ලලිත්-ප්‍රේමදාස ඝාතන

September 21, 2014
Publication:
Replying to President's Counsel Hemantha Warnakulasuriya, who told Mawbima and Ceylon Today that Ivan had hated Premadasa and set out to show that Premadasa, not the LTTE, killed Lalith Athulathmudali, Ivan recalls that Warnakulasuriya had defended Magistrate Lenin Ratnayake, whose rape case Ravaya exposed in August 1997. He restates his view of the 1993 killing of Lalith Athulathmudali, including a government news report three days earlier naming him as a suicide-bomber target, and his last conversation with Athulathmudali the night before.

විජය කුමාරණතුංග, ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති රණසිංහ යන අයගේ ඝාතන පිළිබඳව ජනාධිපති හේමන්ත වර්ණකුලසූරියගේ සම්මුඛ සාකච්ඡාවක් සැප්තැම්බර් 7 වැනිදා ඉරිදා “මව්බිම” පුවත්පතේද එම පුවත්පත් ආයතනයේම ඉංග්‍රීසි පුවත්පත වන ඉරිදා Ceylon Today පුවත්පතේද පළකොට තිබුණි. එම පුවත්පත් දෙක එම සම්මුඛ සාකච්ඡාව සඳහා වෙන්කර තිබූ ඉඩ ප්‍රමාණය පිටු දෙකකි.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ලලිත්-ප්‍රේමදාස ඝාතනයට අදාළව කරන කරුණු ඉදිරිපත් කිරීමේදී හේමන්ත මගේ නමද ඈඳාගෙන තිබුණි.

හේමන්තගේ චෝදනා

මෙම ඝාතන සිද්ධීන් දෙකට අදාළව ඔහු මට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් කරයි.

ඔහුට අනුව මා තුළ එජාප කෙරෙහිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙරෙහිත් විශාල ද්වේෂයක් තිබුණි. මා ප්‍රේමදාස ජනාධිපතිවරයා රටට හඳුන්වා තිබුණේ යක්ෂයකු විදියටය.

ලලිත් ඝාතනය කළේ එල්ටීටීඊය නොව ප්‍රේමදාස කියා පෙන්වන්න මට අවශ්‍ය විය. ඒ සඳහා මට විශේෂ සැලැස්මක් තිබූ අතර ඒ අනුව මම අවශ්‍ය මතය හැදුවේය. මිනිස්සු එය පිළිගත්තේය. ලලිත් ඝාතනයට වැල්ලම්පිටියේ සුදු මහත්තයා සම්බන්ධ කරගත්තේද මාය.

ලලිත් හා ප්‍රේමදාස ඝාතනය පිළිබඳව මට මගේ මතයක් තිබෙන්නේය. මා එය ඒ කාලයේදීම ප්‍රකාශ කර ඇත්තේය. ඉන්පසු කාලයකදීත් ඒ ගැන විටින් විට ලියා තිබෙන්නේය. එය පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන දෙයක් නොව, උපන්‍යාසයක් ලෙස සැලකිය හැකිය. හේමන්ත මේ ලිපියෙන් නගන කිසිදු පදනමක් නැති චෝදනාවන්ට මා පිළිතුරු දීම අවශ්‍යයැ”යි කියා මා කල්පනා කළේද හේමන්ත සත්‍යගරුක විචාරකයකු නොවන බව පෙන්වා දෙන අතර, මෙම බිහිසුණු න්‍යාය දෙකට අදාළව අලුතෙන් ඉදිරිපත් වී තිබෙන කරුණු සමග නැවත මාගේ උපන්‍යාසය ගැන කතා කිරීමට වැදගත්වේයැ”යි මට සිතුණු නිසාය.

