ගන්ධබ්බ තත්ත්වයකට පත්ව සිටින ජනමාධ්‍යවේදීන්

January 25, 2009
Publication:
The Sirasa attack and Lasantha's killing have frightened journalists, some of whom have already left the country, and many now speak of a terrible new era. Ivan argues it is not new: every administration since 1978 has done this. Under Jayewardene no mainstream paper criticised the government even over the opposition leader's civic rights, the hooting of Supreme Court judges, or the pardon of Gonawala Sunil; only opposition papers did, and they were sealed and prosecuted for criminal defamation. Under Chandrika Kumaratunga, whom journalists helped bring to power, Satana's editor Rohana Kumara was shot in circumstances close to Lasantha's, and Lasantha himself was beaten and his house fired on. Yet the press has now cast her as saviour, and made Mangala Samaraweera — once the symbol of media repression, whose effigies they burned — the chief mourner. Journalists forget, and in forgetting protect the system.

සිරසට එල්ල වූ ප්‍රහාරය හා ලසන්ත ඝාතනය ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් තුළ විශාල බියක් ඇති කිරීමට හේතු වී තිබේ. දැනටමත් ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු හෝ තාවකාලික ලෙස රටින් පලායාමට එම සිද්ධිය හේතු වී තිබේ. බිහිසුණු යුගයක් එළඹ ඇති බව බොහෝ ජනමාධ්‍යවේදීන්ගේ මතය වී තිබෙන අතර අප කුමක් කළ යුතුද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වෙමින් පවතී. එහෙත් මේ හා සමාන බිහිසුණු සිද්ධීන් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙය රාජපක්ෂ පාලන යුගයට පමණක් ආවේණික විශේෂ ලක්ෂණයක් නොව 1978 න් පසු ඇති වූ සෑම පාලන යුගයක් තුළම අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණු තත්ත්වයකි. ජේආර් ජයවර්ධන යුගයේ දී ප්‍රධාන ධාරාවේ කිසිම පුවත්පතක් ජයවර්ධන පාලනය විවේචනය කරන තැනකට නොගියේය. විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම, ගණන්කාරයින් යොදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට හූ කීයවීම, හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයක් මගින් දීර්ඝ කිරීම, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ දුවක දූෂණය කොට අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ගෝනවල සුනිල්ට සමාවදීම වැනි බරපතළ වැරදිවලදී පවා ප්‍රධාන ධාරාවේ පුවත්පත් ජේ.ආර්.

ජයවර්ධන පාලනය විවේචනය කරන තැනකට ගියේ නැත. එදා ජනමාධ්‍යවේදීන් පවත්වාගෙන ගිය නිශ්ශබ්දතාව කෙරෙහි බලපෑවේද බියයි. එකල ආණ්ඩුවේ වැරදි විවේචනය කළේ කොමියුනිස්ට් පක්ෂය විසින් පළකළ “ඇත්ත”, ශ්‍රීලනිපය විසින් පළකළ “දිනකර” යාපනේ පළකෙරුණු “උදයන්” වැනි විවිධ විරුද්ධ පක්ෂ පළකළ පුවත්පත් පමණය. ඒ නිසා ඒ යුගයේ ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්නට සිදුවූයේ එවැනි පුවත්පත්වලටය. ඒ හැම පුවත්පතක්ම විටින් විට සීල් තබන ලද අතර එම පුවත්පත්වලට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණි. ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන පුවත්පත් සම්ප්‍රදායක් ආරම්භ වන්නේ විකල්ප පුවත්පත් බිහිවීමත් සමගය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේ දී ප්‍රතිපක්ෂ දෙකම ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බිලිගත්තේය. ආණ්ඩුවට පක්ෂ වීම හෝ වෙනත් හේතු මත ජවිපෙ ජනමාධ්‍යවේදීන් ඝාතනය කරන විට, ආණ්ඩුවේ ආරක්ෂක හමුදා හා අතුරු හමුදාද ආණ්ඩුවට විරුද්ධවීම, ජවිපෙට පක්ෂ වීම වැනි හේතු මත ජනමාධ්‍යවේදීන් ඝාතනය කළේය.

