේශපාලන වුවමනාවන් සඳහා තමන්ගේම වන රූපවාහිනී සේවාවක් ගැන සිහින දකිමින් සිටි පුද්ගලයෙකි. මෙම නඩුවේ පෙත්සම්කරු තමන් මුහුණ දී තිබෙන ප්‍රශ්නය පිළිබඳව ඍජු ලෙස අගවිනිසුරු සමග කතා කළේද නැතිනම් සම්බෝධි විහාරයේ කුසලධම්ම හිමි අතරමැදියකු ලෙස යොදා ගනිමින් එසේ කළේද යන්න නොපැහැදිලිය. අගවිනිසුරු සමග පස්සා දොරෙන් ගනුදෙනු කිරීම සඳහා පාවිච්චි කෙරෙමින් තිබූ කවුළු අතර කුසලධම්ම හිමිගේ සම්බෝධි විහාරයද වැදගත් හා ප්‍රධාන කවුළුවක් ලෙස ක්‍රියා කළේය. කුසලධම්ම හිමි අගවිනිසුරුට සිටි හොඳම පුරෝහිතයෙක් විය. සම්බෝධි විහාරය, අධිකරණය විසින් රාජසන්තක කෙරෙන වටිනා ඇත්දළ, ගජමුතු හා රන් පිළිම වටිනා භාණ්ඩ නීතියට පටහැනිව අගවිනිසුරුවරයා විසින් පරිත්‍යාග කෙරෙන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබුණි. අගවිනිසුරුවරයා විසින් මෙම විහාරයට නීති විරෝධී ලෙස පරිත්‍යාග කරන ලද වටිනා භාණ්ඩ අතර කිලෝ 16ක් බර දඹ රන් පිළිමයක් ද විය.

වෙළෙඳපොළේ රත්තරන් මිල අනුව පමණක් එම පිළිමයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 50කි. සම්බෝධි විහාරයේ කුසලධම්ම හිමි අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප පුද්ගලයකු වීම හේතු කොටගෙන සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී මෙම හිමිනමද අතිවිශාල බලයක් දරන තත්ත්වයක සිටියේය. අගවිනිසුරුට තිබෙන බලය අහිමි නොවන තත්ත්වයක තබා ගැනීම මගින් තමන්ට හිමි විශේෂ බලය තවදුරටත් පවත්වාගෙන යෑමට එම හිමිනමට අවශ්‍ය වී තිබුණු අතර, අගවිනිසුරු ජනාධිපති බවට පත්කිරීමේ ව්‍යාපෘතිය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයාගේ භූමිකාව රඟපාන්නා බවට පත්ව සිටියේද මෙම හිමි නමය. විශ්‍රාම යෑමෙන් පසු අගවිනිසුරු අගමැති ධුරයට ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම හිමි නම ජනාධිපති සමග ද සාකච්ඡා කර තිබේ. විශ්‍රාම යෑමට නියමිතව සිටි අගවිනිසුරුට විශ්‍රාම යෑමෙන් පසු අගමැති ධුරය වැනි වැදගත් තනතුරක් ලබාදීමේ වැදගත්කම උන්වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇති බවද කියනු ලැබේ.

අගමැතිකම ලබාගත හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පමණක් වන නිසා අගමැති බවට සිහින දකී නම් පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නේ කෙසේදැ”යි කල්පනා කරන ලෙස එහිදී ජනාධිපතිවරයා උන්වහන්සේට අවවාද කරන ලද බවද කියනු ලැබේ. අගවිනිසුරුවරයා මම රටේ ජනාධිපති වෙමියි කියන සිහිනය දකින තැනකට මාරුවීම ආරම්භවන්නේ අගමැති සිහිනය බොඳවීමෙන් පසුවය. අගවිනිසුරුගේ ජනාධිපති සිහින ව්‍යාපෘතිය වෙනුවෙන් ද ප්‍රධාන පුරෝහිතයා ලෙස ක්‍රියා කළේද කුසලධම්ම හිමියන්ය. සම්බෝධි විහාරය අගවිනිසුරුගේ ජනාධිපති සිහිනය සැබෑ කරදීම සඳහා විවිධ පුද්ගලයන් කැඳවා කරන සාකච්ඡා පැවැත්වෙන ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ව තිබුණි. දේශපාලන බලය ගැන සිහින දකින පුද්ගලයකුට රූපවාහිනි සේවාවක් ඉතා වැදගත්ය. එය ආගමික නාලිකාවක් වන විට ඊට ලැබෙන වැදගත්කමද දෙතුන් ගුණයකින් ඉහළ යන්නේය.

