දරුවන් ගැන වැඩිදුරටත්

September 2, 2012
Publication:
Noting that his columns on life draw far more response than those on politics, Ivan continues the family series. Recalling how he mediated in a cousin's mother-in-law dispute, he sets out four principles he taught his own children: married children should live apart from their parents; parents should not depend wholly on their children; mothers should stay home with young children; and grandparents should not be made into childminders. He writes of becoming a grandfather, cites Newton and Bertrand Russell, and urges parents to build cleanliness, order, honesty, self-confidence and courage in their children for a globalised world.

දේශපාලනය ගැන ලියන විට මිනිසුන් ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අඩුය. ජීවිතය ගැන ලියන විට ලැබෙන ප්‍රතිචාරවල ප්‍රමාණය විශාලය. අනෙක් අතට දේශපාලනඥයන් වැරදි පිළිගැනීමට කැමති නැති වැරදි නිවැරදි කරගැනීමට කැමති නැති අධානග්‍රාහී පිරිසක් ලෙස සැලකිය හැකිය. ඊට වෙනස්ව සාමාන්‍ය ජනයා වැරදි දැනගැනීමට සේ ම ඒවා නිවැරදි කරගැනීමටද කැමතිය. අනෙක් අතට මනා පාලනයක් නැතිකම දක්නට ඇත්තේ දේශපාලනයේ පමණක් නොවේ. පවුල් සංස්ථාව තුළද එය පොදුවේ දැකිය හැකි ලක්ෂණයකි. සමාජය ගොඩනැගී තිබෙන්නේ පවුල් ඒකක විශාල සංඛ්‍යාවක් එකට එකතුවීමෙනි. ඒ නිසා පවුල් සංස්ථාව සාකච්ඡාවට ලක්කිරීම සමාජීය වශයෙන් වැදගත්ය.

මීට පෙර දරුවන් පිළිබඳ ලිපිය ප්‍රමාද වී කියවන ලද මාගේ ඥාති සහෝදරයකු දුරකතනයෙන් මා අමතා කතා කරමින් එම ලිපිය කියවූ විට මා ඔහුට මීට අවුරුදු 15කට පමණ ඉහතදී දෙන ලද අවවාදයක් සිහියට නැගුණු බවත් එම අවවාදය නොපිළිපැදීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ විශාල වන්දිය සිහිවී කඳුළු කඩා වැටුණු බවත් කියා සිටියේය.

නැන්දා ලේලි ආරාවුල

ඔහුගේ එම මතක් කිරීම මාගේ එම මැදිහත්වීම මාගේ සිහියට ගෙන ආවේය. එය මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට සුදුසුම තැනක් ලෙස සැලකිය හැකිය. එය සිදුවූ කාලවකවානුව අවුරුදු 15ක් නොව ඊට වැඩිවිය යුතුය. සමහර විට අවුරුදු 20ක් පමණ විය හැකිය. ඔහු හා ඔහුගේ බිරිඳ සමාන විෂය ක්ෂේත්‍රයක රැකියා කළ අය වූහ. ස්වාමි පුරුෂයා රැකියාව කළේ දුර ප්‍රදේශයකය. බිරිඳ හා දරු දෙදෙනා ජීවත් වූයේ ස්වාමිපුරුෂයාගේ පියා හා මව ජීවත් වූ මහගෙදරය. බිරිඳ වැඩට ගියේද එහි සිටය.

මෙම නිවසේ ජීවත් වූ ඔහුගේ මව හා බිරිඳ අතර නැතිනම් නැන්දා හා ලේලි අතර ආරාවුලක් තිබුණි. එම ගැටුම දුරදිග ගොස් ලේලි දිවි නසා ගැනීමට දරන ලද උත්සාහයකින් ඇගේ ජීවිතය බේරුණේ ආශ්චර්යමත් ආකාරයකටය. එම සිද්ධියෙන් ඇගේ ස්වාමිපුරුෂයා හොඳටම කැළඹීමට පත්ව සිටියේය. ඒ අවස්ථාවේදී මා ඔහුට දෙන ලද අවාවදය වූයේ කුලියට හෝ නිවසක් ගෙන වෙනම නිවසක පදිංචියට යන ලෙසය. එසේම දරුවන්ගේ යහපත සලකා බිරිඳ රැකියාවට යෑමෙන් වැළකී සිටීමට බිරිඳ එකඟ කරවා ගන්නා ලෙසත් දුෂ්කර වුවත් එක පඩියකින් ජීවත්වීමට පුරුදු වන ලෙසත් මම වැඩිදුරටත් කියා සිටියෙමි.