රිචඩ් ද සොයිසා ඝාතනය, සිදු වූ ඒ සියලු සාහසික ඝාතන අතරින් වඩාත්ම කතාබහට හේතු වූ ඝාතනය විය. ඉන් පසුව එළැඹෙන චන්ද්‍රිකාගේ ආණ්ඩුව ප්‍රධානකොට ජනමාධ්‍යවේදීන්ගේ දායකත්වයෙන් බිහිවූ ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. එම පාලනය යුගයේද ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ජනමාධ්‍යවේදීන්ට ජීවත් වන්නට සිදුවූයේ මරණ බියෙනි. “සටන” පුවත්පතේ කර්තෘ ඝාතනය කෙරුණේ ඔහු රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් සිය නිවසට ගමන් ගනිමින් සිටියදීය. ඊට අතිරේකව ආණ්ඩුව විවේචනය කළ ජනමාධ්‍යවේදීන් පහර දීම්වලට ලක්විය. කුලියට යොදාගත් මැර පිරිසක් ලසන්ත වික්‍රමතුංගට පහරදුන් අතර තවත් අවස්ථාවකදී ඔහුගේ නිවසට වෙඩි තබන ලදි. එජාපයේ විරෝධතා ව්‍යාපාරයක් වාර්තා කරන්නට ගිය කැමරාකරුවන් විශාල පිරිසකට පහරදී ඔවුන්ගේ වටිනා කැමරා උපකරණද පැහැර ගත්තේය. මහින්ද රාජපක්ෂ යුගය පමණක් නොව 1978 න් පසු ඇති වූ සෑම පාලන යුගයකදීම ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් මර්දනයට ලක්විය.

ඒ සෑම යුගයක්ම ජනමාධ්‍යවේදීන්ට මරණ බිය ඇති කළ බිහිසුණු යුග ලෙස සැලකිය හැකිය. එහෙත් අවාසනාවකට ජනමාධ්‍ය මර්දනය, අප එනම් ජනමාධ්‍යවේදීන් 1978 න් පසු බිහි වූ සෑම පාලන යුගයකටම ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සලකන්නට සූදානම් නැත. අපි අතීතය මුළුමනින් අමතක කොට වර්තමානය පමණක් දකින්නන් පිරිසක් බවට පත්ව සිටිමු. ඒ නිසා ඇත්තටම වරද ඇත්තේ කොතැනද යන්න දැකීමේ හැකියාව අපි අහිමි කර ගෙන සිටිමු. අපි වර්තමාන මර්දකයාට එරෙහිව හිටපු මර්දකයා සිංහාසනයට ගැනීම පිණිස ක්‍රියාකරන, ඒ මගින් මෙම විෂම දේශපාලන ක්‍රමය ආරක්ෂා කරන කවටයන් පිරිසක් බවට පත්ව සිටිමු. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී ජනමාධ්‍ය විසින් හිටපු ජනාධිපතිනියද කරළියට ගෙනාවාය. ඇගේ චෞර පාලන යුගයේ සිදුවූ සාහසික ක්‍රියා දැන් ජනමාධ්‍යවේදීන්ට මතක නැත. ලසන්ත තමා බලයේ සිටියදී තමාටද අනුකම්පා විරහිතව විවේචනය කර ඇතත් ඒ කිසිවිටෙකත් තමා ඔහු මරන්නට අණදුන්නේ නැති බව ඇය කියා සිටියාය.

ඇගේ පාලන යුගයේදී ඇය ලසන්තව නොමැරුවා පමණය. මරනවා වෙනුවට නොමරා මැරුවේය. ඇගේ පාලන යුගයේදී රෝහණ කුමාර ඝාතනය කෙරුණු ආකාරය බොහෝ දුරට ලසන්ත ඝාතනය කෙරුණු ආකාරයට සමානය. ලසන්ත සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී යතුරු පැදිවලින් පැමිණි දෙදෙනෙක් ඔහුට වෙඩි තබා ඝාතනය කළෝය. රෝහණ කුමාර ත්‍රීවීලරයකින් සිය නිවසට ගමන් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා ඝාතනය කළෝය. ජනමාධ්‍ය චන්ද්‍රිකාගේ සාහසික අතීතය අමතක කොට ඇයට ගැලවුම්කාරියගේ වෙස් මුහුණ පැළඳ ගන්නට ඉඩ දුන්නේය. ඒ මගින් අතීත මර්දකයා ගැලවුම්කාරියක ලෙස අභිෂේක කළේය. ලසන්තගේ අවමංගල්‍ය උත්සව කමිටුවේ කටයුතු මෙහෙයවන්නා බවට පත්ව සිටියේ මංගලය. චන්ද්‍රිකා පාලන යුගයේ ජනමාධ්‍ය මර්දනයේ සංකේතය බවට පත්ව සිටියේ මංගලය. ජනමාධ්‍යවේදීන් අතර වැඩිම විරෝධයකට ලක්ව සිටි පුද්ගලයා වූයේද ඔහුය.

