ශ්රී ලංකාව, දේශපාලන ක්රමයේ මහා කඩා වැටීමක මුවවිට සිටින්නේයැ”යි කිවහැකිය. ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා හෝ රට සංවර්ධනය කිරීම සඳහා කරන ක්රියා මගිනුත්, විරුද්ධ පක්ෂය තිබෙන ආණ්ඩුව පරාජය කොට අලුත් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අරමුණින් කරන ක්රියා මගිනුත් වෘත්තීය සමිති ව්යාපාර අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන සටන් මගිනුත් නිරත වී සිටිනුයේ එකම කාරියකය. එනම් ඔවුහු එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කරමින් සිටිනුයේ හොඳටම ගරා හැලුණු තත්ත්වයක තිබෙන දේශපාලන ක්රමය නමැති කුලුන සිටුවා තිබෙන භූමිය මුල්ලු කිරීමය. කුලුන කොහොමටත් තිබුණේ කොයි මොහොතක හෝ කඩා වැටිය හැකි තත්ත්වයකය. දැන් සිදුවෙමින් තිබෙන මුල්ලු කිරීමේ ක්රියාවලිය කඩා වැටීම ඉක්මන් කිරීමට හේතුවනු ඇත.
මෙය බොහෝ දෙනකුට තේරුම් ගැනීමට පහසු නැති තවත් සමහරකු විවිධ හේතු නිසා පිළිගැනීමට කැමති නැති සංකීර්ණ දේශපාලන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඔවුන් ආණ්ඩු පෙලුණු සරල අවස්ථා දැන ඇතත් දේශපාලන ක්රමය කඩා වැටුණු අවස්ථා දැක නැත.
නිපදවනු ලබන ඕනෑම දෙයක් කිසියම් කාලයකදී විනාශ වන්නේය. සමහර නිපැයුම් අපේක්ෂිත අරමුණු කාර්යක්ෂම ලෙස සපුරන අතර දීර්ඝකාලීන පැවැත්මකින්ද යුතුය. තවත් සමහර නිපැයුම්වල ක්රියාකාරීත්වය කෙටිකාලීන විය හැකිය. බඳ හොඳට තිබියදී මැෂිමේ ක්රියාකාරීත්වය අවසන් විය හැකි අවස්ථා තිබිය හැකිවා සේ ම ඒ දෙකම එකවිට තවදුරටත් ප්රයෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්වන අවස්ථාද තිබිය හැකිය. නිපැයුමේ කල්පැවැත්ම කෙරෙහි ඒ සඳහා යොදාගන්නා අමුද්රව්ය, තාක්ෂණය හා වෙනත් සාධකද බලපායි.
ඇන්.ඇම්.ගේ පුරෝකථනය
මෙම ධර්මතාව දේශපාලන ක්රමයන්ටද අදාළය. ජේ.ආර්. ජයවර්ධන විසින් 1977දී නිපදවන ලද ආණ්ඩු ක්රමය රටේ වර්තමාන හා අනාගත යහපත සඳහා හොඳින් හා ගැඹුරින් කරුණු සලකා බැලීමකින් පසුව විධිමත් ලෙස ගොඩනගන ලද ආණ්ඩු ක්රමයක් ලෙස සැලකිය නොහැකිය. එය ආත්මාර්ථකාමී අභිලාෂයන් මත තකහනියේ හා කඩිමුඩියේ ඇති කරගත් ආණ්ඩු ක්රමයකි. ශ්රී ලංකාව මෙතෙක් බිහිකර තිබෙන හොඳම ආණ්ඩුක්රම න්යායවාදියා ලෙස සැලකිය හැකි ඇන්.ඇම්. පෙරේරා මෙම ව්යවස්ථාව කරළියට පැමිණ උණු උණුවේම වාගේ කීවේ ව්යවස්ථාව කඩිමුඩියේ සකස් කර තිබෙන බවට, පිළිවෙළක් නොමැති බවට හා ශක්තියෙන් තොර බවට” ව්යවස්ථාවේ අන්තර්ගතය විසින් හොඳින් පෙන්නුම් කරන බවය. ඔහු එම විග්රහයේදී අවධාරණය කරන ලද වැදගත්ම කරුණක් වනුයේ “රටක් එක ව්යවස්ථා ව්යුහයකින් තවත් එකකට හිටි අඩියේ නොපැනීම දේශපාලන න්යායේ පිළිගත් ධර්මතාවක්” බවය. එසේ වූ විට “අස්ථිරභාවය, ආරක්ෂාවිරහිතභාවය හා ද්රෝහීභාවය” ඇති වන බවය. ඔහු ජේ.ආර්. ඇති කළ ආණ්ඩුක්රමය හැඳින්වූයේ සංකලනය කළ නොහැකි ව්යවස්ථා වර්ග තුනකින් තෝරාගත් කෑලි එකට එකතු කොට තැනූ “ව්යවස්ථා කැඳ හැළියක්” ලෙසය. එහි තිබෙන ඔහුගේ වැදගත්ම නිරීක්ෂණය වනුයේ තිබුණු “පරණ ක්රමය තුළ මුළු රාජ්ය යන්ත්රයම එක්සත්භාවයේ දාමයෙන් වෙලී තිබුණු බවත් අලුත් ක්රමයෙහි ගැබ්ව ඇති අවුල්සහගත නිමාව නිසා එය ක්රියාවිරහිතභාවයෙන් අවසන් විය හැකි බවය. දැන් අප ඉන්නේ ඇන්.ඇම්. පෙරේරා කරන ලද එම පුරෝකථනය අප ඇස් ඉදිරිපිට සනාථවෙමින් තිබෙන අවස්ථාවකය.
