ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය

March 1, 2009
Publication:
Following the government's declaration of a year dedicated to Information Technology and English, this article critiques the poor state of digitalization in Sri Lanka's public sector. Pointing to outdated practices in Parliament, Customs, and the CID, the author advocates for robust e-governance to curb corruption and increase efficiency. Furthermore, it addresses the national failure in English proficiency, contrasting Sri Lanka's rigid, pronunciation-obsessed approach with India's practical and fearless adoption of the language.

මේ වසර තොරතුරු තාක්ෂණයේ හා ඉංග්‍රීසි භාෂාවේ වසර ලෙස ආණ්ඩුව නම් කර තිබේ. එහෙත් ආණ්ඩුව අපේක්ෂා කරන ඉලක්ක හා එම ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාවට නගන්නට යන වැඩපිළිවෙල කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. දැන් ආණ්ඩුවේ හැම ආයතනයකම පාහේ වෙබ් අඩවි ඇතත්, ඒවා අතර නමට පමණක් වන වෙබ් අඩවි ගණන විශාලය. පාර්ලිමේන්තුව වැනි ආයතනයකට පවා සිය වෙබ් අඩවිය කාර්යක්ෂම තත්ත්වයකට ගැනීමට සමත් වී නැත. පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට රැස්වීම් වාර්තා සේ ම, තේරීම් කාරක සභා වාර්තා ද ඇතුළත් විය යුතුය. ඊට අතිරේකව විගණන වාර්තා, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ විස්තර පමණක් නොව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් වාර්තා ද ඊට ඇතුළත් විය. රැස්වීම් වාර්තා හා කාරක සභා වාර්තා මුද්‍රණය කිරීම සඳහා පරිගණක ගතකරන වැඩපිළිවෙලක් ඇති බැවින් එම වාර්තා මනාව වෙබ් අඩවියට ඇතුළත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පැහැදිලි නැත.

පාර්ලිමේන්තුවේ කටයුතු පරිගණක ගතකිරීම සඳහා විශාල වියදමක් දරා තිබියදීත්, මෙතෙක් ලැබී තිබෙන අයහපත් අස්වැන්නට හේතු මොනවාදැයි සොයා බැලිය යුතුය. ආණ්ඩුවේ ආයතන පවත්වාගෙන යන වෙබ් අඩවිවල තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා වන විගණනයකට යාම සුදුසුය. ඒ මගින් ඒවා එක තැනක පල්වෙන තැනක තිබෙන්නේ ඇයිදැයි සොයා බලා ඵලදායී ක්‍රියාකාරීත්වයක් සඳහා ගතයුතු පිළියම් හඳුනාගත හැකිය. ආදායම් බදු, වරිපනම් බදු, විදුලි බිල්, ජල බිල්, මාර්ග නීති කැඩීමේදී ගෙවිය යුතු දඩ යනාදී මුදල් බැංකු මගින් ගෙවිය හැකි ක්‍රමයක් ඇති නොකරන්නේ ඇයි? රේගුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු පරිගණක ගතකොට බැහැර සිට ඒවාහි සිදුවන ගනුදෙනු පරීක්ෂාවට ලක්කෙරෙන ක්‍රමයක් ඇති කිරීමෙන් එම ආයතන කාර්යක්ෂම කළ හැකිවා සේ ම දූෂණය ද අවම මට්ටමකට ගෙනා හැකිය. පාසල් ශිෂ්‍යයන් අතරට තොරතුරු තාක්ෂණය සාර්ථක ලෙස ගෙනයෑමට නම් සියලු ගුරුවරුන්ට උසස්වීම් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්කළ යුතුය.

රාජ්‍ය ආයතන පරිගණක ගතකිරීම සඳහා විශාල ධනස්කන්ධයක් වැය කර ඇතත්, සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත්තේත්, සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත්තේත් ආයතන ස්වල්පයක් පමණය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන අංශය වැනි පරීක්ෂණ ආයතන පවා තවමත් වැඩ කරන්නේ ටයිප් රයිටර්වලින් මිස, පරිගණකවලින් නොවේ. මෙම වැරදි නිවැරදි කරගන්නේ කවදාද? තොරතුරු තාක්ෂණයේ වසර ලෙස හැඳින්වෙන මෙම වසර තුළ ඒ ඉලක්ක ජයගැනීමට රටට වැඩපිළිවෙලක් තිබෙනවාද? අපි දේශීය භාෂාවන්ට මාරුවිය යුතුව තිබුණේ ඉංග්‍රීසි අත්නොහරිමිනි. ඒ වෙනුවෙන් දැන් අපට විශාල වන්දියක් ගෙවන්නට සිදුවී තිබේ. අප මෙන් නොව, ඉන්දියාව ස්වදේශීය භාෂාවන්ට මාරුවූයේ ඉංග්‍රීසි භාෂාව තවදුරටත් උසස් අධ්‍යාපනයේ භාෂාව ලෙස තිබෙන්නට ඉඩහරිමිනි. ඉංග්‍රීසිවලදී අපේ අසාර්ථකභාවයට මූලික හේතුව ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසිකාරයෙකු ලෙසට උච්චාරණය කරන්නට දරන උත්සාහය හා එහි භාවිතයේ හරි වරද පිළිබඳව ඇති කරගෙන තිබෙන නොමනා බියයි.

ඉන්දියානුවන් ඉංග්‍රීසි උච්චාරණයේදී තමන්ගේම ශෛලියක් නිර්මාණය කරගෙන තිබෙන අතර, භාවිතයේදී සිදුවන වැරදිවලට ඔවුන් අනවශ්‍ය බියක් ඇතිකරගන්නේ නැත. ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කරන්නට නම් ඉංග්‍රීසි භාෂා භාවිතයේදී සිදුවන වැරදි පිළිබඳව පවතින බිය තුරන් කළ යුතුය. අතීතයේ සාක්ෂරතා දැනුම යන්නෙන් අදහස් කළේ ලිවීමේ හා කියවීමේ හැකියාව පමණය. එහෙත් වර්තමානයේ ඊට පරිගණක දැනුම ද ඇතුළත්ය. සම්ප්‍රදායික අර්ථයෙන් ශ්‍රී ලංකාව සාක්ෂරතාවයේදී උසස් තත්ත්වයක සිටිය ද පරිගණක දැනුම ද එකතු කළ විට අප ඉන්නේ උසස් තත්ත්වයක නොව පහත් තත්ත්වයකය.

Editor’s Note

Published in March 2009, this article serves as a fascinating historical baseline. It highlights early administrative struggles with implementing e-governance and addressing the digital divide, issues that remain highly relevant in discussions about Sri Lanka’s public sector modernization today.