රට යන්නේ කොයිබටද? සමාන අයිතිවාසිකම් පිළිගැනීම

July 12, 2009
Publication:
For the first time in thirty years the argument is being conducted by mouths rather than by gun barrels, and Ivan surveys the range of it: implement the 13th Amendment, go beyond it, or solve the question without devolving anything at all. He grants the case against provincial councils — an Indian import, unloved and inefficient — and argues that if a new constitution is made it must be treated as a social contract rather than a party's instrument.

වෙනදාද රටේ වාද විවාද තිබුණි. එහෙත් ප්‍රධාන වාදය කෙරුණේ තුවක්කු කටවල්වලිනි. දැන් තුවක්කු කටවල්වලින් කෙරෙන වාදයක් නැත. ඒ වෙනුවට මිනිස් කටවල්වලින් කෙරෙන වාදයක් පවතී. වාදයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ දෙමළ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්ද යන ප්‍රශ්නය ගැනය. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළයුතු බව පිරිසක් කියා සිටිති. තවත් පිරිසක් කියන්නේ 13 වැනි සංශෝධනය ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුමක් නොවන බවය. 13 ඉක්මවා ගිය විසඳුමක් ලබාදිය යුතු බව කියන පිරිසක් ද සිටිති. එහෙත් තවත් පිරිසක් කියන්නේ බලය බෙදීමකින් තොරව ප්‍රශ්නය විසඳිය යුතු බවය. මෙම වාදය තුළ බෙදීම් ඇතත්, තිබෙන බෙදීම් මෙම ප්‍රශ්නය අරබයා අතීතයේ තිබුණු බෙදීම් තරම් රළු, පරුෂ හෝ පසමිතුරු නැත. 60 දශකය වනවිටත් දෙමළ මිනිසුන් කෙරෙහි වෛරයෙන් බලන පිරිසක් සිංහලයන් අතර සිටියෝය. සිංහලයන් කෙරෙහි වෛරයෙන් බලන පිරිසක් දෙමළ මිනිසුන් අතර ද සිටියෝය.

කේ.එම්.පී. රාජරත්න කීවේ අන්තිම දෙමළාගේ හමින් මසන ලද සෙරෙප්පු දෙකක් පළඳින තෙක් තමන්ට නින්ද නොයන බවය. එහෙත් අද වන විට සිංහල සමාජය නියෝජනය කරන සියලු මතවාදවලට අයත් පුද්ගලයන් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් පිරිසක් ලෙස සලකන්නට කැමතිය. දිය යුතු දේශපාලන විසඳුම ගැන වාද ඇතත්, සමාන අයිතිවාසිකම් ප්‍රතිපත්තියට චම්පික රණවක, විමල් වීරවංශ හෝ සෝමවංශ අමරසිංහ විරුද්ධ නැත. ජවිපෙ කියන්නේ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් මෙම ගැටලුව ජයගත යුතු බවය. සමාන අයිතිවාසිකම් ලබාදෙන පිළිවෙතකට හෙළ උරුමයේ චම්පික රණවක සේ ම ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ද විරුද්ධ නැත. භාෂා අයිතිවාසිකම් ලබාදෙනවාට මේ සියලුදෙනා පක්ෂය. දෙමළ ජනතාව රාජ්‍ය සේවයට ප්‍රමාණවත් තරමින් අන්තර්ග්‍රහණය කරගන්නා ප්‍රතිපත්තියකට ද මේ සියලු දෙනා පක්ෂය.

