එල්ටීටීඊ විරෝධී යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් රටට ලැබිය යුතුව තිබෙන වාසිදායක ප්‍රතිඵල උපරිම ලෙස අත්පත් කරගන්නා තැනකට රට යා යුතුය. යුද්ධය නිමාවීමෙන් පසු ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියාවට නගන දැනුවත් වැඩපිළිවෙලක් නැතිව වුවත්, යුද්ධයක් නැති වටාපිටාවක් තුළ රටේ ආර්ථිකය වර්ධනය වනු ඇතත්, උපරිම ප්‍රතිඵල නෙළාගත හැකිවනු ඇත්තේ ඒ සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරියට ගැනීමෙන් හා එම ක්‍රියාවලිය මනා ලෙස කළමනාකරණයක් කරන තැනකට යෑමෙනි. රටේ පවතින දැඩි ආරක්ෂක විධි විධාන වහාම ඉවත් කිරීමේ හැකියාවක් නැතත්, ක්‍රමානුකූලව ලිහිල් කරන තැනකට යායුතුය. සියලු අතුරු හමුදා නිරායුධ කිරීම වැදගත් සේම සමාජයේ ආයුධ අතැ”තිව සිටින පිරිස් ද නිරායුධ කළ යුතුය. ජේවීපී කැරලි දෙක හා උතුරේ පැවති යුද්ධය රාජ්‍යයේ ස්වභාවය සේ ම සමාජයේ ස්වභාවය ද විකෘති කිරීමට හේතුවිය.
සාමාන්‍ය සමාජයේ පවා නවීන ආයුධ පරිහරණය ඉහළ මට්ටමක පවතී. රුපියල් පනස්දාහක් වැනි මිලකට ටී 56 ගිනි අවියක් මිලදී ගත හැකිය. රටේ අපරාධ වර්ධනය කෙරෙහි මෙම තත්ත්වය බලපා තිබේ. වහා ඉක්මනින් වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අංශයක් වන්නේ ධීවර කර්මාන්තයයි. ධීවරයන්ට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන අතර, එම කර්මාන්තයේ වර්ධනයට උපරිම ලෙස අනුබල දෙන ප්‍රතිපත්තියකට යා යුතුය. ඉක්මන් වර්ධනයක් අපේක්ෂා කළ හැකි ඊළඟ අංශය වනුයේ සංචාරක කර්මාන්තයයි. එහිදී කලාපයේ අසල්වැසි රටවලට බර තබන ප්‍රතිපත්තියක් නරක නැතත්, තාමත් දේශ සංචාරය ජීවන පුරුද්දක් බවට පත්කරගෙන ඇත්තේ යුරෝපා රටවල්ය. ඒ නිසා එහිදී අපට වැඩි බලාපොරොත්තු තබන්නට සිදුවනු ඇත්තේ යුරෝපා රටවල් හා ජපානය කෙරෙහිය. මෙම කලාපයේ අපට බලාපොරොත්තු තැබිය හැක්කේ ඉන්දියාවේ ඉහළ මධ්‍යම පන්තිය කෙරෙහි පමණය. ඒ සඳහා ද ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත හැකි විශේෂ වැඩසටහනක් අවශ්‍ය වන්නේය.
අපට අවධානය යොමු කළ හැකි ඊළඟ වැදගත්ම අංගය වන්නේ විදේශ ආයෝජනයන්ය. යුද්ධය අවසන් වී තිබීම නිසා විදේශීය ආයෝජකයන් සඳහා වාසිදායක වටාපිටාවක් රටේ ගොඩනැගී ඇතත්, විදේශීය ආයෝජකයන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු ඉක්මනින් විසඳමින් ඔවුන්ගේ ආයෝජනයන් තහවුරු කෙරෙන කාර්යක්ෂම යාන්ත්‍රයක් රටේ නොපවතී. ඉදිරිපත් කෙරෙන ඉල්ලුම් පත්‍රයකට අනුමැතිය ලබාගැනීමට ගතවෙන දීර්ඝ කාලය විවිධ අදියරයන් පසුකිරීමේදී ගෙවන්නට සිදුවන අල්ලස්වල ප්‍රමාණය විදේශීය ආයෝජකයන් අධෛර්යමත් කිරීමට හේතුවී තිබේ. පෞද්ගලික ඉඩම් මිලදී ගැනීමේදී අය කෙරෙන 100% බද්ද ද විදේශීය ආයෝජකයන් අධෛර්යමත් කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. ඓතිහාසික හෝ වෙනත් විශේෂ වැදගත්කමක් ඇති ස්ථාන අවට ඇති ඉඩම් විදේශිකයන් අතට පත්වීම අධෛර්යමත් කරන නීති තිබීම අවශ්‍ය වුවත්, එසේ නොවන ස්ථාන සඳහා එවැනි නීතියක් ක්‍රියාත්මක කළවිට එය විදේශීය ආයෝජකයන් අධෛර්යය කිරීමට හේතුවේ.
විදේශිකයන් ඉඩම් මිලදී ගැනීමේදී අය කෙරෙන 100% බද්ද ලිහිල් කරන ප්‍රතිපත්තියකට යාහැකි නම් එය විදේශ ආයෝජකයන් ධෛර්යමත් කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත. ලෝකය අද මුහුණ දී තිබෙන ආහාර අර්බුදය අපේ වාසියට හේතුවන ලෙස යොදාගත හැකිය. කර්මාන්තවලට ලැබෙන වැදගත්කම අඩුවී කෘෂිකර්මාන්තයට ලැබෙන වැදගත්කම ඉහළ ගොස් තිබෙන මේ අවස්ථාවේදී ඵලදායී ලෙස කෘෂිකර්මයට බර තබන ප්‍රතිපත්තියක් මගින් ගම් නගා සිටුවිය හැකි අතර, ග්‍රාමීය ප්‍රදේශවල පවත්නා දුප්පත්කම ද තුරන් කළ හැකිය. මේ සියලු ජයග්‍රහණ අපට අත්පත් කරගත හැකිවනු ඇත්තේ දේශපාලනය තුළ ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී පොදු එකඟතාවකින් ක්‍රියාකළ හැකි වටාපිටාවක් ඇතිකර ගැනීමට සමත් වේ නම් පමණි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකට යායුතුය.