ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නය 3

April 13, 2014
Publication:
The third part of Ivan's series on constitution-making examines the Soulbury constitution, drafted around D.S. Senanayake's wishes by Ivor Jennings, whose weak safeguards for minorities Lord Soulbury later regretted, and Colvin R. de Silva's 1972 republican constitution, whose unitary state, primacy for Buddhism and Sinhala-only laws the Federal Party rejected. The Tamil representatives walked out, and the road led to the 1976 Vaddukoddai resolution for a separate state.

ලංකාවට වෙස්ට්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් දායාද කළ 1947 ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වුණද එහි සැබෑ නිර්මාතෘවරයා වූයේ සෝල්බරි සාමි නොව සර් අයිවර් ජෙනින්ස්ය. අයිවර් ජෙනින්ස් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ නිදහසත් සමග රටේ අගමැතිවීමට අපේක්ෂාවෙන් සිටි ඩී.එස්. සේනානායකගේ ඉල්ලීමක් පරිදිය. ජෙනින්ස් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී යටත්විජිත ආණ්ඩුවේ සේ ම ඩී.එස්. සේනානායකගේ අභිලාෂ සැලකිල්ලට ගත්තා වුවද වෙනත් දේශපාලන ව්‍යාපාරවල හෝ වාර්ගික කුල හෝ ආගමික කණ්ඩායම්වල අපේක්ෂා සැලකිල්ලට නොගත්තේය. එවැනි කණ්ඩායම්වලින් අදහස් විමසීම් නොකරන ලද අතර ඒ නිසා එම කෙටුම්පත ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේද එකඟතාව ඇතිව සකස් කරන ලද කෙටුම්පතක් ලෙස සැලකිය නොහැකිය. එය සැලකිය හැක්කේ දේශපාලන වශයෙන් බලවත් තනි පුද්ගලයුගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් නුවරඑළියේ හෝටල් කාමරයක රහසේ සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙසය.

සෝල්බරි ව්‍යවස්ථාව

ඩී.එස්. සේනානායක එම කෙටුම්පතට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් එය යටත්විජිත ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ විට එය තමන්ගේ දැනුම හා එකඟතාව නැතිව හිතුවක්කාරී ලෙස සකස් කරන ලද කෙටුම්පතක් බවට ලංකාවේ සුළු ජාතික නායකයන් ගණනාවක් බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුවට පැමිණිලි කිරීම නිසා යටත්විජිත ආණ්ඩුව ලංකාවේ ආණ්ඩු ක්‍රමයට අදාළ ප්‍රශ්න සලකා බලා වාර්තා කිරීම සඳහා සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් ලංකාවට එව්වේය.

තමන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සකස් කරන ලද ජෙනින්ස්ගේ ව්‍යවස්ථා කෙටුම්පත වෙනසකට ලක්කිරීමෙන් තොරව ඒ ආකාරයෙන්ම තබාගැනීමට ඩී.එස්. සේනානායකට අවශ්‍ය වූ අතර ඒ අරමුණ සඳහා සෝල්බරි කොමිසම එකඟ කරවාගැනීම සඳහා සෝල්බරි සාමි සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ඩී.එස්. සේනානායක ගියේය. ඒ අවලස්සන ගනුදෙනුවේදී සර් ඔලිවර් ගුණතිලක හා සර් ජෝන් කොතලාවල ඩී.එස්. සේනානායකගේ ප්‍රධාන අතරමැදියන් ලෙස ක්‍රියා කළේය. එහිදී සිදුවූ නොහොබිනා ගනුදෙනු පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් මාගේ “ජාතියේ ඛේදවාචකය” නමැති කෘතියට ඇතුළත්ය. අවසානයේ ප්‍රථම ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට එකඟවෙමින් ඩී.එස්. සේනානායකගේ අවශ්‍යතාව සම්පූර්ණ කරදීමට සෝල්බරි සාමිවරයාද එකඟ විය. ඒ නිසා සෝල්බරි කොමිසම ජෙනින්ස්ගේ කෙටුම්පතට සෙනට් සභාවක් එකතු කරනවා හැරුණු විට එහි කිසිදු වෙනසක් ඇති නොකළේය. අවසානයේ ඩී.එස්. සේනානායක සුළු ජාතික නායකයන් සමගද පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට යමින් කෙටුම්පත සඳහා රාජ්‍ය සභාවේ තුනෙන් දෙකකටත් වැඩි අනුමැතියක් ලබාගැනීමටද සමත් විය.

