මත ගැටුමක් අවසන් වූ පසු අලුත් ගැටුම් නිර්මාණය කරගනිමින් හැමදාමත් ගැටුම් මතම ජීවත් වන රටක් ලෙස අප පැවතිය යුතු නැත. එල්ටීටීඊයෙන් එල්ල වී තිබුණු බෙදුම්වාදී අභියෝගය ජයගැනීමට හැකිවී තිබෙන අතර ඒ සඳහා කෙරුණු යුද්ධයද දැන් අවසන්ය. යුද්ධයෙන් පසුව පැවති පළමු ජනාධිපතිවරණයට සේනාධිනායකයා සමග සේනාපති තරග කිරීම එම ජනාධිපතිවරණය කවරදාවත් නැති තරම් උද්වේගකර ස්වරූපයක් ගැනීමට හේතුවිය. එය ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් විය. තරග බිමට පැමිණි ජෙනරාල් සංකේතාත්මක ආකාරයට හෝ හමුදා බලය නියෝජනය කිරීම නිසා ප්රතිපක්ෂ අතර තරගය ඉතා රළු ස්වරූපයක් ගත් බවක් ද පෙනෙන්නට තිබුණි. දැන් ඒ තරගය අවසන්ය. තරගයෙන් ජෙනරාල් පරාජය වී සේනාධිනායකයා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයගත්තේය. තරගයේ ජයග්රහණයෙන් පසු පරාජිත ජෙනරාල් අත්අඩංගුවට ගැනීම කම්පනයට හා ආන්දෝලනයට හේතුවන සිද්ධියක් බවට පත්විය.
එය බැලූ බැල්මටම පෙනුණේ ජයග්‍රාහකයා සිය පරාජිතයා පීඩාවට පත්කිරීම සඳහා යොදාගත් අසාධාරණ ප්‍රතිපත්තියක් ලෙසය. එහෙත් ඒ ගැන ජනාධිපතිවරයා කියන විශේෂ කතාවක්ද ඇත්තේය. මාණ්ඩලික ප්‍රධානියා ලෙස ක්‍රියාකළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ අවස්ථාවේදී එම තනතුරේ සිටියදී ඔහු කරන ලද වැරදි මත හමුදා අධිකරණයක් මගින් නඩු අසා දඬුවම් කිරීමට හමුදා බලධාරීන්ට අවශ්‍ය වී තිබේ. එහෙත් ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිත පුද්ගලයකු වන නිසා ඔහුගේ තරග කිරීමට බාධාවක් වන ලෙස ඔහුට එරෙහිව හමුදා අධිකරණයක් මගින් නඩු අසන තැනකට ගියහොත් එය සිය ප්රතිපක්ෂ අපේක්ෂකයා තරග බිමට ඒමට වැළකීමට කරන ක්‍රියාවක් ලෙස සැලකෙනු ඇති නිසා ජනාධිපතිවරණයෙන් පසුව මිස ඊට පෙර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තැනකට නොයන ලෙසට ඔවුන්ට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
ජෙනරාල්වරයා සම්බන්ධයෙන් අනුගමනය කෙරෙමින් තිබෙන නීතිමය පිළිවෙත ආපසු හැරවීමක් කිරීමට නොහැකි නම් අඩුම වශයෙන් එම ක්‍රියාවලිය විනිවිදව දැකිය හැකි තැනක තබාගත යුතුය. ජෙනරාල්වරයා චෝදනාවලට වැරදිකරු වී දඬුවම් ලබන තත්ත්වයකට පත්වුවහොත් යුද්ධය වෙනුවෙන් ඔහු ඉටුකළ කාර්යභාරය සලකා ජනාධිපතිවරයාට ඔහුට සමාව දෙන තැනකට යාහැකිය. එහෙත් ඔහු පාර්ලිමේන්තුවට තරග කරන්නේ නම් ආණ්ඩුවට ඊට බාධා නොකරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළ හැකිය. දැන් යුද්ධය අවසන් වී ඇති නිසා පාලනය හැකිතරම් මුදු කිරීම ජයග්‍රාහී ජනාධිපතිවරයාගේ වගකීමකි. විරුද්ධ පක්ෂයේ ව්‍යාපාරවලට බාධාවකින් තොරව සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩදිය යුතුය. ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට යන කවර අවස්ථාවකදී වුවත් ඒ බව තමන්ට දැනුම් දිය යුතු බවට ජනාධිපතිවරයා ආරක්ෂක බලධාරීන්ට කර තිබෙන විධානය යහපත්ය.