අවසානයේ තමන්ගේ අනාගත දේශපාලන කටයුතු සඳහා රූපවාහිනී නාලිකාවක් ලබාගැනීමට සඳහා මෙම ආරාවුල ඉතාමත් දක්ෂ ලෙස හා සටකපට ලෙස ප්‍රයෝජනයට ගැනීමට හිටපු අගවිනිසුරුවරයා සමත් විය. එම කූට වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සීල් තබන ලද ටෙලිවිෂන් ආයතනයේ අධිපති කනගි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR 236/2008) ඉදිරිපත් කළේය. පෙත්සම්කරු වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ජී.ජී. අරුල්ප්‍රගාසන්ගේ උපදෙස් මත සුගත් කල්දේරා, රියාද් අමීන් සහ එරාජ් ද සිල්වා සමග ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන නීතිඥයෝය. අගවිනිසුරු මෙම පෙත්සම තමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත්තේය. අගවිනිසුරු පෙත්සම්කරුට සිය ටෙලිවිෂන් සේවාව ඉදිරියට ගෙනයෑමට ඉඩ දුන්නේ නැතත්, එය ඩයලොග් සමාගමට විකිණීමට අවසර දුන්නේය.

වරායේ රඳවාගෙන තිබුණු උපකරණ තොගය ද නිදහස් කළේය. ඩයලොග් සමාගමට විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රයක් තිබුණද මෙවැනි ටෙලිවිෂන් සේවාවක් ආවරණය කරන බලපත්‍රයක් නොවීය. එයට තිබුණේ ජංගම දුරකථන සේවා ආවරණය කරන බලපත්‍රයක් පමණය. අනෙක් අතට පෙත්සම්කරුවාට ද රූපවාහිනී සංස්ථා පනතෙහි 28 වැනි වගන්තිය යටතේ මාධ්‍ය බලපත්‍රයක් තිබුණද එයද මෙවැනි ටෙලිවිෂන් සේවාවක් ආවරණය කරන බලපත්‍රයක් නොවීය. 2006 නොවැම්බර් 6 වැනි දින අධිකරණය දී තිබුණු නියෝගය අනුව පෙත්සම්කරුට සිය සමාගම විකිණීම පිණිස සාකච්ඡා කිරීමට අවසරය දී තිබුණේ සැටලයිට් ටෙලිවිෂන් සේවා පවත්වාගෙන යෑමට නිසි බලපත්‍රයක් ඇති සේවා සපයන්නකු සමග පමණය. එහෙත් ඩයලොග් සමාගමට එවැනි බලපත්‍රයක් නොමැතිවම සමාගම මිලදී ගැනීමට අධිකරණය ඉඩ දුන්නේය. අවසානයේ පෙත්සම්කරු සිය සමාගම ඩයලොග් සමාගමට රුපියල් මිලියන 523.8කට (රුපියල් ලක්ෂ 5230කට) විකුණුවේය.

ඒ ලැබුණු විශාල මුදලෙන් රුපියල් ලක්ෂ 650ක් යොදවා තමන්ගේ නඩුව විභාග කළ අගවිනිසුරුට බෞද්ධ ටෙලිවිෂනය නමින් ටෙලිවිෂන් ආයතනයක් ඇති කර දුන්නේය. ඊළඟ වැදගත් දේ නිසි බලපත්‍රයක් නැතිව මෙම සමාගම මිලදී ගත් ඩයලොග් සමාගම අගවිනිසුරුවරයා වෙනුවෙන් ඇති කළ එම රූපවාහිනී ආයතනයේ තාක්ෂණ කළමනාකරණය ගාස්තු අයකිරීමකින් තොරව ඉටුකිරීමේ වගකීම සමාගම වෙත භාරගැනීමය. මෙය තමන් ඉදිරියේ ඇසෙන නඩුවක් වෙනුවෙන් පාර්ශ්වකරුවකුට දෙනු ලැබූ වාසිදායක තීන්දුවක් වෙනුවෙන් එම නඩුව ඇසූ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා රුපියල් ලක්ෂ 650ක අල්ලසක් ලබාගැනීම හා සමානය. මෙම රූපවාහිනී ආයතනය ගොඩනගා තිබෙන්නේ සම්බෝධි විහාරයේය. බැලූ බැල්මට මෙම ගනුදෙනුව පෙනෙන්නේ බුද්ධ ශාසනයට ලැබුණු දැවැන්ත පරිත්‍යාගයක් ලෙසය. එහෙත් එම පරිත්‍යාගය ලැබී තිබෙන්නේ බුද්ධ ශාසනයට නොව පුද්ගලයන් කිහිපදෙනකුටය.