වෙනත් ගෙයකට යනවිට ඊට කුලියක් ගෙවන්නට සිදුවේ. සමහරවිට අලුතෙන් ගෘහභාණ්ඩ වැනි දේවල් ද මිලදී ගන්නට සිදුවේ. බිරිඳ රැකියාවට යන්නේ නම් සේවිකාවක් සොයාගන්නටද සිදුවේ. එවිට ඒ වෙනුවෙන්ද වියදමක්ද දරන්නට සිදුවන්නේය. මොන මොන හේතු නිසා හෝ ඔවුන් තවදුරටත් මහගෙදරම ජීවත් විය. එහෙත් අවසානයේ ඒ වෙනුවෙන් ඔවුන්ට විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. ඒ ගැන වැඩි විස්තර කතා කරන්නට කැමති නැත. මාගේ ලිපිය කියවූ විට පියාට කඳුළු එන්නට ඇත්තේ එදා මා දුන් අවවාදය පිළිගත්තේ නම් සිදුවූ හානිය වළකා ගන්නට ඉඩ තිබුණා නේද කියන හැඟීම ඇතිවීම නිසා විය යුතුය.

විවාහවීමෙන් පසු වෙන්ව ජීවත්වනවාද නැතිනම් තවදුරටත් පියා සහ මව සමග එකට ජීවත් වනවාද කියන ප්‍රශ්නය පවුල් ජීවිතය කෙරහි පුපුරනසුලු බලපෑමක් ඇති කිරීමට හේතුවිය හැකි වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. නැන්දා ලේලි ආරාවුල විවාහවීමෙන් පසු දෙමාපියන් සමග එකට ජීවත් නොවී වෙන්ව ජීවත්වීමෙන් පහසුවෙන් මගහරවා ගත හැකි ආරාවුලකි. අම්මලා සාමාන්‍යයෙන් සිතන්නේ පුතාගේ වැඩි අයිතිය තිබෙන්නේ අලුත ගෙනා ලේලියට නොව දසමසක් කුසේ හොවාගෙන පුතා අමාරුවෙන් ඇති දැඩි කළ අම්මාට බවය. ඒ නිසා විවාහවීමෙන් පසු පුතා සිය බිරිඳ සමග වෙනම ජීවත් නොවී විවිධ හේතු නිසා සිය මව හා පියා සමග ඔවුන් ජීවත් වන නිවසේම ජීවත්වීම පවුල් ආරාවුල් ඇතිවීමට බලපාන වැදගත් හේතුවක් බවට පත්විය හැකිය. එවැනි පවුල් ජීවිතයකදී පවුලට අලුතෙන් එකතු වන බිරිඳ සැලකෙනුයේ පිටස්තරයකු වශයෙනි. ඒ නිසා බිරිඳ වශයෙන් පවුලේ කටයුතු පාලනයේදී ඇයට ලැබිය යුතු පිළිගැනීමේදී හා ආධිපත්‍යයේ අහිමිවීමක් හෝ අඩුවීමක් සිදුවන්නේය. එය ඇගේ මානසිකත්වය කෙරෙහි පීඩාකාරී ලෙස බලපායි. ඒ තත්ත්වය පවුල තුළ අවුල් ඇති කිරීමට හේතුවිය. එම ආරාවුලේදී පුරුෂයා බිරිඳගේ පැත්ත ගතහොත් එය මව තුළ අසහනයක් ඇති කිරීමට හේතුවිය හැකිය. මවගේ පැත්ත ගතහොත් බිරිඳ තුළ අසහනයක් ඇති කළ හැකිය. මධ්‍යස්ථව ක්‍රියාකරන ප්‍රතිපත්තියක් පවා මවගේ සේ ම බිරිඳගේද අවඥාවට හේතුවිය හැකිය.

වෙන්ව ජීවත්වීමේ වැදගත්කම

මෙම සංකීර්ණ විෂයේදී මම මාගේ දරුවන්ට කියාදෙන ලද ධර්මතාවක් වෙනත් අයටද ප්‍රයෝජනවත් විය හැකි නිසා මෙසේ පිඬු කොට දක්වමි.

1. විවාහවීමෙන් පසු දරුවන් දෙමාපියන්ගෙන් වෙන්ව ජීවත්විය යුතුය.

2. දෙමාපියන් මුළුමනින් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයක නොසිටිය යුතුය.