ව්‍යවස්ථාවේ කනෙන් රිංගීම

සකස් කරන ලද ව්‍යවස්ථාවේ ලොකු හිල් තිබෙන බව පෙනෙන්නට වූයේ සම්මත කරගත් ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් පළමුව ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කෙරෙන පනත් දෙකක් සම්මත කරගැනීමත් සමගය. රටට නිදහස හිමිකර දුන් වීරයා වශයෙන් පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට ලොකු මැතිවරණ ජයග්‍රහණයක් හිමි කරගත හැකිවනු ඇතැ”යි ඩී.එස්. සේනානායකගේ අපේක්ෂාව වී තිබුණද ඔහුට හිමි කරගත හැකිවූයේ අමාරුවෙන් ආණ්ඩුවක් ගැටගසා ගත යුතු තත්ත්වයේ සුළු ජයග්‍රහණයකි. ඉන්දියානු වතු කම්කරුවෙක් එම මැතිවරණයේදී ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් තරග නොකළ ආසනවලදී ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කර තිබුණේ සමසමාජ අපේක්ෂකයන්ටය. එම තත්ත්වය සමසමාජ පක්ෂයේ බලය වර්ධනය කිරීමට හේතුවී තිබුණි. මැතිවරණයෙන් පසුව ස්වාධීනව තරග කොට ජයගත් සමහර මන්ත්‍රීවරුන්ගේද ආධාර ඇතිව ආණ්ඩුවක් ගැට ගසා ගැනීමට ඩී.එස්. සේනානායක දරන ලද උත්සාහයේදීද ඉන්දියානු වතු කම්කරුවන්ගෙන් තේරී පත්වූ නියෝජිතයන්ගෙන් කිසිදු සහායක් ඩී.එස්. සේනානායකට ලැබුණේ නැත. තමන්ගේ දේශපාලන බලය ස්ථාවර කරගැනීමට නම් වාමාංශික බලය වර්ධනය කිරීම අත්‍යවශ්‍යවේයැ”යි ඔහු කල්පනා කළේය. ඉන්දියානු වතු කම්කරුවන් වමට ශක්තිය ලබාදෙන වැදගත් උල්පතක් ලෙස ක්‍රියාකරමින් තිබුණේය. ඉන්දියානු වතු කම්කරුවන්ට ලැබී තිබුණු ඡන්ද බලය අහිමි කිරීම මගින් තමන්ට අවනත නොවූ ඔවුන්ගේ බලය අහිමි කරන අතර ඒ මගින් වාමාංශික බලයද හීන කළ හැකි බව ඔහු තේරුම් ගත්තේය. අවසානයේදී ඔහු දේශප්‍රේමී පෙනුමක් ද ලැබෙන ආකාරයට ඉන්දියානු වතු කම්කරුවන්ට ඡන්ද බලය අහිමි කරන නීති ඇති කළේය.

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතුවන ශක්තිමත් විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් නොකර තිබීමේ දුර්වලතාවෙන් ඊළඟට ප්‍රයෝජනය ගත් නායකයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ඔහු බලයට පැමිණ තිබුණේ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වියයුතුයි කියා කෑමොර දුන් භාෂා අනුරාගීන්ගේ කරපිටෙනි. තමන්ට බලය ලැබෙන්නේ නම් පැය 24ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට ඔහු මහජනතාවට පොරොන්දු වී තිබුණි. තමන් බලයට පත් කළ සිංහල භාෂා ප්‍රේමීන්ගෙන් එල්ල වූ පීඩනයට මැදිවී දෙමළ ජනතාවගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස සිංහල රාජ්‍ය භාෂා පනත නීතිගත කිරීමට ඔහුට සිදුවිය. මේ ක්‍රියාව දෙමළ ජනයා අන්ද මන්ද කිරීමට හේතුවූ අතර එම තත්ත්වයට එරෙහිව දෙමළ නායකයන් සාමකාමී ලෙස විරෝධය පළකරන්නට දරන ලද උත්සාහය කෙළවර වූයේ 1958දී මහා වර්ගවාදී කෝලාහලයක් ඇතිවීමෙනි. කොළඹ නගරයෙන් වෙනත් සිංහල ප්‍රදේශවලත් ජීවත් වූ දෙමළ ජනයා පහරදීමට ලක්වීම නිසා අනාථ භාවයට පත් ඒ සියලුදෙනා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස තාවකාලික ලෙස නැව් මගින් යාපනයට යැවීමට අගමැති බණ්ඩාරනායකට සිදුවිය.