එහෙත් ජනමාධ්‍ය නියමුවෝ ලසන්තගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි අය වගුරුවන කඳුළුවලින් මංගලගේ පව් සෝදා හැර ඔහු ජනමාධ්‍යවේදීන්ගේ නව ගැලවුම්කරුවා ලෙස අභිෂේක කළෝය. අතීතයේදී මංගලගේ පඹයන් ගිනි තැබූ, මංගලට එරෙහිව පිකට්කළ ජනමාධ්‍ය නියමුවෝ ලසන්තගේ අවමංගල්‍ය උළෙලේ දී මංගලගේ ඇබිත්තයන් ලෙස ක්‍රියා කළෝය. රටේ ජනතාවට පමණක් නොව ජනමාධ්‍ය නියමුවන්ටද ඉක්මනින් අතීතය අමතක කළ හැකිය. ඔවුහු තමන්ගේ පැරණි මර්දකයා අලුත් ගැලවුම්කරුවා බවට පත් කරගන්නෝය. නව මර්දකයා පරාජය කොට ඔවුන් සිංහාසනයට ගෙන එන්නේ අලුත් මුහුණකින් පැරණි මර්දකයාමය. නව ගැලවුම්කරුවා සිංහාසනයට ආ විට තමන් පැළඳගෙන සිටින ගැලවුම්කරුවාගේ වෙස් මුහුණ ඉවත දමා මර්දකයාගේ වෙස් මුහුණ පැළඳගත් විට මේ නියමුවෝ සිංහාසනයෙන් පහකරන ලද පැරණි මර්දකයා තමන්ගේ නව ගැලවුම්කරුවා බවට පත්කර ගන්නේය. අතීතයේදී ඔවුන් මංගලට විරුද්ධය.

මහින්දට පක්ෂය. වර්තමානයේ මහින්දට විරුද්ධය. මංගලට පක්ෂපාතීය. අනාගතයේදී මංගලට විරුද්ධ වනු ඇත්තේය. මහින්දට පක්ෂ වනු ඇත්තේය. ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් අසුවී තිබෙන මෙම විෂම චක්‍රය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය හොඳින් පෙන්නුම් කරයි. ඔවුන් දන්නේ එවෙලේ ඇතිවන ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා කරන්නට පමණය. ඉන් ඔබ්බට කිසිවක් දැකීමේ හැකියාවක් ඔවුන්ට නැත. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ව්‍යාපාරය ආත්මයක් හෝ හෘදය සාක්ෂියක් නැති, තර්කානුකූලව කරුණු දැක්වීමේ හැකියාව නැති ගන්ධබ්බ තත්ත්වයකට පත්ව තිබේ. ජනමාධ්‍ය, ජනමාධ්‍යවේදීන් ඇතුළු ශ්‍රී ලංකාවේ පවතින ජනමාධ්‍ය ව්‍යාපාරද ගන්ධබ්බ තත්ත්වයට පත්ව තිබෙන ආකාරය පෙන්නුම් කරන තවත් නිදර්ශනයක් මෙසේය. ජනමාධ්‍යවේදීන් හෙළිදරව් කිරීම්වලින් අපේක්ෂා කරන්නේ රටේ සිදුවන සැඟවුණු වැරදි හෙළිදරව් කිරීම මගින් ඒ වැරදි නිවැරදි කිරීමය.

පසුගිය දශක දෙක තුළ පමණක් සති අන්ත පුවත්පත් මගින් කර තිබෙන හෙළිදරව්වල ප්‍රමාණය කොතරම් විශාලද? සමහරවිට එම සංඛ්‍යාව හාර පන්සීයක් විය හැකිය. එහෙත් ඒවායින් කොපමණ සංඛ්‍යාවක් සිදුවන හෝ සිදු වූ වරදක් නිවැරදි කිරීමට හේතු වී තිබේද? සුබපැත්තට සීයට එකක්වත් නැති තරම්ය. ජනමාධ්‍යවේදීහු ප්‍රබල හෙළිදරව් කිරීම්වල යෙදෙන්නෝය. පාඨකයෝ ඒවා ආශාවෙන් කියවා ඉක්මනින් අමතක කරන්නෝය. ජනමාධ්‍යවේදීහුද තමන් කරන හෙළිදරව් කිරීම් ඉක්මනින් අමතක කරති. පසු විපරමක් ඇත්තේම නැති තරම්ය. රටේ දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීහුද ජනමාධ්‍යවේදීන් කරන හෙළිදරව් කිරීම්වලට බිය නොවෙති. සතියක් ඉවසා සිටීම ප්‍රමාණවත් බවත් ඉන්පසු ඒවා සාමාන්‍ය ජනතාවට පමණක් නොව එම හෙළිදරව් කිරීම් කළ ජනමාධ්‍යවේදීන්ටද අමතක වන බවත් ඔවුහු අත්දැකීමෙන් දන්නෝය. ජනමාධ්‍යවේදීන් කරන හෙළිදරව් කිරීම් රටේ සිදුවන වැරදි නිවැරදි කිරීමට හෝ පාලනය කිරීමට හේතු නොවන බව ජනමාධ්‍යවේදීහුද දන්නෝය.