අනෙක් අතට එය ශාසනයට ලැබුණු පරිත්‍යාගයක් ලෙස සැලකෙන අවස්ථාවකදී පවා එය සැලකිය හැක්කේ වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා බුද්ධ ශාසනයට මුවාවී ලබාගන්නා ලද අල්ලසක් ලෙසය. සම්බෝධි විහාරයේ කුසලධම්ම හිමි හිටපු අගවිනිසුරුගේ පුරෝහිත භික්ෂුවක් ලෙස සැලකිය හැකිය. එම විහාරය නිකුත් කර තිබෙන ප්‍රකාශවලට අනුව එම අගවිනිසුරුවරයා සම්බෝධි විහාරයේ දායක සභාවේ ප්‍රධානියාය. මෙම නඩුවේ පෙත්සම්කරුගෙන් ලබාගත් මුදල් ආධාර මත ඇති කරන ලද මෙම රූපවාහිනී ආයතනය පවත්වාගෙන යෑම සඳහා සීමාසහිත බෞද්ධ රූපවාහිනී සේවාව (ගැරන්ටි) නමින් සමාගමක් ඇති කොට ලියාපදිංචි කරන ලද අතර, එවකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද ඒ වෙනුවෙන් ගොඩනගන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකි. පුදුමයකට මෙන් මෙම සමාගම ලියාපදිංචි කළ සමාගම් රෙජිස්ටරයේ එස්.එන්. සිල්වා යන ඔහුගේ නම ඉදිරියෙන් ඔහු හඳුන්වා ඇත්තේ අගවිනිසුරු වශයෙන් නොව සමාජ සේවකයකු වශයෙනි.

තම නම ඉදිරියෙන් ඇති සමාජ සේවකයකු යන යෙදුම තමා විසින් යොදන ලද්දක් නොවන බව සරත් නන්ද සිල්වා සන්ඩේ ලීඩර් පුවත්පතට කියා තිබුණි. එහෙත් නම යටින් ඇත්තේ සරත් නන්ද සිල්වාගේ අත්සනය. නම ඉදිරියෙන් ඇති සමාජ සේවා යන යෙදුම නොදැන සිය නම යටින් අගවිනිසුරු වැනි පුද්ගලයකු අත්සන් කළායැ”යි පිළිගත හැක්කේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරු ධුරය දරන පුද්ගලයකුට ජනාධිපතිගෙන් ලබාගන්නා නිසි අවසරයකින් තොරව වෙනත් පදවි දැරිය නොහැකිය. සමාජ සේවක යන පදය යොදාගැනීමට අවශ්‍ය වන්නට ඇත්තේ ඒ සීමාව ජයගැනීම සඳහා විය හැකිය. නඩුවේ පෙත්සම්කරු මෙම රූපවාහිනී සේවාව ඇති කිරීම සඳහා කර තිබෙන විශාල වියදමට තමාගේ කිසිම සම්බන්ධයක් නොතිබුණු බව හා එම රූපවාහිනී ආයතනයේ එදිනෙදා කටයුතුවලට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවද ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.