පූර්ව නිදහස් යුගයේ සේ ම නිදහසින් පසුත් සිංහල හා දෙමළ ජනයා අතර මතභේද තිබුණි. එම වර්ග දෙක එකිනෙකා කෙරෙහි බලන ලද්දේ සැකයෙනි. එහෙත් ඒ මතභේද එකිනොකට එරෙහිව ගහමරා ගන්නා තරම් නරක තත්ත්වයක නොතිබුණේය. සිංහල රාජ්‍ය භාෂා පනත ඔවුන් අතර පැවති එම මතභේද උග්‍ර කොට මෙම දෙවර්ගයා එකිනෙකාට එරෙහිව වෛරයෙන් ක්‍රියාකරන තත්ත්වයකට පත් කළේය.

සෝල්බරිගේ පසුතැවිල්ල

මෙසේ සෝල්බරි ව්‍යවස්ථාවේ තිබූ දුර්වලකම් හේතු කොටගෙන රාජ්‍යයේ තිබිය යුතු බහුත්වාදී ස්වරූපය දියවී යමින් එය සුළු ජාතීන් නොසලකා මහ ජාතියට බර තබා ක්‍රියාකරන වර්ගවාදී රාජ්‍යයකගේ තත්ත්වයකට තල්ලුවෙමින් තිබුණේය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මකවෙමින් තිබුණු ආයතන ක්‍රමයද ශක්තිමත් ඉදිරි දැක්මක් ඇතිව ක්‍රියාත්මක වූ ආයතන ක්‍රමයක් නොවීය. රාජ්‍යයේ ඇතිවන විකෘතීන් එම ආයතන ක්‍රමය කෙරෙහිද බලපාමින් තිබුණි. රාජ්‍යයේ ඇතිවන විකෘතිවීම්වලට නතු නොවී රාජ්‍යයේ පීළිපැනීම් නිවැරදි කරගැනීමට අවශ්‍ය ශක්තිය සේ ම දර්ශනයක්ද ඒවාට නොතිබුණේය. සෝල්බරි ව්‍යවස්ථාවේ බරපතළ දුර්වලකම් තිබුණා වුවත් එම ව්‍යවස්ථාවේ දර්ශනය අනුව සුළු ජාතීන් පීඩාවට ලක්කිරීමට හේතුවන නීති සම්පාදනය කිරීම ව්‍යවස්ථාවට පටහැනි විය. පාලක පක්ෂය තමන්ට තිබෙන වැඩි බලය මත පදනම් වී ව්‍යවස්ථාවේ ඇති දුර්වලකම් ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවස්ථාවේ එන එම දර්ශනයට පටහැනිව නීති සම්පාදනය කරන අවස්ථාවකදී නිසි දර්ශනයක් ඇතිව ස්වාධීනව හා නීතියට අනුව ක්‍රියාකරන අධිකරණ ක්‍රමයක් රටේ තිබුණේ නම් වැරදි නිවැරදි කිරීමේ හැකියාව අධිකරණයට තිබිය යුතුය. එහෙත් මෙම නීති සම්පාදනයට අදාළව ඉදිරිපත් වූ නඩුවලදී අධිකරණය ව්‍යවස්ථාවේ එන විධිවිධාන හා දර්ශනයට අනුකූලව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට කළේ එම අසාධාරණ නීති සම්පාදකයන් යුක්තිසහගත කිරීමය. ඉන් පෙනෙන්නේ අයාලේ යන ගමනට ව්‍යවස්ථාව පමණක් නොව ආයතන ක්‍රමයද බලපෑ බවය. නව ව්‍යවස්ථාවක් ගැන සිහින දකින්නන්ගේ එම පරස්පරය තේරුම් ගත යුතුය.