හේමන්ත ගැන

හේමන්ත දැන් ජනාධිපති නීතිඥයෙකි. ටික කලකට පෙර ඔහු ඉතාලි තානාපති ලෙසද ක්‍රියා කළේය. ඒ සමග ඔහු පුවත්පත්වලට තීරු ලිපි ලියන ජනමාධ්‍යවේදියකු ලෙසද සැලකිය හැකිය. ඔහුට හොඳින් ලිවීමේ හැකියාව ඇතත්, කිසිසේත්ම ඔහු සත්‍යගරුක විශ්වාසදායක විචාරකයකු ලෙස සැලකිය නොහැකිය.

මා මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය හෙළිදරව් කරන ලද අවස්ථාවේදී එම ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයාව ආරක්ෂා කිරීම සඳහා පළමුවෙන්ම පෑන හසුරුවන ලද පුද්ගලයා බවට පත්වූයේ ඔහුය.

මා රාවයේ පළකරන මුල් පුවතක් ලෙස එම සිද්ධිය වාර්තා කරන ලද්දේ 1997 අගෝස්තු 17 වැනිදාය. රාවය පළකෙරෙන දිනය වශයෙන් යොදාගන්නේ ඉරිදා දිනය වුවද එය කොළඹ වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙනුයේ සිකුරාදාටය. පුදුමයට මෙන් මා පළකරන ලද ප්‍රවෘත්තියට එරෙහිව ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව පිණිස හේමන්ත ලියන ලද දීර්ඝ ලිපිය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූයේද අගෝස්තු 17 වැනිදාය.

ඒ කාලයේ හේමන්ත මුඩ්ලියර් යන අන්වර්ත නාමයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට කොලමක් ලීවේය. සාමාන්‍යයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව අග පිටුව හා එම පිටු දෙකේ ඇතුළත හැර එහි ඇතුළත කොටසේ මුද්‍රණ කටයුතු සිකුරාදා රාත්‍රිය වනවිට මුද්‍රණය කර අවසන් කෙරේ. මහේස්ත්‍රාත්වරයා පිළිබඳ රාවයේ පළවූ වාර්තාව හේමන්ත කියවන්නට ඇත්තේ 15 වන සිකුරාදාය. ඔහුගේ ඒ කතාව නිෂේධ කරන පිටුවක් තරම් දීර්ඝ ලිපිය ලිවිය යුත්තේද එදාමය. ලිපිය දහවල් වනවිට භාරදීමට නොහැකි වී නම් ඔහු පුවත්පත් ආයතනයට කතා කොට ඔුහගේ එම වැදගත් ලිපිය පළකරවා ගැනීම සඳහා එම ලිපියට වෙන් කෙරෙන පිටුව සහිත සෙක්ෂණය මුද්‍රණයට යැවීම ප්‍රමාද කරගත්තා විය හැකිය. ඔහු මෙම ස්ත්‍රී දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කරගැනීමට දක්වන ලද උනන්දුවේ ප්‍රමාණය ඉන් පෙන්නුම් කරයි.

වඩාත්ම වැදගත්වන්නේ ඔහු එහි ලියා තිබෙන දේවල්ය. රාවයේ පළවූ මෙම හෙළිදරව්වෙන් අලුත්කඩේ විස්මයට පත්වූ බව ප්‍රකාශ කරමින් ඔහු කියන්නේ මේ චෝදනාව ගැන පරීක්ෂා කොට පොදු මහජනතාවට සැබෑ තත්ත්වය දැක්වීම යුතුකමක් ලෙස සලකා ඒ ගැන කරන ලද පරීක්ෂණයකින් පසුව එම ලිපිය ලියන ලද බවය. ඔහු එම ස්ත්‍රී දූෂිතය මහේස්ත්‍රාවරයාට එල්ල වී තිබෙන චෝදනාවලින් නිදහස් කරන්නේ ඔහු අපරාධකරුවන් පුනරුත්ථාපය කිරීම සඳහා අතිවිශාල සේවයක් කර තිබෙන මහේස්ත්‍රාත්වරයකු ලෙස හඳුන්වමිනි. රාවයේ පළවූ ප්‍රවෘත්ති වාර්තාව ඔහු හඳුන්වා තිබුණේ මෙම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ඔහුගේ සේවය ප්‍රිය නොකළ උසස් තැන්වල සිටි වෙනත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද “නිර්ලජ්ජී කුමන්ත්‍රණයක” ප්‍රතිඵලයක් ලෙසය. හේමන්ත මේ සිද්ධියේදී එල්ල වී තිබෙන චෝදනාව ගැන අධිකරණ සේවා පරීක්ෂණයක් කරනවාට පවා එකඟ නැත. ඔහු ඒ ගැන කියා ඇත්තේ මෙසේය.

