විශ්‍රාම ගිය අගවිනිසුරු සරත් නන්ද සිල්වා තනතුරේ සිටියදී දී තිබෙන නඩු තීන්දු ගැන නැවත සොයා බලන තැනකට ගියහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක් විය හැකිද? එම තීන්දු අතර සිය හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට හෝ සහන ලබාදීමේ අරමුණින් හා සතුරන්ට හෝ තම මිතුරන්ගේ සතුරන්ට හෝ පීඩා කිරීමේ අරමුණින් දෙන ලද තීන්දු විශාල ගණනක් ද තිබෙනු නොවැළැක්විය හැකිය.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ
ඔහු නඩු ඇසුවා පමණක් නොව, නඩු නිර්මාණය කළේය. තමන්ට හෝ තම මිතුරන්ට වැදගත් වන දේවලදී ඔහු තමන් හඳුනන අය ලවා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙන්වා ගත්තේය. ඒවා තමන් ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත්තේය. මිතුරන් සඳහා නිර්මාණය කළ නඩුවලදී ඔවුන්ගේ වාසියට හේතුවන ලෙසත්, සතුරන් සඳහා නිර්මාණය කළ නඩුවලදී ඔවුන්ගේ අවාසියට හේතුවන ලෙසත් තීන්දු දුන්නේය. ඔහු තමන් ඉදිරියට එන හැම නඩුවකදීම ඒවායින් තමාට ලබාගත හැකි විශේෂ වාසි ගැනද සැලකිල්ලට ගත්තේය. සමහර නඩුවලදී නඩු කියන්නන්ගේ විශේෂ ස්වරූප සැලකිල්ලට ගනිමින් ඔවුන්ට අනුග්‍රහය ලබාදෙන පිළිවෙත් මගින් ඔවුන් තමන්ගේ අනුග්රාහකයන් හෝ ආධාරකරුවන් බවට පත්කර ගත්තේය. ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට අදාළ නඩුවලදී ඔහු පොදුවේ අනුගමනය කරන ලද විශේෂ ප්‍රතිපත්තියක් තිබුණි. එම නඩු ඉක්මණින් නොවිසඳා තමන් ළඟ දීර්ඝ කාලයක් තබාගන්නා පිළිවෙතක් මගින් එම ජනමාධ්‍ය ආයතනවලින් අගවිනිසුරුවරයා උපරිම ප්‍රසිද්ධියක් ලබාගත්තේය.
එවැනි එක් නඩුවකින් තමන් වෙත ටෙලිවිෂන් චැනලයක් තෑගි වශයෙන් ලබාගැනීමට ද සමත් විය. ඔහු වෙනත් උසාවිවල ඇසෙන තමන්ට වැදගත්කමක් ඇති නඩුවලදීද ඒවා අසන විනිශ්චයකාරවරුන්ට කථා කොට ඒවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ඔවුන්ට කියා දුන්නේය. තමන්ගේ පදේට නටන්න සූදානම් නැති විනිශ්චයකාරවරුන්ගෙන් එළව එළවා පළිගත්තේය. ඔවුන්ට අධිකරණ සේවය අත්හැර යන්නට බල කළේය. එසේ නොකරන අය බොරු චෝදනා මත අධිකරණ සේවයෙන් පළවා හැරියේය. තමන්ගේ පදේට නටන්න සූදානම් විනිසුරුවරුන්ට ඔහු උපරිම ලෙස ආධාර කළේය. උසස්වීම් දුන්නේය. වැඩ කරන්නට හොඳ උසාවි දුන්නේය. විදේශ චාරිකා දුන්නේය. වැරදි කරන අවස්ථාවලදී ඔවුන් ආරක්ෂා කළේය. තමන්ගේ අනාචාර ජීවිතයට ලැබී තිබුණු හංවඩුව නිසා ඔහු වෙනත් විනිසුරුවරුන් ද අනාචාරයට පෙළඹුවේය. අනාචාරයට අනුබල දුන්නේය. එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ අධිකරණ නිලධාරීන් ආරක්ෂා කළේය.
මහජන දේපොළ කොල්ලකෑම
අගවිනිසුරු තමන්ට නීත්‍යනුකූල හිමි බලය ඉක්මවා ගිය බලපරාක්රමයක් තමන් වෙත ආරෝපණය කරගැනීමෙන් නොනැවතී, එම බලපරාක්‍රමය උපරිම ලෙස ප්‍රදර්ශනය කෙරෙන පිළිවෙතක් ද අනුගමනය කළේය. උසාවි මගින් රාජසන්තක කරන දේපළවල වටිනාකම යායුත්තේ මහා භාණ්ඩාගාරයටය. එහෙත් ඔහු එම වටිනාකම් රජයේ ආදායමක් බවට හරවනවා වෙනුවට තමන් කැමති අයට බෙදා දෙන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ මගින් ධුර කාලය තුළ රජයට කර තිබෙන අලාභය රුපියල් කෝටි සිය ගණනක් විය හැකිය. නිසි අවසරයකින් තොරව ආණ්ඩුවේ කැලෑවලින් කළුවර, බුරුත, තේක්ක, නැදුන් වැනි වටිනා දැව කපා විකිණීම ඉතාමත් සංවිධානාත්මක ආකාරයකින් රටේ සිදුවන දැවැන්ත ජාවාරමකි. නීති විරෝධී ලෙස කෙරෙන දැව ප්‍රවාහනයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී අල්ලා ගන්නා ලද දැව පමණක් නොව දැව ප්‍රවාහනය කෙරුණු වාහන පවා රජ සන්තක කෙරේ. උසාවි මගින් රාජසන්තක කෙරෙන මෙවැනි දැව තොග රාජ්‍ය දැව සංස්ථාවට භාරදීම සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ප්රතිපත්තියයි.