3. ගැහැනු දරුවන් විවාහ වන්නේ නම් ඔවුන් කොතරම් උසස් අධ්‍යාපනයක් ලැබ තිබුණද දරුවන් බිහිකිරීමෙන් පසු රැකියාවක් කරන්නේ නම් එම රැකියාව අතහැර දරුවන් හා ගෙදර දොර කටයුතු බලාගන්නා ගෘහණියක් බවට පත්විය යුතුය.

4. දෙමාපියන් කොහොමටත් මුණුබුරන් හා මිණිබිරියන්ට කැමතිය. දෙමාපියන් ඔවුන්ට සිය කැමැත්තෙන් ලබාදෙන සේවාවක් හැර මුණුබුරන් හා මිණිබිරියන් බලාගන්නා සේවකයන්ගේ තත්ත්වයකට පත් නොකළ යුතුය.

මාගේ එම තීසිසයේ එන මුල් කරුණු දෙක මතභේදයට හේතු නොවනු ඇතත්, අවසන් කරුණු දෙක මතභේදයට හේතුවිය හැකිය. අම්මලා රැකියා නොකළ යුතු නම් ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදිය යුත්තේ ඇයිදැ”යි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. මා කාන්තාවන් උසස් අධ්‍යාපනයක් ලබනවාට හා ඒ අධ්‍යාපනයට ගැළපෙන රැකියාවක් කරනවාට විරුද්ධ නැත. එහෙත් මවක් බවට පත්වූ පසු රැකියාව සඳහා දිවා කාලයෙන් පැය 8ක් හෝ 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැකියාව හා ඒ සඳහා කරන ගමන් බිමන් වෙනුවෙන් වැය කරන්නට සිදුවේ නම් දරුවන්ට මවගෙන් ලැබිය යුතු උණුසුම හා රැකවරණය ප්‍රමාණවත් තරමින් නොලැබීමෙන් ඒ දරුවන්ගේ ජීවිත කෙරෙහි නරක ලෙස බලපෑ හැකිය. ඒ අඩුව සේවකයන්ට, ආච්චිලා, සීයලාට හෝ වෙනත් ඥාතීන්ට සැපරිය නොහැකිය.

එවැනි තත්ත්වයක් තුළ සිදුවිය හැකි අඩුපාඩු හා වැරදි අඩු වැඩි වශයෙන් ළමුන්ගේ මුළු ජීවිතය කෙරෙහිම බලපෑ හැකිය. එම අඩුව විකල්ප ක්‍රමවලට සපුරාගත් අවස්ථාවලදී සිදුවී ඇති හානි පිළිබඳව සිත් කම්පාකරවන නිදර්ශන සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතත් එසේ කළහොත් එම තත්ත්වයෙන් බැහැර විය නොහැකි අය තුළ විශාල කම්පාවක් ඇති කිරීමට හේතුවිය හැකි නිසා එසේ කිරීමෙන් මම වැළකී සිටිමි. ඒ ගැන කිවහැකි එකම දේ අම්මාගේ ඒ අඩුව දරුවන් කෙරෙහි බලපාන බවය. බිරිඳ හා ස්වාමිපුරුෂයා අතර ඇතිවන ආරාවුල් මැද්දේ ජීවත් වන දරුවන්ද කෙරෙහිද ඒ ආරාවුල් ඔවුන්ගේ ජීවිත කෙරෙහි බලපායි.

