විනිසුරුවරුන්ගේ සදාචාරය

July 19, 2009
Publication:
Anonymous broadsheets about the conduct of judges are circulating among lawyers in Hulftsdorp at fifty rupees a copy, and Ivan treats them as a symptom rather than a source. Quoting H.L. de Silva on judicial integrity — that a judge's moral honesty matters more than his legal skill — he sets out his own complaint against a district judge, the two inquiries that followed, and the protections that make a wayward judge almost untouchable.

සරත් නන්ද සිල්වා විශ්‍රාම යෑමෙන් පසුව අධිකරණය අභ්‍යන්තරයෙන් ප්‍රකාශ වී තිබෙන නිර්නාමික කැලෑ පත්තර ප්‍රමාණය අතිවිශාලය. ටයිප් පිටු හතඅටක් තරම් විශාල වන එක් කැලෑ පත්තරයක විෂය කරගෙන තිබෙන්නේ අගවිනිසුරුගේ කල්ලියට අයත්ව සිටි සමහර විනිසුරුවරුන් හා විනිසුරුවරියන්ගේ නොමනා ක්‍රියාකලාපයන් ගැනය. ඊට ඇතුළත් විවිධ චරිත අතර අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ද ඇතුළත්ය. මෙම කැලෑ පත්තරයට ඇතුළත් තොරතුරුවලින් 50%ක් අසත්‍ය ලෙස සලකා ඉතිරි 50% සත්‍ය ලෙස සැලකුවද එම විනිසුරුවරුන් ගැන ඇතිවන්නේ ගෞරවයක් නොව, පිළිකුලකි. මෙම කැලෑ පත්තරයේ ඡායා පිටපත් අලුත්කඩේ නීතිඥයන් අතර රුපියල් 50ක් වැනි මිලකට අලෙවි කෙරෙමින් තිබෙන බව හා නීතිඥයන් අතර එයට අතිවිශාල ඉල්ලුමක් ඇති බව අසන්නට ලැබුණු විට මා තුළ ඇතිවූ හැඟීම වූයේ අධිකරණය විශාල ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් තොරව එයට නැතිවී තිබෙන ගෞරවය නැවත දිනාගත නොහැකිවනු ඇති බවය.

ඇති කරන ඕනෑම ප්‍රතිසංස්කරණයකදී විනිශ්චයකාරවරුන්ගේ විනය අංක 1ට ගත යුතුය. විනිශ්චයකාරවරුන්ගේ විනයට සදාචාරය ද ඇතුළත්විය යුතුය.

සදාචාරය ගැන එච්.එල්. මෙම ප්‍රශ්නය පිළිබඳ එච්.එල්. ද සිල්වා කර තිබෙන විග්‍රහයක් මෙසේය.

““විනිශ්චයකාරවරයාගේ ස්වාධීනත්වයද ඔහුගේ සදාචාරාත්මක අවංකභාවය මත රඳා පවතින්නේය. ඒ සමග ඍජුවම බැඳී පවතින්නේය. නීතිය පිළිබඳ ඔහුට ඇති නිපුණතාවටත්, විනිශ්චය සඳහා අවශ්‍ය විශ්ලේෂණ ශක්තියටත් හිමිවන්නේ දෙවැනි තැනකි. වැදගත්කම අතින් ඊට ලැබෙන්නේ සදාචාරාත්මක අවංකභාවයට වඩා පහළ තැනකි. විනිශ්චයේදී දක්ෂ කපටියකුට වඩා අවංක සාමාන්‍ය මිනිසකුට වැඩි අභිමතයක් ලැබෙන්නේය. විනිශ්චයේදී බුද්ධිමතුන් කෙරෙහි පළවන වංකභාවය ගර්හා කළයුත්තක් වන අතර, දුරාචාරය හා දූෂණය ඒකාන්තයෙන්ම හෙළා දැකිය යුතුය.

විනිශ්චයාසනය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේදී සැලකිල්ලට ගතයුතු වැදගත් සාධකයක් වෙයි. අදාළ පුද්ගලයා සමකාලීන සමාජයේ පවත්නා සදාචාරාත්මක ලිංගික චර්යාවට සහමුලින් අනුකූල වියයුතු අතර, ඉන් බැහැර වන පැවතුම් ඔහු තුළ පවත්නේ නම් ඒවා කිසිසේත් නොසැලකිය හැකි නොවේ. අධිකරණ ක්‍රියාවලියේදී ඔහු දක්වන නිපුණතාව අනුව එහි වෙනසක් සිදු නොවිය යුතුය.””

