සම්භාව්‍ය පුවත්පත් කලාවේ පිළිගත් න්‍යාය ධර්මය වන්නේ පුවත්පතක කර්තෘ රටේ පැන නගින හැම ප්‍රශ්නයකදීම සිය මතය නොවළහා පාඨකයන්ට ප්‍රකාශ කළයුතු බවය. විවාදයට හේතුවන කරුණුවලදී කර්තෘ සැඟවී අන්‍යයන් පළකරන මත මහජනයාට දැනගන්නට සැලැස්වීමෙන් නොනැවතී තමන් දරන මතයද නොසඟවා ප්‍රකාශ කළයුතු බවය. පත්තර කර්තෘවරයකු වශයෙන් මා අනුගමනය කරමින් සිටින පිළිවෙත එය වුවත්, ශ්‍රී ලංකාව වැනි රටක එවැනි පිළිවෙතක් පවත්වාගෙන යෑම සරල හා පහසු නැති බවද කිවයුතුය. එහිදී පෑනෙන් කරන ප්‍රසිද්ධ වාද විවාදවලට අතිරේකව මිතුරන් සමගද දන්නා හඳුනන පුද්ගලයන් සමගද පාඨකයන් සමගද සමහරවිට පත්තරේම කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමගද අප්රසිද්ධියේ කෙරෙන උණුසුම් වාද විවාදවලට පැටලෙන්නට සිදුවන්නේය. රටේ විවාදයට හේතුවන උණුසුම් ප්‍රශ්න පැන නගින අවස්ථාවලදී දවසෙන් විශාල කාලයක් ඒ සඳහා ගත කරන්නට සිදුවන්නේය.
දෙමළ අර්බුදය
දෙමළ ප්රශ්නය මුල් කොටගත් වර්ගාන්තර ආරාවුල පිළිබඳව මා දරන ලද මතය වූයේ මතුවී තිබෙන දෙමළ කැරැල්ල හා දෙමළ ජනතාවට සිදුවී තිබෙන අසාධාරණකම් අතර තිබෙන අන්තර් සම්බන්ධය නිසා එම ප්රශ්නය සාකච්ඡා කොට විසඳාගත යුතු ප්‍රශ්නයක් වන බවය. දෙමළ කැරැල්ල පිළිබඳව මට අනුකම්පාවක් තිබුණා සේ ම, කැරලිකරුවන් ගැන මට හැමදාමත් විවේචනයක් ද තිබුණි. එල්ටීටීඊය වෙනම රාජ්‍යයකින් හෝ කොන්ෆෙඩරේෂන් තත්ත්වයකින් මෙපිට කිසිවකට එකඟ නොවන ව්‍යාපාරයක් බව පෙනුණු විට ඔවුන් යුදමය වශයෙන් පරාජය කළ යුතුයි කියන ස්ථාවරයකට මම මාරුවීමි. මා තුළ ඇතිවූ ඒ වෙනස මාගේ මිතුරන් අතර, පාඨකයන් අතර, ජනමාධ්‍යවේදීන් අතර පමණක් නොව, මාගේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතර පවා උණුසුම් කතාබහට හේතුවූ මාතෘකාවක් විය. එහිදී මට තිබුණු තර්කය සරලය. කිසියම් ව්‍යාපාරයක් ආයුධ අතට ගන්නට යුක්තිසහගත හේතු තිබියදී වුවත් පිළිගත හැකි යථාර්ථවාදී විසඳුමකට එකඟ නොවී මිනිසුන් සාමූහික වශයෙන් නසන හා දේපළ විනාශ කරන පිළිවෙතක් අනුගමනය කරයි නම් රාජ්‍යය එම ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන්න මගේ මතය විය.
ඔවුන් කොයි කවදා හෝ ආකල්පමය වෙනසක් ඇතිකර ගන්නා තෙක් නිදහසේ මිනිසුන් මරන්නට හා දේපළ විනාශ කරන්නට ඉඩදෙන ප්‍රතිපත්තියක් පොදු යහපතට හේතුවන්නේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට ගිය විට මම එය ප්‍රසිද්ධියේ අනුමත කළෙමි. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව මීට පෙර වෙනත් ආණ්ඩු එයට එරෙහිව කරන ලද යුද්ධවලට වෙනස්ව එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ ස්ථිර අරමුණකින් යුතුව ක්‍රමානුකූලව හා විධිමත්ව කෙරෙන යුද්ධයක් බව මට පෙනුණු විට එම යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය වීම නොවැළැක්විය හැකි බවට අනාවැකි කියන තැනකටද මම තල්ලු වූයෙමි. එල්ටීටීඊය යුද්ධයෙන් ලබන පරාජය ගැන අනාවැකි කියන මගේ එම ප්‍රවේශයද මාගේ මිතුරන් අතර, විචාරකයන් අතර පමණක් නොව, මාගේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතරද උණුසුම් කතාබහට සේම වාද විවාදවලටද හේතුවිය.