රොමැන්ටික් කරණයකට ලක්ව ඇති ලිංගික ආවේගයන් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ස්වභාව ධර්මය ලබාදී තිබෙන දායාදයක් පමණය. ඉන්පසු ගැටලු ඇතිව හෝ නැතිව බිරිඳ හා ස්වාමිපුරුෂයා එකට බැඳ තබන මහා සාධකය බවට පත්වන්නේ දරුවන්ය. තිරිසන් සතුන් පවා තම පැටවුන් රැක බලාගත යුතු කාලසීමාව තෙක් උන් රැකබලාගන්නේය. දරුවකුට මවගේ හා පියාගේ රැකවරණය ලැබිය යුතු කාලයේදී ඔවුන් ගැටුම් ඇති කරගෙන දෙපැත්තකට වෙන් වෙන්නේ නම් එම තත්ත්වය දරුවන් මානසික වශයෙන් අන්ද මන්ද කිරීමට හේතුවේ. දරුවන්ට ඔවුන්ගේ කුඩා කාලයේ මව හෝ පියා සමහරවිට දෙදෙනාම මියයන අවස්ථාවලදී පවා එය ඉක්මනින් තේරුම් ගෙන ඊට අනුවර්තනය වීමේ හැකියාවක් පවතී. එහෙත් කුඩා කාලයේදී මව හා පියා වෙන්වන අවස්ථාවන් ඔවුන් තුළ ඇති කරන මානසික කම්පනය ඉතාමත්ම බලවත්ය. ඔවුන්ට එම තත්ත්වයට අනුවර්තනය වීම ඉතාම දුෂ්කරය. ඒ පිළිබඳව මාගේ නිරීක්ෂණයකට හසුවූ සිද්ධීන් තුනක් ගැන මම දනිමි. ඒ අවස්ථා තුනේදීම දරුවන්ගේ ප්‍රතික්‍රියා දක්වන ලද ආකාරය ඉතා රළු හා ප්‍රචණ්ඩ විය. මා ළඟින් ඇසුරු කළ බලවත් පුද්ගලයෙකුට අදාළ නිදර්ශනයක් මෙසේය. ඔහු අවුරුදු 23කට ආසන්න කාලයක් සිය බිරිඳ සමග ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගත කළේය. ඔහු බලවත් තත්ත්වයක් හිමිකර ගැනීමෙන් පසු සිය බිරිඳගෙන් වෙන්වී විවාහය කඩාකප්පල් කරගෙන සිය සැමියාගෙන් වෙන්ව සිටි ඔහුගේ පළමු පෙම්වතිය සමග එකට ජීවත් වන්නට විය. ඔවුන්ගේ දරු තිදෙනා ගැටවර වියේ පසුවූ අතර එතෙක් ඔවුන් ඉතාමත් සන්සුන් ජීවිතයක් ගෙවූ අය වූහ. මෙම සිද්ධියෙන් පසු එක දරුවකුගේ ජීවිතය ඉතාමත් ප්‍රචණ්ඩ හා රළු පරුෂ බවට පත්විය. මා දන්නා අනෙකුත් නිදර්ශන දෙකේදීත් එම තත්ත්වය දරුවන්ගේ ජීවිත කෙරෙහි ඉතාමත් නරක හා විනාශකාරි ලෙස බලපෑවේය. ඒවා විස්තර කරන්නට ගියහොත් ඔවුන් තුළ බලවත් සිත් කම්පාවක් ඇති කිරීමට හේතුවිය හැකි නිසා මා ඒවා විස්තර කරන්නේ නැත. එහෙත් ඒ සඳහා ලෝක මට්ටමෙන් ඉතා ප්‍රකට පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි එම තත්ත්වය බලපෑ ආකාරය පෙන්වා දිය හැකිය.

අයිසැක් නිව්ටන්ගේ බ්‍රහ්මචර්යාව

මා තෝරාගන්නා නිදර්ශනය ලෝකය මෙතෙක් බිහිකර තිබෙන විද්‍යාඥයන් අතරින් ලොකුම විද්‍යාඥයා ලෙස සැලකිය හැකි අයිසෙක් නිව්ටන් (1643-1723) ය. ඔහු උපදින්න මාස තුනකට පෙර ඔහුගේ පියා මිය ගියේය. ඔහු වයස අවුරුදු තුනේදී මව තවත් කෙනෙකු විවාහ කොට ගත්තේය. ඒ නිසා ඔහුට මව අහිමි වී ආච්චි සමග ජීවත් වන්නට සිදුවිය. එම තත්ත්වය ඔහු තුළ විශාල මානසික අවුලක් ඇති කළේය. මව තමාගෙන් පැහැරගත් සුළු පියාට සේ ම තමා අතහැර ගිය මවටද ඔහු වෛර කළේය. ඔහු කුඩා කාලයේ කරන ලද පව් ගැන කරන ලද පාපෝච්චාරණයකදී මව හා සුළු පියා එකට ජීවත් වූ නිවස ඔවුන් සමග ගිනි තබන බවට සුළු පියාට තර්ජනය කරන ලද බව සඳහන් වේ. එම සිද්ධිය එම දැවැන්ත පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි පවා බලවත් ලෙස බලපෑවේය. ස්වභාව ධර්මයේ වැදගත්ම නියාමයක් සොයාගත් අයිසෙක් නිව්ටන් තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කළේ ස්වභාව ධර්මයේ ප්‍රාථමික ධර්මතාවකට පටහැනිව තනිකඩයකු ලෙසය. ඔහු කිසිදු ගැහැනියක් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවට සාක්ෂි නැත. සමලිංගික සම්බන්ධතා පැවති බවටද සාක්ෂි නැත. ගුරුත්වාකර්ෂණය සොයාගත් නිව්ටන් ලිංගික ආවේගයන්ට ආකර්ෂණයක් නැති පුද්ගලයකු විය. අයිසෙක් නිව්ටන් තමන්ගේ සම්පූර්ණ ජීවිතයම පුර්ණ බ්‍රහ්මචාරී පැවැත්මක් පවා ගෙන ගිය බව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වන බව ඔහුගේ මරණයේදී ලෝකයට කියා සිටියේ ප්‍රංශය බිහිකළ ප්‍රධාන පෙළේ දර්ශනවාදියෙකු ලෙස සැලකිය හැකි වෝල්ටෙයාර්ය. එම තත්ත්වය ස්වාභාවික නොවන අතර එය ඔහු පුංචි කාලයේ මව ඔහු අතහැරයෑමෙන් ඇතිවූ කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. අලුත විවාහ වන අයට විවාහ ජීවිතයේ අවබෝධ කරදෙන ක්‍රමයක්, විශේෂයෙන්ම දරුවන් ලැබීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවිය හැකි සංකීර්ණ ගැටලු කියාදෙන ක්‍රමයක් තිබිය යුතුය. විවාහවීමෙන් පසු ලැබෙන දරුවන් ඔවුන් රැකබලා ගතයුතු වයස් මට්ටම තෙක්වත් එකට ජීවත්වීමට අධිෂ්ඨානයක් නැති අය දරුවන් බිහිකිරීමෙන් වැළකී සිටිය යුතුය.