වර්තමාන ව්‍යවස්ථාව යටතේ නීතියට ඉහළින් සිටින රාජ්‍යයේ සකලවිධ බලය හිමිකරගත් ජනාධිපතිවරයෙකු සිටින තත්ත්වයක් තුළ රාජ්‍යයේ දේශපාලන හා ආර්ථික ආයතන විධායකයේ වුවමනාවන්ට අනුව රූකඩ ලෙස ක්‍රියාකරන තත්ත්වයකට පත්ව තිබෙන බව සැබෑවකි. එහෙත් පාර්ලිමේන්තු ආණ්ඩුවක් තිබුණු කාලයේදීද තීරණාත්මක වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී අධිකරණය නීතියට අනුකූලව සාධාරණව ක්‍රියාකරන තත්ත්වයක තිබුණේයැ”යි කිව නොහැකිය. එය අධිකරණයට පමණක් සීමාවූ තත්ත්වයක්ද නොවීය. රජයේ බදු ආදායම් එකතු කරන සියලු රාජ්‍ය ආයතන පැවතියේ එකතු කරන බදු මුදල් ගසාකන තත්ත්වයකය. එකල අල්ලස් හෝ දූෂණය මර්දනය කිරීම සඳහා වර්තමානයේ මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් නොතිබුණද අල්ලස් දෙපාර්තමේන්තුවක් තිබුණි. රජයේ බදු එකතු කරන ආයතනවල පැවති අන්ත දූෂිත තත්ත්වය ප්‍රශස්ත ලෙස පාලනය කරන තත්ත්වයක එය නොතිබුණේය. ඉන් පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට මාරුවීමෙන් පමණක් විසඳාගත යුතුව තිබෙන සියලු ප්‍රශ්න නොවිසඳෙන බවය. හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අතිරේකව දූෂිත ලෙස ක්‍රියාකිරීමට ඉඩක් නැති ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන අරමුණු වෙනුවෙන් කාර්යක්ෂමව ක්‍රියාකරන ආයතන ක්‍රමයක්ද ඇති කරගත යුතු බවය. ඒ සඳහා වන ශක්තිමත් දර්ශනයක්ද ඇතිකර ගන්නා නව ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතුය.

සෝල්බරි ව්‍යවස්ථාව ගැන කෙරෙන සාකච්ඡාව අවසන් කිරීමට පෙර සෝල්බරි සාමි පසුකලක තමන්ගේ ව්‍යවස්ථාව පිළිබඳව ඊසොප්ගේ භාෂාවෙන් කරන ලද පාපෝච්චාරණයක් ගැන සඳහන් කිරීමද වැදගත්ය. 1963 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික බී.එච්. ෆාමර් ලංකාවේ වර්ධනයවෙමින් තිබූ ගැටුම් පිළිබඳවත් ඒ ගැටුම් කෙරෙහි කුලය, වර්ගය හා ආගම යන සාධක සේ ම මෙම දිවයිනේ ඉතිහාසය බලපා තිබෙන ආකාරයත් විග්‍රහ කෙරෙන Ceylon A Divided Nation නමින් ඉතා වැදගත් හා අපූරු පොත් පිංචක් ලීවේය. ඔහුගේ එම පොතට පෙරවදන ලියා තිබුණේ සෝල්බරි සාමිය. එම කෙටි පෙරවදන සෝල්බරි ව්‍යවස්ථාව පිළිබඳව එක්තරා ආකාරයකින් කරන ලද පාපෝච්චාරණයක් ලෙස සැලකිය හැකිය. පාමර් මේ පොතෙන් පෙන්වා තිබෙන තරමේ සියුම් දැනුමක් ලංකාවේ සමාජය හා ශ්‍රී ලංකා ඉතිහාසය ගැන සෝල්බරි කොමිසමට නොතිබුණු බවත් එවැනි දැනුමක් තිබුණේ නම් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතුවන ආකාරයේ මානව හිමිකම් ප්‍රඥප්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව කොමිසම තේරුම් ගන්නට ඉඩ තිබුණු බව එහි සඳහන් වී තිබුණි.

ඇත්තටම සිදුවී තිබුණු ඒ වරද අයිවර් ජෙනින්ස්ගේ හෝ සෝල්බරි සාමිගේ බුද්ධි හීනභාවය නිසා සිදුවූ වරදක් ලෙස සැලකිය නොහැකිය. එය සැලකිය යුත්තේ ඒ දෙදෙනාම ඩී.එස්. සේනානායකගේ බලපෑමට නතුවී සිටීම නිසා නිදහස්ව හා සාධාරණව කරුණු සලකා බලන්නට සේ ම ව්‍යවස්ථා සම්පාදනයේදී පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව ක්‍රියාකරන්නට අසමත්වීම නිසා සිදුවී තිබෙන වරදක් ලෙසය.