අන්ත සිංහල ජාතිවාදීන් ලෙස පෙනෙන අය දක්වා වන සියලුදෙනා ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල ජනයාට සමාන අයිතිවාසිකම් ඇති ජන කොටසක් ලෙස පිළිගන්නට සූදානම්ය. ඇත්තටම ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය නමැති ගැටලුවේ හරය තිබුණේද එතැනය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සිංහලයන් විසින් තමන්ට සමාන අයිතිවාසිකම් ඇති ජන කොටසක් ලෙස පිළිගන්නේ නම් රටක් වශයෙන් අප ඉන්නේ පසුගාමී තැනක නොව ඉදිරිගාමී තැනකය. දෙමළ ප්‍රශ්නයට දෙන දේශපාලන විසඳුම අරබයා අප අතර මොනතරම් වාද විවාද තිබුණද අවසාන විග්‍රහයේදී සියලුදෙනා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියකට අවහිර නොකරන්නේ නම් ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් වැදගත්ම කොන්දේසියක් සම්පූර්ණ කරගැනීමට අප සමත්ව තිබේයැ”යි කිවහැකිය. සිංහලකමට ආදරය කිරීම හෝ ගරු කිරීම සේ ම දෙමළකමට ආදරය කිරීම හෝ ගරු කිරීම වරදක් කොට සැලකිය නොහැකිය.

ගැටුම් ඇතිවන්නේ තමා අයත් ජාතිය හෝ ජනවර්ගය උසස් කොට සලකන අතර, තමා සමග ජීවත් වන අනෙකුත් ජාතීන් හෝ ජනවර්ග පහත් කොට සලකන ප්‍රතිපත්තියක් ඇති විටය. ශ්‍රී ලංකාව රටක් වශයෙන් සියලු වාද විවාද මැද එක්සත් ජාතියක් ගොඩනගා ගැනීමෙහිලා අවශ්‍ය වන ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙත ළඟාවීමට සමත්ව තිබෙන බව ඉන් පෙනීයයි.

බලය බෙදීමේ විවාදය

දෙමළ ජනතාව සඳහා බලය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම අවශ්‍ය වූයේ දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් ලබානොදෙන තත්ත්වයක් ඉදිරියේ තමන්ගේ කටයුතු කිසියම් විශාල ප්‍රමාණයකට පාලනය කරගැනීමේ අයිතිය තමන්ට ලැබිය යුතුයි කියන අදහස බෙදුම්වාදී ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි සමහර දෙමළ දේශපාලකයන්ට සීමා නොවී කිසියම් කලකදී දෙමළ ජනතාව අතරද බලවත් ලෙස මතුවීම නිසාය. රටේ ජීවත්වන සියලු ජනයාට සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියකට මාරුවීමෙන් පසුත් ජනවර්ග අනුව බලය බෙදාහැරෙන වැඩපිළිවෙලක් තවදුරටත් දෙමළ ජනතාවට අවශ්‍ය ද නැද්ද යන ප්‍රශ්නය විවාදයට තුඩු දෙන්නේය. සමාන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිපත්තිය ආණ්ඩුව දැනටමත් ශක්තිමත් ලෙස භාවිතයට නගමින් තිබෙන ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත්තේය. රාජ්‍ය භාෂා පිළිබඳ ද්විභාෂික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවයේ උතුරු නැගෙනහිර දෙපළාත සඳහා තිබෙන සියලු රජයේ පුරප්පාඩු දෙමළ භාෂාවෙන් වැඩ කළහැකි අයගෙන් පිරවීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර, රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගන්නන් සඳහා ද්විභාෂික දැනුම අත්‍යවශ්‍ය සුදුසුකමක් බවට ද පත්කර තිබේ.