මාගේ තීසිසයේ එන සිව්වැනි කරුණද විවාදයට හේතුවිය හැකිය. දෙමාපියන් විශ්‍රාම ජීවිතය ගතකිරීම සඳහා තමන් වෙත කිසිවක් තබා නොගෙන තිබූ සියලු සේසතම දරුවන්ට දුන් පසු ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයේදී දරුවන් විසින් ඔවුන්ව බලාගත යුතුයැ”යි දොමපියන් කල්පනා කරති. ඒ නිසා බොහෝ විට ඇතිවන ප්‍රතිඵලයක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ගේ දරුවන් බලාගත යුතු තත්ත්වයකට පත්වීමය.

තමන්ගේ දරුවන්ට දරුවන් ලැබීම නැතහොත් මුණුබුරන් හා මිණිබිරියන් ඇතිවීම ආච්චිලා හා සීයලා බවට පත්වන දෙමාපියන් මහත් ප්‍රබෝධයට පත් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ආච්චිලා හා සීයලා මුණුබුරන්ට කැමතිය. ඔවුන් හුරතල් කරන්නට සේ ම ඔවුන්ගේ වැඩකර දෙන්නටද කැමතිය. ස්වකැමැත්තෙන් හා ස්වේච්ඡාවෙන් කරන වැඩ කිරීමක් හැරුණු විට මුනුබුරන් බලාගැනීමට හා ඔවුන්ගේ සියලු වැඩ කරදීමට බලකැරෙන තත්ත්වයක් ඇති කිරීම වැරදිය. එහෙත් ඒ දේ රටේ බහුල වශයෙන් සිදුවන්නේය. තමන් විසින් අම්මලා තාත්තලා බලාගැනීම වෙනුවෙන් ඔවුන් තමන්ගේ දරුවන් බලාගන්නා තත්ත්වයක තබාගැනීම වරදක් නැතැ”යි බොහෝ දරුවන්ද කල්පනා කරති. දෙමාපියන් එය ස්වකැමැත්තෙන් කරන දෙයක් ලෙසද ඔවුහු සලකති. එය වරදක් නොවන්නේ බලකිරීමක් නැතිව ස්වකැමැත්තෙන් කරන තාක් දුරකට පමණය. කැමැත්ත නිසාම නොව තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැතිකම නිසාද එසේ කරන දෙමාපියන් සිටිති. මෙය වඩාත්ම නරක ලෙස බලපා ඇත්තේ පුතා හා පුතාගේ බිරිඳ ද දුව හා දුවගේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම රක්ෂාවලට යන දරුවන් ඇති පවුල් කෙරෙහිය. එවිට මව හා පියා වැඩ ඇරී ගෙදර එන තෙක් දරුවන් බලාගැනීමේ වගකීම පැවරෙන්නේ ආච්චීට හා සීයාටය. අනෙක් සියලු වැඩ කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේද ඔවුන්ටය. දෙමාපියන් එක පරම්පරාවක දරුවන් බලාගත්තේය. ඔවුන් තවත් පරම්පරාවක දරුවන් බලාගත යුතු තත්ත්වයකට පත් කළයුතු නැත. ඔවුන් ලබාදෙන දායකත්වයක් වේ නම් එය ස්වේච්ඡාවෙන් හා ස්ව කැමැත්තෙන් ලබාදෙන දායකතත්වයට සීමාවිය යුතුය.