එවිට එම දැව විකිණීමෙන් ලැබෙන ආදායම රජයට ලැබෙන්නේය. අගවිනිසුරුවරයා මෙම විෂයේදී උසාවි මගින් රාජසන්තක කරන වටිනා දැව රාජ්‍ය දැව සංස්ථාවට නොයවා තමන් නිර්දේශ කරන පුද්ගලයන්ට උසාවි මගින් ලබාදීමට බලකරන විශේෂ ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. මොණරාගල, වැල්ලවාය, වලස්මුල්ල, තිස්සමහාරාමය යන ප්‍රදේශ හොර දැව ජාවාරම සරුවට කෙරෙන එක් බලප්රදේශයකි. හොර දැව ජාවාරමේදී අල්ලා නොගැනෙන ප්‍රමාණය අල්ලා ගැනෙන ප්‍රමාණයට වඩා විශාල වුවත් මෙම කලාපයේදී අල්ලා ගැනෙන ප්‍රමාණයේ වටිනාකම ද සුළුපටු නැත. මෙම කලාපයේ රාජසන්තක කෙරෙන සියලු දැව රාජ්‍ය දැව සංස්ථාව වෙනුවට අගවිනිසුරු නම් කළ හිමිනමකට ලබාදිය යුතු බවට තිස්සමහාරාමය, වලස්මුල්ල, වැල්ලවාය හා මොනරාගල උසාවිවලට අගවිනිසුරුවරයා උපදෙස් දී තිබුණි. ඒ නිසා මෙම උසාවි හතරේ රාජසන්තක කෙරෙන වටිනා දැව තොග රාජ්‍ය දැව සංස්ථාවට භාරදෙනවා වෙනුවට සිදුවූයේ එම හිමිනම විසින් ඒවා රැගෙන යෑමය.
මෙසේ මෙම උසාවි හතරේ රාජසන්තක කෙරෙන වටිනා දැව තොගවලින් පමණක් එම හිමිනම උපයන්නට ඇති ආදායම රුපියල් මිලියන ගණනක් විය හැකිය. මෙම හිමිනම මෙම දැව ජාවාරමෙන් උපයන ලද ආදායමෙන් කොටසක් වැය කොට වායුසමනය කරන ලද සුඛෝපභෝගී නිවසක් ඉදිකර තිබුණි. තතු දත් සමහර ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ එය අගවිනිසුරුගේ හදිසි පරිහරණය පිණිස ඉදිකරන ලද නිවසක් බවය. බලපත්‍ර රහිතව ගවයන් ප්‍රවාහනය කොට අල්ලාගෙන උසාවියට ඉදිරිපත් කෙරෙන අවස්ථාවලදීද ගවයන් ප්‍රවාහනය කළ වාහනය සමග ගවයන් නැවත ප්‍රවාහනය කළ පුද්ගලයාටම ආපසු භාරදිය යුතු බවට උසාවිවලට උපදෙස් දී තිබුණි. මෙය ගවයන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකරන සංවිධානවල විමතියට හේතුවී තිබුණු කරුණක් වූ අතර, එවැනි සංවිධානවලින් එල්ල වූ බලපෑම් නිසා මෙම තත්ත්වය වැළැකීමට හේතුවන ලෙස නීති සංශෝධනය කරන තැනකට පවා යන්නට ආණ්ඩුවට සිදුවිය.
අගවිනිසුරු වැලි ගොඩදැමීමේ වරදට සිය ගම් ප්‍රදේශවලින් සැලකිය යුතු පිරිසක් හිරේ දැම්මේය. ඒ සමග අගවිනිසුරු එම බල ප්‍රදේශය සඳහා වැලි හෑරීමේ ඒකාධිකාරී බලය ඇති තමන්ට හිතවත් එක පුද්ගලයෙක් ගොඩනැගුවේය. කෘෘස් නමැති මෙම පුද්ගලයා වැලි විෂයේදී ප්‍රදේශයේ බලධාරියා වූයේය. ඔහුට අනුකූලව ක්‍රියාකරන ලෙස අගවිනිසුරු ප්‍රාදේශීය ලේකම්ට ද, ප්‍රදේශයේ පොලිසියට ද උපදෙස් දී තිබුණි. වැලි හෑරීමේ අයිතිය ලබාගැනීම සඳහා වැලි හාරන්නෝ රජයට නොව ඔහුට කප්පම් ගෙව්වෝය.
අපරාධකාරයන් ඇසුරු කිරීම
අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ජීවිතයට ආවේණික තනතුරේ ගෞරවයට හේතු නොවන පැවැත්ම හේතු කොටගෙන ඔහු දුරකථනයෙන් කථා කරන්නේ කාටද, ඔහුට දුරකථනයෙන් කථා කරන්නේ කෙබඳු අයද යන්න සොයා බලන තැනකට යන්නට මට සිදුවිය. මම ඔහුගේ මාස තුනකට අදාළ දුරකථන බිල්පත් පරීක්ෂා කළෙමි. එම මාස තුනේ කාලය තුළ වැඩියෙන්ම කථා කර තිබෙන පුද්ගලයන් කවුද, ඒ සඳහා ගතකර තිබෙන වෙලාව කොපමණද යන්න හා අනෙක් අතට එම කාලසීමාව තුළ අගවිනිසුරුට වැඩිම වාර ගණනක් කථා කර තිබෙන පුද්ගලයන් කවුද, ඒ සඳහා ගතකර තිබෙන කාලය කොපමණද යන්න මම සොයා බැලුවෙමි. ඉන්පසු එම නාමලේඛනයේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයන්ගේ සමාජ, වටාපිටාව ගැන සාමාන්‍ය සොයා බැලීමක් කළෙමි. වැඩේ අවසන් වන විට මට එම අගවිනිසුරු ගැන ඇතිවූයේ විස්මයක් නොව පිළිකුලකි. රටේ අගවිනිසුරුවරයා වැනි ගරු කටයුතු නිලයක් දරන පුද්ගලයෙකු ඇසුරු කළයුත්තේ තනතුරේ ගෞරවයට ගැළපෙන පුද්ගලයන් සමග පමණය.
