දැන් යුද්ධය අවසන්ය. ජයග්‍රාහී යුද්ධය විසින් ඉතිරි කර තිබෙන ගැටලු යුදමය වශයෙන් එල්ල වී තිබුණු අභියෝගයටත් වඩා දැවැන්ත හා සංකීර්ණය. යුද්ධය විසින් රටේ ජීවත් වන එක ජනවර්ගයක් පරාජිත ජනවර්ගයක් බවට පත්කර තිබේ. ලංකාවේ ජීවත් වන දෙමළ මිනිසුන් තුළ පමණක් නොව, විදේශීය රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව කෙරෙහි සේ ම දේශීය නොවන ලෝක දෙමළ ජනතාව තුළ ද ඒ හැඟීම බලවත් ලෙස බලපා තිබේ. ඒ හැඟීම තුළ ජීවත් වන දෙමළ ජනතාව තුළ ලංකාණ්ඩුව හා සිංහල ජනතාව කෙරෙහි තිබිය හැක්කේ අප්‍රසාදයක්, කෝපයක් හා පිළිකුලකි. අපේ මිනිසුන් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන ලද අරගලය යකඩින් හා ලෙයින් තලා දැමුවේය යන කියන හැඟීමය. මේ මොහොතේ ඔවුන්ට එල්ටීටීඊය විසින් කරන ලද බරපතළ වැරදි හෝ සාහසිකකම් පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ආයුධ සන්නද්ධ ව්‍යාපාර ජයග්‍රාහී වී නම් මීට වඩා විශාල විනාශයක් වන්නට ඉඩ තිබුණු බව ද ඔවුන්ට පෙනෙන්නේ නැත.
ශ්‍රී ලංකාව පමණක් නොව, මොනම ශිෂ්ටසම්පන්න රටක්වත් ආයුධ සන්නද්ධ බලහත්කාර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට ඉඩ නොදෙන බව හා එය මර්දනය කරන බව හිතන්නට හැකියාවක් ද ඔවුන්ට නැත. ඔවුන් මේ මොහොතේ දේවල් බලන්නේ ආවේගාත්මක හා පරාජිත මානසික හැඟීමකින් යුතුවය. ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව අතරින් පමණක් නොව, ලෝකයේ වෙනත් රටවල ජීවත් වන ශ්‍රී ලාංකික හා ශ්‍රී ලාංකික නොවන දෙමළ ජනතාව අතර ද පවතින මෙම පරාජිත මානසික හැඟීම ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය හා වැදගත් කොන්දේසියක් වේ. ඉන්දියාවේ කලිස්තාන් සන්නද්ධ ව්‍යාපාරය ද 80 දශකය මැදදී මීට සමාන ආකාරයකින් මර්දනය කරනු ලැබීය. එහෙත් එම මර්දනයෙන් පසු එහි සීක ජනයාගේ ජන ජීවිතය වඩා යහපත් තත්ත්වයකට ගැනීම පිණිසත් ඔවුන්ගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීම පිණිසත් ඉන්දියානු ආණ්ඩුව අප්‍රමාදව ක්‍රියාකළේය.
සීක සමාජ මනසේ පැවති පරාජිත හැඟීම් ඉක්මණින් ඉවත් කරනු ලැබූ අතර, වර්තමානයේ ජනප්‍රියත්වයෙන් සෝනියා ගාන්ධිට පමණක් දෙවැනි වන ඉන්දියානු අගමැති අයත්වන්නේ ද එම සික් සමාජයටය. අද සීක් ඩයස්පෝරාව තුළ පවා සීකයන් සඳහා වන වෙනම රාජ්‍යයක් ගැන කතා කරන හඬක් ඇසෙන්නේම නැති තරම්ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවද පරාජයේ අවමානය හිමි කරගත් ජාතීන් නගා සිටුවීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය. ජර්මන් හා ජපන් ජනයා අතර ගොඩනැගී තිබුණු පරාජිත මානසිකත්වය තුරන් කිරීම සඳහා විස්තීරණ වැඩසටහනක් ක්‍රියාත්මක විය. දැන් රටක් වශයෙන් අප ඉන්නේ ද එවැනි තැනකය. ආණ්ඩුවට ඒ සඳහා මතුවී තිබෙන අභියෝගයේ තරමට ගැළපෙන විස්තීරණ හා ප්‍රායෝගික වැඩ සැලැස්මක් තිබිය යුතුය. එක් අතකින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව හා ලෝක දෙමළ ජනතාවට සන්සුන්ව ආදරයෙන් කරුණු පැහැදිලි කරදෙන වැඩසටහනක් තිබිය යුතුය.