“චෝදනා අසත්‍යයැ”යි තීරණය වී මහේස්ත්‍රාත්වරයා ඉන් නිදහස් කෙරුණත්, පරීක්ෂණයක් පැවැත්වුණොත් මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු ඔහුට ඇතිවිය හැකි සිත්වේදනාව හා මානසික පීඩාව ඔහුගේ නිවැරදි කිරීම කොතරම් ප්‍රසිදධියට පත් කෙරුණක් මැකී නොයනු ඇත.”

ඔහු මේ ලිපිය ලියන්නේ එල්ල වී තිබෙන මෙම චෝදනාව ගැන කරන ලද පරීක්ෂණයකින් පසුව බව කියන විට එය මහජනයා මුලාකිරීම පිණිස කියන ලද ලොකු බොරුවක් බව සනාථ කිරීම අමාරු නැත. ඔහුට මෙම වාර්තාව කියවන්නට ලැබෙන්නේ සිකුරාදාය. එදිනම ඔහු ඒ ගැන පිටුවක් තරම් දීර්ඝ ලිපියක්ද ලියා තිබෙන්නේය. පරීක්ෂණයක් කිරීමට ඔහු අමතර කාලයක් ලබාගත්තේ කෙසේද? ඔහු මහේස්ත්‍රාත්වරයා කියන කතාවට පමණක් සීමාවී එය ලියන ලද බව ඉතා පැහැදිලිය. ලිපියේ අපේක්ෂාව බව පෙනෙන්නේම මහේස්ත්‍රාත්වරයා පිළිබඳ පරීක්ෂණයට යෑම වැළැක්වීමය. ඔහු ඒ අරමුණ යම් පමණකට ඉටුකරගත් බවද පෙනේ. එහෙත් මා ප්‍රශ්නය අත නොහැරීම නිසා සිද්ධිය මුළුමනින් යටපත් කිරීමට නුපුළුවන් විය.

පුල්ලි මාරු කිරීම

මා විසින් දිගින් දිගට කරන ලද කෑගැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් මාස 16කට පසුව රාවය මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කෙරෙමින් තිබූ චෝදනා පරීක්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට අධිකණ සේවා කොමිසමට සිදුවිය. ඒ වනවිට හේමන්ත ආරක්ෂා කළ ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනා ගණන දෙක දක්වා ඉහළ ගොස් තිබුණි. මෙම පුද්ගලයා අධිකරණ සේවයට එකතු වන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කර තිබුණි. ඔහු රක්ෂණ සංස්ථාවෙන් පහකර තිබුණේ මුදල් වංචා කිරීමේ චෝදනාවක් මතය. පසුව ගරු කටයුතු විනිසුරුවරයකුගේ තත්ත්වයට පත්ව තිබුණේ මෙම වංචාකාරයාය.