ජනතා පරමාධිපත්යය පිළිබඳ සංකල්පය පිළිගනිමින් තනන මොනම ආණ්ඩුක්රම ව්යවස්ථාවක්වත් රටේ වස්තුව අයථා ලෙස හරිහම්බු කරගැනීමේ අයිතිය පාලක පක්ෂයට ලැබෙන ආකාරයට හෝ රාජ්ය පාලකයා නීතියට ඉහළින් සිටින ආකාරයට ව්යවස්ථා සම්පාදනය කරන්නේ නැත. නීතියේ ආධිපත්යය යන්නෙහි සරල තේරුම වනුයේ සමාජයේ සියලු සාමාජිකයන් කෙරහි එනම් පාලිතයාට මෙන්ම පාලකයාටද සමානව නීතිය ක්රියාත්මක වන ආකාරයෙන් රටේ පාලන කටයුතු සිදුවිය යුතුය යන මූලධර්මයයි. මෙම ආණ්ඩුක්රමයෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලය ඔහුගේ ආරක්ෂාව සඳහා පමණක් නොව සිය කණ්ඩායමේ ආරක්ෂාව සඳහාද යොදාගත හැකිය. එය නීතියේ පාලනයක් නැති තත්ත්වයක් රටේ ඇති කිරීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකයක් ලෙස සැලකිය හැකිය.
17 තේ යථාර්ථය
පසුගිය සතියේ විරුද්ධ පක්ෂ සංවිධාන ගණනාවක් එකට එකතු වී අවනීතියට එරෙහිව ජනතා ව්යාපාරය නමින් ඇතිකර ගන්නා ලද සංවිධානයක් ප්රකාශයට පත්කිරීම සඳහා නව නගර ශාලාවේදී පවත්වන ලද රැස්වීමක් අමතා හිටපු මහාධිකරණ විනිසුරු වරාවැව මහතා කියා තිබුණේ නිදහස් හා නීතිගරුක සමාජයකට තිබෙන ලොකුම බාධාව 18 වැනි සංශෝධනය බවත් එය ඉවත් කොට ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කළ 17 වැනි සංශෝධනය නැවත නීති ගත කළ යුතු බවත්ය. 17 වැනි සංශෝධනය ගැන මේ හා සමාන අදහස් සිකුරාදා ෆෝරමය විසින්ද ප්රකාශ කර තිබුණි. පළමු සංවිධානයට වෙනස්ව දෙවනු කී සංවිධානය ප්රමුඛ උගතුන් පිරිසක් එකට එකතු කළ සංවිධානයක් ලෙස සැලකිය හැකිය. නිර්භීත ලෙස අදහස් පළකිරීම මගින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. එහෙත් එවැනි උගතුන් පිරිසක් අදහස් පළකරන විට ඒ අදහස් පවතින අර්බුදයේ යථා ස්වභාවය මහජනයාට තේරුම් ගැනීමට ආධාර විය යුතුය. අප මුහුණ දී තිබෙන අර්බුදය 18 වැනි සංශෝධනය ඉවත් කොට ඒ වෙනුවට 17 වන සංශෝධනය නැවත නීතිගත කිරීමෙන් හෝ ආණ්ඩුව වෙනස් කිරීමෙන් හෝ විසඳා ගතහැකි සරල අර්බුදයක් ලෙස සැලකිය නොහැකිය. අනෙක් අතට 17 වැනි සංශෝධනය බලාත්මක තත්ත්වයක තිබියදී පවා එය ප්රශස්ත කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වූයේ නැති බවද අමතක නොකළ යුතුය.