දමිළයන් කබලින් ළිපට දැමූ කොල්වින්

දැන් අපට කොල්වින්ගේ 1972 ජනරජ ව්‍යවස්ථාව ගැන සලකා බැලිය හැකිය. සාමාන්‍යයෙන් රටක් ව්‍යවස්ථාවක් හදාගන්නේ දීර්ඝකාලීන අර්ථයෙන් මිස කෙටිකාලීන අර්ථයෙන් නොවේ. එහෙත් 1947 හදාගත් ව්‍යවස්ථාව ඉන් අවුරුදු 23කට පසුව එපාවී අලුත් ව්‍යවස්ථාවක් හදාගන්නා තැනකට අප යොමුවිය. ඩී.එස්. සේනානායක මෙන් නොව දෙවැනි ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ කොල්වින් ආර්. ද සිල්වා ව්‍යවස්ථා සම්පාදන විෂය පිළිබඳව හසළ දැනුමක් තිබූ පුද්ගලයකු විය. එහෙත් පුදුමයකට මෙන් ඔහුද ව්‍යවස්ථාව සම්පාදනය කළේ අවශ්‍යයෙන්ම පිළිපැදිය යුතු ගුණධර්ම නොසලකා හිතුවක්කාරී ආකාරයකටය. කොළඹ නව නගරයේ පවත්වන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාරම්භක රැස්වීමට භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණු අතර ඔවුන් සියලුදෙනා ඊට සහභාගි විය. දෙවැනි රැස්වීමේදී මෙහෙයුම් හා විෂය කාරක සභාවක් පත්කර ගන්නා ලද අතර ඊට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් 13 දෙනකුද විරුද්ධ පක්ෂයේ නියෝජිතයන් සිව්දෙනකුද ඇතුළත් විය. විරුද්ධ පක්ෂ නියෝජිතයන් සිව්දෙනාගෙන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉතිරි දෙදෙනා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රධාන පක්ෂය වී තිබූ ෆෙඩරල් පක්ෂයෙන්ද විය. ඉන්පසු සිදුවූයේ නව ව්‍යවස්ථාවක් සඳහා මූලික යෝජනා සකස් කිරීමය. ඒ සඳහා මහජන අදහස්ද විමසන ලදි. මූලික යෝජනා 38ක් ප්‍රකාශයට පත්කරන ලද අතර ඊට ඇතුළ.් පහත සඳහන් යෝජනා ෆෙඩරල් පක්ෂයේ විරෝධයට හේතුවිය.

1. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුය.

2. බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය.

3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් විය යුතුය.

4. සියලු නීති සිංහලෙන් පැනවිය යුතුය. එසේ පනවනු ලබන සෑම නීතියක්මත් දෙමළ භාෂාවටද පරිවර්තනය කළ යුතුය.

5. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව 1956 අංක 33 දරන පනතින් නියම කොට ඇති පරිදි සිංහල විය යුතුය. දෙමළ භාෂාවේ භාවිතය 1958 අංක 28 දරන දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනතට අනුව විය යුතුයි.

මෙම යෝජනා පහෙන් ෆෙඩරල් පක්ෂයේ වඩාත්ම විරෝධයට හේතුවූයේ 4 සහ 5 යන යෝජනාය. ප්‍රකාශයට පත්කර තිබූ යෝජනා අතර එම යෝජනා දෙක ලැයිස්තු ගතකර තිබුණේ අංක 11 සහ 12 යන යෝජනා ලෙසය. ඔවුන් එම යෝජනා පහටම සංශෝධන ගෙනාවේය.