ඔහුගේ එම දේශනයට ඇතුළත් කරුණු අතරින් තෝරාගත් තවත් වැදගත් කොටසක් මෙසේය.

““වැරදි කරන අධිකරණ නිලධාරීන්ට එරෙහිව කුමන පියවර ගන්නේදැ”යි දැනගැනීමට පොදු ජනතාවට අයිතියක් තිබේ. අධිකරණ නිලධාරීන් කෙරෙහි බලපාන පාලන පද්ධතියේ අකාර්යක්ෂමතාවක් සාවද්‍ය ක්‍රියා පිළිබඳ නඩුවලදී වරප්‍රසාද නිරවද්‍යතා ආයාචනය සඳහා ලැබෙන ඉඩකඩත් අධිකරණයට අපහාස කිරීමේ රීතියෙන් එල්ල වන තර්ජනයත් යනාදියෙන් මහජන විවේචන බොහෝදුරට මර්දනය වෙයි. ඒවා පමණක්ද නොව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උල්ලංඝනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැලවී තිබෙන විධිවිධාන අනුව කිසියම් එඩිතර පුද්ගලයෙකු ලබාගන්නා සහනයන් හැරුණු විට ඉහත දැක්වුණු අන් සියලු ක්‍රියාවලීන් මගින් සාවද්‍ය විනිසුරුවරුන්ට සර්ව සුබදායක ලෝකයක් බිහි කෙරෙන්නේය.

අධිකරණ පද්ධතියේ හරය අඛණ්ඩව පරිහානියෙන් ගලවා ගැනීමට නම් නෛතික ක්ෂේත්‍රයේ යථෝක්ත අංශවල විප්ලවීය ප්‍රතිශෝධනයක් සිදුවීම අත්‍යවශ්‍යය. නිරවද්‍යතා ආයාචනය සඳහා ඇති යල් පිනූ වරප්‍රසාදය, ඊට හිමිකම් ලබන විනිසුරුවරයෙකුගේම අධිකරණ ක්‍රියාවලියේදී යහපත් චේතනාව මත සිදුවන වරදකට පමණක් සීමාවිය යුතුය. සාපරාධී අපහාසය පිළිබඳ චෝදනාලත් පුද්ගලයෙකුට සැලසෙන ආරක්ෂක මාර්ග කිසියම් ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස කළේයැ“යි චෝදනාලත් පුද්ගලයෙකු හමුවේද විවෘත විය යුතුය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය, එහි අර්ථ නිරූපණයෙන් දැක්වෙන පරිදි ““විධායක හා පරිපාලන ක්‍රියා”” යන්නට පමණක් සීමා නොකොට අධිකරණ ක්‍රියා ද ඊට ඇතුළත් කළ යුතුය.””

අධිකරණයේ සිදුවන දූෂණවල හරය ඒ තත්ත්වය ජයගැනීම සඳහා යොදාගත යුතු පිළියම් මොනවාද යන්න ගැන නීති විෂයෙහි දැවැන්තයෙකු ලෙස සැලකිය හැකි අභාවප්‍රාප්ත එච්.එල්. ද සිල්වා තුළ මනා අවබෝධයක් තිබුණු බව පෙනේ. අධිකරණය තුළ සැරිසරමින් තිබෙන කැලෑ පත්තරයට පාදක වී ඇත්තේ ද එච්.එල්. ද සිල්වා අවධාරණය කර තිබෙන සදාචාරය පිළිබඳ විෂයමය. මගේ නිරීක්ෂණය මෙම කැලෑ පත්තරය කිසියම් අධිකරණ නිලධාරීන් පිරිසක් ලියා පළ කරන ලද්දක් බවය. එය යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි වුවත්, මෙම කැලෑ පත්තරයට ඇතුළත් කරුණුවල බරපතළකම දෙස බලනවිට අගවිනිසුරුවරයා ද, අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන් ද, අධිකරණ ඇමතිවරයා ද පමණක් නොව, රටේ පාලකයා වන ජනාධිපතිවරයා ද එම කැලෑ පත්තරය කියවිය යුතුය. ඒ සියලුදෙනාම අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයේ තරම පිළිබඳව ඉන් යම් අදහසක් ඇති කරගත හැකිය.