එල්ටීටීඊය කිලිනොච්චියේදී යුදමය වශයෙන් පරාජය කළද ඔවුන් ගරිල්ලා යුද්ධයකට මාරුවීම නොවැළැක්විය හැකිවනු ඇති බවට ඇතැම් දේශීය විදේශීය ආරක්ෂක විචාරකයන් අනාවැකි පළකෙරෙමින් තිබෙන අවස්ථාවක මා පළ කරන ලද මතය වූයේ ගරිල්ලා ව්‍යාපාරයක සිට සාම්ප්‍රදායික යුද ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ එල්ටීටීඊය වැනි ව්‍යාපාරයකට නැවත ගරිල්ලා ව්‍යාපාරයකට මාරුවීම පහසු නැති බවය. යුදමය වශයෙන් ඔවුන් ලබන පරාජයක් යුදමය තලයේ සිදුවන ඔවුන්ගේ අවසාන මළගම වන බව මගේ මතය විය. යුද්ධයේ අවසාන ප්‍රතිඵලය ගැන පළ කරන ලද හා විවාදයට හේතුවූ තවත් මතයක් වනුයේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනතාවට අලුතෙන් මොනම දෙයක්වත් ලබා නුදුන්නද එල්ටීටීඊයේ ඍජු හෝ වක්‍ර පාලනයක් යටතේ ගත කරන ලද ජීවිතවලට වඩා ඔවුන්ගේ ජීවිත යහපත් වනු ඇති බවය.
ජනමාධ්‍ය මර්දනය
යුද්ධය පැවති කාලයේදී දැඩි යුද විරෝධී ස්ථාවරයක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ මර්දනයේදී මා පළ කළ අදහස් ද විවාදයට හේතුවිය. මාගේ මතය වූයේ ඇතිවූ එම අවාසනාවන්ත තත්ත්වය ආණ්ඩුව පමණක් නොව, ජනමාධ්‍යවේදීන් ද හරිහරියට වගකිවයුතු බවය. නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කිත් නොයාර්ට එල්ල වූ බිහිසුණු පහරදීමෙන් පසු සුනන්ද දේශප්‍රිය කැඳවන ලද සාකච්ඡාවට මමද සහභාගි වූයෙමි. ඒ වන විට මා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉවත් වී සිටියදී එම සිද්ධියට ආවේණික බරපතළකම සලකා මම ඊට සහභාගි වීමි. වෙනත් කතුවරුන් කිහිපදෙනකු හා සුනිල් ජයසේකර, උවිඳු කුරුකුලසූරිය වැනි ජනමාධ්‍යවේදීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. රටේ සිදුවන ඕනෑම සිදුවීමකදී අවසාන විග්රහයේදී ආණ්ඩුව වගකිවයුතු වුවත්, මෙම යුද හමුදාවෙන් එල්ල වූ පහරදීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන නිසා හා පහරදීමට පාදක වී තිබෙන ලිපියද හමුදාපතිවරයාට අදාළව ලියන ලද ලිපියක් වන නිසා එම පහරදීමේ වගකීම ඍජු ලෙස ආණ්ඩුවේ ගිණුමට බැර කරන ප්‍රතිපත්තියක් සාධාරණ නොවන බව මම කියා සිටියෙමි.
