හතළිස් දහසකට ආ ස න් න පිරිසකගේ ජීවිත බිලිගනිමින් හා දශ ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි කරමින් ඇතිවූ සුනාමි ආපදාව නිසි ලෙස කළමනාකරණය කිරීමට අසමත් වෙතොත් එය දේශපාලන සුනාමි තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි බව රාවය පුරෝකථනය කළේ සුනාමියෙන් සති දෙකකට පසුවය. මේ වන විට සුනාමි ආධාර බෙදාහැරීමේ යාන්ත්රණ ප්රශ්නයක් මුල් කොටගෙන ආණ්ඩුව දෙකඩ වී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් බවට පත්ව සිටී. දේශපාලන සුනාමියේ අලුත්ම ගොදුර බවට පත්ව සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. සුනාමියට ලැබුණු ආධාර පෞද්ගලික ගිණුමකට බැර කරගෙන ඇතැයි කියන චෝදනාවක් අගමැතිවරයාට එරෙහිව එල්ල වී තිබේ. ජවිපෙ, දේශපාලන සුනාමියේ ඊළග ඉලක්කය විය හැකි අතර, ජවි පෙරමුණට ද අගමැතිවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවට සමාන චෝදනාවක් එල්ලවීමේ ඉඩක් පවතී.
අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට පෙබරවාරි 2 වැනිදා ඉදිරිපත් කර තිබෙන වාර්තාව අනුව සුනාමි ආධාර වශයෙන් ලැබී තිබෙන ලැබීම් වල මුළු වටිනාකම රු. 113,262,539කි. (රුපියල් එකොළොස් කෝටි තිස් දෙලක්ෂයකි.) ජනතා විමුක්ති පෙරමුණේ විදේශ ආධාර සඳහා වන අරමුදලට (මහජන බැංකුවේ ජාත්යන්තර ශාඛාවේ පවත්වාගෙන යන අංක 10741650108156 දරන ගිණුමට) ජනවාරි 16 වැනිදා වන විට පමණක් (සුනාමියෙන් දින 21කට පසු) ලැබී තිබෙන ආධාර ප්රමාණය රුපියල් 105,780,397.31 (රුපියල් දහ කෝටි පනස් හත්ලක්ෂයකි.) රටේ දෙවැනි නායකයා වශයෙන් අගමැති දින 36ක් තුළ රුපියල් කෝටි එකොළහක් එකතු කරන විට ජනතා විමක්ති පෙරමුණ දින 21ක් තුළ කෝටි දහයහමාරක් එකතු කර තිබෙන බව ඉන් පෙනේ. අගමැති එකතු කළ මුදල් ගැන දැන් මහා ප්රශ්නයකි. ජනතා විමුක්ති පෙරමුණ එකතු කර තිබෙන මුදල් ද මහා ප්රශ්නයක් බවට පත්වීමේ හැකියාව පවතී.
ජනතා විමුක්ති පෙරමුණ විදේශ ආධාර වශයෙන් එකතු කළ මුළු මුදල කොපමණද? (අප දන්නේ ජනවාරි 16 වැනිදා එකතු වී තිබුණු මුදල් ප්රමාණය ගැන පමණය.) ඉන් කොපමණ මුදලක් සුනාමි සහනාධාර වශයෙන් වැය කළේ ද? කොපමණ මුදලක් අත ඉතිරිව තිබේද යන්න ගැන ජවිපෙද තවමත් රටට පැහැදිලි කර නැත.
පසුගියදා දෙවුන්දර පැවති රැස්වීමක් අමතා කතා කරමින් තමන් විදේශීය ආධාර එකතු කළ බව සත්යයක් වුවත්, ඒ ලැබුණු ආධාරවලින් එකම සතයක්වත් පක්ෂ අරමුදලට ලබාගෙන නැති බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා ප්රකාශ කර තිබුණි. මෙවැනි ප්රශ්නයකට එවැනි සරල කරුණු පැහැදිලි කිරීමක් පමණක් ප්රමාණවත් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. සහන අරමුදලට එකතු වූ මුදල් ප්රමාණය කොතෙක්ද? එම මුදලින් කොපමණ ප්රමාණයක් තවදුරටත් අත ඉතිරිව තිබේද? වැය කළ මුදල් වැය කළේ කෙසේද? ජවිපෙ එම ප්රශ්න තුනට විධිමත් ලෙස පිළිතුරු දිය යුතුය.