එහෙත් මෙම අගවිනිසුරුවරයා සමාජයේ ඉහළම තනතුරු දරන්නන්ගේ සිට පහළම සමාජයේ අපරාධකාරයන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් පවා ඇසුරු කළේය. කුමාර් පොන්නම්බලම්ට වෙඩි තබන ලද්දේ මොරටුව සමන් සමග පොලිස් උප සේවයේ කොස්තාපල්වරයෙකු බව මට දැනගන්නට ලැබී තිබුණේ අපරාධ පරීක්ෂකයෙකුගෙනි. මා ඒ බව වාර්තා කරන අතර, කිසියම් දිනක තුන්වැනි පුද්ගලයෙකු මගින් මොරටු සමන් හමුවී ඔහු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරන තැනකට ගියෙමි. එක් අතකට මට ඔහුගේ චරිතය තේරුම් ගැනීමට අවශ්‍ය වී තිබුණු අතර, රෝහණ කුමාර ඝාතනය පිළිබඳව ඔහු දන්නා තොරතුරු දැනගැනීමට සේම ඔහුට රැකවරණය ලබාදෙන දේශපාලනඥයන් කවුදැ”යි දැනගැනීමට මට අවශ්‍යව තිබුණි. ඔහු සමහර කරුණු නොසඟවා කියන විට සමහර කරුණු වසන් කළේය. ඔහු සමග කථාකරමින් සිටින විට මගේ විශේෂ උනන්දුවට හේතුවූ වැදගත් තොරතුරක් ඔහුගෙන් හෙළිවිය.
මා වෙඩි තබා ඝාතනය කිරීමේ අරමුණ ඇතිව මාගේ ගාල්ලේ නිවසට ඇතුළු වන හරස් පාර දක්වාම ඔහු පැමිණ තිබෙන බව කීවේය. පැමිණි ගමන් මාර්ගය විස්තර කළ හැකි මතකයක් ඔහුට තිබුණි. ඔහු පැමිණියේ මට වෙඩි තබා පළායෑම සඳහා වුවත්, නිවසට යන හරස් පාර දක්වා පැමිණි පසු වෙඩි තැබීමේ අදහස වෙනස්වීම නිසා ආපසු හැරී කොළඹ ආ බවත් ප්‍රකාශ කළේය. ඔහුට මා මරන්නට අවශ්‍ය වූයේ කාගේ වුවමනාවටද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ නැත. ඔහු ඝාතනයට ලක්වීමට පෙර කිසියම් දිනක ඔහු දුරකථනයෙන් මා අමතා මා හමුවී කථා කිරීමට අවශ්‍ය වී තිබෙන බව කීවත් මාගේ කාර්ය බහුලතාව නිසා ඔහු වෙන් කළ දිනය මට ගැළපුණේ නැත. එහෙත් දින කිහිපයකට පසුව ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඔහු ඝාතනය කරන්නට පෙර නීතිඥ දයා පෙරේරා හමුවන්නට ගොස් කුමාර් පොන්නම්බලම් ඝාතනය පිළිබඳ සියලු විස්තර හෙළිදරව් කරන ලද බව පසුව දැනගන්නට ලැබුණි.
මොරටු සමන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පුවත්පත්වල වාර්තා වූ දිනයේ මා හොඳින් දන්නා හඳුනන වෘත්තීයවේදියෙක් මට දුරකථනයෙන් කථා කළේය. ඔහු එදිනම මනෝරාණිගෙන් (සරත් නන්ද සිල්වාගේ විවාහක බිරිඳ) අසන්නට ලැබුණු කථාවක් මට කීවේය. සරත් නන්ද සිල්වා තමන්ගේ හිතවතකුව සිටි රසායන ඉංජිනේරුවාගේ බිරිඳ සමග එකට ජීවත්වෙමින් සිටි මුල් කාලයේදී මනෝරාණිගෙන් (සිය කසාද බිරිඳගෙන්) දික්කසාදවීම සඳහා නඩුවක් පැවරුවේය. මනෝරාණි ඔහු ලැජ්ජාවට පත්කිරීමට හේතුවන ආකාරයේ විස්තර සහිත උත්තරයක් බැන්දේය. ඉන්පසු පැමිණිලිකරු නඩුව ඉදිරියට ගෙනගියේ නැතත්, එම උත්තරය බැඳි දිනයේ සවස වැඩ ඇරී නිවසට යමින් සිටි අවස්ථාවේදී කිසියම් සාහසිකයෙකු ඇයට පිහියකින් අනින්නට උත්සාහ කළේය. ඒ අවට සිටි මිනිසුන්ගේ මැදිහත්වීම නිසා සාහසිකයාට සිය අරමුණ ජයගැනීමට හැකිවී නැතත්, ඉන්පසු ඇය ජීවත් වී තිබෙන්නේ ජීවිතය පිළිබඳව ඇති කරගත් මහත් බියකින් යුතුවය.
මොරටුව සමන් මියගිය පුවත පළවූ දිනයේදී ඇය ඉහත කී වෘත්තීයවේදියා අමතා දුරකථනයෙන් කියා තිබන්නේ මොරටුව සමන් ඝාතනයට ලක්වීම නිසා මින්පසු තමන්ට ජීවිත බියකින් තොරව සැනසිල්ලේ ජීවත්විය හැකි බවය. ඒ ගැන වෘත්තීයවේදියා වැඩිදුර කරුණු විමසීමේදී ඇය කියා ඇත්තේ තමන්ට එදා පිහියෙන් අනින්නට උත්සාහ කළ පුද්ගලයා මොරටු සමන් බවය. මට තිබෙන තොරතුරු අනුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන කුමන්ත්රණයේ ප්‍රධාන චෝදනාව එල්ල වූ පොට්ට නවුෆර් සමග පවා විශ්‍රාම ගිය අගවිනිසුරුට මිත්‍ර සම්බන්ධයක් තිබුණේය. මෙම ඝාතන සිද්ධියට පෙර විනිසුරුවරුන්ගේ සමහර උත්සව සඳහා කෑම බීම ලබාදෙන අනුග්රාහකයකු ලෙස පොට්ට නවුෆර් ක්‍රියා කළේය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිදුවූ ඝාතනයට රෝහණ කුමාරට තිබුණු සම්බන්ධය ගැන මා මීට පෙර විස්තරාත්මකව ලියා තිබේ. ඔහු මෙම නඩුව ආරම්භයේදී ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබියදීත් කිසියම් දීර්ඝ කාලයක් සැඟවී සිටියේය.