ව්යවස්ථාව සකසා තිබෙන්නේ අවශ්ය නම් ජනාධිපතිවරයාට ව්යවස්ථාව උල්ලංඝනය කිරීමේ අයිතියද ලැබෙන ආකාරයටය. 17තේ නිර්මාතෘවරුන් පමණක් නොව 13 යෝජනා කළ ඉන්දියාව පවා ඒ බව මුලදී තේරුම් ගැනීමට අසමත් විය. ජනාධිපතිගේ එකඟත්වය සමග පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හා අධිකරණයේ අනුමැතිය ඇති නම් බොහෝ ලස්සන දේවල් ව්යවස්ථාවට ඇතුළත් කළ හැකිය. එහෙත් ඒවා පිළිපදිනවාද නැද්ද යන්න අවසානයේ තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිටය. 35 (1) වගන්තිය අනුව නිල තත්ත්වයෙහිලා හෝ පෞද්ගලික තත්ත්වයෙහිලා ජනාධිපති විසින් කරන ලද හෝ නොකර පැහැර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ කිසිම අධිකරණයකදී ක්රියාකළ නොහැකිය. ඒ නිසා ජනාධිපතිට ඕනෑනම් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කළ හැකිය. වෙනත් ඕනෑම වරදක් ද කළ හැකිය. දඬුවම් කළහැකි එකම විදිය ජනාධිපතිවරණයේදී ඔහු පරාජය කිරීම පමණය. නැතිනම් මාර්ක් ප්රනාන්දු දී තිබෙන අලුත් අර්ථකථනය අනුව තනතුර අහිමිවීමෙන් පසු නඩු පැවරීමය.
17 වැනි ව්යවස්ථා සංශෝධනය නීතිගත කොට ව්යවස්ථා සභාවක් ඇතිවී ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇතිවීමෙන් පසුද රාජ්ය පාලනයේ යහපත් වෙනසක් ඇතිවූයේ නැත. ව්යවස්ථා සභාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පළමුවෙන් තෝරාගෙන තිබුණේ විශ්රාම ගිය ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කේ.එම්.බී. කුලතුංග මහතාය. ව්යවස්ථා සභාව ඒ මහතාට ඒ බව දැනුම්දීමක්ද කර තිබුණි. පසුව අගමැති රනිල් වික්රමසිංහ මහතා එම තෝරා ගැනීමට විරුද්ධ වීම නිසා ව්යවස්ථා සභාව ඒ තීරණය වෙනස් කළේය. මැතිවරණ කොමිසමක් පිහිටුවා නොතිබුණද ඒ සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට ලැබී තිබියදීත් පවත්වන ලද මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරයා රාජ්ය ආයතනවලට දෙන නියෝග රාජ්ය ආයතන පිළිගත්තේ නැත. ඒ තත්ත්වයට එරෙහිව කරු ජයසූරිය මහතා ශ්රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථා දෙකේදීම ශ්රේෂ්ඨාධිකරණය ව්යවස්ථාව ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේ නැත. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු (වර්තමාන අගවිනිසුරුවරිය හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය) හිතට එකඟව කොමිසමේ වැඩ කිරීමට පුළුවන්කමක් නැති බව ප්රකාශ කරමින් එම කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූයේ ව්යවස්ථා සභාවක් යටතේ ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ක්රියාත්මක වන අවස්ථාවේදීය. ව්යවස්ථා සභාවක් මගින් පුද්ගලයන් පත්කිරීමෙන් පසුත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම යහපත් කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සමත් නොවීය.
ඒ සියල්ල අමතක කොට 17 වැනි සංශෝධනය තිබුණු කාලයේදී යහපත් තත්ත්වයක් තිබුණේයැ” විශ්වාස කරන තැනකට යෑමෙන් සිදුවන්නේ අප විසින්ම අප රවටාගැනීම පමණය. 18 වැනි සංශෝධනය ආපස්සට තබන ලද නරක පියවරක් වන බවට සැකයක් නැත. එහෙත් 17 වැනි සංශෝධනය ඉදිරියට තබන ලද ප්රශස්ත හා ඵලදායී පියවරක් ලෙසද සැලකිය නොහැකිය. මෙම ව්යවස්ථාවේ විශේෂ ස්වභාවය අනුව ජනාධිපතිට ලැබී තිබෙන පරම බලය සංවරණය හා තුලනය කරන සංශෝධනයක් මෙම ව්යවස්ථාවට එකතු කිරීමේ හැකියාවක් නැත. මේ සියලු වැරදි මගින්ද රාජපක්ෂ පාලනය ඇතිවීමෙන් පසු ඇති වූවා ලෙස සැලකීමද වැරදිය. දැන් සිදුවෙමින් තිබෙන්නේ මීට පෙර වෙනත් ජනාධිපතිවරුන්ද කළ වැරදි ඊට වැඩි ප්රමාණයකින් සිදුවීම පමණය. එය යහපත් තත්ත්වයක් නොවන අතර පෙර පැවති තත්ත්වයද යහපත් නොවීය.
