ආරක්ෂක ලේකම්ගේ වන්දි නඩුව හා සන්ඩේ ලීඩර් පුවත්පත

July 19, 2009
Publication:
The defence secretary has sued the Sunday Leader for a billion rupees over an article on the MiG purchase. Ivan accepts his right to sue — criminal defamation was repealed on the argument that civil damages would suffice — but argues that the paper's right to be represented by counsel of its choice is part of a fair trial, and describes how its lawyers came to withdraw.

සන්ඩේ ලීඩර් පුවත්පත විසින් මිග් ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳව පළ කළ ලිපියකට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබේ. ඒ ලිපියෙන් තමා අපකීර්තියට ලක් කොට ඇති බව ආරක්ෂක ලේකම්ගේ මතය වී ඇති අතර, ඒ නිසා තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක් අයකර ගැනීම මෙම නඩුවේ අරමුණ වී තිබේ. දැන් සාපරාධී අපහාස නීතිය රටේ ක්‍රියාත්මක නොවන අතර, සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා යොදාගනු ලැබූ තර්කය වූයේ ජනමාධ්‍යයකින් සිදුවන අපහාසයකදී සිවිල් නීතිය තුළ නඩු පවරා වන්දි ලබාගැනීමට ප්‍රතිපාදන තිබෙන බැවින් සාපරාධී අපහාස නීතිය අවශ්‍ය නොවන බවය. මෙවැනි නඩුවකදී පළකළ කරුණු සත්‍ය හා නිවැරදි බව සනාථ කළහැකි නම් වන්දි ගෙවීමේ ප්‍රශ්නයක් පැනනගින්නේ නැත. එහෙත් පළකළ තොරතුරු සත්‍යය හා නිවැරදි බව ඔප්පු කිරීමට සමත් නොවේ නම්, අපකීර්තිය වෙනුවෙන් වන්දියක් ගෙවීමේ අවදානමකට මුහුණදෙන්නට පුවත්පතට සිදුවන්නේය.

ඕනෑම පුවත්පතකින් පළ කරන ලිපියකින් ඕනෑම පුද්ගලයෙකුට අපහාසයක් සිදුවන්නේ නම්, එම පුවත්පතට එරෙහිව වන්දි නඩුවක් පැවරීමේ අයිතිය එම පුද්ගලයා සතුය. ආරක්ෂක ලේකම්වරයා සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව අධිකරණය ඉදිරියට යෑම වරදක් ලෙස සැලකිය නොහැකිය. අපහාසයකදී ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන අයිතිය ඔහුටද ලැබිය යුතුය. එම නඩුකරය සඳහා ඔහු වියදම් කළයුත්තේ සිය පෞද්ගලික මුදල්ය. පුවත්පත පළකළ තොරතුරු නිවැරදි බව ඔප්පු කිරීමට සමත්වේ නම් වන්දි ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගින අතර, මතුකළ චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් නඩු පවරන්නා විශාල අපකීර්තියකට ලක්වීමක්ද සිදුවන්නේය. එහෙත් පළකළ තොරතුරු සත්‍යය බව හා නිවැරදි බව ඔප්පු කිරීමට පුවත්පත අසමත්වෙතොත් සිදුවී තිබෙන අපකීර්තිය වෙනුවෙන් ඉල්ලා සිටින විශාල වන්දි මුදල ගෙවන්නට පුවත්පතට සිදුවිය හැකිය. මෙවැනි නඩුවකදී පුවත්පත වරදකරු වුවහොත් දෙන ලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය පුවත්පතට ලැබෙනමුත් අභියාචනයකට යන්නට ඉඩ ලැබෙන්නේ නියම වූ වන්දි මුදල ආරක්ෂක ඇපයක් වශයෙන් උසාවියේ තැන්පත් කිරීමෙන් පසුවය.

මෙම නඩුව සමතයකට පත්කර ගැනීම සඳහා සමාව අයැදීමක් කිරීමට පුවත්පත එකඟ වුවත් සමාව අයදින ප්‍රකාශයකින් ප්‍රශ්නය බේරුම් කරගැනීමට ආරක්ෂක ලේකම්වරයා එකඟ නොවීය. මෙම නඩුව ඇසෙන අතර වාරයේ තමන් කෙරෙහි අපකීර්තියක් හෝ තමන් අපහසුතාවකට පත්කරන දේවල් තවදුරටත් පුවත්පතේ පළ නොකළයුතු බවට පැමිණිල්ල පුවත්පතට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තේය. එවැනි වාරණ නියෝගයක් තිබියදීත් එය නොසලකා ප්‍රභාකරන් හා තමන් එකට සසඳන ලිපියක් පළකිරීම මගින් අධිකරණයට අපහාසයක් කර ඇති බව පැමිණිලි පාර්ශ්වය උසාවියට දැනුම්දීම නිසා දැන් එම පැමිණිල්ල ද විභාගයට ගැනීමට නියම වී තිබේ. මේ අතර සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික වීරයෙකුගේ තත්ත්වය හිමි කරගෙන සිටින තත්ත්වය ඉදිරියේ තවදුරටත් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව ප්‍රකාශ කරමින් නඩුවෙන් ඉවත්වූහ.

