එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය වී අවසන්ය. යුද්ධය ආරම්භ වීමට පෙර එල්ටීටීඊය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් වර්ග කිලෝමීටර් 15,600ක් තරම් භූමි ප්‍රමාණයක් පාලනය කළේය. එම පාලනය සඳහා වන තමන්ගේ පාලන ව්‍යුහයක්ද එල්ටීටීඊය තිබුණි. වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන ශක්තිමත් වැඩ පිළිවෙලක් තමන්ට ඇති බව ලෝකයට හා දෙමළ ඩයස් පෝරාවට පෙන්නුම් කිරීමට එල්ටීටීඊයට අවශ්‍ය වූ අතර මේ වන විට එම සැකිලි වෙනම රාජ්‍ය සමග සමස්ත භූමි ප්‍රමාණයම අහිමි කරගනිමින් සිය ජනතාව ආරක්ෂක පලිහක් කරගනිමින් සිය අවසාන පැවැත්ම රැක ගැනීමේ උත්සාහයක නිරතවීමට එල්ටීටීඊ නායකයින්ට සිදු වී තිබේ. යුද්ධයක් පරාජය වූ විට පරාජය පිළිගෙන යටත්වීම ඕනෑම යුද්ධයක ක්‍රියාත්මක වන මූලික මූලධර්මයකි. හිට්ලර් පවා යුද්ධය පරාජය වීමෙන් පසු දිවි නසාගන්නා ලද්දේ සිය හමුදාවන්ට යටත් වීමට දෙනු ලබන සංඥාවක් වශයෙනි.
ඒ මගින් තවදුරටත් සිදුවිය හැකි ජීවිත විනාශය නැති කරන ලදි. එහෙත් එල්ටීටීඊ නායකයින් පරාජයෙන් පසුත් යටත් වීමට සූදානම් නැත. එල්ටීටීඊයේ අන්තර් ජාතික නායකයා ලෙස ක්‍රියාකරන කුමාර් පද්මනාදන් ජෝන් හොල්ම්ස්ට දැනුම් දී තිබෙන්නේ තමන් සමග සිටින සිවිල් ජනයා මුදාගැනීමට සූදානම් නැති බවය. තමන්ගේ ආරක්ෂක පලිහක් කරගෙන සිටින සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් මැරෙන්නට සලස්වා එහි වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැටවීම එල්ටීටීඊයේ උපාය මාර්ගය වී තිබෙන බව පැහැදිලිව පෙනේ. ඔවුන් ආරක්ෂක පලිහක් කොටගෙන සිටින සිවිල් ජනයාගේ සංඛ්‍යාව දෙලක්ෂයක් පමණ බව අන්තර් ජාතික ආයතනවල මතය වී ඇතත් ඔවුන් ගේ සංඛ්‍යාව ලක්ෂයකට වඩා අඩු බව ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල මතය වී තිබේ. එම ජනගහනයේ සංඛ්‍යාව පනස් දාහක් වුවත් සංඛ්‍යාමය වශයෙන් ගත් විට එය විශාල සංඛ්‍යාවකි. මේ පිරිසෙන් යම් පිරිසක් එල්ටීටීඊ බලහත්කාරයට ඇති බිය නිසාද තවත් පිරිසක් එල්ටීටීඊයට ඇති සමීප සම්බන්ධකම් නිසාම එහි රැඳී සිටින බව පෙනේ.
මේ අතර නොකඩවා ඔවුන්ගේ ග්‍රහණයෙන් පලා එන පිරිසක්ද සිටින්නේය. ඊළඟට වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නය දෙස මුළු ලෝකයම මහත් උනන්දුවෙන් බලා සිටින බව පෙනේ. සිවිල් ජනයා අතර සැඟවී සිටින එල්ටීටීඊ නායකයින් අත්අඩංගුවට ගන්නේ හෝ විනාශ කරන්නේ කෙසේද යන්න ආරක්ෂක හමුදා මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය වී තිබෙන බව පෙනේ. යුද්ධයට එරෙහිව කථාකරන විචාරකයන් මොන මොනවා කීවද එල්ටීටීඊයේ සැකිලි වෙනම රාජ්‍ය කඩා බිඳ දමා ඔවුන්ගේ පාලනය යටතේ තිබූ භූමි ප්‍රමාණය මුදාගනිමින් යුද්ධමය වශයෙන් ඔවුන් පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් අතින් සිදු වූ ඉතා වැදගත්, රටේ අනාගතය කෙරෙහි යහපත් ලෙස බලපාන ක්‍රියාවකි. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සේම ආරක්ෂක හමුදාවල කීර්තිය කෙරෙහි එල්ටීටීඊය දැන් ඇති කර තිබෙන මානුෂික අර්බුදය කවර ආකාරයෙන් ජය ගන්නේද කියන ප්‍රශ්නය බලපායි.
කොටු වී සිටින සිවිල් ජනයාට අවම හානියක් ඇතිවන ලෙස ඔවුන් අතර සැඟවී සිටින එල්ටීටීඊ නායකයින් අල්ලා ගැනීමට හෝ විනාශ කිරීමට සමත් වේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ සේම ආරක්ෂක හමුදාවලද ගෞරවයට හේතුවනු ඇති අතර එල්ටීටීඊ නායකයෝ අල්ලා ගැන්මට හෝ විනාශ කිරීමට දරන උත්සාහයන් වෙනුවෙන් එහි වෙසෙන ජනතාවට විශාල හානියක් වුවහොත් එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවල ගෞරවයට හේතු නොවනු ඇතිවා පමණක් නොව රටට අලුත් ප්‍රශ්න ඇති කිරීමට ද හේතු විය හැකිය. එසේම සිවිල් ජනයාට විශාල ලෙස හානි සිදුවන තත්ත්වයක් ඇති වුවහොත් එය ඉන්දියාවේ පැවැත්වෙන මැතිවරණය කෙරෙහිද විනාශකාරී ලෙස බලපා හැකිය. මේ ප්‍රශ්නයේ දී කොංග්‍රස් පාලකයින් ශ්‍රී ලංකාවට උපරිම ලෙස ආධාර කළේය. තමන්ට එල්ලවන දෝෂාරෝපන නොසලකා අපට ආධාර කළේය. ඒ ගෞරවය අපි ආරක්ෂා කළ යුතුය. මෙතරම් විශාල අභියෝගයක් ජයගත් ආරක්ෂක හමුදාවන්ට හා එහි ප්‍රධානීන්ට ඉතිරි වී තිබෙන මෙම පුංචි අවුල ඔවුන්ගේ හා රටේ ගෞරවයට හානියක් නොවන ලෙස ජයගැනීමට බැරිකමක් තිබිය නොහැකිය.
සිවිල් ජනයාට බරපතළ හානියක් ඇති නොවන ලෙස එල්ටීටීඊ නායකයින් කොටු කර ගැනීමට ඔවුන් සමත් වෙතොත් ත්‍රස්තවාදය පරාජය කිරීම අරබයා එය මුළු ලෝකයටම කියා දෙන සාර්ථක අලුත් පාඩමක් වනු නොඅනුමානය.
Editors Note
Kumaran Pathmanathan, named here as the LTTE’s international leader, was the organisation’s
chief arms procurer and was arrested in Malaysia in August 2009. John Holmes was then the
United Nations Under-Secretary-General for Humanitarian Affairs.