සුනන්ද මගේ මතය කෝපයෙන් බැහැර කළා පමණක් නොව, පහර දුන්නේ කවුද යන්න සොයා බැලීමේ වගකීම ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට නොවන බවත්, එය ආණ්ඩුව විසින් කරන ලද්දක් නොවේ නම් ඒ බව සනාථ කළ යුත්තේද ආණ්ඩුව විසින් බවත් කියා සිටියේය. එල්ටීටීඊයට එරෙහිව බිහිසුණු යුද්ධයක් කෙරෙන එවැනි අවස්ථාවක යුද හමුදාවේ ප්‍රධානියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන හැකියාව සරල හෝ පහසු දෙයක් නොවන බව තේරුම් ගැනීමට බැරි තරමට ඔවුහු ළඳ බොළඳ වූහ. එසේ නැතහොත් ආණ්ඩුව දියත් කර තිබෙන බිහිසුණු මාධ්‍ය මර්දනයක් මවාපෑමට ඔවුන්ට අවශ්‍ය වූ බව පෙනෙන්නට තිබුණි. ඉන්පසු නාමල් පෙරේරා හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු වාහනයකින් ගමන් ගනිමින් සිටියදී ඒ දෙදෙනා ඉලක්ක කොටගෙන එවැනිම බිහිසුණු පහරදීමක් එල්ල විය. එය පළමු පහරදීම එල්ල කෙරුණු තැනින්ම එල්ල වූ පහරදීමක් විය.
ඒ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. ඉන්පසු පුවත්පත් ආයතනයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ රංග කලන්සූරියට දිගින් දිගටම තර්ජන එල්ල විය. ජනමාධ්‍යවේදීන් අතර සිටින මිත්‍රයන්ට මා කීවේ මේ ආරාවුලට තව තවත් දුරදිග යන්නට නොදී යුද හමුදාපති සමග සාකච්ඡා කොට මෙම ප්රශ්නය නිරාකරණය කරගත යුතු බවය. එහෙත් ජනමාධ්‍ය සංවිධානවල සිටි ප්රමුඛ නියෝජිතයන් මෙම සාහසික සිද්ධීන්වල සම්පූර්ණ වගකීම ආණ්ඩුවේ ගිණුමට බැර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළා පමණක් නොව, එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව බිහිසුණු ජනමාධ්‍ය මර්දනයකට ගොදුරු වූ රටක් ලෙස ලෝකයාට පෙනෙන තත්ත්වයක් ද ඇතිවිය. එහෙත් ඇතිවූ එම ක්‍රියාදාමය ආණ්ඩුව අනුමත නොකළේය. එහෙත් තීරණාත්මක යුද්ධයක් ක්රියාත්මකවෙමින් තිබෙන අවස්ථාවකදී එම සාහසික සිද්ධීන් සිදුවූයේ යුද හමුදාවේ ප්‍රධානියාගේ අනුදැනුම මත වන නිසා රටේ හමුදාපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහැකි තැනක ආණ්ඩුව නොසිටියේය.
හමුදාපතිවරයාගේ සාහසික ප්‍රවේශය කෙරෙහි ඔහු පිළිබඳව විවිධ වාර්තා ලියන ලද හා ඒ සඳහා අවශ්‍ය තොරතුරු සපයන ජනමාධ්‍යවේදීන්ගේ ද්වේෂසහගත වාර්තාකරණ ක්‍රියාකලාපයද බලපෑවේය. ලසන්ත වික්රමතුංගගේ ඝාතනය ගැනද රටේ පැවති ජනප්‍රිය මතයට වෙනස් මතයක් මට තිබුණි. එම සාහසික සිද්ධිදාමය පිළිබඳව මාගේ නිරීක්ෂණ අද නොව පසුගිය වසරේ සැප්තැම්බර්වලදී පළකළ “පෑන අහිංසකද” යන කෘතියට ඇතුළත්ය.
යුද්ධය පැවති යුගය
යුද්ධය පැවති කාලයේදී මම මගේ මිතුරන් අතර බොහෝ දුරකට දෘෂ්ටිමය වශයෙන් තනිවූ පුද්ගලයකු බවට පත්ව සිටියෙමි. රාවය කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතර ද බොහෝ දුරට දෘෂ්ටිමය වශයෙන් තනිවූ පුද්ගලයකු බවට පත්වීමි. එහෙත් ඒ ගැන මා දරන අදහස් මත පිහිටා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රතිවිරුද්ධ මත සීමා කරන ප්‍රතිපත්තියක් අනුගමනය නොකළෙමි. ඔවුන්ගේ හිතට එකඟව ඔවුන් දරන අදහස් ලියන්නට ඉඩදී විටින් විට කර්තෘ මණ්ඩල සාකච්ඡාවලදී ඔවුන්ගේ ආකල්පය විවේචනයට ලක් කළෙමි. ඒ කාලයේ රාවයේ පළවන ලිපිවලින් වැඩි හරියක් යුද්ධයට විරුද්ධ, යුද්ධය ජයගැනීමේ හැකියාවක් නැතැ”යි කියන, ආණ්ඩුවේ හා ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරකම් දැඩි ලෙස විවේචනය කරන හා එල්ටීටීඊ ප්‍රවේශය යුක්තිසහගත බව කියන ඒකපාර්ශ්වික ලිපි වී යැයි කිව හැකිය. පත්තරයේ තිබෙන මගේ ලිපිය හැරුණු විට මුළු පුවත්පතම යුද විරෝධී එල්ටීටීඊ හිතවාදී පුවත්පතක් බවට සමහරුන් මට චෝදනා කළ අවස්ථාද තිබුණි.