එම කැලෑ පත්තරයේ එන කරුණුවල ඇත්ත නැත්ත සොයා බැලිය යුතුය. එහි එන කරුණු සත්‍ය නොවේ නම්, අවධානයට ලක්කොට තිබෙන එම විනිසුරුවරුන්ට ගෞරවය ලබාදිය යුතුය. එහි එන කරුණු සත්‍ය නම් එම විනිසුරුවරුන් අධිකරණ සේවයෙන් අනුකම්පාවිරහිතව පලවා හැරිය යුතුය.

ලෙනින් රත්නායක අධිකරණ සේවයට පුද්ගලයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය යහපත් තත්ත්වයක නොපවතී. අධිකරණ සේවයට වැද්ද නොගතයුතු තරම් නරක පුද්ගලයන් පවා අධිකරණ සේවයට එකතුවීමට ඉඩ දෙන දූෂිත ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පෙනේ. තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක වගඋත්තරකාර කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කළ මහේස්ත්‍රාත්වරයෙකු ගැන හෙළිදරව් කිරීමට මට සිදුවිය. ඔහු ගැන වැඩිදුර කරුණු සොයා බැලීමේදී ඔහු අධිකරණ සේවයට එකතුවන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවයේ යෙදී සිටියදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් මත සේවයෙන් පලවා හරින ලද පුද්ගලයකු බව සොයාගැනීමට හැකිවිය. මා ඒ පිළිබඳව කරුණු සහිතව සේවයෙන් පහකිරීමට අදාළ ලේඛන සමග පුවත්පතේ පළකිරීමෙන් පසුත් අධිකරණ සේවා කොමිසම එහි ඇත්ත නැත්ත ගැන සොයා බැලීමක් නොකළේය. අවසානයේ අධිකරණ සේවා කොමිසම මා මතු කළ චෝදනා සොයාබැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලද්දේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු විශාල කාලයකට පසුව එය විවාදයට හේතුවන කරුණක් වී නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් එකතු වී ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකින්ද පසුවය.

එම පරීක්ෂණ කමිටුවේ වර්තමාන අගවිනිසුරුවරයා ද සාමාජිකයෙක් විය. පරීක්ෂණ කමිටුව එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව මා ඉදිරිපත් කළ සියලු චෝදනාවලට එම මහේස්ත්‍රාත්වරයා වරදකරු කළේය. එහෙත් කමිටුව නිර්දේශ කළ ආකාරයට, අධිකරණ නිලධාරියකුට නොගැළපෙන අපකීර්තිමත් ඉතිහාසයක් හා අධම පැවැත්මක් ඇති මෙම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයෙන් වහා ඉවත් කළේ නැත. ඔහු අනිවාර්ය නිවාඩු යවන පදනමක් මත දීර්ඝ කලක් තිස්සේ නිවසේ සිට වැටුප් ලබාගත හැකි තත්ත්වයක් ඇතිකර දුන්නේය. අවසානයේ මහත් අකමැත්තෙන් ඔහු අධිකරණ සේවයෙන් පහකරන ලද්දේ කොමිසමේ එක් සාමාජිකයකු (පී. එදුස්සූරිය) මෙම දූෂිත මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව බලවත් ලෙස ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

උපාලි අබේරත්න මෙම කාලවකවානුවේදීම මම තවත් දිසා විනිසුරුවරයෙකුට එරෙහිව එනම් අභියාචනාධිකරණයේ සභාපති ලෙස ක්‍රියා කළ සරත් නන්ද සිල්වා වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවකු පවරන ලද දික්කසාද නඩුව නීතියට පටහැනිවත්, පීඩාකාරී ලෙස හා අගතිගාමී ලෙසත් විභාග කර තිබූ දිසා විනිසුරු උපාලි අබේරත්නට විරුද්ධව බරපතළ චෝදනාවලියක් ඉදිරිපත් කළෙමි. ඒ ගැන කරුණු පරීක්ෂා කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවිය. මෙම චෝදනා යටතේම මීට පෙර අධිකරණ සේවා කොමිසම මෙම විනිසුරුවරයා පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තිබූ අතර, ඔහු චෝදනාවලට වැරදිකරු කරමින් මෙම විනිසුරුවරයා අධිකරණ සේවයෙන් විශ්‍රාම ගන්වන්නට තීන්දු කර තිබුණි. එහෙත් පුදුමයකට මෙන් එම පරීක්ෂණය යටපත් කොට තමන්ට එරෙහිව පරවන ලද නඩුව තමාගේ වාසියට හේතුවන ලෙස විමසූ මෙම විනිසුරුවරයා ආරක්ෂා කරගැනීමට සරත් නන්ද සිල්වා මහතා සමත්ව තිබුණේය.