ව්යවස්ථාදායක ඒකාධිපති ක්රමයක්
මේ ක්රමයේ තිබෙන ලොකුම දුර්වලතාව රාජ්යයේ සකලවිධ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබියදීත් ඔහු නීතියට ඉහළින් සිටින තත්ත්වයක තබා තිබීමය. ඒ අර්ථයෙන් මෙම ක්රමය ව්යවස්ථාදායක ඒකාධිපති ක්රමයක් ලෙස සැලකිය හැකිය. ක්රමය සකස් කරතිබෙන්නේ ආණ්ඩු මාරුවලට පහසු ඉඩක් නැති ආකාරයටය. මේ ක්රමය තුළ කෙළවරක් නැති තරමට මැතිවරණ පැවැත්වෙනමුත් ඒ මැතිවරණවලදී බලයේ සිටින පක්ෂය සිරිතක් වශයෙන් උපරිම ලෙස රාජ්ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදාගනී. ඒ නිසා වචනයේ නියම අර්ථයෙන් එසේ පැවැත්වෙන මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ ලෙස සැලකිය නොහැකිය.
මෙම ක්රමය යටතේ ජනාධිපතිට තිබුණු බලය පැරණි රාජාණ්ඩු ක්රමයක් තිබුණු කාලයේ රජවරුන්ටවත් තිබුණේද යන්න සැකසහිතය. රජවරුන්ගේ බලය පවා පිළිගත් සම්ප්රදායන්ගෙන් සීමාවී තිබුණි. එම සම්ප්රදායන් උල්ලංඝනය කිරීම බරපතළ වරදක් ලෙස සැලකුණි.
ජනාධිපතිට ලැබී තිබෙන බලයට සීමාවක් නැත. තමාට කළ නොහැක්කේ පිරිමියෙකු ගැහැනියක් කිරීමත් ගැහැනියක පිරිමියකු කිරීමත් පමණක් බවට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වහසි බස් කීවේ ඒ නිසාය. රාජ්ය දේපළ කැමති තරමක් තමන් වෙත හිමිකර ගැනීමේ හා ඒවා තමන් කැමති ඕනෑම කෙනකුට හිමිකරදීමේත් බලය ඔහු සතුය. ඔහු ඉදිරියේ ඉතා බලවත් රාජ්ය නිලධාරීන් පවා සැලකිය හැක්කේ නොවැදගත් කුරු මිට්ටන් ලෙසය. ජනාධිපතිවරයා නීතියට පටහැනිව දෙන ලද උපදෙස් භාරගැනීමට නොකැමති වූ විගණකාධිපතිවරයකුට වහාම සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස නියෝග කළ විට එම විගණකාධිපතිවරයාට කිරීමට ඉතිරි වී තිබූ එකම දේ වහාම සිය තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යෑම පමණය. 1982 යාපනේ සංවර්ධන සභා මැතිවරණයේදීද ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් යාපනේ ඡන්ද කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමසාරිස්වරයා සතු බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරා දුන්නේය. ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග කාලයේදී හොර ඡන්ද වැළකීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ස්ටිකරයක් මුද්රණය කරවන ලද අවස්ථාවේදී එවකට සිටි අගවිනිසුරුගේ උපදෙස් මත මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කළේය. එම නාඩගම ක්රියාත්මක කළ නොහැකි වූයේ එකල නීතිපතිව සිටි කමලසබේසන් මහතා ඊට විරුද්ධවෙමින් ජනාධිපතිනියගේ හිත වෙනස් කිරීමට සමත් වූ නිසාය
දේශපාලන ක්රමයේ ගමනක අවසානය
රටේ හොඳම හෝ නරකට දේශපාලන ව්යාපාරවලින් හෝ සමාජයෙන් එල්ල වන ක්රියාකාරී විරෝධතා ව්යාපාර නිසා නොව ක්රමයට ආවේණික දූෂිත හා අවුල්සහගත බව නිසා දේශපාලන ක්රමයට තවදුරටත් ඉදිරියා නොහැකි, ඉක්මනින් ක්රියාවිරහිත වන තත්ත්වයක් ගොඩනැගෙමින් පවතින්නේයැ”යි කිව හැකිය.