ඔහුට එරෙහිව රාවය නගා තිබුණු චෝදනා තුනම එම පරීක්ෂණයේදී සනාථ විය. ඒ සමග ස්ත්‍රී දූෂක තක්කඩි මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා පෑනෙන් හරඹ කළ හේමන්තද සිය පාට වෙනස් කර ගත්තේය. ලෙනින් රත්නායකට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවේදී ඔහු ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ ඇයිද යන ප්‍රශ්නය ගැන කරුණු පැහැදිලි කිරීමකින් තොරවම මෙම මහේස්ත්‍රාත්වරයාට සිය කොලමෙන් පහරදෙන තැනකට ගියේය. ලෙනින් රත්නායක සිද්ධිය විශ්ලේෂකයකු වශයෙන් හේමන්ත වර්ණකුලසූරිය තමන්ගේ නියම ස්වභාවය පෙන්නුම් කර ඇති එක් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මා විසින් ලියා පළකර තිබෙන “නොනිමි අරගලය” නමැති කෘතියෙහි ලෙනින් රත්නායක සිද්ධියේදී හේමන්ත වර්ණකුලසූරිය රඟපෑ භූමිකාව ගැනද සඳහන්ය.

ද්වේෂයේ යථාර්ථය

දැන් අපට ඔහු මට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා වෙත යාහැකිය. ඔහුට අනුව මට එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත් ජනාධිපති ප්‍රේමදාස කෙරෙහිත් විශාල ද්වේෂයක් තිබුණි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට යක්ෂයකුගේ පෙනුම ලබා දුන්නේ මාය. මට එජාපය හෝ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හෝ එම පක්ෂයේ වෙනත් නායකයකු පිළිබඳ කිසිදු ද්වේෂයක් නොතිබුණි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ 17 අවුරුදු පාලනය ගැනත්, එහිදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද පරපීඩාකාමී හා දූෂිත දේශපාලන ක්‍රමය ගැනත් මට ප්‍රබල විවේචනයක් තිබුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සේ ම ජනාධිපති රණසිංහ ප්‍රේමදාසද මා සලකන ලද්දේ ද්වේෂයෙන් පහර දෙන කෙනකු ලෙස නොව ඉතා ප්‍රබල ලෙස වුවත් ද්වේෂයෙන් තොරව කරුණු විග්‍රහ කරන විචාරකයකු වශයෙනි. මේ නායකයන් දෙදෙනා සම්බන්ධයෙන් මා දරන අදහස් සේ ම මාගේ අත්දැකීම්ද මා ලියන ලද පොත්වලින් සේ ම ලිපි ලේඛනවලින්ද විස්තර කර තිබේ. (ජනාධිපති ජයවර්ධනගේ අභාවයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රය විසින් ජේ.ආර්. ජයවර්ධන මියගිය අවස්ථාවේදී දේශීය හා විදේශීය වශයෙන් පළවූ ලිපි එකතුවක් “ජේ.ආර්. ජයවර්ධන-නව යුගයේ නියමුවා” යන මාතෘකාව යටතේ පොතක් වශයෙන් පළකරන ලදි. එම එකතුවට මා ජේ.ආර්. ජයවර්ධනගේ හොඳ නරක විග්‍රහ කරමින් ලියන ලද ලිපියක්ද ඇතුළත්ය. එම ලිපි එකතුව ගැන සංස්කාරකගේ කෙටි සටහන් එම ලිපි එකතුවේ ආරම්භයට ඇතුළත් කර තිබේ. ගාර්ඩියන් පුවත්පතේ මාක්ටලීගේ ලිපිය ගැන විවේචනයක්ද එම සටහනට ඇතුළත්ය. ඒ සමග ප්‍රකාශකයා එහි එන මගේ ලිපිය ගැනද මෙසේ සඳහන් කර තිබේ.

“රාවය පත්‍රයේ පළවූ ලිපියක්ද මෙහි අන්තර්ගතයි. විරුද්ධ මත ඉදිරිපත් කළත් පුවත්පත් කලාවේ ගෞරවය රැකගෙන තම පුවත්පතේ ස්ථාවරයෙහි පිහිටා එම ලියුම්කරු කිසියම් ශික්ෂණයකින් යුතුව එම විවේචන කර තිබේ. ඔහුගේ විවේචනවලට අප එකඟවීම හෝ නොවීම වෙනම කාරණයකි. මාක්ටලීලා මෙන් තම පෑන හුළුදිය කිරීමට ඔහු යොදාගෙන නැති බව පැහැදිලිය.”