දැන් මමද සීයා කෙනෙකි. මාගේ ලොකු දුවට ඇය හා ඇගේ ස්වාමි පුරුෂයා අපේක්ෂා කළ ආකාරයටම මීට මාස දෙකකට පමණ ඉහත දී ලස්සන දුවක් ලැබුණි. එය අපේ පවුලේ සාමාජිකයන් අතර මහත් ප්‍රබෝධයක් ඇති කළ සිද්ධියක් විය. ඒ ප්‍රබෝධය මැද්දේ ඔවුන් විවාහවීමට කලකට පෙර ඔවුන්ට දෙන ලද අවාවදයන්ට ඇතුළත්ව තිබූ ඉහත විස්තර කරන ලද තීසිසයේ එන සිව්වැනි කරුණද මට සිහිපත් විය.

බර්ට්‍රම් රසල් කියන්නේ තිරිසන් සතුන්ද සිය පැටවුන් කුඩා කාලයේදී රැකවරණයෙන් පිටමං කරන තෙක් එම පැටවුන්ව ආදරයෙන් රැක බලාගන්නාමුත් ඒ වෙනුවෙන් දෙමාපියන් පැටවුන්ගෙන් ආපසු කිසිවක් බලාපොරොත්තු නොවන බවය. ඒ අනුව මිනිස් දෙමාපියන්ද දරුවන් කවා පොවා හදා වඩා ගැනීම වෙනුවෙන් දරුවන්ගෙන් ආපසු කිසිවක් බලාපොරොත්තු නොවිය යුතු බවය. රසල්ගේ එම අදහසට අලුත් එකතු කිරීමක් කරන්නට මා කැමතිය. එනම් දරුවන් විවාහවීමෙන් පසු ඔවුන් කැමැත්තෙන් හා ස්වේච්ඡාවෙන් දෙන දෙයක් හැර දෙමාපියන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුය.

හොඳ ආකල්ප ඇති කිරීම

විවාහ චාරිත්‍රද සාකච්ඡාවට ලක්විය යුතු වැදගත් මාතෘකාවකි. එහෙත් මා ඉන් මගහැර දරුවන්ගේ චරිතය ගොඩනැගීමේදී සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් කරමි. මා හිතන අන්දමට ඒ සඳහා ඇති කරගත යුතු අවම ඉලක්කය වියයුත්තේ දරුවන් සමාජයේ අවඥාවන්ට හෝ පීඩාවන්ට ලක් නොවී ඔවුන්ට ජීවත්වන්නට සිදුවන විසම සමාජය තුළ කොන්ද කෙළින් තබාගෙන යහපත් ඵලදායී හා තෘප්තිමත් ජීවිත ගතකරන තත්ත්වයක් ලබාදීමය. ආත්ම විශ්වාසයකින් යුතු, විවෘත මනසක් ඇති යහපත් හා බුද්ධිමත් දරුවකු ඒ සඳහා ඉලක්ක කරගත හැකිය. එම ඉලක්කය සපුරාගැනීම සඳහා දරුවන් තුළ වගාකළ යුතු ගුණධර්ම මොනවාද?