එය ආණ්ඩුවක් පරාජය වීම හෝ බිඳ වැටීම වැනි සරල ක්රියාවක් නොවන්නේය. එය ඊට වඩා ඉතා සංකීර්ණ ක්රියාවකි. ක්රමය ක්රියාවිරහිතවීම නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වීම කෙරෙහි ක්රමය ගොඩනැගීමේදී සිදුවූ නොගැළපීම් හා තාක්ෂණ දෝෂද, ක්රමයට ආවේණික දූෂිත ස්වරූපයද, යාන්ත්රණයේ සුක්කානම හසුරුවන්නන් විසින් කරන ලද බරපතළ වැරදිද, එක දිගට දීර්ඝ කාලයක් සිදුවූ ලේ වැගිරීම් තුළ ක්රමයට පවතින්නට සිදුවී තිබීම යන කාරණා බලපා ඇතැ”යි කිව හැකිය.
සරල නිදර්ශනයක් ගෙන කරුණු පැහැදිලි කරන්නේ නම් දේශපාලන ක්රමය මෝටර් රථයකට සමාන කළ හැකිය. පක්ෂ අතර තරගය තිබුණේ මෝටර් රථය පාවිච්චි කිරීමේ බලය සඳහාය. තරගය ජයගත් ජයග්රාහකයා නියමිත කාලසීමාවක් සඳහා මෝටර් රථය පාවිච්චි කළේය. ආරම්භයේදී මෝටර් රථය අලුත්මඅ ලුත් එකක් වුවද එය අනර්ඝ වර්ගයකට අයත් එකක් නොවීය. නිමවුවේ නොගැළපීම් තිබුණා සේ ම තාක්ෂණික ක්රියාකාරීත්වයද යහපත් තත්ත්වයක නොතිබුණි. කලින් කල පාවිච්චි කිරීමේ අයිතිය හිමි කරගත් ජයග්රාහී රියදුරන්ද එය නඩත්තු කරන ලද්දේ නොසැලකිලිමත් ලෙසය. සර්විස් කිරීම සඳහා ලබාගන්නා මුදල් රියදුරන් සාක්කුවල දමා ගත්තා මිස නිසි ලෙස සර්විස් කිරීමක් සිදු නොවීය. අලුත්වැඩියා කිරීම් සඳහා ගන්නා මුදල්ද රියදුරන් වංචා කළේය. මෝටර් රථය වැඩියෙන් පාවිච්චි වූයේද හොඳපාරවල්වල නොව වළ ගොඩැලි ඇති නරක පාරවල්වලය. අවසානයේ මෝටර් රථය ඉක්මනින් ජරාජීර්ණ වී එහෙන් මෙහෙන් ගැට ගසාගෙන යායුතු තත්ත්වයකට ඇද වැටුණේය. ඒ තත්ත්වය කෙරෙහි රියදුරන්ගේ දූෂිත හා නොසැලකිලිමත් ක්රියාකලාපය පමණක් නොව මෝටර් රථයට ආවේණික දුර්වලතාවන්ද බලපෑවේය. මෝටර් රථය එහෙන් මෙහෙන් ගැට ගසාගෙන යාහැකි තත්ත්වයක තිබුණද එය ඉක්මනින් කොයි මොහොතක හෝ මුළුමනින් ක්රියාවිරහිත තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය. දැන් රටේ දේශපාලන ක්රමය තිබෙන්නේද අමාරුවෙන් ගැට ගසාගෙන යන තත්ත්වයකය. ඉන්පසු සිදුවිය හැක්කේ මුළුමනින් ක්රියාවිරහිත වන තත්ත්වයකට පත්වීමය. දේශපාලන ක්රමය පිළිබඳ කාරණයේදී මෝටර් රථය පිළිබඳ නිදර්ශනය සරල වැඩිවිය හැකි වුවත් දේශපාලන ක්රමයේ ඇතිවී තිබෙන ගරාහැලීම ඒ ආශ්රයෙන් තේරුම් කරදීම පහසුය.