ඔහු සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද්දේ පිළියන්දල පොලිසියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසියට නියෝග කරන ලද්දේ එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි කොටකදෙණිය මහතාය. ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස ගිය පොලිස් කණ්ඩායමේ ප්‍රධානියාගෙන් අසා දැනගන්නට ලැබුණු තොරතුරු අනුව පොලිසිය පැමිණි වහාම ඔහු දුරකථනයෙන් අගවිනිසුරුට කථා කරන්නට උත්සාහ කළේය. එය වැළකූ විට ඒ අසල සිටි ඔහුගේ පෙම්වතිය (දැන් බිරිඳ) ඇගේ ජංගම දුරකථනයෙන් අගවිනිසුරුට කථා කොට රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නට පොලිසිය පැමිණ සිටින බව දැනුම් දී තිබේ. විවෘත වරෙන්තුවක් තිබියදී සැඟවී සිටියේ ඇයිද යන ප්‍රශ්නයට රෝහණ කුමාර දී තිබෙන පිළිතුර වී ඇත්තේ අගවිනිසුරුගෙන් ලැබුණු උපදෙස් මත පසුව භාරවීමේ අදහසින් සැඟවී සිටි බවය. ටෝනි ප්‍රනාන්දුට දඬුවම් පමුණුවා ඔහු බන්ධනාගාරයට ගෙනගිය වහාම ඔහු මාරාන්තික පහරදීමකට ලක්විය.
එම පහරදීමට අගවිනිසුරුගේ සම්බන්ධයක් තිබුණේය යන්න මගේ විශ්වාසයයි. මා අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් නඩු පැවරූ පසු විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ද අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් නඩු පැවරුවේය. අහම්බයක් වුවද ටෝනි පවරන ලද නඩුව අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් පවරන ලද තුන්වැනි නඩුව විය. රටේ අගවිනිසුරු වූ තමා වගඋත්තරකරුවකු කරමින් කෙරෙමින් තිබුණු මෙම නඩු පැවරිල්ල අගවිනිසුරුගේ කෝපයට හේතුවී තිබුණි. මේ ක්‍රමය තවදුරටත් ඉදිරියට යන්නට ඉඩ නොදී තලා දැමිය යුතුයැ”යි ඔහු කල්පනා කළා විය යුතුය. ඔහු ටෝනිට සිරදඬුවම් පැමිණවීමෙන් පමණක් සෑහීමකට පත් නොවීය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක තමන්ට අසූචිවලින් පහර දුන් පුද්ගලයා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට සමාන පිළිවෙතක් ටෝනි සම්බන්ධයෙන් අනුගමනය කිරීමට අගවිනිසුරුවට අවශ්‍ය වූවා විය යුතුය.
එකල අගවිනිසුරු අනියම් ලෙස පාලනය කළ මර්මස්ථානවලින් බන්ධනාගාරය ප්‍රධාන තැනක් විය.
රාජ්‍ය නායකයා වීමට සිහින දැකීම
1999 සැප්තැම්බර්වලදී අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. ද සිල්වා විශ්‍රාම යන විට තමන්ට පක්ෂපාත අගවිනිසුරුවරයෙකු එම තනතුරට ගැනීමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වී තිබුණේය. ඇයම සිය හිතවතුන්ට ප්‍රකාශ කර තිබුණු ආකාරයට අගවිනිසුරු ධුරයට පුද්ගලයෙකු තෝරා ගැනීමේදී වයඹ ඡන්ද පෙත්සම සේ ම, 1999 වසර අවසානයේදී පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය ද සැලකිල්ලට ගන්නට ඇයට සිදුවී තිබුණි. ඒ සඳහා ඇයට තෝරා ගැනීමට සිටි හොඳම පුද්ගලයා වූයේ නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වාය. එහෙත් නීතිපතිට එරෙහිව ඉදිරිපත් වී තිබූ පැමිණිලි දෙකක් පදනම් කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කොට පවත්වාගෙනයමින් තිබූ තත්ත්වය ඉදිරියේ එම ධුරයට නීතිපති පත්කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැනද ජනාධිපතිනියට චකිතයක් තිබුණි. ඇය තමන්ගේ විශ්වාසයට හේතුවූ නීති උපදේශකයන් කිහිපදෙනෙකු තමන් වෙත කැඳවා ඔවුන්ගෙන් ඒ ගැන විමසීමක් කළේය.