මේ පොතේ එම ප්‍රකාශක සටහන ලියා තිබෙන්නේ කව්ද යන්න සඳහන්වන්නේ නැත. එය ලියා තිබෙන ශෛලිය අනුව මා හිතන්නේ එය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය ලියන ලද මහාචාර්ය කේ.එම්.ද සිල්වා ලියන ලද සටහනක් බවය.

ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති ප්‍රේමදාස ඝාතන සිද්ධීන් දෙක පිළිබඳව මා දරන අදහස් එම ඝාන සිද්ධීන් දෙකේ පළමු සංවත්සරය වෙනුවෙන් මා විසින් 1994.04.24 වැනි දින රාවයට “ලලිත්-ප්‍රේමදාස ඝාතන පිටුපස ඇති සැඟවුණු රහස්” යන තේමාව යටතේ පළකරන ලද ලිපියක හොඳින් සම්පිණ්ඩනය කර තිබේයැ”යි කිව හැකිය. ඉන් තෝරාගත් කොටසක් මෙසේය.

ලලිත් ඝාතනය

ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනය කරන ලද්දේ කවුරුන්ද ? ඒ පිටුපස වූ බලවේගය කුමක් ද? ලලිත්ට වෙඩි තබන ලද්දේ රඝුනාදන් ම ද? එසේ නැතිනම් ඔහු, සැබෑ ඝාතකයා වසන් කරනු පිණිස යොදාගත් බොරු ආවරණයක් පමණක් ද?

දෙමළ විමුක්ති කොටි සංවිධානයට ලලිත් මරා දැමීමේ අභිලාෂයක් තිබුණා විය හැකි ය. ලලිත්ගේ මරණය ඒ අභිලාෂයේ ප්‍රතිඵලයක් වනවාද විය හැකි ය. එසේ ම එය වෙනස් බලවේගයන් විසින් සිය අභිලාෂය සම්පූර්ණ කර ගැනීම සඳහා කරන ලද ඝාතනයක් ද විය හැකි ය.

ලලිත් ඝාතනයේ තවමත් හෙළි නොවූ අභිරහස් වේ යයි මම සිතමි. ජනාධිපති ප්‍රේමදාස ඝාතනය ද එවැනි ම අභිරහසක් වේ යයි සිතමි.

ලලිත් ඝාතනය පිළිබඳව ආණ්ඩුව දක්වන නිශ්ශබ්දතාව තේරුම්ගත හැකි ය. එහෙත් ප්‍රේමදාස ඝාතනය පිළිබඳව ආණ්ඩුව දක්වන නිශ්ශබ්දතාව තේරුම් ගැනීම අමාරු ය. ප්‍රේමදාස ප්‍රතිරූපය ඉස්මතු කර ගැනීමට උනන්දුවක් දක්වන අය පවා එම නිශ්චිතකාරණයේ දී මුළුමණින් ම නිහඬ ය. ප්‍රේමදාස ඝාතනයට අදාළ රහස් පොලිස් පරීක්ෂණ අවසන් කොට පිටු දහස් ගණනක වාර්තාවක් ජනාධිපතිවරයා වෙත බාර දී ඇති බව කියවේ. එම ඝාතනය පිළිබඳව එම පරීක්ෂෂණ වාර්තාවේ ඇති නිගමන මොනවාද? ඒ සියල්ල මහජනතාවට රහසක් ලෙස තබා ගන්නේ ඇයි? පරීක්ෂෂණ වාර්තාවේ එන නිගමන මහජනතාව ගේ දැනගැනීම පිණිස පුවත් පත්වලින් ප්‍රසිද්ධ නො කරන්නේ ඇයි ?