ත්‍රිවිධ හමුදාව සඳහාද දෙමළ ජනතාව අන්තර්ග්‍රහණය කරගන්නා පිළිවෙතක් ක්‍රියාත්මක කර තිබෙන අතර, දැනටත් කරුණා අම්මාන්ගේ අතුරු හමුදාවට අයත් දෙමළ භටයන් 500කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ග්‍රහණය කරගෙන තිබෙන අතර, තවත් 6000ක පිරිසක් අන්තර්ග්‍රහණය කරගැනීමට සැලසුම් කර තිබෙන බවද කියනු ලැබේ. සම අයිතිවාසිකම් ප්‍රතිපත්තියේදී මීට පෙර බලයට පැමිණි අන් කවර ආණ්ඩුවක්වත් නොපෙන්වන ලද ප්‍රගතියක් එම විෂයේදී වැඩි කෑකෝ ගැසීමකින් තොරව පෙන්නුම් කිරීමට වත්මන් ආණ්ඩුව සමත්ව තිබෙන බව ද කිවයුතුය. සමාන අයිතිවාසිකම් බෙදාදෙන දැඩි ප්‍රතිපත්තියක් ඉදිරියේ බලය ලබාදෙන ප්‍රතිපත්තියක් වෙනුවෙන් දෙමළ ජනතාව දක්වන ලද උනන්දුව හීනවීමට හේතුවේද නැතිනම් ඒ සඳහා වන උනන්දුව තවදුරටත් එලෙස පවතීද යන්න නොපැහැදිලිය. පෙඩරල් ක්‍රමයක් සඳහා යන්නේ නැතත්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත්තේ සම අයිතිවාසිකම් ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තිබියදීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සේම විපක්ෂව ද බලවත් ලෙස තර්ක කළ හැකිය. ජනවර්ගවලට බර තබන බලය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් රටට අවශ්‍යවේ නම් අලුත් වැඩපිළිවෙලකට යනවාට වඩා තිබෙන පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පහසුය. නව ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍යය. එවැනි අනුමැතියක් සඳහා එකඟතාවක් ඇතිකර ගැනීම දුෂ්කර වන නිසා අලුත් ක්‍රමයක් ගැන සිහින දකිනවාට වඩා පළමුව තිබෙන ක්‍රමය ක්‍රියාත්මක කිරීම පහසුය. පළාත් සභා ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ රටේ ඒකීය රාමුව ආරක්ෂා වන ආකාරයට වන නිසා, එය ඊට එහා ගිය බලය බෙදාහැරීමේ ක්‍රමයකට වඩා ආරක්ෂාකාරීය. පළාත් සභා ක්‍රමය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ එල්ටීටීඊය පමණක් වන නිසා එය දෙමළ දේශපාලන පක්ෂවල පොදු අනුමැතිය ලද ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය.

පළාත් සභා ක්‍රමයට එරෙහිව නැගිය හැකි තර්කද බොහෝය. එය අපේ කැමැත්තෙන් ඇතිකර ගන්නා ලද ක්‍රමයකට වඩා ඉන්දියානු බලපෑම මත ඇතිකර ගන්නා ලද ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව වැනි විශාල රටක් සඳහා යොදාගත් ක්‍රමයක් ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනක් සඳහා ගැළපෙන්නේ නැත. මොන මොන හේතු නිසා හෝ පළාත් සභා ක්‍රමය මහජන විශ්වාසයට හා ගෞරවයට හේතුවී නැත. ඵලදායී කාර්යභාරයක් ඉටුකිරීමට ද සමත් වී නැත. එය රටේ පරිපාලනය අවුල් කිරීමට මිස කාර්යක්ෂම කිරීමට හේතුවී නැත. නිලධරතන්ත්‍රය විමධ්‍යගත කොට ඇත්තේ පළාත් පදනමකින් නොව, දිස්ත්‍රික්ක පදනමකින් වන නිසා බලය බෙදාහැරීමේ ඒකකය පළාත වෙනුවට දිස්ත්‍රික්කයට වියයුතුයැ”යි කෙනෙකුට තර්ක කළ හැකිය. පළාත් සභා ක්‍රමයට මොන මොන සීමාසහිතකම් තිබුණද දෙමළ ජනයාට දෙන දේශපාලන විසඳුම පිළිබඳව ජනාධිපතිවරයා දෙමළ ජනතාවට සේම ඉන්දියාවට ද පොරොන්දුවක් දී තිබෙන බවද අපට අමතක කළ නොහැකිය.