එහෙත් ඒ ඇයිද කියන ප්‍රශ්නය ඔවුන්ට තබා ජනමාධ්‍ය සංවිධානවලටත් වැදගත් වී නැත. ඒ ගැන වන කිසිම බරපතළ සංවාදයක් ඔවුන් අතර සිදුවී නැත. ඔවුහු අරමුණ අමතක කොට ලියන්නන් වාලේ ලියන්නෝය. ඒ මගින් ලැබිය යුතු ප්‍රතිඵලය ඔවුන්ට වැදගත් නැත. ශ්‍රී ලංකාවේ පවතින විෂම දේශපාලන ක්‍රමය තුළ ජනමාධ්‍යවේදීන්ට රඟපෑ හැක්කේද ගන්ධබ්බ භූමිකාවක් පමණය. අප රටේ පවතින විෂම දේශපාලන ක්‍රමයට අප කැමතිවා සේම එම දේශපාලන ක්‍රමය තුළ අප හිරවී තිබෙන ගන්ධබ්බ තත්ත්වයටද අප කැමතිය. ජනමාධ්‍යවේදය ගෞරවනීය වෘත්තියකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුරපල්ලාගේ කාර්ය ඉටු කරන්නේ ජනමාධ්‍යවේදීන්ය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය තුළ සාම්ප්‍රදායික අර්ථයෙන් ජනමාධ්‍යවේදීන්ට ඉටු කළ හැකි සමාජ දේශපාලන කාර්යයක් නැත. මෙම දේශපාලන ක්‍රමය තුළ ජනමාධ්‍යවේදීන්ට කිරීමට තිබෙන්නේ ත්‍රාසජනක විකටයකුගේ භූමිකාවකි.

පුදුමයකට මෙන් අප එම භූමිකාවට කැමතිය. අපට හිමි නියම භූමිකාව රඟපෑමට ඉඩ ලැබෙන දේශපාලන ක්‍රමයක් ගැන සිහින දකින්නට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අප සූදානම් නැත. රටේ පවතින විෂම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු මාරුවක් සඳහා දශකයටත් වැඩි කාලයක් ගතවේ. එම දීර්ඝ කාලය තුළ අප විසින්ම ගැලවුම්කරුවාගේ සළු පිළි අන්දවා බලයට පත්කරන පාලකයාට එරෙහිව මහජන උදහස ඇති කරන අතර අප විසින්ම මූලික වී බලයෙන් පහකරන ලද අතීත මර්දකයා අනාගත ගැලවුම්කරුවා ලෙස සූදානම් කිරීමේ වගකීම පැවරී ඇත්තේද ජනමාධ්‍යවේදින් වන අපටමය. ඒ අර්ථයෙන් රටේ පවතින විෂම දේශපාලන ක්‍රමයට අලුත් වටිනාකම් දෙමින් ඒ ක්‍රමයේ ආරක්ෂකයින් වී සිටින්නේද අපය. අපට රඟපාන්නට සිදුවී තිබෙන්නේ අරුත් විරහිත විකට නාට්‍යයක් වුවත් එහි ඇති හාස්‍යයට අප කැමතිය. ඒ නිසාම අප රඟපාමින් සිටින අරුත් විරහිත හාස්‍යජනක භූමිකාව දෙස විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් කිරීමට අපට හැකියාවක් නැත.

Editor’s Note

Ivan’s title uses “gandhabba”, a term for a being in a suspended intermediate state awaiting rebirth, to describe journalists caught between the roles they perform.

Gonawala Sunil, referred to here, was convicted of rape and pardoned by President Jayewardene. Richard de Zoysa, the journalist and actor, was abducted and killed in February 1990. Rohana Kumara, editor of Satana, was shot dead in 1999; Ivan discusses his killing at greater length in an article of 21 February 2010. Mangala Samaraweera was media minister under Chandrika Kumaratunga and chaired the committee for Lasantha Wickrematunge’s funeral.

Ivan writes here as a journalist about journalists, using the first person plural throughout, and includes himself in the criticism.