තමන් දෙන නියෝග ක්‍රියාත්මක වන තත්ත්වයක් නොපවත්නා බැවින්, මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමේ වගකීමෙන් ඉවත්විය යුතු තත්ත්වයක් ගොඩනැගී තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණි. මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට දෙනු ලබන නියෝග ක්‍රියාත්මක වන තත්ත්වයක් නොපවතී. ප්‍රවෘත්ති බලධාරියා රාජ්‍ය ජනමාධ්‍ය ආයතනවලට දෙනු ලබන නියෝග එම ආයතන විසින් නොපිළිපදින බවද ප්‍රකටය. මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතුය. මතුවී තිබෙන ලොකුම ගැටලුව වී ඇත්තේ ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට කොතරම් විශාල බලයක් ලැබී තිබුණද එම බලය ක්‍රියාත්මක කළහැකි තත්ත්වයක් රටේ නොතිබීමය. මෙම තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක් වන අතර ඊට පාලකයා හා පාලක පක්ෂය වගකිවයුතු බවට සැකයක් තිබිය නොහැකිය. ආණ්ඩුවට විරෝධය පළකිරීමෙන් හෝ හෙළා දැකීමෙන් පමණක් මෙම තත්ත්වය ජයගත නොහැකි බවද කිවයුතුය.
මෙය වර්තමානයේ පමණක් දක්නට ලැබෙන අලුත්ම තත්ත්වයක් නොවන බවද කිවයුතුය. මීට පෙර චන්ද්‍රිකා යුගයේදී පැවති මැතිවරණයකදී මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට දරන ලද උත්සාහයක් වැළකුණේ නීතිපති ධුරයේ සිටි කමලසබේසන් මහතාගේ මැදිහත්වීම නිසාය. මැතිවරණයක් තිබෙන අවස්ථාවක මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිනියට උපදෙස් දී තිබුණේ යහපාලනයක් ගැන අද රටට වැදි බණ කියන එකල අගවිනිසුරු ධුරයේ සිටි සරත් නන්ද සිල්වාය. මැතිවරණ දෙකකදීම රාජ්‍ය මාධ්‍යවල නීති විරෝධී හැසිරීමට එරෙහිව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් බලරහිත කළේද ඒ සරත් නන්ද සිල්වාමය. 99 වයඹ පළාත් සභා මැතිවරණය චන්ද්‍රිකා යුගයේදී සිදුවූ දැවැන්තම ඡන්ද මංකොල්ලය ලෙස සැලකිය හැකිය. ඊට පෙර එජාප (UNP) යුගයේ පැවති මැතිවරණයද නිදහස් හා සාධාරණ තත්ත්වයක නොපැවතුණි.
යාපනේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී මැතිවරණ රාජකාරි කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පත්කරන ලද සියලු නිලධාරීන් ඉවත් කොට ආණ්ඩු පක්ෂයට දකුණෙන් ගිය පාක්ෂිකයන් කණ්ඩායමක් ඒ වෙනුවට පත් කළේය. මැතිවරණයකදී මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂවල අධිකාරිය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉවත් කොට ඍජු ලෙස පාලක පක්ෂය අතට පත් පළමු අවස්ථාව එය විය. එහිදී ක්‍රියාත්මක වූ නින්දාසහගත ක්‍රියාදාමය ඉදිරියේ මැතිවරණ කොමසාරිස් ධුරය ඉසිලූ ජයසේකර මහතා තමන් දරන ලද ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු පැවති ජනාධිපතිවරණය සේ ම ජනමත විචාරණයද පවත්වන ලද්දේ අන්ත දූෂිත තත්ත්වයකය. ජනමත විචාරණයේදී ඊට පෙර පැවති ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් දෙදෙනකු වන හෙක්ටර් කොබ්බෑකඩුවගේ හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඡන්දය ද හොරට දමාගෙන තිබුණි. මෙම දූෂිත දේශපාලන ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු 1982 සිට අද දක්වා පවත්වන ලද කිසිදු මැතිවරණයක් නිදහස් හා සාධාරණ මැතිවරණ ලෙස සැලකිය නොහැකිය.
ඒ හැම මැතිවරණයකදීම පාලක පක්ෂය පොදු දේපළ සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේය. මැතිවරණ නීතිවලට පටහැනිව රාජ්‍ය මාධ්‍ය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තේය. අඩු වැඩි වශයෙන් මැරවර බලය යොදා ගත්තේය. අතීත අත්දැකීම් වැදගත් වනුයේ දැන් සිදුවන නොපනත්කම් අනුමත කිරීම සඳහා නොවේ. එහෙත් මේ අවලස්සණ තත්ත්වය අවලස්සණ දේශපාලන ක්‍රමයේ නියත ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගැනීමට අවශ්‍ය නිසාය. මෙම දේශපාලන ක්‍රමය තුළ මැතිවරණ කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට කොතරම් බලතල දුන්නද පාලකයා නීතිගරුකව ක්‍රියාකිරීමට නොකැමැති නම් මැතිවරණ කොමසාරිස්වරයාට හෝ මැතිවරණ කොමිසමට කළහැකි දෙයක් නැත. පාලකයා නීතියට යටත් තත්ත්වයකට ගෙන එන තෙක් කොයි පාලකයා බලයට ආවද මෙම අශෝභන තත්ත්වය එලෙසින්ම පවතිනු නොවැළැක්විය හැකිය.