ක්රමයේ අවසාන මහා අවුල්
ජනතාවගේ පරමාධිපත්යය බලය සැලකිල්ලට ගෙන ගොඩ නගනු ලබන කවර ආණ්ඩු ක්රමයකදීවත් මහජනයා බලයට පත් කරන ආණ්ඩුවක් සල්ලිකාරයෙකුට හෝ කිහිපදෙනකුට මිලදී ගැනීමට ඉඩ ලැබෙන ආකාරයට ආණ්ඩුක්රමද ගොඩනගන්නේ නැත. එහෙත් මෙම ආණ්ඩු ක්රමය ගොඩනගා තිබෙනුයේ විකිණීමට හා මිලදී ගැනීමට හැකි ආකාරයටය.
මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් සඳහා තිබූ සීමා නීති ඉවත් කොට මැතිවරණවලදී පක්ෂවලට හා තරග කරන පුද්ගලයන්ට ඕනෑම පුද්ගලයකුගෙන් ඕනෑතරම් අරමුදල් ලබාගත හැකි හා මැතිවරණයකදී කැමති තරමක මුදල් වියදම් කළ හැකි ක්රමයක් ගොඩනැගී තිබේ. මෙම ක්රමය තුළ පක්ෂවලට හා පුද්ගලයන්ට මැතිවරන කටයුතු සඳහා අසාමාන්ය තරමේ මුදලක් වැය කිරීමෙන් පසුද විශාල මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාවද ලැබී තිබෙන්නේය. එසේ ලබාගනු ලබන විශාල මුදල් පොදු දේපළවලින් හා රජයේ ගනුදෙනුවලින් පියවිය හැකි ක්රමයක්ද ගොඩනැගී තිබේ. මේ තත්ත්වය ලොකු කළු සල්ලිකාරයන්ට, මහජනයා බලයට පත් කරන ආණ්ඩු අනියම් ලෙස පාලනය කළහැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වයද දේශපාලන ක්රමයේ තිබෙන අවුල් උග්ර කිරීමට හේතුවී තිබේ.
එම තත්ත්වය වර්ධනය වී තිබෙන තරම පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් වනුයේ කොටස් වෙළෙඳපොළේ ඇතිවී තිබෙන මහා අවුලය. විනිමය සුරැකුම් කොමිසමේ මීට පෙර සභාපති ධුරය හෙබවූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳය. ඇයට එම තනතුරේ වැඩි කලක් රැඳී සිටීමට නොහැකි විය. හිතට එකඟව කටයුතු කිරීමට ඉඩක් නැති බව ප්රකාශ කරමින් ඇයට තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. කොටස් වෙළෙඳපොළ පාලනය කරන මාෆියාවක් ගැන කතා කරන තත්ත්වයක් ඇතිවූයේ ඒ සමගය. ඊට පසු වඩා බලවත් පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි ආචාර්ය තිලක් කරුණාරත්න එම තනතුරට පත් කරනු ලැබීය. ව්යාපාරික ලෝකයේ විශ්වාසය වී තිබුණේ කොටස් වෙළෙඳපොළේ පවතින දහජරා තත්ත්වය නව සභාපතිවරයා විසින් පාලනය කරනු ඇති බවය. එහෙත් ඔහුටද එම තනතුරේ බොහෝ කලක් ඉන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් ඔහු පූර්වගාමී සභාපතිනියට වෙනස්ව එම ඉල්ලා අස්වීම කෙරෙහි බලපෑ හේතු එක්තරා විශාල ප්රමාණයකට රටට හෙළි කළේය. ඔහු හෙළිදරව් කරන ලද කරුණුවලින් දේශපාලනයේදී තිරයෙන් පිටුපස සිදුවන දේවල් ගැන අවබෝධයක් නැති අයගේ ඇඟේ මයිල් කෙළින් කරන්නට හේතුවූවා විය හැකිය. දැන් කොටස් වෙළෙඳපොළේ බිඳවැටීම පරිපූර්ණ තත්ත්වයකට ගමන් කරනු නොවැළැක්විය හැකිය.
