මන්ත්රීවරුන්ට ලැබෙන තීරු බදු රහිත වාහන සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන ඇති තීන්දුව අගේ කළ යුතු ය. මේ වැරදි සම්ප්රදාය ඇති කළේ ද එජාපයම ය. දැන් ඒ වැරදි සම්ප්රදාය නැති කිරීම පිණිස ඔවුන් ප්රායෝගික ආකාරයකින් ක්රියාකරයි නම් එය අගේ කළ යුතු ය.
එජාප පාර්ලිමේන්තු කණ්ඩායම මේ සඳහා යෝජනා දෙකක් ආණ්ඩුවට ඉදිරිපත් කරයි. ක්ෂයවීමේ පදනමක් මත මන්ත්රීවරුන්ට වාහන ලබාදිය යුතුයි යන්න එක් යෝජනාවකි. නැත්නම් ජවි පෙරමුණ යෝජනා කර ඇති ආකාරයට වාහනය මන්ත්රීවරයාට අයිති නොවන ආකාරයට සංචිත මගින් වාහන ලබාදෙන ක්රමයක් ඇති කරන ලෙස ඉල්ලා සිටී. එජාපය හිතන්නේ මේ යෝජනා දෙකෙන් වඩා හොඳ යෝජනාවක් ක්රියාවට නැංවීමට ආණ්ඩුවට ඉඩ දෙන බව ය. ඒ සමග දස වසර සම්පූර්ණ කළ මන්ත්රීවරුන්ට තීරු බදු රහිතව ලැබෙන්නට නියමිත තුන්වැනි වාහනය ලබා නොගැනීමට ද තීරණය කර ඇත. විපක්ෂයේ පක්ෂයක් වශයෙන් ජවිපෙ දරන අදහස ද බොහෝදුරට මීට සමාන ය.
විපක්ෂයේ වැඩි පිරිසක් මේ මතයේ පිහිටා ක්රියාකරයි නම්, ආණ්ඩු පක්ෂයට පමණක් කෑදර ලෙස හැම වසර 05කට වරක් තීරුබදු රහිත වාහන ලබාගත නොහැකි ය. මේ වැරදි සම්ප්රදාය අහෝසි කළයුතු අතර, එය අහෝසි කළ හැකිවනු ඇත්තේ කටින් බතල කොළ සිටුවීමෙන් නොව, ප්රායෝගිකව ඊට එරෙහිව ක්රියාකරන ප්රතිපත්තියක් අනුගමනය කිරිමෙනි. ඉතාමත් ප්රමාද වී හෝ විපක්ෂයේ පක්ෂ දෙකක් මෙවැනි තීරණයක් ගැනීම අගේ කළ යුතු ය.