ගෝල්ඩන් ක්‍රෙඩිට් අර්බුදයෙන් රට උගත යුතු පාඩම්

January 4, 2009
Publication:
The Ceylinco crisis will hurt more than its owners — depositors' lives are ruined and employees face losing their jobs, and the damage runs back into the economy. Golden Key took public deposits without registering with the Central Bank, which shows the rule of law is as absent in the private sector as anywhere else. Depositors were not uneducated people; they attended to the high interest rate and ignored the risk, never asking how a rate above the commercial banks could be paid at all. Ivan asks how a monthly package of 6.5 million rupees and six luxury vehicles can be called a salary, and whether those drawing it could not see whose flesh they were living on. When politicians plunder the state and eminent men in the private sector plunder their own depositors, the country has no good future. Golden Key attended to quantity and not quality — the same fault that has damaged tea and education.

ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම මේ වසරේදී ශ්‍රී ලංකාව කෙරෙහි වඩා පීඩාකාරී ලෙස බලපෑ හැකිය. දේශපාලන වාද භේද හා තරග තිබියදීත් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා අවබෝධයකින් ක්‍රියා කිරීමේ වගකීමක් ආණ්ඩුවට, විරුද්ධ පක්ෂයට, ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනයාට ද ඇත්තේය. සෙලින්කෝ ව්‍යාපාරය මුහුණ දී තිබෙන අර්බුදය පීඩාකාරී වනු ඇත්තේ එහි හිමිකරුවන්ට පමණක් නොවේ. එය තැන්පත්කරුවන්ගේ ජීවිත ද කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන අතර, එම ආයතනවල සේවය කරන සේවකයන්ගේ රැකියා අහිමි කරන තත්ත්වයක් ඇතිවිය හැකිය. එම සමස්ත ක්‍රියාවලිය පෙරළා රටේ ආර්ථිකය කෙරෙහි ද හානිකර ලෙස බලපායි. සෙලින්කෝ ව්‍යාපාරය මුහුණ දී තිබෙන අර්බුදයට එහි පාලකයන්ගේ නොමනා පාලන ප්‍රතිපත්ති ද බලපා තිබේ. රටේ පවතින මූල්‍ය නීතිවලට ගරුකරමින් සිය ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගියේ නම් එම ව්‍යාපාරයට මෙවැනි ඛේදජනක ඉරණමක් අත් නොවන්නට ඉඩ තිබුණි.

ආයෝජන ප්‍රවර්ධනය හා උපරිම ලාභ පමණක් සැලකිල්ලට ගැනීම නිසා අවසානයේ හිමිකරුවන් පමණක් නොව, ගනුදෙනුකරුවන් ද අර්බුදයට යවන තත්ත්වයක් ඇතිවිය. රටේ පවතින මූල්‍ය නීති අනුව මූල්‍ය ආයතනයක් වශයෙන් මහ බැංකුවේ ලියාපදිංචි නොවී මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම නීති විරෝධී වුවත්, ගෝල්ඩන් කී ව්‍යාපාරය මහ බැංකුවේ ලියාපදිංචි නොවී මහජනතාවගෙන් තැන්පතු ලබාගත්තේය. පෞද්ගලික අංශය තුළ ද නීතියේ පාලනයක් නැති බව ඉන් පෙන්නුම් කරයි. තැන්පතු අහිමි කරගෙන සිටින සියලු තැන්පත්කරුවන් කිසිදු අධ්‍යාපනයක් නැති නූගත් පිරිසක් ලෙස සැලකිය නොහැකිය. ඔවුන් තමන්ට ලැබෙන වැඩි පොලී අනුපාතිකය ගැන සැලකුවා මිස, තිබෙන අවදානම සැලකිල්ලට නොගත්තේය. සාමාන්‍ය වානිජ බැංකු දෙනු ලබන පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නයවත් ඔවුන් සැලකිල්ලට නොගත්තේය.

පෞද්ගලික අංශයේ ඇතැම් පාලකයන් ද රටේ දේශපාලකයන්ට වෙනස් නොවන බව ද මේ අත්දැකීමෙන් පෙනී යයි. ගෝල්ඩන් කී ආයතනයේ ප්‍රධානියාගේ මාසික වැටුප සියලු දීමනා සමග රුපියල් ලක්ෂ 65 ක් බව කියනු ලැබේ. ඊට අතිරේකව අධිසුඛෝපභෝගී වාහන 06 ක් ඔහුට ලබාදී තිබුණු බව ද කියනු ලැබේ. ඔහුගේ ලේකම්ගේ මාසික වැටුප ලක්ෂ පහමාරකි. දක්ෂ පාලකයෙකුට හොඳ වැටුපක් ගෙවිය යුතු බවට සැකයක් තිබිය නොහැකිය. ඔහුට ලබාදෙන ලද මාසික වැටුප රුපියල් ලක්ෂ 65 ක් නම් එය වැටුපක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? තමන් මේ උරා බොන්නේ තැන්පත්කරුවන්ගේ ඊරිමාංශ බව ඔවුන්ට නොපෙනුණේද? මෙයින් පෙනෙන්නේ රටේ පෞද්ගලික අංශයේ සමහර ආයතනවල කටයුතු සිදුවන ආකාරය ද දේශපාලන තලයේ කටයුතු සිදුවන ආකාරයට වඩා වෙනස් නොවන බව නොවේද? දේශපාලකයන් රටේ සම්පත් කොල්ලකන විට පෞද්ගලික අංශයේ නාමධාරී පුද්ගලයන් ද සිය තැන්පත්කරුවන් හෝ ගනුදෙනුකරුවන්ගේ ධනය කොල්ලකයි නම් එවැනි රටක අනාගතය යහපත් විය හැක්කේ කෙසේද? ගෝල්ඩන් කී ආයතනය ව්‍යාපාර කටයුතුවලදී සැලකිල්ලට ගෙන ඇත්තේ ප්‍රමාණය මිස ගුණය නොවේ.

ප්‍රමාණයට අතිරේකව ගුණය ද සැලකිල්ලට ගත්තේ නම්, මෙවැනි විපතක් ඇති නොවන්නට ඉඩ තිබුණි. එම ආයතනයට ආවේණික එම නරක ලක්ෂණය රටටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. තේ කර්මාන්තය අර්බුදයකට ගොස් ඇත්තේ ගුණය නොසලකා ප්‍රමාණයට බර තැබීම නිසාය. තේ වැඩි වැඩියෙන් නිපදවන්නට උත්සාහ කළා විනා තේවල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරගැනීමට උනන්දුවක් නොදැක්වීය. රටේ අධ්‍යාපනයේ පවතින අර්බුදය තුළ ද මේ ලක්ෂණය හොඳින් දැකිය හැකිය. රටක් වශයෙන් අපි ෙෙ ප්‍රමාණයට ලැබෙන වැදගත්කම මිස ගුණයට ලැබෙන වැදගත්කම සලකා නැත. ප්‍රමාණය වැදගත්ය. එහෙත් ප්‍රමාණය වැඩි කරගත යුත්තේ ගුණය ද ආරක්ෂා කරගනිමිනි.

Editor’s Note

Companion piece to the longer editorial on the Golden Key collapse published in the same issue, which sets out the figures and the depositors. This piece draws the general lesson.