මානව හිමිකම් කොමිසම ක්රියාත්මකවීම සහ ශ්රේෂ්ඨාකරණය සතුව ඇති අධිකරණ බල සීමාවේ විධි විධානවල ඵලදායී බව පිළිබඳව කරුණු සොයා බලා අවශ්ය කරන සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 19 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ශ්රේෂ්ඨාධිකරණය රටේ තිබෙන ඉහළම අධිකරණයයි. මහජනතාවගේ පරමාධිපත්ය බලයට හා නිදහසට බලයට පත්වන ආණ්ඩුවලින් තර්ජන එල්ලවන අවස්ථාවලදි මහජන අයිතිවාසිකම් ආරක්ෂෂා කිරීමට හේතු වන ලෙස ව්යවස්ථාව අර්ථ නිරූපණය කිරීම ශ්රේෂ්ඨාධිකරණයට පැවරි තිබෙන ප්රධානම වගකීම වුවත් ශ්රේෂ්ඨාධිකරණය ඉන් බැහැරට යමින් විධායකයේ සෘජු දේශපාලන අතකොළුවක් ලෙස ක්රියාකරන තත්ත්වයක් යටතේ ඇයට හිමි විය යුතු ගෞරවය හා මහජන පිළිගැනීම ඇය බොහෝ දුරට අහිමි කරගෙන ඇත්තේය.
ශ්රේෂ්ඨාධිකරණයට අහිමි වී තිබෙන ගෞරවය හා මහජන පිළිගැනීම නැවත ලබා දෙන්නේ කෙසේද යන ප්රශ්නය රජයත් ව්යවස්ථා සභාවත් බැරෑරුම් ලෙස සළකා බැලිය යුතුය.
ශ්රේෂ්ඨාධිකරණය කෙරෙහි අතිවිශාල අවමානයක් ඇති කිරීමට හේතු වී තිබෙන අගවිනිසුරු ධුරය හොබවන සරත් සිල්වා මහතා එම තනතුරින් පළවා හැර එම තනතුරේ ගෞරවයට හේතු වන ගෞරවනීය පුද්ගලයකු එම ගරු කටයුතු තනතුරට පත් කිරීම අත්යවශ්ය වන්නා සේම ඉන් පමණක් ශ්රේෂ්ඨාධිකරණය ඇද වැටී තිබෙන ශෝචනීය තත්ත්වයෙන් ගොඩ ගත හැකි යැයි කල්පනා නොකළ යුතුය.
ආණ්ඩු ක්රම ව්යවස්ථාව අනුව ශ්රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු විෂමාචාර චෝදනාවකදි ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝගයකින් පමණය.
ඒ හැරුණවිට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ අභියාචනා විනිසුරුවරයෙකු බරපතල වරදක් කරන අවස්ථාවකදි පැමිණිලි කිරීමට තැනක් නැත. මේ විනිසුරුවරුන්ට ලැබී තිබෙන මේ අසීමිත නිදහස ද අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබේ. තනි පුද්ගලයෙක් කරන වරදකදි ඒ වරද පිළිබඳව තනි පුද්ගලයා කරන පැමිණිල්ලක් දෝෂාභියෝගයක් බවට පත්වීමේ හැකියාවක් නැති නිසා වරදට යොමුවී සිටින සමහර විනිසුරුවරුන් දඬුවම් ලැබීමට භාජනය වීම පිළිබඳ බියකින් තොරව වැරදි කරති.
ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් දෝෂාභියෝගයකින් එම තනතුරුවලින් ඉවත් කිරීමට තිබෙන විධි විධාන ඉවත් නොකොට එවැනි අය බරපතල වරදක් කරන අවස්ථාවකදි පැමිණිලි කළ හැකි තැනක් ඇති කිරීම මගින් මේ තත්ත්වය බොහෝ දුරකට පාලනය කළ හැකි ය. ඒ සඳහා සුදුසුම තැන ලෙස සැලකිය හැක්කේ ව්යවස්ථා සභාවය. ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන පැමිණිල්ලකදි එම පැමිණිල්ලට ඇතුළත් චෝදනා ඉතා බරපතල වේ නම් හා පැමිණිල්ලට ඇතුළත් කරුණු අනුව බරපතල වරදක් සිදුවී ඇති බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ නම් සුදුසු පරික්ෂණ කමිටුවක් යොදා එය පරික්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරිමේ බලය ව්යවස්ථා සභාවට ලබාදිය යුතුය. එම පරික්ෂණයෙන් පසුව ව්යවස්ථා සභාව බරපතල වරදක් සිදුවී ඇති බව තීන්දු කරමින් චෝදනාලාභී විනිසුරුවරයා තනතුරෙන් ඉවත් කිරීම සුදුසු බව නිර්දේශ කරන අවස්ථාවකදි ආණ්ඩු පක්ෂය එම පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට එම පුද්ගලයා තනතුරෙන් ඉවත් කරන ක්රමයක් ඇති කළ හැකිය.