කතා කරන දේවල් වැරදි හා රළු විය හැකි වුවත් ඒවා සාකච්ඡාවට ලක් නොකොට හිතේ හංගා ගෙන සිටිනවාට වඩා සාකච්ඡාවට ලක්කිරීම යහපත් බව ඔවුන්ට කීවෙමි. කිලිනොච්චියට ඇතුළුවීම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණ අවස්ථාවේදී කර්තෘ මණ්ඩලය සමග කරන සාකච්ඡාවකදී එල්ටීටීඊය අටවා තිබෙන උගුල් තරණය කළ නොහැකි උගුල් ලෙස බැලූ බැල්මට පෙනීයාහැකිමුත් යුද්ධය තර්කානුකූල අවසානයක් කරා ළඟාවනු ඇති බවත්, අවසානයේ එල්ටීටීඊය පරාජය වනු ඇති බවත් කියා රාවයේ දැන් පළවන යුද්ධය කිසිසේත්ම ජයගත නොහැකි යැයි කියන ලිපි සමහර අයගේ ආස්වාදයට හේතුවනු ඇතත්, යුද්ධය එල්ටීටීඊයේ පරාජයෙන් අවසන්වීමෙන් පසු පාඨකයන්ට එම ලිපි ලිව් අය ගැන කුමක් සිතෙනු ඇද්දැ”යි ප්‍රශ්න කළෙමි. මාගේ ප්‍රශ්න කිරීම කර්තෘ මණ්ඩලයේ සමහර සාමාජිකයන් භාරගත්තේ ආවේගයකිනි. එක් සාමාජිකයෙක් යුද්ධයේ අවසානය පිළිබඳව අභියෝගාත්මක ස්වරයෙන් කතා කළේය.
යුද්ධයට එරෙහිව සිටි අය අශ්වාරෝහක බලඇණියක හදිසි ප්‍රහාරයක් වැනි ආශ්චර්යමත් සිද්ධියකින් කොයි මොහොතක හෝ යුද්ධයේ ගමන් මග මුළුමනින් කණපිට හැරෙනු ඇතැ”යි විශ්වාස කරන තැනක සිටියේය. එහෙත් ඒ සියලුදෙනාගේ අනාවැකි හා අපේක්ෂා බොරු කරමින් යුද්ධය අවසන් වූයේ එල්ටීටීඊය ලබන පූර්ණ පරාජයකිනි. මා යුද්ධයේ අනාගතය ගැන අනාවැකි පළකරන තැනකට ගියේ යුද බිමේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන කරුණු සොයා බලමින් නැවත එම කරුණු ඓතිහාසික දෘෂ්ටි කෝණයකින් විශ්ලේෂණය කරන ප්‍රතිපත්තියක් ඔස්සේය. එහෙත් යුද්ධයට ප්රතිපක්ෂව ලියන අය තර්ක කළේ හැඟීම්බරව මිස තිබෙන ඇත්ත කරුණු තර්කානුකූලව සැලකිල්ලට ගැනීමෙන් පසුව නොවේ. මාගේ පිළිගත් දේශපාලන වීරයා මහත්මා ගාන්ධි වීම හේතු කොටගෙන යුද්ධයට පක්ෂපාත මාගේ ප්‍රවේශය ගාන්ධිවාදයට පටහැනි බවට තර්ක කළ පිරිසක්ද සිටියෝය.
එහෙත් අවිහිංසාවාදී අරගල ක්‍රමයක් ලෝකයට හඳුන්වා දුන් මහත්මා ගාන්ධි යුද්ධ දෙකකදී තෝරාගත් එක පක්ෂයකට ආධාර කරන ලද පිළිවෙතක් අනුගමනය කර තිබුණු නිසා මගේ ප්‍රවේශය ගාන්ධිවාදයට පටහැනි නොවන බව දැන සිටියෙමි.