අගමැතිවරයා ද තමන්ට එල්ල වී තිබෙන චෝදනාවට ජනතාවගේ විශ්වාසයට හේතුවන පිළිතුරක් දී නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
සුනාමි තත්ත්වයක් කඩා වැදුණේ ජනාධිපතිනිය රටේ නොසිටි අවස්ථාවකය. ජනාධිපතිනිය රටට පැමිණ සුනාමි ආධාර සඳහා වෙනත් ගිණුම් පවත්වා නොයන ලෙසට සියලු අමාත්යාංශවලට දැනුම් දෙමින් ජාතික ආපදා අරමුදලක් ඇති කළේය. එහෙත් ලැබෙන සියලු ආධාර ලැබුණේ අගමැති ලේකම් ගිණුමටය.
ලැබුණු ආධාරවල ප්රමාණය හා වෙන් වෙන් වශයෙන් ආධාර ලැබුණේ කාගෙන්ද යන්න නොපැහැදිලිය.
ජාතික ආපදා අරමුදලට අතිරේකව ජනාධිපති අරමුදලට ද මුදල් ලැබුණු බවට රටේ කතා පැතිර තිබුණි. එහෙත් ජනාධිපති අරමුදල ද ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කර නැත.
තමන් ආරම්භ කර තිබෙන ජාතික ආපදා අරමුදල හැර සුනාමි ආධාර සඳහා වෙනත් ගිණුම් නොපවත්වන ලෙසට ජනාධිපතිනිය උපදෙස් දී තිබියදි අගමැති ලේකම් අරමුදලට එතෙක් ලැබී තිබුණු ආධාරවලින් දෙසැම්බර් 31 වැනි දින “අගමැති පුනර්ජීවන අරමුදල” නමින් විශේෂ අරමුදලක් ආරම්භ කළේ ඇයිද යන ප්රශ්නයට අගමැතිවරයා පැහැදිලි පිළිතුරක් දී නැත. එය ආරම්භ කිරීමට “අගමැති ලේකම්” අරමුදලෙන් යොදා තිබෙන මුදල රුපියල් 73,926,516.74කි. එසේම ඉන්පසු ජනවාරි 11 වැනිදා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ රාජගිරිය ශාඛාවේ “හෙල්පින් හම්බන්තොට” නමින් ගිණුමක් ආරම්භ කොට ඊට පුනර්ජීවන අරමුදලින් රුපියල් මිලියන 83ක් බැර කළේ ඇයිද යන ප්රශ්නයට ද අගමැතිවරයා පිළිගත හැකි පැහැදිලි පිළිතුරක් දී නැත.
අඩුම වශයෙන් අගමැති ලේකම් අරමුදලේදි හා අගමැති පුනර්ජීවන අරමුදලේදි චෙක්පත් අත්සන් කිරීමේ බලය ලබාදි තිබුණේ අමාත්යාංශ නිලධාරීන්ටය. එහෙත් “හෙල්පින් හම්බන්තොට” අරමුදලේ චෙක්පත්වලට අත්සන් තැබීමේ බලය ලබාදි තිබුණේ පෞද්ගලික හිතවතුන්ටය. අගමැති පුනර්ජීවන අරමුදලේ තිබුණු අරමුදල් වෙනත් නමකින් ආරම්භ කළ පෞද්ගලික ගිණුමකට බැරකළේ ඇයි ද යන ප්රශ්නයට ද අගමැතිවරයා සාධාරණ පිළිතුරක් ලබාදි නැත.
අනෙක් අතට ලැබී තිබෙන ආධාර වර්ග කිරීම සඳහා යොදාගත් ප්රතිපත්තිය ද විශ්වාසයට හේතුවන්නේ නැත. ලැබී තිබෙන මුළු ආධාරවල වටිනාකම රුපියල් එකොළොස් කෝටි තිස් දෙලක්ෂයකි. (113,262,539) ඉන් දෙකෝටි අසූතුන් ලක්ෂයක් (28,363,135.04) පොදුවේ ලැබුණු ආධාර ලෙස සලකා ජාතික ආපදා අරමුදලට යවන විට හම්බන්තොටට ලැබුණු ආධාර ලෙස සලකා “හෙල්පින් හම්බන්තොට” ගිණුමට යවා තිබෙන ප්රමාණය රුපියල් අටකෝටි විසිනව ලක්ෂයකි. ලැබුණු ආධාර වලින් කිසියම් ප්රමාණයක් අගමැතිවරයා හම්බන්තොට වන නිසා හම්බන්තොටට ලැබුණා විය හැකිය. එහෙත් ලැබුණු ආධාරවලින් 73%ක්ම ලැබුණේ හම්බන්තොටට යයි කියන්නේ නම් එය පිළිගැනීමට අමාරුය.
ඇත්තටම සිදුවිය යුත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව, ජේවීපි ය ඇතුළු සුනාමි ආධාර එකතු කළ සියලු දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් තමන් එකතු කළ ආධාරවල ප්රමාණයන් හා ඒවායින් කළ දේවල් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මහජනයාගේ දැනගැනීම පිණිස ප්රසිද්ධ කිරීමය.