පළමු යෝජනාවට ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විය යුතුයි කියන සංශෝධනයද දෙවැනි යෝජනාවට සියලු ආගම්වලට සමාන ලෙස සලකන ලෝකායත්ත රාජ්‍යයක් විය යුතුයි කියන සංශෝධනයද, තුන්වැනි යෝජනාවට මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් විය යුතුයි කියන සංශෝධනයද ඇතුළත් විය. හතරවැනි හා පස්වැනි යෝජනා සඳහා රාජ්‍ය සභාව නීති කෙටුම්පත් කෙරෙන භාෂාව, උසාවි භාෂාව හා නීති ප්‍රකාශ කෙරෙන භාෂාව සිංහල හා දෙමළ විය යුතු බවට යෝජනා කළේය. ඒ සියල්ල ප්‍රතික්ෂේපවීමෙන් පසුව සිංහල හා දෙමළ උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව වියයුතු බවට යෝජනා කළේය. ඒ යෝජනාවද ප්‍රතික්ෂේප විය. ඒ සියල්ලට අතිරේකව ෆෙඩරල් පක්ෂය ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් සඳහා වන කෙටුම්පතක්ද ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. එයද සාකච්ඡාවට ගනු නොලැබීය. ඉදිරිපත් කරන සියලු සංශෝධන යෝජනාද සාකච්ඡාවටවත් ලක්කිරීමකින් තොරව ප්‍රතික්ෂේප වූ තත්ත්වයක් තුළ ෆෙඩරල් පක්ෂය ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වී ඊට සහභාගිවීම වර්ජනය කළේය.

ඉන්පසු ව්‍යවස්ථා සම්පාදන කාර්යය දෙමළ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් තොරව සිදුකරන දෙයක් බවට පත්විය.

උත්ප්‍රාසජනක දේ වනුයේ දෙමළ ජනතාවට තිබෙන භාෂා අයිතිවාසිකම් මුළුමනින් අහිමි කෙරෙන ආකාරයට 1956දී සිංහල රාජ්‍ය භාෂා පනත ඉදිරිපත් වූ අවස්ථාවේදී රාජ්‍ය භාෂා දෙකක් එක රටක්ද එක රාජ්‍ය භාෂාවක් රටවල් දෙකක් ඇති කිරීමට හේතුවක් ඇති බවට අනතුරු ඇඟවූ කොල්වින් ආර්. ද සිල්වාව 1972 ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාතෘවරයා ලෙස ක්‍රියාකිරීම හා ඔහුගේ එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී දෙමළ දුක්ගැනවිලි මුළුමනින් නොසලකා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

කොල්වින්ගේ ව්‍යවස්ථාව එතෙක් ලංකා රාජ්‍යයේ පැවති ලෝකායත ස්වරූපය ඉවත් කොට එය එක ආගමට බර තබන ලද ආගමික රාජ්‍යයක තත්ත්වයට ගෙනාවේය. ඒ සමග රාජ්‍යයේ බහුවාර්ගික ස්වරූපයද ඉවත් කොට එය සිංහල මහ ජාතියේ රාජ්‍යයක් බවට පත්කළේය. දෙමළ ජනයා ව්‍යවස්ථාවෙන්ම දෙවැනි ගණයේ පුරවැසියන් පිරිසක් බවට පත් කළේය. ඉතාමත් දුර්වල ලෙස සකස් කර තිබූ ප්‍රතිපාදනයන් ලෙස සැලකිය හැකි වුවත් සෝල්බරි ව්‍යවස්ථාවේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා තිබූ 29 වැනි වගන්තිය ඉවත් කරන ලද්දේද ඒ සඳහා වන විකල්ප ප්‍රතිපාදන ක්‍රමයක් ඇති කිරීමෙන් තොරවය. අධිකරණයට අණපනත් අර්ථ නිරූපණය කිරීමට තිබූ බලයද අහෝසි කරන ලදි. රාජ්‍ය සේවයට තිබූ ස්වාධීනත්වය අහෝසි කෙරෙමින් රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවාගැනීම හා විනය පාලනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තිබූ බලය ඉවත් කොට ඒ බලය කැබිනට් මණ්ඩලය වෙත පවරා ගත්තේය. සෙනට් සභාවද අහෝසි කරන ලද අතර ශ්‍රීලනිප ප්‍රමුඛ සමගි පෙරමුණට තුනෙන් දෙකේ බලය තිබූ පාර්ලිමේන්තුවේ ආයු කාලයද අවුරුදු දෙකකින් දීර්ඝ කරගත්තේය.

