තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමට ඉඩ නොතබමු

February 15, 2009
Publication:
Written during the final phase of the civil war, this article reflects on the imminent collapse of the LTTE and the resulting leadership vacuum within the Tamil community. The author argues that Sinhalese leaders now bear the responsibility to treat the Tamil people with compassion and justice. It serves as a strong plea for post-war reconciliation and the creation of a united, equal Sri Lankan identity to prevent the rise of future violent extremism.

සිවිල් ජනයා පළිහක් කොටගෙන සිය අවසාන පැවැත්ම ආරක්ෂා කරගැනීමට එල්ටීටීඊයට තිබෙන ඉඩ අවසන්වෙමින් පවතී. සිවිල් ජනයාගේ පළායෑම වැළැක්වීමට එල්ටීටීඊය සමත් වී නැත. එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටින සිවිල් ජනයාගේ සංඛ්‍යාව පිළිබඳ මතභේද ඇතත්, ඔවුන් සමග සිටින ඉතිරි පිරිස ද ඉදිරි දින කිහිපය තුළ ඔවුන් අත්හැර යනවා නොඅනුමානය. සිවිල් ජනයා තමන් වෙතින් ඉවත්වීමෙන් පසු අවශ්‍ය නම් එල්ටීටීඊයට අවසාන සටනට මුහුණදී ආරක්ෂක හමුදාවන්ට ද කිසියම් හානියක් කරමින් හෝ සිය අවසානය ළඟා කරගත හැකිය. නැතිනම් සාමූහිකව දිවි නසා ගැනීම මගින් දෙමළ ජනතාව අතර කම්පනයක් ඇති කිරීමට හේතුවන ලෙස සිය අවසානය ළඟා කරගත හැකිය. එල්ටීටීඊයට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. පළායෑමට ඉඩක් නැති ලෙස ඔවුහු කොටුවී සිටිති. දේශපාලන ප්‍රඥාව තිබුණේ නම් මේ ආරාවුල තමන්ට විනාශයක් ඇති නොවන ලෙස විසඳා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණි.

ඔවුහු අනවශ්‍ය තරමට තුවක්කුවට බර තැබුවෝය. අවසානයේ තමන් වැපිරූ හිංසනයේම රුදුරු ගොදුරක් බවට පත්වීමට ඔවුන්ට සිදුවිය. ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ දෙමළ නායකත්වයේ ඒකාධිකාරී අයිතිය තමන් අතට ගැනීම සඳහා ඔවුන් සියලු දෙමළ නායකයන් ඝාතනය කිරීමය. අවසානයේ දෙමළ ජනතාවට තමන් හැර තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැති තත්ත්වයක් ඔවුහු බලහත්කාරී ලෙස නිර්මාණය කළෝය. දැන් අවසානයේ ඔවුන් ද විනාශ වන තත්ත්වයක් තුළ දෙමළ ජනතාව කිසියම් කාලයකට නායකත්වයක් නැති ජන කොටසක් බවට පත්වනු ඇත්තේය. මෙම හිඩැස පිරවෙන තෙක් දෙමළ ජනයා රැකබලා ගැනීමේ වගකීම පැවරෙන්නේ සිංහල නායකයන්ටය. දෙමළ ප්‍රතික්‍රියාව අසාධාරණ හා සාහසික වුවත් තමන් අතින් දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගනිමින් ඔවුන්ට උපරිම ලෙස සාධාරණය ඉටුකරමින් දෙමළ ජනතාව ආදරයෙන් රැකබලා ගැනීම සිංහල නායකයන්ගේ වගකීමකි.

මෙම ආරාවුල ඇති කිරීමට හේතුවූ කරුණු සරලය. එහෙත් මුලදී සාධාරණව බේරුම් කරගැනීමට අසමත්වීම නිසා මෙම ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයට පමණක් නොව, රටට ද ගෙවන්නට සිදුවූ වන්දිය සුළුපටු නැත. එල්ටීටීඊය අවසානයක් කරා යෑමට නියමිත මේ මොහොතේ අනාගතයේ ප්‍රභාකරන්ලා බිහිවීමට ඉඩ නොතැබීමට රටේ ජනතාව එකහඬින් අධිෂ්ඨාන කරගත යුතුය. රටේ මහජාතිය වන සිංහල වර්ගයා සුළුජාතීන්ගේ අයිතිවාසිකම් කෙරෙහි සංවේදී විය යුතු අතර, රටේ සුළු ජාතීන් ද මහ ජාතිය කෙරෙහි සංවේදීව ක්‍රියා කළ යුතුය. ජාතික රාජ්‍යය අපට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු දායාදයක් විය හැකි වුවත්, එම තත්ත්වයෙන් ඉවත් වී ආපස්සට යෑමේ හැකියාවක් අප කිසිවකුටවත් නැත. ජනවර්ගයක් වශයෙන් සිංහල වර්ගයාට දීර්ඝ හා සංස්කෘතික වශයෙන් පොහොසත් ඉතිහාසයක් තිබෙනවා සේ ම ජනවර්ගයක් වශයෙන් දෙමළ වර්ගයාට ද දීර්ඝ ඉතිහාසයක් හා පොහොසත් සංස්කෘතියක් ඇති බව සිංහල වර්ගයා ද පිළිගත යුතුය.

අපට ජාතික රාජ්‍ය ලේ වැගිරීම්වලින් තොරව ඉදිරියට ගෙන යා හැක්කේ තිබෙන සංස්කෘතික වෙනස්කම් තිබියදීත් එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගැනීමෙන් පමණක් බව මහජාතිය පමණක් නොව සුළු ජාතිය ද තේරුම් ගත යුතුය. එල්ටීටීඊයේ දේශපාලන අවසානය, අලුතෙන් ඇති කරන චිත්‍රය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට සියලු ජනවර්ග සමත්වේ නම් හා ලොකු පුංචිකම හෝ පැරණි අලුත් බව නොසලකා මේ රටේ ජීවත් වන සියලු ජනවර්ග සමාන අයිතිවාසිකම් භුක්ති විඳින ප්‍රජාවක් බවට පත්කළ හැකි නම්, ශ්‍රී ලංකාව කිසිවෙකුටවත් දෙවැනි නොවන තරම් දියුණු රටක් බවට පත්කළ හැකිය. භේදයකින් තොරව එය සියලුදෙනාගේ අභිලාෂය බවට පත්විය යුතුය.

Editor’s Note

Published in February 2009, just months before the official end of the Sri Lankan Civil War. Rather than focusing on military triumphalism, this forward-looking piece warns against repeating historical mistakes and urges the Sinhalese majority to build a genuinely inclusive society to ensure lasting peace.