ඒ සඳහා නිදර්ශන කොට දැක්විය හැකි තවත් වැදගත් අංශයක් වනුයේ ආර්ථිකයේ ප්රධාන ලීවරයක් ලෙස සැලකිය හැකි බලශක්ති අංශයට අදාළ විදුලිබල මණ්ඩලයේ හා ඛනිජ තෙල්සංස්ථාවේ පවතින අර්බුදයන්ය. ලිපිය දීර්ඝවීම වළකා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයට පමණක් සීමාවෙමි. ශ්රී ලංකාවට අවශ්ය විදුලි බලයෙන් 50%කට වැඩි ප්රමාණයක් නිපදවනු ලබන්නේ පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන තාප බලාගාරවලිනි. මේ ක්රමය ඇතිවූයේ 1996දීය. එය තමන්ගේ වාසිය ගැන පමණක් හිතන දේශපාලකයන් කිහිපදෙනකු, රාජ්ය නිලධාරීන් කිහිපදෙනකු හා සටකපට ව්යාපාරිකයන් කිහිපදෙනකු එකට එකතු වී රටේ සාරය උරාබීම සඳහා ඇති කරගන්නා ලද ඉතා පවිටු වැඩපිළිවෙළක් ලෙස සැලකිය හැකිය. ඒ වෙනුවෙන් ගොඩ නගන ලද බලාගාරවලට කරන ලද ආයෝජන වියදමෙන් 70%ක්ම ආයෝජනය කරන ලද්දේ විදුලිබල මණ්ඩලය විසිනි. පුද්ගලික ව්යාපාරිකයන් ආයෝජනය කළේ මුළු වියදමෙන් 30%ක් පමණය. එහෙත් ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව එම බලාගාරඋපයන මුළු ලාභයම යන්නේ 30%ක් ආයෝජනය කළ ව්යාපාරිකයන්ගේ සාක්කුවලටය. විදුලිබල මණ්ඩලයට ඒ ලාභවලින් සතයක්වත් ලැබෙන්නේ නැත. ආයෝජනය කළ පංගුව 30%ක් වුවත් බලාගාරවල 100%ක අයිතිය හිමිව ඇත්තේද 30%ක් ආයෝජනය කළ හිමිකරුවන්ටය. මහ බැංකුවට අනුව මෙම ව්යාපෘතියට වැයකළ ආයෝජනයන් සඳහා ලාභ නොලැබීමෙන් පමණක් විදුලිබල මණ්ඩලයට සිදුවන වාර්ෂික පාඩුව බිලියන 3කි. එවිට අද දක්වා වී ඇති මුළු අලාභය බිලියන 48කි. එම ගිවිසුම්වල ඇති අවාසිදායක කොන්දේසි නිවැරදි කිරීමෙන් පමණක් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 6ක් ඉතිරි කරගත හැකිය. එවිට ඒ නිසා මෙතෙක් සිදුවී තිබෙන මුළු අලාභය රුපියල් බිලියන 96කි. විදුලි අර්බුදයක් ඇතිවූ විට ඊට විසඳුම් දී තිබෙන්නේ රටේ යහපතට හේතුවන ලෙස නොව රටේ ඊරිමාංශ උරාබීමේ හැකියාව ලැබෙන ආකාරයටය. නොරොච්චෝලේ ඉදිවී තිබෙන තාප බලාගාරය වශයෙන් අපට චීනයෙන් ලැබී ඇත්තේද නවීන තාක්ෂණයෙන් යුතු බලාගාරයක් නොව කසිකබල් යල් පැනගිය බලාගාරයකි. එහි පැවැත්ම විදුලිබල මණ්ඩලයේ පාඩු ලබන තත්ත්වය උග්ර කිරීමට හේතුවී තිබේ. ඒ සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුමද රටේ පොදු යහපතට හේතුවන යහපත් ගිවිසුමක් ලෙස සැලකිය නොහැකිය. ඉන්පසු කෙළවර පිටියේ ඉදිකර තිබෙන ද්විත්ව ප්රභවයෙන් වැඩ කළ හැකි බලාගාරයද වැඩ නිමකිරීමෙන් පසු විදුලිබල මණ්ඩලයට Built and Transfer ක්රමයට භාරදිය යුතුව තිබුණු බලාගාරයකි. එහෙත් බලාගාරයේ වැඩ අවසන් වූයේ බලාගාරයේ අයිතිය විදුලිබල මණ්ඩලයට නොලැබී විදුලිබල මණ්ඩලයට දිගුකාලීනව එම බලාගාරයෙන් විදුලිය මිලදී ගතයුතු ව්යාපෘතියක් බවට පත්වීමෙනි. විදුලිබල මණ්ඩලය එම බලාගායෙන් විදුලිබලය ලබානොගන්නා කාලවලදීද බලාගාරයට ධාරිතා ගාස්තුවක් ගෙවිය යුතුය.
විදුලිබල ඇමති බවට පත්ව සිටින්නේ විදුලි ඉංජිනේරුවෙකි. ඔහු දරන දේශපාලන මතවල හොඳ නරක කුමක් වුවත් ඔහු හොරෙක් ලෙස සැලකිය නොහැකිය. කොතරම් විෂය අවබෝධයක් තිබුණද විදුලි මාෆියාව පාලනය කිරීමට ඔහු සමත් වී නැත. දැන් විදුලිබල මණ්ඩලය තිබෙන්නේද පුර්ණ බිඳ වැටීමක මුවවිටය.