සරල දේවලින් ආරම්භ කළහොත් පිරිසිදුකම ඉතා වැදගත්ය. පිළිවෙළකට වැඩ කරන හා ජීවත් වන තත්ත්වයක් ඇති කිරීමද වැදගත්ය. කිරිබොන කාලයේ පටන්ම පිළිවෙළ පුරුදු කළ හැකිය. අක්‍රමවත්ව කිරිදෙන පිළිවෙතක් වෙනුවට ක්‍රමවත්ව කාලසටහනකට කිරිදෙන පිළිවෙතක් අනුගමනය කළ හැකිය. ක්‍රමයෙන් මව සේ ම ළමයාද එය පුරුද්දක් බවට පත් කරගනු ඇත්තේය. මව නැතිව ළමයාට තනිව නිදාගැනීමට පුරුදු කළ හැකිය. ක්‍රමයෙන් වැඩෙන ළමයින්ට පිළිවෙළට අතිරේකව පිරිසිදුකමද පුහුණු කළ හැකිය. අඬන ළමයි නිදි කරවීම සඳහා ඔවුන් බියගන්වන කතා කීම නරකය. බිය නොවිය යුතු දේවලට බියවන ළමුන් සිටිති. අඳුරට බිය ළමයිද සිටිති. අඳුරට හේතුව කියාදීමෙන් ඒ බිය නැති කළ හැකිය. අනුන්ගේ විපතකදී කනගාටුවීමටත් විපතට පත්වූවන්ට කළ හැකි උදව්වක් වේ නම් එසේ කිරීමටත් ළමුන් පෙළඹවිය යුතුය. ඔවුන් පෙන්වන දක්ෂතාවලදී ඔවුන් ප්‍රශංසාවට ලක් කළ යුතුවා සේ ම පිටස්තරයන් දක්ෂතා පෙන්නුම් කරන අවස්ථාවලදීද ඊර්ෂ්‍යාවෙන් තොරව ඒවා ප්‍රශංසාවෙන් සැලකීමටද ඔවුන් පුරුදු කළ යුතුය. ළමුන් බියසුල්ලන්වීමට ඉඩ නොදිය යුතු අතර, ප්‍රචණ්ඩවීමටද ඉඩ නොදිය යුතුය. බියසුලුකමේ සේ ම ප්‍රචණ්ඩත්වයේද ඇති වරද ඔවුන්ට කියාදිය යුතුය. අණ පිළිපදින කීකරු ළමුන් වෙනුවට ප්‍රශ්න කරන හා අවබෝධයෙන් හරි දේ කරන ළමුන් ගොඩනැගිය යුතුය. නිර්මාණශීලී අය බවට පත්වනුයේ නිකම්ම අණ පිළිපදින ළමයි නොව ප්‍රශ්න කරන ළමයිය. ඔවුන්ගේ කුතුහලයට හේතුවී ප්‍රශ්න කරන හැම දේකදීම ඔවුන්ට බොරු නොකොට ඇත්ත පිළිතුරු දිය යුතුය. ඔවුන් අසන කිසියම් ප්‍රශ්නයකට හරි පිළිතුරක්දීමට නොදන්නේ නම් තමන් ඒ දේ නොදන්නා බව කියා දන්නා කෙනකුගෙන් එය අසා දැනගෙන එය කියාදෙන බව කීම සුදුසුය. එහිදීද ඔහුගේ කුතුහලයට හේතුවූ ප්‍රශ්නයට පසුව හෝ හරි පිළිතුරක් ලබාදීම වැදගත්ය. වරදක් කළ විට නැවත ඒ වරද සිදුකළහොත් දඬුවම් කරන බවට දැනුම් දෙන අවස්ථාවලදී පැනවිය නොහැකි බොරු දඬුවමක් ප්‍රකාශ නොකර පැනවිය හැකි සරල සුදුසු දඬුවමක් ප්‍රකාශ කරන්න. දෙවැනි වරට ඒ වරද කළහොත් ප්‍රකාශ කළ දඬුවම පැමිණවීමෙන් වැළකී නොසිටින්න.

පුංචි කාලයේ සිටම බොරුවෙන් හා වංචාවෙන් තොරව සත්‍යගරුක ජීවිතයකට හුරු කරන්න. බොරුවේ හා වංචාවේ තිබෙන වැරැද්ද හා සත්‍යගරුකවීමේ වටිනාකම ඔවුන්ට කියා දෙන්න. දෙමාපියන්ගේ ජීවිත සත්‍යගරුක නොවේ නම් ඒ විෂය දරුවන්ට තමන් විසින් ඉගැන්වීමෙන් වළකින්න. ඒ වෙනුවට එය ඉගැන්වීමට සුදුසු ඔවුන්ගේද ආදරයට හා ගෞරවයට හේතුවූ පුද්ගලයකු ලවා එය කරවන්න. ප්‍රචණ්ඩත්වයට හා හිංසාවට බර තබන ක්‍රීඩාවලට, රූපවාහිනී වැඩසටහන්වලට හෝ චිත්‍ර කතාවලට නැඹුරුවීමෙන් ඔවුන් වළකන්න. ඔවුන්ගේ රුචිකත්වය හා යහපත් ආකල්ප වර්ධනය කිරීමට හේතුවන ළමා චිත්‍රපටි හෝ පොත්පත්වලට යොමු කරන්න. ළමුන් කාටුන් කතාවලට කැමතිය. එහෙත් එවැනි කතා සඳහා එක දිගට දීර්ඝ වේලාවක් රූපවාහිනී තිරය දෙස බලාගෙන සිටීම සුදුසු නැත. ළමුන්ට අත්‍යවශ්‍ය හැම දෙයක්ම නිර්ලෝභීව ලබාදීම අවශ්‍ය වුවත් අධි සැප සම්පත් ලබාදීම සුදුසු නැත. ඔවුන් අමාරුකම්වලට හා දුෂ්කරතාවලටද පුරුදු කළ යුතුය. ඒවා විඳ දරාගෙන සිටීමේ හැකියාව ඔවුන්ට ලබාදිය යුතුය.