රැඩිකල් බව හා ගතානුගතික බව
එය පීඩිත පිරිසකගේ කැරැල්ලක් මර්දනය කෙරෙන පිළිවෙතට මා පක්ෂපාතව ක්‍රියා කළ පළමු අවස්ථාව නොව තුන්වැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය. 71 කැරැල්ලට දායක වූ පුද්ගලයකු වශයෙන් කැරැල්ල පරාජය ඉදිරියේ මාද සහභාගි වූ එම කැරැල්ල මා දැක්කේ රජය විසින් පරාජය කළ යුතුව තිබුණු පසුගාමී දෙයක් ලෙසය. සන්නද්ධ කැරැල්ලක් මගින් බලය අල්ලා ගැනීමේ සූදානමක් එම කැරැල්ල මෙහෙයවූ ජවි පෙරමුණට තිබුණද රට පාලනය කිරීම සඳහා වන සූදානමක් හෝ වැඩපිළිවෙළක් එයට නොතිබුණි. ඒ නිසා කැරැල්ල ජයගත්තේ නම් ඇතිවන්නට තිබුණේ මහා විනාශයකි. ඒ නිසා කැරැල්ල මර්දනය කිරීම යහපත් දෙයක් වන බව මගේ මතය වූ අතර එම මතවාදය සිරගෙදර සිටින දේශපාලන සිරකරුවන් අතර උණුසුම් කතාබහට හා වාද විවාදවලට හේතුවූ මාතෘකාවක් බවට පත්විය. ජවිපෙ දෙවැනි කැරැල්ලට මගේ කිසිම සම්බන්ධයක් නොතිබුණද ආරම්භක අවස්ථාවේදී ඔවුන්ගේ නැගිටීම කෙරෙහි විවේචනයකට අතිරේකව මා තුළ අනුකම්පාවක් ද තිබුණි.
එහෙත් අවි අතහැර සාමකාමී මාවතකට මාරුවීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලින් එකක් හැර අනෙක් සියලු ඉල්ලීම් ලබාදීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එකඟ වූ පසුත් තමන්ගේ සාහසික කැරැල්ල තවදුරටත් ඉදිරියට ගෙනයෑමට දරන ලද උත්සාහය ඉදිරියේ මගේ මතය වූයේ ඔවුන් මර්දනය කොට පරාජය කළ යුතු ව්‍යාපාරයක් වන බවය. එම කැරැල්ල මර්දනය කිරීමේදී අවලස්සන දේවල් කොතෙකුත් සිදුවුවද ඔවුන්ගේ දෙවැනි කැරැල්ල මර්දනය කිරීම රටේ යහපතට හේතුවිය. වැරදිලාවත් ඔවුන්ගේ පැවැත්ම තුළ රටේ ඇතිවූ තිබුණු ද්වන්ද්ව බලය තවත් අවුරුදු දෙක තුනක කාලයක් රටේ පැවතියේ නම් රටේ ජනතාවගේ ජීවිත මුළුමනින් කාලකණ්ණි තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. මෙම කැරලි තුන ඉදිරියේ මාගේ හැසිරීම සැලකිල්ලට ගත්විට සාම්ප්‍රදායික අර්ථකතනයෙන් මා දරන අදහස් හැමවිටම රැඩිකල් නොවූ බව පැහැදිලිය. වෙනස්කම් ඇතිවන්නට යන විට මා වෙනස්කම්වලට පක්ෂපාතවී ඇත්තේ ඇතිවන වෙනස්කම් යහපත් ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන බව පෙනුණේ නම් පමණය.