මේ සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලපෑම් නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස විග්‍රහ කරන වාමාංශිකයන්ද සිටිති. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී සමසමාජ පක්ෂයට ආණ්ඩුව තුළ විශාල බලයක් තිබුණා සේ ම ඇමති මණ්ඩලයේ සාමාජිකයන් අතර එම පක්ෂයට බලවත් පිළිගැනීමක්ද තිබුණි. ඒ වනවිට ඔඩුදුවන තුවාලයක් බවට පත්ව තිබුණු ජනවර්ග ප්‍රශ්නයට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ විසඳුමක් ලබාදීමට සමසමාජ පක්ෂයට බලවත් අවශ්‍යතාවක් තිබුණේ නම් හා ඒ සඳහා කරුණු පැහැදිලි කරමින් අගමැති හා ආණ්ඩු පක්ෂය එකඟ කරවා ගැනීමට බලවත් ලෙස උත්සාහ කරන තැනකට ගියේ නම් ඒ සඳහා අවශ්‍ය එකඟතාව ලබාගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එවැනි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නට සමසමාජ පක්ෂය අසමත් වූයේ සමසමාජ පක්ෂය පමණක් නොව කොමියුනිස්ට් පක්ෂයටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග දේශනයකට එකතුවීමෙන් පසුව සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින ප්‍රතිපත්තිය අත්හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වඩා සටන්කාමී ආකාරයකින් දෙමළ විරෝධී තත්ත්වයට පත්ව තිබීම නිසාය. අවසාන විග්‍රහයේදී කොල්වින්ගේ ජනරජ ව්‍යවස්ථාව දෙමළ ජනයා ලංකා රාජ්‍යයෙන් බැහැර කොට තමන්ගේම රාජ්‍යයක් සොයා යන තත්ත්වයකට තල්ලු කළේයැ”යි කිව හැකිය.

අන්දමන්දභාවයෙන් විනාශයේ මාවතට

1972 මැයි 22 වැනිදා පවත්වන ලද ජනරජ සමරුවටද පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුන් 11 දෙනාම සහභාගි නොවීය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවද ඒ දිනය සමරන ලද්දේ ශෝක දිනයක් වශයෙනි. මේ කාලයේදීම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තරග කරන දෙමළ ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සීමා කිරීමට හේතුවන ලෙස ක්‍රියාත්මක කරමින් තිබූ ප්‍රමිතිකරණ නීති දෙමළ තරුණ පරපුරේ බලවත් කෝපයට හේතුවෙමින් වෙන කවදාවත් නැති තරමට දෙමළ තරුණ පරපුරද වීදි බසින හා වෙනම රාජ්‍යයක් ඉල්ලා හඬනගන තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබුණි. 1972 මැයි 24 වැනිදා ෆෙඩරල් පක්ෂය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ 5ක් ත්‍රිකුණාමලයේදී එකට එකතු වී සාකච්ඡා කොට දෙමළ එක්සත් පෙරමුණ නමින් පොදු සංවිධානයක් ඇතිකර ගන්නා ලද අතර දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීම තමන්ගේ අරමුණ බවද ප්‍රකාශ කළේය. මෙම උද්වේගකර වටාපිටාව තුළ දෙමළ ඊලමක් දිනාගත හැක්කේ ආයුධ සන්නද්ධ අරගලයකින් පමණකැ”යි විශ්වාස කරන තරුණ දෙමළ කල්ලි කිහිපයක්ද මතුවෙමින් තිබුණු අතර ඒවා අරමුදල් සොයාගැනීම සඳහා බැංකු මංකොල්ලකන හා ද්‍රෝහීන් ලෙස සලකන පුද්ගලයන් මරා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබුණේය.

1976 මැයි 15 වැනිදා වඩුක්කොඩෙහි පැවති දෙමළ එක්සත් පෙරමුණේ පළමු ජාතික සම්මේලනයේදී එම ව්‍යාපාරයේ නම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වශයෙන් වෙනස් කරගනිමින් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන විස්තරාත්මක යෝජනාවලියක්ද සම්මත කරගත්තේය. උතුරු නැගෙනහිර පළාත් දෙක සාම්ප්‍රදායික දෙමළ නිජබිම ලෙස ප්‍රකාශ වූ අතර තමන් ගොඩනගන ඊලාම් රාජ්‍යයේ භූමි ප්‍රදේශය එම නිජබිම් කලාපය බවද ප්‍රකාශ කළේය.