විනාශවෙමින් තිබෙන්නේ කළු සල්ලිකාරයන්ගේ ග්රහණයට නතුවූ අංශ පමණක් නොවේ. අනෙක් අංශ තිබෙන්නේද කඩා වැටීමක මුවවිටය. අධ්යාපනය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනයයි. එම අර්බුදය තිබෙන්නේද පාලනය කළ නොහැකි තැනකය. රජයේ සේවකයන්ගේ වැටුප් අර්බුදය තිබෙන්නේද විසඳිය නොහැකි තත්ත්වයකය. දැන් මේ හැම අංශයකම ප්රශ්න මතුවෙමින් තිබෙන්නේද විසඳිය හැකි ආකාරයට නොව ප්රශ්නය විසඳීමට දරන ඕනෑම උත්සාහයකදී ප්රශ්න තව තව උග්රකිරීමට හේතුවන ආකාරයටය. රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ මහා විනාශයකට පෙර දේවල් සිදුවන විකාරරූපී ස්වරූපයකටය.
අවසානය කුමක්ද?
මුළු රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වී ඒ වෙනුවට වෙනත් විරුද්ධ පක්ෂයක් බලයට ආවද මජර ගලන තරමට කුණුවී තිබෙන මෙම ක්රමය තුළ ඉඳිමින් මේ තත්ත්වය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට ඊට පුළුවන්කමක් නැත. අලුතෙන් පත්වන්නන්ටද ආචාර්ය තිලක් කරුණාරත්න මුහුණ දුන් අර්බුදයට සමාන අර්බුදයකට මුහුණදෙන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.
දේවල් පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව විය හැකි දේ සංකේතාත්මක අර්ථයෙන් මෙසේ පුරෝකථනය කළ හැකිය.
ප්රභාකරන් දෙමළ ජනතාවගේ එකම නායකයා බවට පත්වූයේ අන් සියලු නායකයන් මරා දමා එම ජනවර්ගයට සිටින එකම නායකයා ප්රභාකරන් බවට පත්වීමෙනි. අවසානයේ ප්රභාකරන් ඔහු ගොඩනගන ලද තත්ත්වාකාර රාජ්ය සමග කඩා වැටුණු විට දෙමළ ජනයා නායකයන් නැති ජනවර්ගයක් බවට පත්විය.
දෙමළ උතුරේ සිදුවූ ඒ දේ ඊට වෙනස් නාටකාකාරයකින් සිංහල දකුණේද සිදුවන්නට යන බවක් පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූයේ ඓතිහාසික අර්ථයෙන් අන් සියලු නායකයන් වෙත තිබුණු මහජන පිළිගැනීම, ගෞරවය හා වැදගත්කම නැවත ලබාගත නොහැකි ලෙස අහිමි කරමින් හා ඒ සියල්ල තමා වෙත හිමිකර ගනිමින් ඔහු සිංහලයන්ට සිටින එකම නායකයා බවට පත්වූවේය. ඔහු ප්රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්ය පරාජය කරන අවස්ථාව තෙක්ම සාර්ථක නායකයකුවීයැ”යිද කිව හැකිය. එහෙත් එතැන් සිට කැබලි වී තිබූ ජාතිය එකට එකතු කිරීමේ හා කුණුවී තිබුණු සමාජ-දේශපාලන ක්රමය ප්රතිසංවිධානය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීමට අසමත් වී ඒ ආශ්රයෙන් මතුවී තිබුණු බහුවිධ අර්බුදය ප්රශස්ත ලෙස කළමනා කරන්නට අසමත්වීම තුළ ඔහු හිමි කරගෙන තිබූ මහජන විශ්වාසය ගෞරවය හා පිළිගැනීම වාෂ්ප කොට ගත්තේය. ප්රභාකරන් මියගියේ කායික වශයෙන් වුවද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මියයමින් සිටින්නේ අධ්යාත්මික වශයෙනි. මෙසේ වේගයෙන් ගරාහැලෙන දේශපාලන ක්රමයක් තුළ ඒ සා වේගයෙන් ගරා හැලෙන දේශපාලන නායකයකුගේ තත්ත්වයට ඔහු පත්වෙමින් සිටින්නේය. ඔහු සමග එකට සිදුවිය හැකි දේශපාලන ක්රමයේ කඩා වැටීමක් දකුණේ සිංහල සමාජයද, නායකයන් නැති, පාලනයක් නැති, සමාජයක් බවට පත්වීමේ සැබෑ අනතුරක් පවතී.