එම සාකච්ඡාව ඊ.ඩී. වික්‍රමනායක, එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර, ෆයිස් මුස්තාපා හා ඇලොයි රත්නායක යන නීතිඥවරු සහභාගි වූහ. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා හැරුණු විට අන් සියලුදෙනාම සරත් නන්ද සිල්වා එම තනතුරට පත්කරනවාට විරුද්ධ වූහ. ඔහු එම තනතුරට පත්කළහොත් කවදා හෝ ඔහු ඔබතුමියටත් ගහනවා යන අනාවැකිය කියා ඇත්තේ ඇලොයි රත්නායකය. මට එස්.බී. දිසානායකගෙන් අසන්නට ලැබුණු තොරතුරු අනුව සරත් නන්ද සිල්වා එම තනතුරට පත්කිරීමේ වුවමනාවක් ජනාධිපතිනියට තිබුණද, ඒ ගැන ඇති කරගත් බියක් ද ජනාධිපතිනිය තුළ තිබුණි. මොන ප්‍රශ්න ආවත් එම තනතුරට සරත් නන්ද සිල්වාම පත්කළ යුතු බව එක හඬින් කියා ඇති පුද්ගලයා වන්නේ එස්.බී. දිසානායකය. ඇතිවිය හැකි ප්‍රශ්න දෙස නොබලා අවසානයේ ඔහු තනතුරට පත් කළ ජනාධිපතිනියද, එම පත්කිරීම පිළිබඳව ජනාධිපතිනිය තුළ පැවති බිය පහකළ එස්.බී. දිසානායකද, නීති උපදේශකයන් අතරින් සරත් නන්ද සිල්වාගේ පත්කිරීමට පක්ෂපාතීව පෙනී සිටි ෆයිස් මුස්තාපා ද යන තිදෙනාම සරත් නන්ද සිල්වාගේ පළිගැනීමට ලක්වූහ. ජනාධිපතිනියට දෙවැනි වරට දිවුරුම් දීමට උපදසේ දී තිබුණේද අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. දෙවැනි වර දිවුරුම්දීමට පක්ෂපාතව ප්‍රසිද්ධියේ කථා කළ එකම පුද්ගලයා වූයේද ඔහුය. අවසානයේ සිය ස්වාමි දුව අවලංගු කාසියක් බවට පත්කිරීමෙන් නොනැවතී, තමාගේ පත්කිරීම වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි එකම දේශපාලකයා ලෙස සැලකිය හැකි එස්.බී. දිසානායක ද හිරේ යැව්වේය. නීතිපති සරත් නන්ද සිල්වාගේ බෙල්ල හොඳටම හිරවී තිබුණු අවස්ථාවකදී ඒ තොණ්ඩුවෙන් ඔහුගේ බෙල්ල බේරාගත්තේ ජනාධිපතිනියයි. අගවිනිසුරු ධුරයට පත්වූ පසු ඉදිරිපත් වූ දෝෂාභියෝගවලින් ඔහු බේරාගන්නා ලද්දේ ද ඇය විසිනි. එවැනි තත්ත්වයක් තිබියදීත්, අගවිනිසුරු සරත් නන්ද සිල්වා ජනාධිපතිනියට ද්රෝහිවූයේ ඇයිද යන ප්රශ්නය බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතුවී තිබෙන අතර, මා අසා තිබෙන කරුණු අනුව, ඊට බලපෑ ප්‍රධාන හේතුව මෙසේය.
අධිකරණයේ නොවිසඳී ගොඩ ගැසී තිබෙන ප්‍රශ්න ගැන කථා කිරීම සඳහා අගවිනිසුරු හා තෝරාගත් විනිසුරුවරුන් පිරිසකගේ සහභාගීත්වය ඇතිව ජනාධිපතිනිය සමග කෙරුණු සාකච්ඡාවකදී ““කෝ ඉතින් සරත්ට ගෑනු ප්‍රශ්න විසඳනවා මිසක් මේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැති බව”” ජනාධිපතිනියට කියවී තිබෙන අතර, අගවිනිසුරුවරයා ලැජ්ජාවට පත්කිරීමට හේතුවූ එම ප්‍රකාශය ඔහුගේ බලවත් කෝපයට හේතුවී තිබේ. ඔහු හොඳින් දන්නා, ඔහු ඇසුරු කරන පුද්ගලයෙකු මා සමග කීවේ ජනාධිපතිනියගෙන් පළිගැනීමේ චේතනාව සිත පිළිසිඳ ගන්නට ඇත්තේ එදා බවය. එහෙත් අගවිනිසුරුවරයා අතින් සිදුවන නොහොබිනා ක්‍රියා ගැන විටින් විට අසන්නට ලැබෙන කථා ජනාධිපතිනියගේ විශේෂ උනන්දුවට මිස, කෝපයට හේතුවී නැත. දියවන්නා ඔය සිද්ධිය ගැන අසන්නට ලැබුණු විට ඇයගේ උනන්දුවට හේතුවී තිබෙන්නේ එම කාන්තාව කවුද යන ප්රශ්නය මිස, එවැනි හැසිරීමක් තනතුරේ ගෞරවයට හේතුවේද යන ප්රශ්නය නොවේ.
මොන මොන හේතු නිසා හෝ අවසානයේ ඔහු සිය ස්වාමි දුවගෙන් පළිගත්තේය. පැරණි අශ්වයාගේ කකුල් කඩා බිඳ දමා දිනන නව අශ්වයාගේ කරපිටට පැන ගත්තේය. චන්ද්‍රිකා අවලංගු කිරීමේ ක්‍රියාවද තමන්ට ඇති බලය පිළිබඳව අධි තක්සේරුවක් ඇති කරගැනීමට හේතුවිය. ඒ මගින් නව පාලකයා තමන්ට කැමති ලෙස පාලනය කිරීමට හැකිවනු ඇතැ”යි ඔහු විශ්වාස කළේය. අනාගතය පිළිබඳව මවා ගත් ලොකු සිහින ඔහුට තිබුණේය. විශ්රාමයෑමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති ධුරය ඔහු අපේක්ෂා කළේය. ඒ සමග විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගින් දීර්ඝ කරගැනීමට ද උත්සාහ කළේය. ඒ කිසිවකට ඉඩ නොලැබෙන බව පෙනෙන විට ඔහු නව රාජ්‍ය නායකයාගෙන්ද පළිගැනීමට අදිටන් කරගත්තේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු කරන දමන අතර, ඊළඟ ජනාධිපතිවරණයේදී සියලු විරුද්ධ පක්ෂ බලවේගවල පොදු අපේක්ෂකයා වීම ඔහුගේ ඊළඟ සිහිනය විය.
එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණට එකඟ විය හැකි එකම පොදු අපේක්ෂකයා තමා බව ඔහු විශ්වාස කළේය. එල්ටීටීඊය ප්රමුඛ දෙමළ දේශපාලන පක්ෂවලින්ද, මුස්ලිම් දේශපාලන පක්ෂවලින් ද සහාය ලබාගත එකම අපේක්ෂකයා ද තමා බව ඔහු විශ්වාස කළේය. යුද්ධය ජයග්‍රාහී වනු ඇතැ”යි ඔහු විශ්වාස නොකළේය. මහජනයා අතර පිළිගැනීමක් ලබාගැනීම සඳහා මහජන හිතකාමී තීන්දු ගණනාවක් දිගට හරහරට දුන්නේය. ඒ සමග මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අනතුරු අඟවන සංඥා කිහිපයක් නිකුත් කළේය. ඒ මගින් ජනාධිපතිවරයා යටහත් පහත්ව ක්‍රියාකරන තැනකට ගැනීම ඔහුගේ අභිලාසය විය. ඒ අපේක්ෂාව ඉටු නොවන බව තේරුම් ගිය විට හා ජනාධිපතිවරයාට තිබෙන ශක්තිය වර්ධනය කරමින් යුද්ධය අවසන් වූ විට ඔහු දකිමින් සිටි සිහින බොඳවී තනතුර අත්හැර හිස් අතින් ගෙදර ගියේය. දැන් ජනාධිපතිනි චන්ද්‍රිකා හා ඔහු ඉන්නේ එක සමාන අසරණ තත්ත්වයකය.
පුරවැසියන් වශයෙන් අපට කළහැක්කේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට විවිධ ආකාරයේ රස එකතු කළ එම දෙපළට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම පමණය. සරත් නන්ද සිල්වාගේ විවාදය මෙම ලිපියෙන් අවසන් කිරීම සුදුසු බැවින් මෙම විෂය ගැන උනන්දුවක් දක්වන අයගේ කුතුහලයට හේතුවී තිබෙන ප්‍රශ්න දෙකකට හා මට අදාළ ජාත්‍යන්තර අත්දැකීම් දෙකකින් මෙම ලිපිය අවසන් කරමි.
යක්ෂයන්ගේ හා භූතයන්ගේ සහාය ලබාගැනීම
අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව මා විසින් කරන ලද අරගලය ගැන උනන්දුවෙන් බලා සිටි පුද්ගලයෙකු මීට වසර දෙක තුනකට ඉහත දී මා වෙත අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ““ඔබ රටේ අගවිනිසුරුට එරෙහිව ඉතාමත් සාධාරණ හේතු මත දිග්ගැස්සුණු හා බලවත් අරගලයක නිරත වුවද ඔහු තවමත් තනතුරේ ඉන්නවා නේද?”” යන්න ඔහු නගන ලද ප්රශ්නය විය. ““ඔව් ඔහු තවමත් තනතුරේ ඉන්නවා. ඒත් තනතුරේ ඉඳීමත්, තනතුරෙන් ඉවත්වීමත් අතර ලොකු වෙනසක් නැහැ නේදැ”යි ප්‍රශ්න කරමින් ““ඔහු තනතුරේ තවමත් ඉන්නවා. එහෙත් තනතුරේ ගෞරවය නැති බව”” මා කියා සිටිවිට ““ඔබ හරිය”” යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය. අගවිනිසුරු තමන්ට එරෙහිව නැගී සිටි හැම කෙනෙකුටම පෙරළා පහර දුන්නේය. ඔවුන්ගෙන් පළිගත්තේය. එහෙත් මා සම්බන්ධයෙන් පමණක් ඔහු එසේ නොකළේ ඇයිද යන්න බොහෝ දෙනෙකු නගන ප්රශ්නයකි. එම ප්‍රශ්නයට දෙන්නට එක පිළිතුරක් නැත.
මා ඔහුට එරෙහිව කරන ලද අරගලය සාධාරණ හේතු මත පිහිටා කරන ලද සාධාරණ අරගලයක් බව වඩාත්ම හොඳින් දැන සිටි පුද්ගලයා ඔහුය. ඒ නිසා පෙරළා පහරදීමක් කිරීමට ඔහුගේ හෘදය සාක්ෂිය ඉඩ නුදුන්නා විය හැකිය. එහෙත් පෙරළා පහර දෙන්නට උත්සාහ කළ අවස්ථා ද තිබුණි. ජාත්‍යන්තර නීතිඥ සංගමය මේ ප්‍රශ්න ගැන සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල දූත මණ්ඩලයක් 2001 වසරේදී ශ්‍රී ලංකාවට එවන ලද අවස්ථාවේදී එම දූත මණ්ඩලය අගවිනිසුරු ද, ආචාර්ය මාක් ප්‍රනාන්දු, ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා ද හමුවී සාකච්ඡා කර තිබේ. මා මෙම කරුණු දැනගත්තේ ඉන් බොහෝ කලකට පසුව එම දූත මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ බ්‍රෙනන් සාමිවරයාගෙනි. මේ රටේ අධිකරණයට තිබූ ගෞරවය නැති කළ පුද්ගලයා මා බව අගවිනිසුරු ඔවුන් සමග ප්‍රකාශ කර තිබුණි. මට එරෙහිව දඬුවම් කිරීමට ඔහුට අවශ්‍ය වී තිබුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් සහෝදර විනිසුරුවරුන් ඊට එකඟ නොවීම නිසා මට එරෙහිව කිසිවක් නොකළ බව ඔහු වැඩිදුරටත් කියා තිබුණි.
මෙම දූත මණ්ඩලය ආචාර්ය මාක් ප්‍රනාන්දු සමග කරන ලද සාකච්ඡාවේදී මා පිළිබඳව අගවිනිසුරු කරන ලද එම ප්‍රකාශය ඔහුට කියා ඒ ගැන ඔහු කියන්නේ කුමක්දැ”යි බ්‍රෙනන් සාමිවරයා ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. මාර්ක් ප්‍රනාන්දු ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ ““වික්ටර් අයිවන්ට දඬුවම් නොකළ නිසා අධිකරණයේ ගෞරවය මේ තරමින් හෝ ඉතිරි වූ බවත්, ඔහුට දඬුවම් කළේ නම් තිබෙන ගෞරවයත් මුළුමනින් නැතිවන්නට ඉඩ තිබුණු බවත්””ය. 2001 මැතිවරණයේදී මා පමණක් නොව, මගේ නීතිඥයා ලෙස ක්‍රියා කළ සුරංජිත් හේවමාන්න ද ඇතුළුව රාවයේ මුළු අධ්යක්ෂ මණ්ඩලයම රිමාන්ඩ් භාරයට පත්කිරීමට ඔහු උත්සාහ කළේය. එහෙත් ඔහුගේ එම ප්රයත්නය සාර්ථක වූයේ නැත. දියවන්නා ඔය අපචාර සිද්ධියේදී මා තනිව නොගෙන එම සිද්ධිය වාර්තා කළ ලසන්ත වික්‍රමතුංග, ෆ්රෙඩ්රිකා ජෑන්ස් ඇතුළු ජනමාධ්‍යවේදීන් පිරිසක් එක පොදියට උසාවියට ගෙන්වා අධිකරණ අපහාස නීතිය යටතේ දඬුවම් කරන්නට ඔහු උත්සාහ කළේය.
