ජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක පැවැත්ම සඳහා නීතියේ පාලනයක් තිබීම අත්යවශ්යය. නීතියේ පාලනය බිඳ වැටෙන ප්රමාණයට ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය ද ගරා වැටෙන්නේ ය.
නීතියේ පාලනයක් ඇති කිරිමේදි ප්රභාකරන් නීතියේ පාලනයකට ගැනීමේ ප්රශ්නය රට මුහුණ දි තිබෙන ප්රධාන අභියෝගය ලෙස සැලකේ. එහෙත් කැලේ සිට සටන් කරන ප්රභාකරන් එවැනි තැනකට ගෙන ඒමට කල්පනා කරන්නට ප්රථම පාලන පිරමිඩයේ මුදුනත සිටින ජනාධිපතිනිය ඇතුළු කැබිනට් මණ්ඩලයත්, අගවිනිසුරු ඇතුළු ශ්රේෂ්ඨාධිකරණයත් නීතියේ පාලනය පිළිගන්නා තැනකට ගැනීම වඩා වැදගත්ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාව නොපිළිගන්නා ප්රභාකරන් ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරනවාට වඩා ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දි බැඳී සිටින ජනාධිපතිනිය ඇතුළු කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුක්රම ව්යවස්ථාව බලාත්මක කිරීමට බැඳී සිටින අගවිනිසුරු ඇතුළු ශ්රේෂ්ඨාධිකරණයත් ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝණය කිරීම වඩා බරපතලය.
ආණ්ඩුක්රම ව්යවස්ථාවට 17 වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරිමෙන් බලාපොරොත්තු වූයේ අධිකරණය, රාජ්ය සේවය, පොලිසිය හා මැතිවරණ දෙපාර්තමේන්තුවට එල්ල වී තිබෙන දේශපාලන බලපෑම් අවම කොට එම ආයතනවලට ස්වාධීනව ක්රියාකළ හැකි තත්ත්වයක් ලබාදිමය. මැතිවරණ කොමිසමක් ඇති කිරීමට හැකිවී නැතත්, එම ආණ්ඩුක්රම සංශෝධනය නීතිගතවීමත් සමග මැතිවරණ කොමිසමක් ඇති කරන තෙක් මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස් වෙත හිමිවන්නේය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය හිමිවන්නේ ජනතාවටය. මහජනතාව තමන් වෙත හිමි පරමාධිපත්ය බලය අනන්ය කරන්නේ මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණවලදිය. ස්වාධීන මැතිවරණ කොමිසමක් නීතිගත කිරිමේ අරමුණ වූයේ මැතිවරණවලදි නිදහස් බව හා සාධාරණ බව සහතික කිරීම සඳහා මැතිවරණ කාලවලදි බලයේ සිටින ආණ්ඩුවලට මැතිවරණය කෙරෙහි බලපාන ආකාරයට රාජ්ය බලය හා රාජ්ය සම්පත් යොදා ගැනීමට තිබෙන හැකියාව අහෝසි කිරීම සඳහාය.
එහෙත් 17 වැනි ව්යවස්ථා සංශෝධන නීතියේ තීන්ත වේලීයාමටත් පෙරාතුව ජනාධිපතිනියත් ඇගේ කැබිනට් මණ්ඩලයත් එම ව්යවස්ථා සංශෝධනයේ එන විධි විධාන නොසලකා සිය මැතිවරණ කටයුතු සඳහා උපරිම මට්ටමකින් හා එළිපිටම රාජ්ය බලය ද, රාජ්ය සම්පත් ද යොදාගනිමින් සිටින්නේය.
රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලදි.
රාජ්ය අංශයේ අස්ථිර සේවකයන් ස්ථිර කරන ලදි.
පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රුපියල් කෝටි 100ක මුදලක් බෙදාහැර ඇත්තේය.
රාජ්ය ආයතන සතු මුදල් ද, යාන වාහන හා සේවකයන් ද වැනි සම්පත් ද මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් සිටින්නේය.
මැතිවරණ නීති නොසලකා රාජ්ය මාධ්ය ආයතන සිය ප්රචාරක කටයුතු සඳහා උපරිම මට්ටමකින් යොදා ගනිමින් තිබෙන්නේය.
ඒ මගින් ජනාධිපතිනියත්, ඇගේ ඇමති මණ්ඩලයත් චේතනාන්විත ලෙස ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින්නේය.