ලලිත්ගේ මරණයට දින තුනකට පෙරාතුව ලංකා පුවත් සේවය අපූරු පුවතක් ප්‍රසිද්ධ කොට තිබුණේ ය. එම පුවත වූයේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන හමුදාවට අයත් පුද්ගලයින් ගණනාවක් කොළඹ නගරයට සම්ප්‍රාප්ත වී සිටින බව සොයාගෙන ඇති බවත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් හා බැංකු ගොඩනැගිලි ඔවුන් ගේ ප්‍රධාන ඉලක්ක විය හැකි බවත් ය.

මේ ප්‍රවෘත්තිය ආණ්ඩුවේ සන්නිවේදන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන ලද්දේ 1993 පළාත් සභා මැතිවරණ අරගලය උච්චතම අවස්ථාවකට යමින් තිබිය දී ය. එම මැතිවරණයේ කේන්ද්‍රීය සටහන පැවතියේ කොළඹ නගරයේය.

මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබුණු වහාම මා සිත තුළ කිසියම් විචිකිච්ඡාවක් ඇති විය. මහජනතාව බිය ගන්නා මැතිවරණ සටනේ කිසියම් මූලික වෙනසක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව කුපාඩිකමකට අර අඳින්නේ ද යන සැකයක් මා සිත තුළ ඇතිවිය. එවැනි අවස්ථාවක විශාල මනුෂ්‍ය ඝාතනයක් ඇතිවන ලෙස කොළඹ නගරයේ දරුණු පිපිරීම් ගණනාවක් ඇති කළේ වී නම් මැතිවරණ උණුසුම බිංදුවටම පහළ වැටෙන්නට ඉඩ තිබුණි. එවැනි පරිසරයක පවත්වන මැතිවරණයකින් ආණ්ඩුවට තක්කඩිකම්වලින් ජලය ලැබීම අමාරු නැත.

ලංකා පුවත් සේවය ප්‍රකාශයට පත්කර තිබූ එම ප්‍රවෘත්තියේ කිසියම් සත්‍ය පදනමක් ඇද්ද යන්න සොයා දැනගනු පිණිස මම හිටපු හමුදා ප්‍රධානියකුට දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමි. හමුදා ඔත්තු සේවා ලබාගන්නා තොරතුරු දැන ගැනීමේ හැකියාවක් මේ පුද්ගලයාට තිබෙන බව මම දැන සිටියෙමි. ඔහු ඊට එවේලේ පිළිතුරක් නොදී ඒ ගැන සොයා බැලීමක් කොට මා අමතන බව කීවේ ය. පසුව මා අමතා ඔහු කීවේ එවැනි පිරිසකගේ පැමිණීමක් පිළිබඳව හමුදා ඔත්තු සේවා මාර්ග කිසිවක් නොදන්නා බව ය. මෙය වෙනත් අරමුණකින් කරන ප්‍රචාරයක් විය හැකි ය යන්න ඔහු ගේ ද මතය විය.

යාපනෙන් පැමිණ ඇතැයි කියන මරාගෙන මැරෙන කල්ලියේ ප්‍රධාන ඉලක්කයක් ලෙස ප්‍රකාශ වී තිබූ එක් ස්ථානයක් වූයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයි. මෙවැනි දෙයක ඇත්ත නැත්ත දැන ගැනීමේ විශේෂ හැකියාවක් ඔවුන්ට ඇති බව මම දනිමි. මේ ප්‍රවෘත්තිය සත්‍යයක් නම් වඩාත් ම භීතියට පත් විය යුත්තේ ඔවුන් ය. එය එසේ වේ නම් එම මහ කොමසාරිස් කාර්යාලය සඳහා විශේෂ ආරක්ෂක විධි විධාන යෙදීම ස්වාභාවික ය. එහෙත් ඒ ගැන කරන ලද කරුණු විමසීමක දී එවැනි කිසිදු වැදගත් වෙනසක් සිදු වී නැති බව දැන ගන්නට හැකි විය. මා තුළ ඇති වූ සැකය වඩාත් තහවුරු වීමට එය හේතු විය. ඔවුන් ගේ ප්‍රධාන ඉලක්ක ලෙස ප්‍රකාශ වී ඇති බැංකු හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්වල ආරක්ෂාව පිණිස විශේෂ විධි විධාන යොදා ඇත්ද යන්න සොයා බැලීමේ දී පෙනී ගියේ ද එවැනි කිසිවක්ම සිදුකොට නැති බව ය.

