තිස්සනායගම් නඩුවේ තීන්දුව ගැන

September 6, 2009
Publication:
Twenty years' rigorous imprisonment for J.S. Tissainayagam has drawn the world's attention as his detention did. Ivan argues that judges must sentence in proportion to the gravity of the offence and within the law, lists earlier judgments where that was not done, and notes that most of the complaints against Sri Lanka in Geneva were aimed not at the government but at the former chief justice — and that the country, not he, is paying for them.

මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ සිද්ධිය සේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීති රෙගුලාසි යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමේ සිද්ධිය ද ලෝක අවධානය දිනාගත් සංසිද්ධියක් වූවා සේම දැන් ඔහුට එරෙහිව බරපතළ වැඩ ඇතිව අවුරුදු 20ක සිරදඬුවමක් ලබාදීමේ සිද්ධියද ලෝක අවධානය දිනාගත් පුළුල් සංසිද්ධියක් බවට පත්වී තිබේ. තිස්සනායගම් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා තබාගැනීමේ සිද්ධිය දේශීය ජනමාධ්‍ය සංවිධානවල සේම විදේශ ජනමාධ්‍ය සංවිධානවලද දැඩි විරෝධයට හේතු වී තිබුණි. ඒ සියලු දෙනා එක හඬින් කියා සිටියේ තිස්සනායගම් අතින් නීති විරෝධී කිසිවක් සිදු වී නැති බවත් ඔහු සිදුවීම් වාර්තා කළ වාර්තාකරුවකු පමණක් බවත්ය. තිස්සනායගම් මුළුමනින් නිර්දෝෂීද නැද්ද යන්න ගැන අවසාන විනිශ්චයක් දීමේ හැකියාව අපට නැත.

ඔහු අත්අඩංගුවට ගත්තේ සංකීර්ණ යුද වටාපිටාවක් තිබූ අවස්ථාවකදීය. ඔහු එවැනි අවස්ථාවකදී රටේ ජාතික ආරක්ෂාවට ලැබෙන වැදගත්කම සැලකිල්ලට ගෙන ක්‍රියා කළේ ද නැත්නම් ඔහුට එල්ටීටීඊය සමග හෝ එල්ටීටීඊ ආධාරකරුවන් සමග සම්බන්ධකම් තිබුණේද දැන හෝ නොදැන එල්ටීටීඊයට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කළේද යන්න අපි නොදනිමු. එල්ටීටීඊයට එරෙහිව කෙරෙන අවසාන යුද්ධය විසින් ඇති කර තිබුණු සංකීර්ණ වටාපිටාව තුළ ත්‍රස්තවාදී විමර්ශන අංශවල උකුසු ඇසට හසු වූ අය අතර වැරදි කළ අය සේම අහිංසකයන්ද සිටියා විය හැකිය. තිස්සනායගම් අයත් වුණේ ඒ අතරින් කොයි ගණයටද යන්න අපට පැහැදිලිව කිව නොහැකිය. එහෙත් අවුරුදු 20ක් තරම් බරපතළ දඬුවමක් ලබාදීමට තරම් බරපතළ වරදක් කර ඇති බව පැමිණිල්ලේ සාක්ෂිවලින් ඔප්පු වූ බවක් බැලූ බැල්මට පෙනෙන්නේ නැත. 71 කැරැල්ලෙන් පසු කැරලිකරුවන්ගේ නඩු විභාග කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා නීතිය යටතේද විත්තිකරුවකුගෙන් පොලිස් නිලධාරියකු ලබා ගන්නා කටඋත්තරයක් විත්තිකරුට එරෙහිව පාවිච්චි කළ හැකි සාක්ෂියක් ලෙස යොදා ගත හැකි බවට විශේෂ නීතියක් ක්‍රියාත්මක වුවද එම නඩු විමසූ විනිශ්චයකාරවරු ඔවුන්ගෙන් ලබා ගන්නා කටඋත්තර මත පමණක් පදනම් වී ඔවුන්ට දඬුවම් පමුණුවන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළෝය.

විනිශ්චයකාරවරුන් දඬුවම් කළ යුත්තේ ඔවුන්ට තිබෙන වරදේ බරපතළතාවේ ප්‍රමාණයට අනුකූලවය. දඬුවම් කිරීමට හැකිවන බලයක් ඇති අවස්ථාවලදී පවා එම බලය පාවිච්චි කළ යුත්තේ සාධාරණව හා නීතියට අනුකූලවයි. වෙනත් විභාග ආයතනයන් සේම අධිකරණයද නඩු අසා දඬුවම් කිරීමට තිබෙන බලය නීතියට අනුකූල නොවන ලෙස යොදාගත් අවස්ථා මීට පෙරද දකින්නට තිබුණි. ටෝනි එමානුවෙල් ප්‍රනාන්දු නඩු තීන්දුව, එස්.බී. දිසානායක නඩු තීන්දුව, එල්මෝ පෙරේරා, සරත් විජේසිංහ සහ පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය. අධිකරණය දෙනු ලබන සමහර තීන්දු වගඋත්තරකරුවන්ගේ ජීවිත කෙරෙහි පමණක් නොව රටේ හොඳ නම කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය. කරුණු දන්නා අය ප්‍රසිද්ධියේ කතා කරන්නට කැමති නැතත් GSP+ රටට සහන අහිමි කිරීමට හේතුවිය හැකි තත්ත්වයක් ඇති කිරීමට බලපෑ ප්‍රධානම සංසිද්ධිය වූයේ ජිනීවා හි මානව හිමිකම් කමිටුව දෙනු ලබන නඩු තීන්දු රටට බලනොපාන ආකාරයට අධිකරණය දුන් තීන්දුවයි.

ජිනීවා හි මානව හිමිකම් කමිටුව ඉදිරියේ තිබූ පැමිණිලිවලින් වැඩිහරියක් ඍජු ලෙස ආණ්ඩුවට හෝ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි නොව හිටපු අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලිය. හිටපු අගවිනිසුරු තමන්ට එරෙහිව ජිනීවා හි මානව හිමිකම් කමිටුවට දෙන තීන්දු බලරහිත කිරීම සඳහා තමන්ට තිබුණු අධිකරණ බලය අයථා ලෙස යොදාගත්තේය. අවසානයේ ඒ වෙනුවෙන් දැන් වන්දි ගෙවන්නට සිදු වී තිබෙන්නේ හිටපු අගවිනිසුරුට නොව රටටය. අධිකරණය විසින් දෙනු ලබන තීන්දු රටේ ගෞරවය කෙරෙහි බලපාන ආකාරය ගැනද අධිකරණය සැලකිලිමත් විය යුතුය.