දරුවන් හැදීමේදී අප ජීවත් වන ලෝක ප්‍රවණතාද සැලකිල්ලට ගත යුතුය. අප ජීවත්වන්නේ ගෝලීයකරණයකට හසුවූ ලෝකයකය. ඕනෑම රටක ජනගහනයෙන් සැලකිය යුතු පංගුවක් ජීවත්වන්නේ මව් රටේ නොව විදේශ රටවලය. සමහරවිට අප හදන දරුවන්ද පසු අවස්ථාවකදී අප රටේ නොව වෙනත් රටවල ජීවත් වන තත්ත්වයක් ඇතිවිය හැකිය. ඔවුන් අප රටේ පමණක් නොව ඕනෑම රටක ජීවත්විය හැකි ආකාරයට ඔවුන්ගේ ආකල්ප ගොඩනැගිය යුතුය. ගෝලීය ලෝකය විවිධ ජනවර්ගවලින්, විවිධ ආගම් අදහන්නන්ගෙන්, විවිධ භාෂා කතා කරන්නන්ගෙන් හා විවිධාකාර සංස්කෘතීන්ගෙන් සමන්විත වේ. තමා අයත් වර්ගයට, තමා අදහන ආගමට, කතා කරන භාෂාවට හා තමා අයත් සංස්කෘතියට ගරු කරන අතර අන්‍ය වර්ගවලට අයත් ජනයා සමග, අන්‍ය ආගම් අදහන ජනයා සමග, අන්‍ය භාෂා කතා කරන ජනයා සමග, අන්‍ය සංස්කෘතීන්ට අයත් ජනයා සමග සහජීවනයෙන් ජීවත්වීමේ වැදගත්කම ඔවුන්ට කියා දිය යුතුය. තම වර්ගයට, ආගමට, භාෂාවට හා සංස්කෘතියට සීමාවූ ඉන් පිටස්තර වර්ග, ආගම්, භාෂා හා සංස්කෘතීන් පහත් කොට සලකන ආකල්ප ඇති විට එය ඔවුන් කොන් කිරීම්වලට ලක්වන වැදගත් හේතුවක් බවට පත්විය හැකිය. ඔවුන් වෙනස්කම්වලට ගරු කරන්නට හා ඒවා රසවිඳින්නට පුරුදු කළ යුතුය.

ආත්ම විශ්වාසය වගා කළයුතු වැදගත්ම ගුණාංගයකි. නිර්භීතකමද ආත්ම විශ්වාසයේම වැදගත් අංගයක් ලෙස සැලකිය හැකිය. නිර්භීතකම අවශ්‍යවන්නේ ප්‍රචණ්ඩවීමට හෝ පහරදීමට නොව මුහුණ දෙන්නට සිදුවන අභියෝගයන්ට මුහුණදෙමින් සාර්ථකව ඉදිරියට යන්නටය. ළමයින්ට උපේක්ෂාවද කියාදිය යුතුය. මානසික ඒකාග්‍රතාවද පුංචි කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුතු වැදගත් ගුණාංගයකි. ජීවිතය සංකීර්ණ ප්‍රශ්න ගොඩක එකතුවක් ලෙස සැලකිය හැකිය. සංකීර්ණ ප්‍රශ්නයක් සාර්ථකව විසඳාගැනීම සඳහා ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට අවශ්‍ය වේ. මානසික ඒකාග්‍රතාව අවශ්‍යවන්නේ එවැනි අවස්ථාවලදීය. මානසික ඒකාග්‍රතාව ළමුන්ට පුහුණු කිරීම සඳහා තිබෙන හොඳම ක්‍රමය ඔවුන් චෙස්වලට යොමු කිරීමය. වැඩිහිටියන්ට වඩා ඉක්මනින් ළමුන් එම සංකීර්ණ ක්‍රීඩාව ඉගෙන ගනිමින් එහිදී මානසික ඒකාග්‍රතාවට අතිරේකව, ගණනයද, විශ්ලේෂණය හා සංස්ලේෂණයද ඉගෙන ගනු ඇත. චෙස්වල තිබෙන වැදගත්ම දේ තිබෙන තත්ත්වයෙන් ඔබ්බට ගොස් ඉදිරිය දැකීමට ලබාදෙන ශික්ෂණයයි. ඒ සියල්ලෙහි අවසාන ඉලක්කය වියයුත්තේ යහපත්, බුද්ධිමත් හා ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයන් බවට පත්කිරීමය.