17 වැනි ව්යවස්ථා සංශෝධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්ය අතිවිශාල බලයක් ලබාදි ඇතත්, ජනාධිපතිනියත් ඇගේ කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව මැතිවරණ කටයුතු සඳහා රාජ්ය බලය හා රාජ්ය සම්පත් යොදා ගැනීමට එරෙහිව තමන්ට ලැබී තිබෙන බලය පාවිච්චි කරන තැනකට යොමුවී නැත. ඒ සියලු නීති විරෝධී ක්රියාකාරකම්වලට ඉඩ හැර මැතිවරණ කොමසාරිස්වරයා නිකම්ම බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කරයි.
මෙවැනි තත්ත්වයක් ඉදිරියේ නීතිය බලාත්මක කරවා ගැනීම සඳහා යාමට තිබෙන එකම ආයතනය අධිකරණය පමණක් වුවත්, අධිකරණය තුළ ද යුක්තිය ඉටු කරන තත්ත්වයක් නොපවතී. මැතිවරණයට අදාළව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට එන සියලු නඩු අගවිනිසුරුවරයා විසින් තමන් ඉදිරියට ගනිමින් විධායකය වෙතින් ප්රකාශ වී ඇති නීති විරෝධී හා හිතුවක්කාරි වැඩපිළිවෙලට අනුබල දෙන පිළිවෙතක් පවත්වාගෙන යමින් සිටී.
වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව ඊළගට පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් සභා මැතිවරණ වලදි ද වයඹ සිදුවූ දේවල් සිදුවිය හැකි බව ප්රකාශ කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම පිණස අවශ්ය විධි විධාන යොදන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වූ අවස්ථාවේදි එදා ශ්රේෂ්ඨාධිකරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගනිමින් ඒ බව ශ්රේෂ්ඨාධිකරණයට දෑනුම් දෙන ලෙස ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට ද, පොලිස්පතිවරයාට ද නියෝග කළේය. එහෙත් වත්මනයේ ශ්රේෂ්ඨාධිකරණය ක්රියාකරමින් තිබෙන ආකාරය ඊට මුළුමණින් ම වෙනස්ය. 2000 මැතිවරණයේදි රාජ්ය ජනමාධ්යවලට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේදි එම පෙත්සම් දෙක විභාගයටවත් නොගෙන නිෂ්ප්රභා කළේය. ඉන්පසු 17 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව මේ මැතිවරණයේදි එම නීතිය බලාත්මක කරවා ගැනීම සඳහා ඉදිරිපත්වූ පෙත්සම්වලදි ද ශ්රේෂ්ඨාධිකරණය ඒ සමාන පිළිවෙතක් අනුගමනය කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කෙරෙන ආයතනයක් ලෙස ක්රියා කරන තත්ත්වයකට පත්ව සිටී.
කලින් කල මැතිවරණ පැවැත්වෙන්නේ මහජනයාට තමන් කැමති ආණ්ඩුවක් තෝරා පත් කරගැනීමට ඉඩ ලබාදිම සඳහාය. මැතිවරණයක් ප්රකාශයට පත්කිරීමත් සමග බලයේ සිටින පාලක පක්ෂය භාරකාර තත්ත්වයකට පත්වන අතර, මහජනයාට තමන් කැමති ආණ්ඩුවක් තෝරාපත් කරගැනීමේ ක්රියාවලියට බාධාවක් හෝ වැරදි බලපෑමක් ඇති නොවන ආකාරයකින් ක්රියා කිරීමට ඒ භාරකාර තත්ත්වයකින් ක්රියාකරන ආණ්ඩුව බැඳී සිටින්නේය. එහෙත් භාරකාර තත්ත්වයේ සිටින ආණ්ඩුවක් ඒ පිළිගත් මූලධර්මය නොසලකා බලහත්කාරි හා දූෂිත ආකාරයේ ජයගග්රහණයක් තමන් වෙත ලබාගැනීම සඳහා රාජ්ය බලය යොදා ගනිත් නම්, ඒ සමග ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් සඳහා පවතින සමාජ සම්මුතිය ද බිඳ වැටෙන්නේය. එහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ සාමකාමී රාමුවක සිදුවිය යුතු බල අරගලය ප්රචණ්ඩ රාමුවක කෙරෙන බලඅරගලයකට මාරුවීමයි.