මා එල්ල කළ ප්‍රසිද්ධ චෝදනා නිසා අධිකරණ සේවා කොමිසම ඔහුට එරෙහිව පවත්වන ලද්දේ දෙවැනි පරීක්ෂණයයි. පසුකලක ශ්‍රේෂ්ඨාධිකරණයට තේරීපත්වූ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී. එදුස්සූරිය යන විනිසුරුවරු එම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රියා කළෝය. එම පරීක්ෂණ කමිටුව ද දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබුණු සියලු චෝදනාවලට ඔහු වරදකරු කොට ඔහු අධිකරණ සේවයෙන් විශ්‍රාම ගැන්වියයුතු බවට අධිකරණ සේවා කොමිසමට නිර්දේශ කළේය. ඒ අනුව අධිකරණ සේවා කොමිසම මෙම විනිසුරුවරයා අනිවාර්ය පදනම මත අධිකරණ සේවයෙන් විශ්‍රාම ගැන්වීමට තීන්දු කොට ඒ බව දැනුම්දීමක් ද කරනු ලැබීමෙන් පසු නැවත ඒ තීන්දු වෙනස් කොට අවුරුදු දෙකක කාලයක් සඳහා උසස්වීම් අත්හිටුවා ඔහුට දුෂ්කර ප්‍රදේශයකට දඬුවම් මාරුවක් ලබා දුන්නේය. සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු තමාට එරෙහිව රසායන ඉංජිනේරුවා පවරන ලද නඩුව තමාට පක්ෂපාතව විභාග කළ මෙම විනිසුරුවරයා ආරක්ෂා කරගැනීම සඳහා උසස්වීම් අත්හිටුවා තිබුණු කාලය ඉකුත් වන්නට පෙර ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන්නේය.

විසමාචාර හේතු මත අධිකරණ සේවයෙන් පහකළ යුතුව තිබුණු එම විනිසුරුවරයා අද අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකි. ඉදිරි අනාගතයේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ද පත්විය හැකිය. එය අධිකරණයේ ගෞරවයට හේතුවන තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? අධිකරණ නිලධාරීන්ට අදාළ එච්.එල්. ද සිල්වා කථාකර තිබෙන සදාචාරයට අදාළ යථා තත්ත්වය පෙන්නුම් කිරීමට ප්‍රයෝජනවත් තවත් එක් නිදර්ශනයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. මෙහකාර දැරියක් දූෂණය කළ මහාධිකරණ විනිසුරු සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදාගත් බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව එල්ල විය. ඒ සඳහා පැවති නඩු විභාගයෙන් තාක්ෂණික හේතු මත මෙම මහාධිකරණ විනිසුරුවරයා නිදහස් විය. මෙය නූගත් බාලවයස්කාර දැරිය ස්ත්‍රී දූෂණය යන වචනය නොදැන සිටියාය. විත්තියේ නීතිඥයා උපරිම ලෙස එම තත්ත්වය තමන්ගේ වාසියට යොදා ගත්තේය.

නීතිපතිවරයා මෙම නඩුව අභියාචනයකට ගොනුකළ යුතුව තිබුණත් එවැන්නක් සිදු නොවීය. අවසානයේ මෙම ස්ත්‍රී දූෂණ නඩුවෙන් නිදහස් වූ මහාධිකරණ විනිසුරුවරයා නැවත අධිකරණ සේවයට ගැනීමට අධිකරණ සේවා සංගමය තීරණය කළේය. අධිකරණ සේවා කොමිසම ගනු ලැබූ මෙම තීන්දුවෙන් කම්පනයට පත් මහාධිකරණ නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් (එම නියෝජිත පිරිසට අභාවප්‍රාප්ත සරත් අඹේපිටිය මහතාද ඇතුළත්ව සිටියේය) අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා හමුවන්නට ගොස් මහාධිකරණ විනිසුරුගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය සත්‍යයක් වන නිසා එවැනි අපකීර්තිමත් පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළත් කරගතහොත් එය තමන්ගේ ද ගෞරවය කෙරෙහි හානිකර ලෙස බලපෑ හැකි බව කියා සිටියේය. ““ඕක එච්චර ගණන් ගන්න එපා. කොළඹ ලොකු පවුල්වල ගෘහසේවිකාවන් දූෂණයට ලක්වීම සාමාන්‍ය දෙයක්”” යන්න අගවිනිසුරුවරයා ඊට දක්වා තිබෙන ක්ෂණික ප්‍රතිචාරය වී තිබේ.

