මැතිවරණ කොමසාරිස්වරයා හා වත්කම් බැරකම් නීතිය

June 21, 2009
Publication:
The law requires every candidate to declare the assets and liabilities of themselves, their spouse and their children under eighteen, and the elections commissioner has the power to make nominations conditional on it. Ivan asks why he does not use it, and proposes that the declarations be published on the department's website so the public can read them.

රටේ පවතින වත්කම් බැරකම් නීතිය අනුව පළාත් පාලන මැතිවරණවලට, පළාත් සභා මැතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට හා ජනාධිපතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දිය යුතුය. එම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීම වුවත්, මොන මොන හේතු නිසා හෝ මැතිවරණවලදී එම නීති අකුරටම ක්‍රියාත්මකවන්නේ නැත. මෙතෙක් පැවති භාවිතය අනුව පෙනීයන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ද එම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ බලවත් වුවමනාවක් නැති බවය. මෙම නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් ඔවුන්ගේ ද, බිරිඳ හා ස්වාමිපුරුෂයාගේද, වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ ද වත්කම් හා බැරකම් අවංක ලෙස ප්‍රකාශ කළ යුතුය. වැරදි හා විකෘති තොරතුරු ඇතුළත් කිරීම, තොරතුරු සැඟවීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම මේ නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයා සතුය.

ඌව පළාත් සභාවට හා උතුරේ පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු බව ප්‍රකාශ කර ඇතත්, මෙවරද ඒ සඳහා විධි විධාන යොදා ඇත්තේ එම නීතිය මගහැර යන්නට උනන්දුවක් ඇති අයට කනෙන් රිංගා යාහැකි ආකාරයටය. අසල්වැසි ඉන්දියාවේ සියලු අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්යය. අපිදු නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී හෝ ඒ අවස්ථාවේදී නාමයෝජනා භාරදිය නොහැකි වූ අයට අදාළ සභාවේ අසුන් ගැනීමට පෙර හා පරාජිත අපේක්ෂකයන් මාස තුනක කාලයක් ඇතුළතදී භාරදිය යුතු බව කියන වැල්වටාරම් ක්‍රමයක් ක්‍රියාත්මක වේ. නීතියේ අඩුපාඩුකම් තිබිය හැකිය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා නීතියේ අඩුපාඩුකම් ඇතිවිට ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළයුතු නැත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා නීතිරීති ඇති කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය. තරග කරන සියලු අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව කියන නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පැවරිය හැකිය. ඒ සඳහා අවශ්‍ය බලය ඔහු සතුය. එවිට වත්කම් බැරකම් ප්‍රකාශ නැතිව ඉදිරිපත් කෙරෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කළ හැකිය. දැන් ක්‍රියාත්මක කරන වැල්වටාරම් ක්‍රමය මහජනයා සතු ඉතා වැදගත් අයිතියක් මහජනයාට අහිමි කරන බව මැතිවරණ කොමසාරිස්වරයා තේරුම් ගත යුතුය. තමන් ඡන්දය දිය යුත්තේ කාටද යන ප්‍රශ්නයේදී තරග කරන අපේක්ෂකයන්ගේ පසුබිම් තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයා සතුය. වත්කම් බැරකම් පසුබිම් තොරතුරුවලට අදාළ ඉතාමත් වැදගත් සාධකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් තරග කරන අපේක්ෂකයා සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදෙන්නේ මැතිවරණයෙන් පසුව නම් ඡන්දය දීමට පෙර ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේදී අයිතිය ඡන්දදායකයන්ට අහිමිවන්නේය.

ඒ අර්ථයෙන් එය ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. සමාජ යහපත සලකා මැතිවරණ කොමසාරිස්වරයා අනුගමනය කරමින් තිබෙන මෙම වැල්වටාරම් ප්‍රතිපත්තිය වහා වෙනස් කළ යුතුය. තරග කරන සියලු අපේක්ෂකයන් නාමයෝජනා සහ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව හා එසේ නොකරන අයගේ නාමයෝජනා භාර නොගන්නා බව ප්‍රකාශ කළ යුතුය. එවිට එම නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ගොඩනැගේ. තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමට උනන්දුවක් ඇති ඡන්දදායකයන්ට ඒවා ලබාගැනීමට තිබෙන අයිතිය ප්‍රකාශ කරමින් වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් සාධාරණ මිලකට ඒවා ඉක්මණින් ලබාදෙන ක්‍රමයක් ද මැතිවරණ කොමසාරිස්වරයා ඇති කළ යුතුය. ඊට අතිරේකව දැනට මෙම ආයතනවලට තේරී පත්වී සිටින හා තේරී පත්වී නැති අය සිටී නම් ඔවුන්ගෙන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා තැනකට යා යුතුය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇති කළ යුතුය. මැතිවරණ ලේකම් කාර්යාලය පවත්වාගෙන යන වෙබ් අඩවියට එම වත්කම් බැරකම් ප්‍රකාශ ඇතුළත් කරන ප්‍රතිපත්තියක් මගින් එම වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය හැකිය.