පෙඩරල් ක්‍රමයකට යන්නට තමන් කැමති නැතත්, ආරම්භක පියවරක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සේ ම ඉන්දියාවට ද සහතික වී තිබේ. ඒ තත්ත්වය යටතේ වඩා හොඳ ක්‍රමයක් ඇතිකර ගැනීම ඉතා ඉක්මනින් කළ නොහැකි දෙයක් වේ නම් වඩා හොඳ නව ක්‍රමයක් ඇති කරන තෙක් තිබෙන පැරණි ක්‍රමය ඊට ඇතුළත් බලතල සහිතව ක්‍රියාත්මක කරන තැනකට යන්නට ආණ්ඩුවට සේ ම ජනාධිපතිවරයාට ද සිදුවන්නේය. වැරදි ඇත්තේ 13 වැනි සංශෝධනයේ පමණක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද යහපත් ආණ්ඩුකරණයකට නොගැළපෙන නපුරු ලක්ෂණ පවතී. එහෙත් නපුරු ලක්ෂණ තිබුණු පමණකින් වඩා හොඳ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තෙක් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුහුදට දැමිය නොහැකිය. එම නපුරු ලක්ෂණ තිබියදීත් එය රටේ මූලික නීතිය ලෙස සලකා ක්‍රියාකරන්නට අපට සිදුවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සේ ම 13 වන සංශෝධනයේ ද නපුරු ලක්ෂණ තිබියදීත් නව ක්‍රමවේදයක් ඇතිකර ගන්නා තෙක් පැරණි ක්‍රමය සමග ජීවත්වන්නට අපට සිදුවන්නේය.

රට තිබෙන්නේ දේශපාලන පරිවර්තනයක මුව විටය

තනි තනි පුද්ගලයන්ගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ජයගැනීම සේම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද පොදු පෙරමුණ නැවත ජයගැනීම වෙනස් කිරීම පහසු නැති දේශපාලන යථාර්ථයක් බවට පත්වී තිබේ. විරුද්ධ පක්ෂවලට පවා සිය අනාගත න්‍යාය පත්‍ර සකස් කරන්නට සිදුවනු ඇත්තේ එම යථාර්ථය සැලකිල්ලට ගනිමිනි. එම දේශපාලන යථාර්ථය දේශපාලන ක්‍රමයේ පරිවර්තනයක් සඳහා වාසිදායක වටාපිටාවක් ඇති කරයි. ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති පරිදි වෙනස්කම් ඇති කරන්නට අපේක්ෂා කරන්නේද ඒ සමගය. එහිදී ජනාධිපතිවරයා යන්නට අපේක්ෂා කරන දුර කොපමණ ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් රටට අවශ්‍ය වී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ පූර්ණ පරිවර්තනයක් නම් එම පූර්ණ පරිවර්තනය දිනාගැනීමට දැනටමත් මහජනයා උපරිම උත්සාහයක යෙදිය යුතුය. මේ අවස්ථාවේ රට තිබෙන්නේ වීථි සටන් මගින් වෙනස්කම් දිනාගත යුතු තැනක නොව, පාලකයා වෙත එල්ල කරන ක්‍රියාකාරී මහජන බලපෑම් මගින් වෙනස්කම් දිනාගත යුතු අවස්ථාවකය.

රටේද, මහජනයාගේ ද යහපතට හේතුවන ලෙස පවතින දේශපාලන ක්‍රමයේ පූර්ණ වෙනසක් ඇති කරගැනීමට එය අවස්ථාවක් කරගැනීමට රටට හැකිවේද? පවතින දේශපාලන ක්‍රමය පුරවැසියාගේ යහපත ඉලක්ක කොටගෙන ඇති කරන ලද දේශපාලන ක්‍රමයක් නොව, පාලක පක්ෂයේ යහපත ඉලක්ක කොටගෙන ඇති කරන ලද දේශපාලන ක්‍රමයකි. මේ ක්‍රමය තුළ බලයට පත්වන ඕනෑම පාලක පක්ෂයක් බලයට පත්වන්නේ විශාල ණය බැඳුම්කරයක් අත තබාගෙනය. බලයට පත්වීම සඳහා ලබාගත් ණය හැම පාලක පක්ෂයක්ම ආපසු ගෙවන්නේ මහජන ධනයෙනි. මෙම තත්ත්වය මෙම දේශපාලන ක්‍රමය මුළුමනින් දූෂිත කිරීමෙන් නොනැවතී දේශපාලන ක්‍රමය රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වියදමක් දරා පවත්වාගෙන යායුතු සුදු අලියකු බවට වර්ධනය වී තිබේ. සර්වපාක්ෂික සමුළුව මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා සිහින දකින තැනක සිටින්නේය. එය යහපත් දෙයක් වුවත්, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සහතික කිරීම සඳහා පූර්ණ බලතල ඇති දේශපාලන බලපෑම්වලින් නිදහස්ව ක්‍රියාකරන ඉන්දියාවේ ඇති මැතිවරණ කොමිසමට සමාන නියාමන කොමිසමක් වැනි ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීම ද අවශ්‍යය.