ජනාධිපතිවරණය
පසුගිය ජනාධිපතිවරණයේදී මාගේ පක්ෂපාතිත්වය තිබුණේ වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජෙනරාල් ෆොන්සේකාට නොව බලයේ සිටි මහින්ද රාජපක්ෂටය. ජෙනරාල් කෙරෙහි මා තුළ ද්වේෂයක් හෝ කෝපයක් හෝ වෛරයක් නොතිබුණි. එහෙත් කිසිම දේශපාලන පළපුරුද්දක් නැති උණු උණුවේ යුද බිමේ සිට පැමිණි ජෙනරාල්වරයෙකු රටේ රාජ්‍ය නායකත්වයට තෝරා ගැනීම සුදුසු නැති බව මගේ මතය විය. වෙනසක් වෙනුවෙන් පෙනී සිටියද ජෙනරාල්ට හෝ ජෙනරාල් නියෝජනය කළ විරුද්ධ පක්ෂ බලවේගයන්ට රාජපක්ෂ විරෝධය හා වෛරය හැරුණු විට වෙනසක් සඳහා වන ශක්තිමත් දැක්මක් හෝ හැඟීමක් නොතිබුණි. එය සරත් නන්ද සිල්වාගේ සිට එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව දක්වා වන සකල මහින්ද විරෝධී බලවේගයන්ගේ අපූරු එකතුවක් විය. විරුද්ධ පක්ෂ බලවේගයන් මහින්ද රාජපක්ෂ දැක්කේ, කිසිම දෙයක් නොකළ, කිසිම දෙයක් කිරීමට හැකියාවක් නැති රටකාබාසිනියා කිරීමට පමණක් දන්නා විනාශකාරී මිනිසකු ලෙසය.
මාගේ නාගරික මිතුරන් වැඩි පිරිසක් අතර සේ ම මාගේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් වැඩි පිරිසක් අතර ඉහවහා ගිය මහින්ද විරෝධයක් තිබුණි. නැවත වරක් එල්ටීටීඊ විරෝධී යුද්ධයේදී මෙන් මා මගේ මිතුරන් අතරත්, වැඩ කරන සගයන් අතරත් සුළුතර මතය නියෝජනය කරන පුද්ගලයකු බවට පත්වීමි. දැඩි මහින්ද විරෝධී ආකල්පයකින් යුතු සමහර මිතුරන් දෘෂ්ටිමය වශයෙන් මහින්ද විරෝධී වීම කෙරෙහි බලපා තිබෙන හේතු විශ්ලේෂණය කර බලන්නට මා උත්සාහ දරන ලද අවස්ථාද තිබුණි.
මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ ජනාධිපති දෙවියකු හෝ සර්වතෝභද්‍ර පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ඔහුට වැඩ කරන්නට සිදුවී තිබුණේද දූෂිත දේශපාලන ක්‍රමයක් තුළය. ඔහුගේ පාලනයෙන් වැඩි කාලයක් ගෙවී තිබුණේ යුද්ධයකටය. යුදමය වටාපිටාවක් තුළ දක්නට හා අසන්නට ලැබෙන දේවල් කොහොමටත් ප්‍රසන්න විය නොහැකිය. එවැනි කාලයක පාලකයාගේ ශෛලියටද දැඩි අධිකාරවාදී ගොරෝසු ස්වරූපයක් ගැනීම නොවැළැක්විය හැකිය. ඒ සියලු අවලස්සණකම් තිබියදීත් ඔහු රටේ තිබුණු ලොකුම වැඩක් සාර්ථක ලෙස තර්කානුකූල අවසානයක් කරා ගෙනගිය නායකයෙකි. මගේ පිළිගැනීම අනුව නිදහසින් පසු යුගය තුළ එල්ටීටීඊයෙන් එල්ල වී තිබුණු අභියෝගය ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණු ලොකුම අභියෝගය විය. රටේ නීත්‍යනුකූල රජයට අතිරේකව තවත් ප්රතිපක්ෂ රාජ්‍යයක් ගොඩනැගී තිබුණි. එල්ටීටීඊයට තමන්ගේම නවීන ආයුධවලින් සන්නද්ධ ත්‍රිවිධ හමුදාවක් තිබුණි.
තමන්ගේ බල ප්‍රදේශය සේ ම ඒ තුළ තමන්ගේම පරිපාලන ආයතන ක්‍රමයක් ද තිබුණි. එක් දහස් නවසිය අසූ ගණන්වල සිට ඒ දක්වා මෙම ව්‍යාපාරය යුදමය වශයෙන් මර්දනය කරන්නට දරන ලද හැම උත්සාහයක්ම මොන මොන හේතු නිසා හෝ අසාර්ථක වී ඔවුන් යුදමය වශයෙන් පරාජය කිරීම පහසු නැති බලවත් ව්‍යාපාරයක් බවට පත්ව තිබුණි. එල්ටීටීඊය යුදමය වශයෙන් හිමි කරගෙන තිබූ මෙම අතිවිශාල බලය නිසා දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් මතය වී තිබුණේ එල්ටීටීඊයේ ආයුධ සන්නද්ධ පැවැත්ම විසින් මතුකර තිබුණු ගැටලුව යුදමය වශයෙන් නොව සාකච්ඡා මගින් විසඳා ගතයුතු බවය. එහෙත් විටින් විට එල්ටීටීඊය සමග සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට දරන ලද උත්සාහයන් ද අසාර්ථක වී තිබුණි. ඔවුන් දැඩි ලෙස පෙනී සිටියේ වෙනම රාජ්‍යයක් නොවේ නම් කොන්ෆෙඩරේෂන් රාජ්‍යයක් සඳහාය. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දී තිබුණු ලොකුම අභියෝගය වන අතර එම ලොකු අභියෝගය සාර්ථක ලෙස ජයගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය.