අධිකරණ සේවයට බඳවා ගන්නා ලද මෙම මහාධිකරණ විනිසුරුවරයා නැවත සේවයට වාර්තා කිරීමට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීම නිසා ඔහුට නැවත අධිකරණ සේවයට එකතුවීමේ හැකියාව අහිමිවූයේය. මේ සෑම කරුණකින්ම පෙනෙන්නේ අධිකරණ සේවයේ නිරත සමහර අධිකරණ නිලධාරීන්ගේ සදාචාරයේ දරුණු පිරිහීමක් පවත්නා බව නොවේද? ඒ තත්ත්වය සොයා බලන හා නිවැරදි කරන විධිමත් ක්‍රමයක් රටේ නැති බව නොවේද? හිටපු අගවිනිසුරුවරයා දියවන්නාඔය අසල මෝටර් රථයක් තුළ නීතිඥවරියක සමග අඩ නිරුවතින් සිටියදී පොලීසියට හසුවිය. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ සදාචාර විරෝධී පැවැත්ම ගැන නීතිඥ සංගමයේ නිලධාරී පිරිස් (ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය හා අනෝමා ගුණතිලක) හිටපු අගවිනිසුරුවරයා අගවිනිසුරු ධුරයේ සිටියදී පැමිණිලි කළේය.

එහෙත් එම පැමිණිල්ල ගැන මොනම සොයා බැලීමක්වත් සිදු නොවීය. තමන් ඉදිරියේ ඇසෙන නඩු හබවලට පැටලුණු කාන්තාවක් සමග තානායම් ගානේ යන විනිසුරුවරුන් අධිකරණයේ ගෞරවයට හේතුවන්නේ නැත. අධිකරණයේ සියලු විනිසුරුවරුන් දූෂිතවේයැ”යි මම නොකියමි. නීතියට අදාළව ක්‍රියාකරන යහපත් පැවැත්මක් ඇති ගෞරවයට හේතුවන විනිසුරුවරුන් පිරිසක් අධිකරණයේ සිටිති. ඒ සමග අධිකරණයක පැත්ත පළාතකටවත් වැද්ද නොගතයුතු තරම් නරක පැවැත්මක් ඇති විනිසුරුවරු පිරිසක් ද අධිකරණයේ සිටිති. ඒ නරක සුළු පිරිස සමස්ත අධිකරණයේ ගෞරවය කෙළෙසීමට හේතුවී තිබේ.

කුමක් කළ හැකිද?

පහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ හා නිලධාරීන්ගේ විනය කටයුතු භාරව තිබෙන්නේ අධිකරණ සේවා කොමිසමටය. එහෙත් පසුගිය කාලයේ අධිකරණ සේවා කොමිසම ක්‍රියාකර ඇත්තේ පහළ අධිකරණ නිලධාරීන්ගේ විනය ආරක්ෂා කරන ආයතනයක් ලෙස නොව, ඔවුන්ගේ විනය විනාශ කරන ආයතනයක් ලෙසය. කොමිසමේ සභාපතිවරයා සිය සාමාජිකයන්ට නොසරුප් බසින් බැණ වදින අවස්ථා කොතෙකුත් අසන්නට ලැබුණි. කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු (ශිරානි බණ්ඩාරනායක හා ටී.බී. වීරසූරිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා) තමන්ගේ හිතට එකඟව වැඩකළ හැකි තත්ත්වයක් අධිකරණ සේවා කොමිසම තුළ නැති බව ප්‍රකාශ කරමින් කොමිසමෙන් ඉල්ලා අස්වුවද හිටපු ජනාධිපතිනිය හෝ ව්‍යවස්ථාදායකය ඒ ගැන කරුණු සොයා බලන තැනකට ගියේ නැත. අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විනය භාරව තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. එහෙත් ඉහළ අධිකරණ දෙකේ කටයුතු පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් පාර්ලිමේන්තුවට නැත.