රාජ්‍ය සේවය ද දේශපාලනීකරණයෙන් මුදාගත යුතුය. රැකීරක්ෂාවලට පුද්ගලයන් තෝරාගැනීමේදී දේශපාලන හිතවත්කම්වලට මුල්තැන දෙන ක්‍රමයක් වෙනුවට සුදුසුකම්වලට මුල්තැන දෙන ක්‍රමයක් ඇති කරගත යුතුය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන හැම අංශයකම ක්‍රියාකාරීත්වය නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් තිබිය යුතුය. දූෂණය මුලිනුපුටා දැමිය හැකිවනු ඇත්තේ හොංකොං රටේ ඇති කරගෙන තිබෙන ආකාරයේ අනිසි දේශපාලන බලපෑම්වලට යට නොවී ක්‍රියා කරන, දූෂණ විෂයේදී හාල්මැස්සන් පසුපස වෙනුවට තෝරුන් හා මෝරුන් පසුපස හඹායන පූර්ණ බලතල ඇති දූෂණ විමර්ශන කොමිසමක් ඇති කරගැනීමෙනි. කොටින්ම පුරවැසියන් පීඩාවට පත් කරන දේශපාලන ක්‍රමයක් වෙනුවට වර්ග, ආගම් හා කුලභේදයෙන් පමණක් නොව, පක්ෂ භේදයෙන්ද තොරව සියලු පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා, තීරණ ගැනීමේ ක්‍රියාවලියට පුරවැසියන්ට බලපෑ හැකි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇති කරගත යුතුය.

සර්ව පාක්ෂික සමුළුව සුළු පිරිසකට සීමාවූ මහජනතාවට නොඇසෙන ලෙස හොර රහසේ කෙරෙන සාකච්ඡාවක තත්ත්වයක තිබෙන්නට ඉඩ නොදිය යුතුය. පසුගිය ජයග්‍රාහී යුද්ධය හැර නිදහසින් පසු මෙතෙක් කරන ලද හැම වැදගත් දේකම අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් මූලික සාධකයක් වනුයේ හොඳින් කරුණු සලකා බැලීමකින් තොරව කඩිමුඩියේ හා රහසේ ගනු ලැබූ තීරණයන් වීම හා අවුරුදු 100ක් ඉදිරිය දකිනවා වෙනුවට අවුරුදු 05ක් 10ක් ඉදිරිය බලා තීරණ ගැනීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ හසරක් නොදකින වල්මත්වූ රටක් ලෙස ක්‍රියා කර තිබෙන බව අපි අමතක නොකළ යුතුය. නිදහසින් පසු ගෙවී ගිය දශක හය තුළ ඇති කරගෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංඛ්‍යාව 03කි. අවසානයේ ඇති කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ද අප තුළ ඇත්තේ තෘප්තියක් නොව මහත් අතෘප්තියකි. එහෙත් ඇමරිකානු ව්‍යවස්ථාව අවුරුදු 200කටත් වඩා පරණ වුවත්, එම ව්‍යවස්ථාව කෙරෙහි එරට මහජනතාව අතර ඇත්තේ තෘප්තියක් මිස අතෘප්තියක් නොවේ.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරණකම දශක 06කි. තවමත් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහජනයාට එපාවී නැත. ඉන්දියාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකට සාර්ථක ලෙස මුහුණදීමට අවශ්‍ය කරන ශක්තිය හා මටසිලිටුභාවය එයට ඇති බව එරට මහජනයාගේ විශ්වාසය වී තිබේ. නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරගන්නේ නම් එය සමාජ ගිවිසුමක් ලෙස සලකා දීර්ඝකාලීන පැවැත්මක් ඇති වර්ග, ආගම්, කුල හා පක්ෂ භේදයන්ගෙන් තොරව මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අප අරමුණු කරගත යුතුය.