මා සිතන අන්දමට ඒ අර්ථයෙන් නිදහසින් පසු බිහිවූ සියලු දේශපාලන නායකයන් අතරින් කෙටි කාලයක් තුළ රටට ලොකුම වැඩ කොටසක් කළ නායකයා වන්නේ ඔහුය. එම ව්‍යාපෘතියේදී එම ලොකු අභියෝගය ජයගැනීමට අවශ්‍ය කරන නිර්භීතභාවය, හිතුවක්කාරීභාවය, තීක්ෂ්ණභාවය හා ඒ සඳහා අවශ්‍ය මනා කාර්ය සංවිධානයක් පවත්වාගෙන යෑමේ හැකියාව තමන්ට ඇති බව ඔහු ඔප්පු කළේය. යුද්ධයෙන් පසු යුද්ධයේ ජයග්‍රහණය ගැන ලියන විග්රහයකදී මා කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට පුංචි පුංචි දේවල් ගොඩක් වෙනුවට තවත් එවැනි එක ලොකු වැඩක් කළ හැකි නම් ශ්‍රී ලංකාව ලෝකයේ බැබලෙන පුංචි තරුවක් බවට පත්කළ හැකි බවය. මෙම ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පිළිබඳව මා කෙරෙහි පළමු විවේචනාත්මක පක්ෂවාදය කෙරෙහි මහින්ද ඉටු කළ එම වැඩ කොටස බලපෑවේය. ඔහු වහාම කුණු කූඩයට විසිකළ යුතු පාලකයකු ලෙස මට නොපෙනුණේය.
ඔහු රට කාබාසිනියා කළ තක්කඩියකු ලෙස සලකා ඔහු පරාජය කළයුතුයැ”යි මගේ නාගරික මිතුරන් කියන විට ඔවුන්ගේ ගොරෝසු ප්‍රවේශය ගැන මට ඇතිවූයේ හාස්‍යයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ මා කැමැති නැති ගති ලක්ෂණද පවතී. එහෙත් මට වැදගත් වූයේ ඔහුගේ තෝරාගත් කොටසක් නොව සමස්ත චිත්රයයි. ඔහු නැවත තේරී පත්වී තවත් මහ ලොකු වැඩක් කළ යුතු බව මගේ අපේක්ෂාව විය.
මගේ පැතුම
මා හිතන විදියට යුද්ධයෙන් පසු කිරීමට ඉතිරි වී තිබෙන ලොකුම වැඩය වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා දේශපාලන ක්‍රමය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමය. ජනවර්ග අසහනය තුරන් කිරීම, ප්රතිපක්ෂ අතර පවත්නා වෛරය තුරන් කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, රාජ්‍ය සේවය හා මහජන සේවාවන් කාර්යක්ෂම හා නවීන කිරීම හා ප්රජාතන්ත්රවාදී වටිනාකම් ශක්තිමත් කෙරෙන යහපාලන සම්ප්රදායක් ඇති කිරීම රටට අවශ්‍ය වී තිබෙන වෙනස්කම් අතර ප්‍රධාන වන බව මගේ විශ්වාසයයි. ජනාධිපතිවරයා ඉතිරි වී තිබෙන ඒ ලොකු වැඩේටද අතගැසිය යුතුය. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ සියලු විවේචන නොසලකා ජනාධිපතිවරයා ලොකු ජනවරමක් දුන් ජනතාවට පෙරළා කෘතගුණ සැලකිය හැකි හොඳම ක්‍රමය වන්නේද එයයි. මා ක්රමයේ වෙනසක් ගැන සිහින දකින මිනිසෙකි. ලස්සන ශ්‍රී ලංකාවක් ගැන සිහින දකින මිනිසෙකි.