මැතිවරණ පරාජයක් ඇති වීම වළකනු පිණිස ආණ්ඩුව කිසියම් කුපාඩිකමකට අර අඳිමින් සිටින්නේය යන විශ්වාසය හේතු කොටගෙන ඒ බව විරුද්ධ පක්ෂයේ වගකිවයුත්තන්ට දැනුම් දීමක් කළ යුතු යයි සිතා මා කර්නල් අනුරුද්ධ රත්වත්ත මහතාට කථා කිරීමට උත්සාහ කළත් ඔහු කොළඹ සිටියේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද නිවසේ නොසිටියා ය. ලලිත් ඇතුළත්මුදලි මහතාගේ නිවසට කථා කළ විට ඔහු දින දෙකකට හෝ තුනකට පසුව එදින රාත්‍රී නිවසට එන බව දැන ගන්නට ලැබුණි.

එදින රාත්‍රි මා ලලිත් ඇතුළත්මුදලි මහතා හමුවීමට යනවිට ඔහු නින්දට යාම පිණිස උඩුමහලට ගොස් ඇති බව දැන ගන්නට ලැබුණි. පණිවිඩයක් යැවී පහත මාලයට පැමිණි ඔහු මවිසින් අවධාරණය කරන ලද විශේෂ තත්ත්වය පිළිබඳව මා හා සාකච්ජා කළේ ය. මෙය මැතිවරණ සටන අන් අතකට යොමු කිරීමේ අදහසින් ආණ්ඩුව විසින් අටවන ලද උගුලක් විය හැකි ය යන මතය ඔහු ද පිළි ගත්තේ ය. මෙවැනි තත්ත්වයක් ඇති වීම වළකනු පිණිස කුමක් කළ යුතුදැයි ප්‍රශ්න කළ විට, පුවත් පත් සාකච්ජාවකට යමින් මේ තත්ත්වය මහජනතාවට හෙළිදරව් කළ යුතු බව මම කීවෙමි. ඒ අදහස් පිළිගත් ඔහු ඒ බව බණ්ඩාරනායක මැතිනිය සමඟ සාකච්ජා කොට පුවත් පත් සාකච්ජාවකට යන බව කීවේ ය.

කවර හේතුවක් නිසා හෝ එම සාකච්ජාව අවසානයේ දී සිය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද මම කථා කළෙමි. ලංකාවේ දේශපාලනය දැන් අවදානම් සහගත කාරියක් වී තිබෙන බව ඇත්තක් මුත් දේශපාලනඥයකුට තමන් ළඟට එන ජනතාව ගේ සාක්කු පරීක්ෂෂා කිරීමේ හැකියාවක් නැති බව ඔහු පැවසුවේ ය.

ඒ හමුව ලලිත් ඇතුළත්මුදලි මහතා ජිවතුන් අතර සිටිය දී මට හමු වූ අවසාන අවස්ථාව විය. ඔහු සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගියේ ඊට දින දෙකකට පසුව ය.

ලංකා පුවත් සේවය ගෙනා එම ප්‍රවෘත්තිය මා තුළ ඇතිකර තිබූ සැකය තව දුරටත් පණගන්වන අතුරු සිදු වීම් දෙකක් ඉන් පසුව ඇතිව ය.