ප්‍රංශයේ නම් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක්කිරීමේ බලය ව්‍යවස්ථා සභාව සතුය. ප්‍රංශ ව්‍යවස්ථා සභාවට වැරදි කරන ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් පරීක්ෂණයකින් පසු වරදකරු වන අවස්ථාවලදී සේවයෙන් ඉවත් කිරීමේ බලයක් නැතත්, එවැනි විනය ප්‍රශ්නවලදී සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ බලය සතුය. ඉහළ අධිකරණවල සිදුවන වැරදි ගැන අසන්නට ලැබෙන අවස්ථාවලදී පවා අපේ රටේ පාර්ලිමේන්තුව නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස, තමන්ට පැවරී තිබෙන වගකීම ඉටු නොකළේය. අඩුම තරමින් පාර්ලිමේන්තුවට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලද අවස්ථාවේදීවත් අධිකරණය විසින් ක්‍රියාවට නගන ලද නීතියට පටහැනි එම හිතුවක්කාරී ක්‍රියාව ගැන සොයා බලන තැනකට පාර්ලිමේන්තුව නොගියේය. අගවිනිසුරුට චෝදනා එල්ල වූ දියවන්නාඔය අපචාරයේදී පවා එක්සත් ජාතික පක්ෂය ඒ ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළද එම යෝජනාව මියයන්නට ඉඩහැර බලා සිටියා මිස ඊට වැඩි කිසිවක් නොකළේය.

රටේ කොතැන වුවත් බරපතළ වරදක් සිදුවන්නේ නම් ඒ වැරදි පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්විය යුතුය. වැරදි නිවැරදි කරගත හැකිවනු ඇත්තේ එවිටය. එහෙත් පාර්ලිමේන්තුව ද තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් හරයාකාරව ඉටුකිරීමට අසමත් වී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. පාර්ලිමේන්තුව දැන්වත් ශ්‍රී ලංකාවේ අධිකරණය ඇද වැටී තිබෙන මෙම අවාසනාවන්ත තත්ත්වය ගැන කරුණු සොයා බලන තැනකට යායුතුය. මාර්ග ආයතනය ඒ ගැන සිදුකර තිබෙන අධ්‍යයන වාර්තාව හා අන්තර්ජාතික නීතිඥ සංගමය වෙනත් ජාත්‍යන්තර ආයතන ඒ ගැන පළකර තිබෙන විශේෂ වාර්තා සාකච්ඡාවකට ලක් කරන තැනකට යායුතුය. අධිකරණය යහපත් තැනකට ගැනීමට හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අගවිනිසුරුවරයාට, අධිකරණ සේවා කොමිසමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අධිකරණ ඇමතිවරයාට පාර්ලිමේන්තුවද සහාය විය යුතුය. මෙම විෂයේදී නීතිඥ සංගමය තමන් වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් ඉටුකිරීමට අසමත්ව ඇති බව කිවයුතුය.

අධිකරණයේ සිදුවන නොමනා ක්‍රියා ගැන නීතිඥයන්ට හොඳ වැටහීමක් තිබුණේය. එහෙත් සමහරෙක් බිය නිසාද, තවත් සමහරෙක් එම තත්ත්වයෙන් අයුතු වාසි ලබාගැනීමට දක්වන උනන්දුව නිසාද බරපතළ වැරදි සිදුවන්නට ඉඩහැර නිශ්ශබ්දව බලා සිටියෝය. මේ රටේ අධිකරණය පමණක් දූෂිතවේයැ”යි මම නොකියමි. හැම තැනක්ම දූෂිතය. දූෂිත නොවන ආයතන ක්‍රමයක් ඇත්තේම නැති තරම්ය. ජනමාධ්‍ය විෂය ද දූෂිතය. ඒ හැම තැනකටම වඩා රටේ අධිකරණය දූෂිත නම් එය සමාජය කෙරෙහි ඇති කරන බලපෑම වඩා විනාශකාරීය. දූෂණයෙන් පතුළටම එරී තිබෙන අන් හැම ආයතනයක්ම එම තත්ත්වයෙන් ගොඩගැනීමට හැකියාව ලැබෙනු ඇත්තේ අඩුම වශයෙන් රටේ පවතින අධිකරණ ක්‍රමයවත් මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තැනකට ගැනීමට සමත් වේ නම් පමණය.