මේ නිසා පුවත්පතට තම නඩුව වෙනුවෙන් පෙනී සිටීමට අලුත් නීතිඥ පිරිසක් සොයාගැනීමට සිදුවිය. ඉන්පසු ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, උපුල් ජයසූරිය, එස්. සුවන්කිරන් ඇතුළු නීතිඥයන් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූහ. මෙම නඩුව ජූලි 9 වැනිදා ගල්කිස්ස අධිකරණයේ අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී ඉදිරියේ විභාගයට ගැනුණු අවස්ථාවේදී මෙම නීතිඥ කණ්ඩායම වගඋත්තරකාර සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටියේය. සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටින මෙම නීතිඥයන් පස්දෙනා පෙනී සිටින්නේ ජාතික වීරවරයෙකුට එරෙහිව වන නිසා ඔවුන් ජාතිද්‍රෝහීන් ලෙස හඳුන්වන ප්‍රකාශයක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් පළකරන වෙබ් අඩවියේ පළවීම නිසා නීති අංශවල දැන් එය සාකච්ඡාවට හේතුවී තිබෙන උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ.

මේ පිළිබඳව සන්ඩේ ලීඩර් පුවත්පත ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගෙන් කරුණු විමසූ විට ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මහජන මත ප්‍රකාශනයටද ඉඩලබාදී ඇති වෙබ් අඩවියක් නිසා එහි පළවී ඇත්තේ එවැනි එක් පුද්ගලයෙකු පළකළ මතයක් පමණක් බවය. එය ආරක්ෂක අමාත්‍යාංශයේ මතය නොවන බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් නූතනයේ ක්‍රියාත්මක වන යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ නඩු කටයුත්තකදී වගඋත්තරකරුවකුට නීතිඥයකු මගින් පෙනී සිටීමේ අයිතිය මූලික අයිතියක් ලෙස සලකනු ලැබේ. සාමාන්‍ය චෝදනාවකදී පමණක් නොව, ඉතා බිහිසුණු අපරාධ ගණයට වැටෙන වරදකදී වුවත්, ඒ අයිතිය වගඋත්තරකරුවකුට ලැබිය යුතුය. හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය අතින් සිදුවූ බිහිසුණු අපරාධ පිළිබඳව ඇසුණු නඩු විභාගයේදී පවා නාසි ව්‍යාපාරයේ චූදිතයන්ට එම අයිතිය ලැබුණි.

එසේම ඕනෑම වර්ගයේ චූදිතයකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතිඥ වෘත්තිකයන්ට අදාළ මූලික අයිතියකි. මෙම දෙපාර්ශ්වයේම අයිතියට හානි ඇති කරන සම්ප්‍රදායක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය. මෙවැනි ගැටුමක් ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීද මතුවිය. එහිදී වරද සිදුවූයේ නීතිඥයන් අතින්ය. විජේදාස ලියනආරච්චි පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව අතුරුදහන්කිරීම් පිළිබඳ නඩුවලදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටිය යුතුය කියන ප්‍රතිපත්තියක් නීතිඥ සංගමය ප්‍රකාශයට පත් කරන ලද අතර, එම පොලිසියේ කෝපයට හේතුවූ සංසිද්ධියක් බවට පත්විය. එය වැරදි ප්‍රතිපත්තියක් වූ අතර, එම ප්‍රතිපත්තිය භාවිතයට යෙදීම ඉක්මනින් අවසන්වීම නිසා ගැටුම දුරදිග නොගියේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ටීටීඊය පරාජය කෙරුණු යුද්ධයේදී ඉතාමත් වැදගත් හා කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේය.

ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. අනෙක් අතට සන්ඩේ ලීඩර් පුවත්පත පළකළ ලිපියකින් ඒ මහතාට අපහාසයක් වී නම්, එම පුවත්පතට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ද ආරක්ෂක ලේකම්වරයා සතුය. එහෙත් මේ නඩුවේදී සන්ඩේ ලීඩර් පුවත්පතට නීතිඥයන් මගින් පෙනී සිටීමේ අයිතියද ආරක්ෂා විය යුතුය. සාධාරණ නඩු විභාගයක් සඳහා එය අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය යුතුය.