ඒ සඳහා අවශ්‍ය පෙත්සමක් ද ඔහු අධිකරණයට ගෙන්වා ගෙන තිබුණි. එහෙත් මොන මොන හේතු නිසා හෝ ඔහු එම සටකපට වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑමට බිය විය. මෙම ආරවුල පිළිබඳව මගේ අත්දැකීම් අළලා මා විසින් ලියා පළ කරන ලද ““නොනිමි අරගලය”” පොත පළවීමෙන් පසු අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ පිරිසක් තමන් වෙත කැඳවා පොතට එරෙහිව ගතහැකි නීති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර තිබේ. පොතට එරෙහිව නඩු පැවරිය යුතු බව හා ඒ වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බව ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න ප්‍රකාශ කර තිබේ. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පළකර තිබෙන මතය වී ඇත්තේ දැන් පොතේ එන කරුණු දැන ගන්නේ පොත මිලදී ගෙන කියවන අය පමණය, එහෙත් පොතට එරෙහිව නඩු පවරන තැනකට ගියහොත් පොතේ එන කරුණු වඩා විශාල පිරිසක් අතරට යන්නේය, ඒ නිසා නඩු පැවරීමකට යනවාට වඩා නිශ්ශබ්දව ඉඳීම සුදුසු බවය.
පොතට එරෙහිව නඩු පවරන්නේ නම් පොතේ එන කරුණුවලට එරෙහිව අගවිනිසුරුතුමාට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දීමට සිදුවන බවත් එවිට පොතේ කර්තෘට අගවිනිසුරුතුමාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය ලැබෙන බවත්, එහි සිටි තවත් කෙනෙක් පෙන්වා දී තිබේ. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පළ කළ මතය වී ඇත්තේ ද නඩු පැවරීමකට යෑම සුදුසු නැති බවයි. මෙම සාකච්ඡාවට පෙර හෝ පසුව ජනාධිපති නීතිඥ ඩෙස්මන් ප්‍රනාන්දුගේ උපන්දින සාදයකදී මට ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න හමුවිය. එය නොනිමි අරගලය පොත පළවූ ආසන්න දිනයකදීය. නිවසේ පැවති සාදයට පැමිණි අයගේ ගණන දහයකට වැඩි නොවීය. ඉන් වැඩි පිරිසක් වටයක් ලෙස එකට රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෝය. ඔවුන් අතර ඩෙස්මන් ප්‍රනාන්දු, රංජිත් අබේසූරිය හා නිහල් ජයමාන්නද විය. අප සියලුදෙනාම සිටියේ අඩියක් ගසමිනි. මගේ පොතට එරෙහිව අගවිනිසුරු නඩු පවරන බවත් එම නඩුවේදී අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් නිහාල් ජයමාන්න සාඩම්බර ලීලාවකින් මා සමග කියා සිටියේය.
පොත ලිවීමේ අරමුණ වූයේද නඩුවක් පටලවාගෙන හෝ මෙම ප්‍රධාන චරිත කිහිපය අධිකරණයේදී හෝ හමුවීමට බවත්, නඩුවක් පවරා ඒ අවස්ථාව මට ලබාදෙන්නේ නම් ඒ ගැන ස්තුතිවන්ත වන බවත් මම කියා සිටියෙමි. ඒ වාදය ඉන් එහාට ගියේ නැත. පොතට එරෙහිව නඩු පැවරීමක් ද සිදු නොවීය. එහෙත් අගවිනිසුරුවරයා මට එරෙහිව අධිකරණ බලය යොදා දඬුවම් කරනවා වෙනුවට යක්ෂයන් හා භූතයන් ලවා දඬුවම් කරවන්නට උත්සාහ කළේය. ඔහු කණ්ඩායමක් යොදාගනිමින් කොඩිවින කළේය. මිරිස් ඇඹරෙව්වේය. දෙනියාය ගැටබරු දේවාලයේ දී නටන ලද නැටිල්ලක් පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාගැනීමට මට හැකිවිය. ඊට සම්බන්ධ වූ කණ්ඩායමට රෝහණ කුමාර සේ ම වර්තමානයේ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කරන විනිසුරුවරයෙක් ද ඇතුළත් විය. එම කණ්ඩායමට වීඩියෝ කැමරා ශිල්පියෙක්ද ඇතුළත්ව සිටියේය. එම වීඩියෝ පටය අගවිනිසුරුවරයා අතට පත්කර තිබුණු අතර, ඔහු එය නරඹා මට සිදුවිය හැකි ඉක්මන් විනාශයක් ගැන බලාපොරොත්තු ඇති කරගත්තා විය හැකිය.
අවසාන කාලයේදී ඔහු අප දෙදෙනා අතර පැවති ආරාවුල සමහර අයට විස්තර කර තිබුණේ පෙර ආත්ම ගණනාවක සිට පැවත එන ආරාවුලක් වශයෙනි.