ඊට අතිරේකව අවතැන්වූවන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකගේ ජීවිත හැකි ඉක්මණින් යථා තත්ත්වයට ගැනීමේ අභියෝගයක් පවතී. ඊටත් අතිරේකව දෙමළ ජනතාවට දෙන්න යන දේශපාලන විසඳුම කුමක්ද යන ප්‍රශ්නයක්ද පවතී. වඩාත්ම සංකීර්ණ ප්රශ්නය ලෙස සැලකිය හැක්කේ සරණාගතයන් පිළිබඳ ප්රශ්නයයි. දැන් හැට දහසක් හෝ ඊට තරමක් වැඩි පිරිසක් ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශවලට පැමිණ තිබෙන අතර, ඔවුන් සියලුදෙනා තාවකාලික කඳවුරුවල රඳවා තිබේ. යුද මුක්ත කලාපයේ සිටින අයගේ සංඛ්‍යාව පැහැදිලි නැතත්, ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔවුන්ගේ සංඛ්‍යාව හැටදහසක් වුවත් සරණාගතයන් එක්ලක්ෂ විසිදහසක පමණක පිරිසකට නැවතුම් දීම, ආහාර පාන ලබාදීම, අවශ්‍ය පහසුකම් ලබාදීම සරල දෙයක් ලෙස සැලකිය නොහැකිය. පළමුවෙන්ම සිදුවන්නේ මෙම ජනයා හඳුනාගැනීම පිළිබඳ ප්රශ්නය විසඳා ගැනීමය. ඔවුන් අතර සිටින එල්ටීටීඊ ක්‍රියාධරයන් හඳුනාගත යුතුය.
ඔවුන් සියලු දෙනා පුනරුත්ථාපනය කරන්නේ ද නැත්නම් බරපතළ වැරදිකර තිබෙන අයට නඩු පවරන්නේද යන්න තීන්දු කළ යුතුය. ආණ්ඩුව කියන ආකාරයට අනෙක් ජනතාව ද වහාම ඔවුන් පදිංචි වී සිටි ගම් ප්‍රදේශවල පදිංචි කළ නොහැකිය. ඊට පෙර ඒ ප්‍රදේශවල ඇති බිම් බෝම්බ හා මර උගුල් ඉවත් කළ යුතුය. ඒ අනුව මේ සියලු දෙනා කිසියම් කලක් තාවකාලිකව කඳවුරුවල තබාගැනීමට සිදුවන බව පෙනේ. කඳවුරුවල තත්ත්වය පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය. ඉක්මණින් කඳවුරුවල ආරක්ෂක කටයුතු පමණක් ආරක්ෂක හමුදාවලට භාර කොට කඳවුරු පාලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා පුනරුත්ථාපන අධිකාරියට බාරදිය යුතුය. ඔවුන් කඳවුරුවල තබා ගන්නා කාලය තුළ ඔවුන්ගේ අනාගත ජීවිතය යහපත් හා අර්ථවත් කිරීම සඳහා ප්‍රයෝජනවත් වැඩසටහනක් පවත්වාගෙන යා යුතුය. ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, කාර්මික හා කෘෂිකාර්මික යනාදී අංශවලට අදාළව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් සිය ගම්බිම්වලට ගිය පසු වඩාත් ඵලදායී ජීවිතයක් සඳහා අවශ්‍ය මගපෙන්වීමක් මෙම කඳවුරුවලදී ලබාදිය හැකිය.
මේ හැම දෙයක්ම සිදුවිය යුතුව තිබෙන්නේ දෙමළ ජනතාවගේ පමණක් නොව ජාත්‍යන්තර ප්රජාවගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආකාරයටය. දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳ ප්රශ්නයේදී නව නීති සම්පාදනයකින් තොරව වුවත් වහාම ඇති කළ හැකි වෙනස්කම් බොහෝය. රාජ්‍ය ආයතන සමග දෙමළ භාෂාවෙන් ගනුදෙනු කළ හැකි තත්ත්වයක් ඇති කරදීම සඳහා රාජ්‍ය සේවයට බඳවාගත යුතු දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි අයගේ සංඛ්‍යාව තක්සේරු කොට ඒ හිඟය සඳහා දෙමළ මාධ්‍යයෙන් වැඩ කළ හැකි අලුත් පිරිස් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකිය. ජාති භේදය, ආගම් භේදය හා කුල භේදය තහනම් කෙරෙන නීතියක් ඉක්මණින් ප්‍රකාශයට පත් කළ හැකිය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට ලැබිය යුතුව තිබෙන සියලුම බලතල ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිය. යුදමය වශයෙන් තිබිය හැකි තර්ජන අවසන් කළ වහාම ආරක්ෂක කලාප සඳහා පවරාගෙන තිබෙන දෙමළ ජනයාගේ ඉඩම් නැවත ඔවුන්ට පවරා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැක.
ඒ සමග විනාශ වී තිබෙන ප්‍රදේශවල මාර්ග, නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වන වැඩපිළිවෙලක්ද තිබිය යුතුය. ඔවුන් ජීවත් වූ ප්‍රදේශ තිබුණු තත්ත්වයටත් වඩා දියුණු නවීන ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීම මගින් ඔවුන් කෙරෙහි උසස් හැඟීමක් ඇති බව පළ කළ හැකිය. මේ සියල්ලටම සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ජාතික වැඩ සැලැස්මක් තිබිය යුතුය. එම වැඩසටහන සකස් කිරීමේ කාර්යය සඳහා සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කරගැනීම මගින් එය දේශපාලන භේදවලින් තොරව පොදුවේ පිළිගන්නා සැලැස්මක් බවට පත්කළ හැකිය.
Editors Note
The Indian prime minister referred to is Manmohan Singh. The Khalistan movement was
suppressed in Punjab in the mid-1980s.