ජනමාධ්‍යවේදීන් අතින්ද වැරදි සිදුවී තිබෙනවා විය හැකි වුවත්, ඒ පැරණි කෝන්තර අමතක කොට බාධාවකින් තොරව ඔවුන්ට නිදහසේ ක්රියාකරන්නට ඉඩ දිය යුතුය. යුද්ධ කාලයේදී රට අතහැර පලාගිය ජනමාධ්‍යවේදීන්ට ද නැවත රටට එන ලෙසට ඇරයුම් කළ හැකිය. ජනාධිපතිවරණය අවසාන කාලයේදී අතුරුදන්වී සිටින ජනමාධ්‍යවේදියා පිළිබඳවද විධිමත් කරුණු සොයා බලන තැනකට යායුතුය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය පිළිගැනීම රටේ ස්වාධිපත්‍යයට හානි කරන්නේ නැත. ජිනීවාහි මානව හිමිකම් කමිටුව සිංහරාසා පිළිබඳව කර තිබුණු නිර්දේශ යුද්ධයක් තිබුණු එදා විවාදයට හේතුවී තිබුණු කාරණයක් වී තිබුණද, යුද්ධයක් හෝ එල්ටීටීඊයක් නැති අද දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳ ඇති ඔහු නිදහස් කිරීම යුක්තිසහගත කාරණයක් වන්නේ නැත. කුරිරු වධහිංසාවන්ට අදාළ නීතියක් ඇතත්, පොලිස් අත්අඩංගුවට ගැනීම්වලදී සිදුවන වධහිංසා ගැන විශේෂයෙන් සොයා බලන යාන්ත්‍රණයක් ඇති කරන තැනකට යා හැකිය.
ළමා අයිතිවාසිකම් පිළිබඳවද ජාත්‍යන්තර සම්මුතියෙන් පිළිගන්නා ප්‍රතිපත්ති වෙනුවෙන් නීති පනවන තැනකට යා හැකිය. එම කරුණු සම්පූර්ණ කිරීමෙන් පමණක් යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගත හැකි අතර ඒ මගින් බටහිර ලෝකය සමග තිබෙන අයහපත් සම්බන්ධයද නැවත යහපත් තැනකට ගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ නීති උපරිම ලෙස පිළිපදින ප්‍රතිපත්තියක් මගින් යහපත් දේශපාලන වටාපිටාවක් සඳහා මග හෙළි පෙහෙළි කළ හැකිය. ප්රතිපක්ෂ දේශද්‍රෝහීන් ලෙස සලකන ප්‍රතිපත්තියෙන් ආණ්ඩුව ඉවත් විය යුතු අතර ආණ්ඩුවේ නායකයන් කෙරෙහි වෛරසහගත ආකල්පයකින් ක්‍රියාකරන පිළිවෙත ප්රතිපක්ෂ විසින් ද අත්හළ යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්කය විය යුත්තේ රටේ ප්රජාතන්ත්රවාදී වටාපිටාව ශක්තිමත් කරමින් මැතිවරණයෙන් පසු රටට යහපත් අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ අන්‍යොන්‍ය අවබෝධයෙන් එකට එකතු වී වැඩකළ හැකි තත්ත්වයක් ඇති කිරීමය.
Editor’s Note
The journalist Ivan records as missing during the closing period of the presidential election is Prageeth Eknaligoda, in full Prageeth Ranjan Bandara Eknaligoda, a cartoonist, columnist and political analyst for the Lanka eNews website. He disappeared on 24 January 2010, two days before the poll, and has never been found. He had been abducted once before, in August 2009, and released the following day. This article, published four weeks after his disappearance, calls for a proper investigation. The Geneva recommendation Ivan refers to concerns Nallaratnam Singarasa, whose case the UN Human Rights Committee ruled on in 2004 and which the Supreme Court declined to give effect to in 2006.