ඉතාමත් බරපතළ විවේචන තිබියදීත් මහින්ද රාජපක්ෂ ගැන මට ඇත්තේ ද සුන්දර සිහිනයකි. ඔහු බලයට පත්වූ වහාම මට සිතුණේ ප්රභාකරන්ගේ අභියෝගයට මුහුණ දිය හැකි පාලකයකු බිහිවී තිබෙන බවය. මාගේ එම හැඟීම මාගේ මිතුරන්ටද කියා ඇත්තෙමි. ඔහු ඒ සිහිනය සැබෑ කළේය. මා හිතන අන්දමට අවශ්‍ය නම් මේ රටේ පවතින රාජ්‍ය හා දේශපාලන ක්‍රමය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ ශක්තියද ඔහු සතුය. අන් සියලු දේ අතහැර ඉතිරි වී තිබෙන ඒ ලොකු දේ සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඔහු සමත් වේ නම් ඔහුගේ නාමය පාරේ ප්‍රදර්ශනය කෙරෙන කටවුට්වල නොව දීර්ඝ කාලයක් ජනතාවගේ හදවත්වල තැන්පත් වනු ඇති බව මගේ විශ්වාසයයි. සිය දරුවන්ට ආදරය කරන පියකු වශයෙන් ඔවුන්ට ඉතිරි කර දිය හැකි ලොකුම ධනය වන්නේද එයයි. රාජ්‍ය නායකයා වශයෙන් එවැනි වෙනසකට නායකත්වය දීමට ඔහු සමත්වනු ඇත්තේ දේශපාලන බලය විසින් ඇති කරන අහංකාරයෙන් මුළුමනින් ඉවත් වී නිරහංකාර නායකයකු ලෙස තමන්ට පක්ෂපාත ව්‍යාපාර සමග පමණක් නොව, ප්රතිපක්ෂ ව්‍යාපාර සමගද අන්‍යොන්‍ය අවබෝධයෙන් වැඩ කරන තැනකට යොමුවීමෙනි.
ඔහු තුනෙන් දෙකක බලයක් ගැන සිහින නොදැකිය යුතුය. රටට අවශ්‍ය වෙනස්කම් ඇති කිරීම සඳහා ප්රතිපක්ෂ සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යායුතුය. දැන් යුද්ධය අවසන් වී ඇති බැවින් දැඩි අධිකාරවාදී පාලනයක් රටට අවශ්‍ය නැත. ප්රචණ්ඩ හා ගොරෝසු වාද විවාද ද රටට අවශ්‍ය නැත. ප්රතිපක්ෂ දේශද්‍රෝහීන් ලෙස සලකන ප්රතිපත්තියක්ද රටට අවශ්‍ය නැත. ප්රතිපක්ෂද රටේ රාජ්‍ය නායකයා ප්රකෝපකරන තැනකට නොගොස් රටට අවශ්‍ය කරන වෙනස්කම් දිනාගැනීම සඳහා රාජ්‍ය නායකයා සමග සහයෝගයෙන් එකට වැඩ කරන තැනකට යා යුතුය. මාගේ නාගරික මිතුරන්ද මහින්ද විරෝධී උන්මාදනීය ආවේශයෙන් බැහැර වී ඔහු දෙස සුබවාදී ආකල්පයකින් බලන තැනකට යා යුතුය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන දෙමළ, මුස්ලිම් නියෝජිතයන් හා එක්සත් ජාතික පක්ෂ සමග සහයෝගයෙන් යුතුව රටට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට ගියහොත් රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් වී තිබෙන සියලු චෝදනා වාෂ්ප වී ලෝකයාගේ ගෞරවයට හේතුවන අලුත් ඉදිරි ගමනක් ආරම්භ කිරීමේ හැකියාව රටට ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි.
Editor’s Note
Ivan writes that the assaults on Keith Noyahr, deputy editor of The Nation, and subsequently on Namal Perera and a British High Commission officer, were carried out with the knowledge of the army commander, and that the government was not in a position to act against him during the war. He identifies Ranga Kalansooriya as then head of the newspaper institution facing continued threats. His account of the killing of Lasantha Wickrematunge, referred to here, is set out in his book “Pana Ahinsakada” published in September 2009. These are Ivan’s own claims and are contested.