සන්ඩේ ලීඩර් පුවත්පත අගවිනිසුරුගෙන් කර තිබෙන ප්‍රශ්න කිරීම අවශ්‍ය තරමට තියුණු නැතත්, උත්තරදී තිබෙන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබකු සේය. රූපවාහිනී ආයතනය පිහිටුවීම සඳහා අවශ්‍ය බරපැන උසුලන ලද්දේ පෙත්සම්කරු නම් ඔහුගේ ආධාර මත ගොඩනගන ලද රූපවාහිනී ආයතනය පවත්වාගෙන යෑම සඳහා ගොඩනගන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ අගවිනිසුරුවරයා ද සාමාජිකයකු වී නම් එම ආයතනයට ප්‍රාග්ධනය ලැබුණු මූලාශ්‍ර නොදැන අගවිනිසුරුවරයා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වූයේ කෙසේද? අනෙක් අතට හින්දු භක්තිකයකු වූ මෙම පෙත්සම්කරුට බුද්ධාගම සඳහා වන රූපවාහිනී ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය වී නම් තමාට වාසිදායක තීන්දුවක් ලබා දුන් අගවිනිසුරුට සම්බන්ධ විහාරයක්ම ඒ සඳහා තෝරා ගත්තේ ඇයි? මල්වතු විහාරයට, අස්ගිරි මහා විහාරයට හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශයට එය පරිත්‍යාග කිරීමට පුළුවන්කමක් නොතිබුණේද? හිටපු අගවිනිසුරුවරයාට ධුරයේ සිටියදී නිල නොවන ඒජන්තවරු නම් පිරිසක් සිටියෝය.

අගවිනිසුරුගෙන් යමක් ලබාගැනීමට යායුතුව තිබුණේ ඔවුන් හරහාය. මෙම ඒජන්තවරුන් එය ඔවුන්ගේ වැදගත් ජීවන මාර්ගයක් බවට පත් කොටගෙන තිබුණේය. වාසිදායක නඩු තීන්දුවක් ලබාදීමට ඔවුන් විශාල මිලක් අය කළ බව කියනු ලැබේ. එක් ඒජන්තවරයකු (අපරාධ පසුබිමක් සහිත) ඔහුගේ කාර්යාලය පවත්වාගෙන ගියේ කොළඹ සුපිරි හෝටලයකය. අගවිනිසුරු ඉදිරියේ ඇසෙන නඩුවලදී විශේෂයෙන් ඇල්ලිය යුතු නීතිඥ පිරිසක් ද සිටියෝය. වැදගත් කොට සැලකුණේ දක්ෂතාව නොව අගවිනිසුරුට තිබෙන සම්බන්ධයේ ප්‍රමාණයයි. මෙම නීතිඥයෝ ඒ වෙනුවෙන්ම විශේෂ මිලක් සේවාදායකයන්ගෙන් අය කළෝය. අගවිනිසුරුට අනාගතය සඳහා වන දේශපාලන ඉලක්කයක් තිබුණි. ඔහු ඊට ගැළපෙන වාසිදායක වටාපිටාවක් ඇති කොට ගැනීම සඳහා අධිකරණ නායකයා වශයෙන් තිබුණු නිල බලය පාවිච්චි කළේය. සිරිතක් වශයෙන් ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ නඩු ඔහු හැමවිටම තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත්තේය.

ඔවුන්ගේ ආධාර හා ආවරණය උපරිම මට්ටමින් ලබාගත හැකි වටාපිටාවක් ඇති කර ගැනීම සඳහා එම නඩුවලදී ඔවුන්ට උපරිම සහන ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. සමහර ඉලෙක්ට්‍රොනික් ජනමාධ්‍ය ආයතන එම ආයතනවල නඩු අගවිනිසුරු ඉදිරියේ ඇසෙමින් තිබියදී පවා අගවිනිසුරු ගැන සිය නාලිකාවලින් ප්‍රශංසාත්මකව කථා කළා පමණක් නොව, සමහරවිට එම නාලිකා ඔස්සේ අගවිනිසුරු සමග පවත්වන සංවාද ද විසුරුවා හැරියේය. අගවිනිසුරු විශ්‍රාම යන්නට පෙර ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ නොවිසඳී තිබූ නඩු ගණනාවක් පස්සා දොරෙන් විසඳා දුන්නේය. අද දක්වාම හිටපු අගවිනිසුරුවට හානිදායක වන කිසිවක් පළකිරීම්වලින් වැලකී සිටින ප්‍රතිපත්තියක් බොහෝ ජනමාධ්‍ය අනුගමනය කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. CBN සැට් ටෙලිවිෂන් ගනුදෙනුව ඔහුගේ පාලන යුගය තුළ ඔහු අතින් සිදුවී ඇති දූෂිත ගනුදෙනු විශාල ගණනක් අතුරින් එකක් පමණය.