දෙමළ දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් ඇතිකර ගත යුතුයි කියන අදහස සටන්කාමී මාවතකට තල්ලු වී සිටි දෙමළ තරුණ පරපුර සතුටු කිරීමේ අදහසින් මිස බැරෑරුම් ලෙස කල්පනා කොට ගනු ලැබූ තීරණයක් බව පෙනෙන්නේ නැත. ඒ වනවිට දෙමළ ජනතාව පොදුවේ පිළිගත් නායකයා වූ චෙල්වනායගම් සිටියේද හොඳින් කල්පනා කළ හැකි තත්ත්වයක නොව මරණ මංචකයේය. ෆෙඩරල් පක්ෂය තමන්ගේ වර්ගයා වෙත මහා විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකි මෙම විනාශකාරී තීරණයට එන්නට පෙර 1956 සිටම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සඳහා අවිහිංසාවාදී රාමුවක සිට සටන් කර තිබුණි. ඒ සමග විසඳුමක් ඇතිකර ගැනීම සඳහා ඇමති බණ්ඩාරනායක සමග සේ ම අගමැති ඩඩ්ලි සේනානායක සමගද සාකච්ඡා කොට අවස්ථා දෙකකදී ගිවිසුම් දෙකක්ද ඇතිකර තිබුණේය. බණ්ඩාරනායක සමග ඇති කරගත් ගිවිසුම ඊට එරෙහිව මතුවූ සිංහල උද්ඝෝෂණ නිසා අවසානයේ බණ්ඩාරනායක අගමැතිවරයා විසින් එම ගිවිසුම ඉරා දමා තිබුණි. ඩඩ්ලි සේනානායක සමග ඇති කරගත් ගිවිසුම නිසා ඩඩ්ලි සේනානායක ගොඩනගන සභාග ආණ්ඩුවක කොටස්කරුවකුවෙමින් කිසියම් ප්‍රමාණයක සහන ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව තිබුණද ගිවිසුමට ඇතුළත් බොහොමයක් අරමුණු සපුරා ගැනීමට සමත්ව තිබුණේ නැත.

ඒ සියලු දේට අතිරේකව ෆෙඩරල් පක්ෂය ඉල්ලීම් දිනාගැනීම සඳහා උතුරු නැගෙනහිර රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය මුළුමනින් අඩපණ කිරීමට හේතුවන ආකාරයේ මහා හර්තාලයක් ව්‍යාපාරයකද යෙදී තිබුණි. එම හර්තාලය දින 56ක් ක්‍රියාත්මක විය. ආණ්ඩුව ඔවුන්ගේ හර්තාලය ව්‍යර්ථ කරන ලද්දේ හදිසි නීතිය පනවා ෆෙඩරල් පක්ෂයේ නායකයන් 51 දෙනකු අත්අඩංගුවට දින 170ක් වුවත් පනගොඩ හමුදා කඳවුරේ රඳවා තබන ප්‍රතිපත්තියක් මගිනි. ඒ සමග සාමකාමී සටන්වලට කිසිදු ඉඩක් නැතැ”යි කියා සිතන තත්ත්වයකට දෙමළ නායකයන් පත්ව සිටියේය. ඔවුහු එහිදී ක්‍රියාවට නගන්නට උත්සාහ කළේ ගාන්ධි ක්‍රියාවට නගන ලද අවිහිංසාවාදී සටන් ක්‍රමයට සමාන සටන් ක්‍රමයක් වුවද අවිහිංසාවාදී සටන් පිළිවෙතක් වෙනත් සටන් පිළිවෙතකට වඩා දුෂ්කර වන බවත් සටන් කරන්නන්ට මහත් දුක් පීඩා විඳින්නට සිදුවනවා සේ ම ඒවා විඳ දරාගන්නට සිදුවන බවත් එවැනි සටනක් එක් අත්අඩංගුවට ගැනීමකින් අවසන් කිරීමට ඉඩක් නැති බවත් තේරුම් ගැනීමට එම නායකයන් අසමත්වී සිටියේයැ”යිද කිව හැකිය. දෙමළ නායකයන් වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් කරන තැනකට යායුතුයි කියන ස්වයං විනාශකාරී අදහස ඇති කරගත්තේ එම ව්‍යාකූල මානසික වටාපිටාව යටතේය.

(තවත් කොටසක් ලබන සතියේ)