අවසානය
මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධියෙන් ආරම්භ වී දිසා විනිසුරු උපාලි අබේරත්නගේ දික්කසාද නඩු ඇහිල්ල හරහා අගවිනිසුරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම දක්වා ඇදී ගිය මෙම දිග්ගැසුණු අරගලය අළලා 2003 අප්‍රේල්වලදී කෝපන්හේගන්වලදී පවත්වන ලද ගවේෂණාත්මක වාර්තාකරුවන්ගේ දෙවන ලෝක සමුළුව අමතා කථාවක් (ඡරුිැබඒඑසදබ) පැවැත්වීමේ අවස්ථාව මට ලැබුණි. එය ගවේෂණාත්මක වාර්තාකරණ විෂයෙහි ලෝකයේ කීර්තිමත් හා නාමධාරී ජනමාධ්‍යවේදීන් එකට එකතු කළ අවස්ථාවක් විය. මෙම දිග්ගැසුණු අත්දැකීම විස්තර කිරීමට මට ලැබුණු කාලය විනාඩි 22කි. මාගේ ඉදිරිපත් කිරීම අවසන්වීමෙන් පසුව සුළු මොහොතක් සභාව නිශ්ශබ්දව සිට පසුව එක දිගට අත්පුඩි ගැසුවේය. සමහරු කීවේ සමුළුවට ඉදිරිපත් කෙරුණු අත්දැකීම් අතර තිබුණු හොඳම අත්දැකීම එය බවය. ඉන්පසු එම වසරේම නොවැම්බර්වලදී නවදිල්ලියේ පැවති අධිකරණ ස්වාධීනත්වයට අදාළ දකුණු ආසියානු රටවල නියෝජිතයන් සඳහා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදීද එම අත්දැකීම නැවත ඉදිරිපත් කරන්නට මට අවස්ථාවක් ලැබුණි.
එම ජාත්‍යන්තර වැඩමුළුවට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කර්තෘ සිංහ රත්නතුංග ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීති අංශයේ අසංක වැලිකලද සහභාගි වූහ. මෙම විෂයට අදාළ කලාපයේ සම්භාවනීය පුද්ගලයන් ගණනාවක් සහභාගි වූ එම වැඩමුළුවට ඉන්දියාවේ විශ්‍රාම ගිය අගවිනිසුරුවරයෙකු වන රජින්ද්‍ර සත්කාර්ද, 1978දී සියා උල්හක් හමුදා කුමන්ත්රණයකින් බලයට පත්වූ විට ඒකාධිපති පාලකයකු යටතේ වැඩකරන්නට සූදානම් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත්ව ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෆතුර්ඩින් ඉබ්රුහිම් ද විය. කෙටි හැඳින්වීමක් කිරීමෙන් පසු මම මගේ අත්දැකීම් ඉදිරිපත් කළෙමි. කලාපයේ රටවල්වලින් ඉදිරිපත් වූ ඉදිරිපත් කිරීම් අතරින් හොඳම ඉදිරිපත් කිරීම ලෙස ප්‍රකාශ වූයේ මාගේ ඉදිරිපත් කිරීමය. ඉන්පසු මුළු වැඩමුළුව පුරා ශ්‍රී ලංකාවේ ප්රශ්නය සාකච්ඡාවට ලක්විය.
වැඩමුළුවට සහභාගි වූ කලාපයේ නීතිඥයෝ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ නිශ්ශබ්දතාව ගැන විවේචනය කළෝය. වියපත් තත්ත්වයක සිටි විශ්‍රාම ගිය අගවිනිසුරු රජින්ද්‍ර සත්කාර් අප සමග කීවේ ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම මගින් හෝ මේ අරගලයේ කොටස්කරුවකු විය හැකි නම් තමා එය ගෞරවයක් කොට සලකන බවය. අගවිනිසුරුගේ මෙම ආරාවුල නොවන්නට එතෙක් ශ්‍රී ලංකාවේ පැවතියේ අධිකරණයේ මතුපිට කරුණු පමණක් වාර්තා කරන තත්ත්වයකය. ජනමාධ්‍යවල වාර්තා කෙරුණේ විවෘත උසාවිවල කෙරෙන ප්‍රකාශ හා දෙනු ලබන නඩු තීන්දු පමණය. ඉන් ඔබ්බට ගිය වාර්තාකරණයක් ඇතිවන්නේ ද මෙම ආරාවුලත් සමගය. ඒ තත්ත්වයට ජනමාධ්‍ය තල්ලු කිරීමේ ගෞරවය අනියම් ලෙස හෝ විශ්‍රාම ගිය අගවිනිසුරුට ද හිමිවිය යුතුය. මෙම අරගලයට විවිධ ආකාරවලින් දායක වූ නීතිය හා අධිකරණ විෂයට සම්බන්ධ පහත සඳහන් පුද්ගලයන්ට මගේ ස්තුතිය හා ගෞරවය හිමිවිය යුතුය.
සුරංජිත් හේවාමාන්න (අභාවප්‍රාප්ත), ජනාධිපති නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, උපුල් ජයසූරිය, ජේ.සී. වැලිඅමුණ, එල්මෝ පෙරේරා, රොහාන් එදිරිසිංහ,ක්රිෂාලි පින්ටෝ, ජෙෆ් අලගරත්නම්, කේ.එස්. රත්නවේල්, ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග, රාජ්පාල් අබේනායක, ජී.ඩී. කුලතිලක (හිටපු දිසා විනිසුරු), පාලිත බණ්ඩාරනායක (හිටපු මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු), ඩී.එම්. සිරිවර්ධන (හිටපු මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු), සුනිල් පෙරේරා (මහාධිකරණ විනිසුරු), සමිත් සිල්වා (හිටපු මහාධිකරණ විනිසුරු), කේ.ඩබ්ලිව්. ජනරංජන, වාසුදේව නානායක්කාර, අසංග වැලිකල, පර්සි වික්‍රමසේකර, එස්.ජී. පුංචිහේවා හා ලිලන්ති ද සිල්වා.
Editors Note
Continues Ivan’s article of 7 June 2009 on the same subject. The counsel named as having
advised against the appointment in 1999 were E.D. Wickramanayake, H.L. de Silva, R.K.W.
Goonesekere, Faiz Musthapha and Aloy Ratnayake.