රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා සේ, රටට ඉතිරි වී ඇත්තේ ද වීණා වාදනය පමණය

January 15, 2006
Publication:
Like it or not, the Sri Lankan state is close to complete collapse, and what can be done depends on understanding why. Ivan works through examples of institutional failure, adding the Chief Justice, the Public Trustee and the Commissioner of Registration of Persons to cases already discussed, to show that every arm of the state is breaking down.

අපේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් දැන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ පූර්ණ බිඳ වැටීමකට ආසන්න තත්ත්වයකය. එය වැළකිය නොහැකි තත්ත්වයක් බව ද පෙනෙන්නට තිබේ.

ඇතිවන්නට නියමිත බිඳ වැටීම ඉදිරීයේ කුමක් කළ හැකිද යන්න තීරණය කළ හැකිවනු ඇත්තේ බිඳ වැටීමක් ඇතිවීම කෙරෙහි බලපා තිබෙන හේතු හරිහැටි තේරුම් ගැනීමෙන් පමණය.

පවතින ජාතික රාජ්‍යය අපේම නිර්මාණයක් නොව, ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලද ධනේශ්වර ක්‍රමයේද දායාදයකි. ජාතික රාජ්‍යයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාමේදි අවශ්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතු සමහර කොන්දේසි සම්පූර්ණ කිරීමට අප අසමත්වී තිබෙන අතර, ඇතිවන්නට යන බිඳ වැටීම එහි තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

ඉංග්‍රීසීන් ඇති කළ ජාතික රාජ්‍යය සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට අප අසමත් වී තිබෙන්නේ ඇයි?

ඊට දිය හැකි පිළිතුර සැකෙවින් මෙසේය.

1. නිදහස ලැබෙන අවස්ථාව වන විට නවීන ජාතික රාජ්‍යයක් ගොඩනැගී තිබුණ ද, එවැනි රාජ්‍යයක පැවැත්ම සඳහා අවශ්‍ය ඒකාග්‍ර ජාතියක් ගොඩනැගී නොතිබුණි. තමා අයත් වර්ගය, අදහන ආගම, කතා කරන භාෂාව හා තමා අයත් කුලය අනුව සමාජය බෙදි සිටියේය. නිදහසින් පසු බලයට පැමිණි පාලක පක්ෂ ඉදිරි දර්ශනයකින් තොරව රටේ බහුතර වර්ගයට, බහුතර ආගමට, බහුතර භාෂාවට හා බහුතර කුලයට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම ප්‍රතිපත්තිය සුළුතර වර්ග, සුළුතර ආගම්, සුළුතර භාෂා හා සුළුතර කුලවලට අයත් ජනයා අතර අසහනයක් ඇති කිරීමට හේතුවී එම අසහනයන්ට සාධාරණ විසඳුම් නොලැබෙන තත්ත්වයක් ඉදිරියේ අසහනයට පත් සමාජ කණ්ඩායම් රාජ්‍යයේ සුජාතභාවය ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීම හෝ වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා ආයුධ සන්නද්ධව සටන් කරන තත්ත්වයකට තල්ලු වූහ. 1971 අප්‍රේල් සිංහල තරුණ කැරැල්ලෙන් ආරම්භ වී උතුරේ දෙමළ යුද්ධ ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ මෙම ප්‍රචණ්ඩ ව්‍යාපාර හා රාජ්‍යය අතර ඇතිවූ ගැටුම් රාජ්‍යය බෙලහීන කොට කැබලි කිරීමට හේතුවිය.

2. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන් විසින් ඇති කර දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයට මාරුවූයේ වැඩවසම් දේශපාලන ක්‍රමයක සිට ධනේශ්වර දේශපාලන ක්‍රමයකට මාරුවීමේදි අවශ්‍යයෙන්ම සමාජ මනසේ ඇති කරගත යුතු වෙනස්කම් ඇතිකර ගැනීමෙන් තොරවය. ඒ නිසා තෑගි ලැබුණු නව ක්‍රමය පවත්වාගෙන ගියේ තමන්ට හුරු පුරුදු වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය පවත්වාගෙන ගිය ආකාරයටය. රාජ්‍ය නායකයා තෝරාගන්නේ මහජන ඡන්දයෙන් වුවත් මහජන ඡන්දයෙන් තේරි පත්වන රාජ්‍ය නායකයා රට පාලනය කළේ වැඩවසම් රජකු ලෙසය. බලයට පත්වන පාලන පක්ෂවලට නවීන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ක්‍රමයට ආවේණික බල බෙදිමේ න්‍යාය පිළිබඳව අවබෝධයක් නොතිබුණු අතර, ඒ නිසා එම බල බෙදිම් තුළ පවත්වාගෙන යායුතු සංවරණය හා තුලනය පිළිබඳ අවබෝධයක් නොතිබුණි. බලයට පත්වන හැම රාජ්‍ය නායකයකුම පැරණි රජවරුන් සේ ම ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන අංශ තුන ස්වාධීනව පවතින්නට ඉඩ නොදි සිය ග්‍රහණයට ගත්තේය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන අංශවලට ද නවීන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයන් තුළ තමන් වෙත පැවරි තිබෙන වගකීම් පිළිබඳ අවබෝධයක් නොතිබුණු අතර, මහජනයා බලයට පත් කරන පාලන පක්ෂයට අවනතව ක්‍රියාකිරීම සිය වගකීම ලෙස සලකා ක්‍රියා කළේය. සිරිතක් වශයෙන් බලයට පත්වන පාලක පක්ෂය රගපෑවේ ද භාරකාර භූමිකාවක් නොව කොල්ලකාරි භූමිකාවකි. ජනවරම ලෙස සැලකුණේ ජයග්‍රාහකයාට පාක්ෂිකයින් සමග එක්වී පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෞරවයෙන් ආරක්ෂා කරගත යුතු පොදු සම්මුතියක් ලෙස නොසැලකිණ. ජයග්‍රාහී පාලන පක්ෂයට උපරිම ලෙස වස්තුව කොල්ලකෑමට අවශ්‍ය සහාය දිම සිය වගකීම ලෙස නිලධරතන්ත්‍රය කල්පනා කරන විට අධිකරණයේ නිල දර්ශනය වූයේ ද එයයි.

රාජ්‍යයේ මෙම විශේෂිත භාවිතය තුළ අද රටේ දේශපාලන ක්‍රමය තිබෙන්නේ එහි අභ්‍යන්තරය මුළුමණින් කුණුවූ තත්ත්වයකය. දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන නිදර්ශන කිහිපයක් මෙසේය.

1. චන්ද්‍රිකා කුමාරතුංග මහ රැජිණ සිය නිල ධුර කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබෙන අවස්ථාවක නාගරික සංවර්ධන ඇමතිවරයා තමන් වෙත කැඳවා තමන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද ඇප කැපවීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතුව තිබෙන විශේෂ වරප්‍රසාද ගැන විශේෂ කථිකාවක යෙදුණාය.

තමාගේ ස්වාමි පුරුෂයා රට වෙනුවෙන් දිවි පිදූ බවත්, ඉන්පසු තමන්ගේ එක ඇසක් රට වෙනුවෙන් පරිත්‍යාග කළ බවත්, ඒ වෙනුවෙන් කිසිම වන්දියක් ලබාගෙන නැති බැවින් හා විශ්‍රාම ගිය පසු ලැබෙන සමහර වරප්‍රසාද ලබාගැනීමට ද බලාපොරොත්තු නොවන බැවින් තමන් ඉල්ලා සිටින ඉඩම් කැබැල්ල පමණක් තමන්ට සින්නක්කර අයිතිය ලැබෙන ලෙස තමන්ට ලියා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය. ඇය ඉල්ලා සිටියේ ඇය පාලන බලයේ සිටියදි දැවැන්ත ජනාධිපති මන්දිරයක් ඉදිකිරීමට සිහින දුටු හා ඒ සඳහා රුපියල් මිලියන 800ක් වැය කොට සංවර්ධන කළ ඉඩමෙන් කොටසකි. ප්‍රමාණය අක්කර 1 යි රූඩ් දෙකකි. වෙළෙඳ වටිනාකම රුපියල් මිලියන 300කි. නාගරික සංවර්ධන ඇමතිවරයා ද ප්‍රමාද කිරීම කින් තොරව කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගනිමින් විශ්‍රාම යන මහ රැජිණගේ එම අහිංසක ඉල්ලීම ඉටු කර දුන්නේය.

2. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැලකෙන්නේ මිස්ටර් ක්ලීන් ලෙසය. දැන් ඒ මිස්ටර් ක්ලීන්ට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකි. පක්ෂ නායකයා වෙනස් කිරීමට කැරලිකරුවන්ට අවශ්‍ය වී තිබේ. එහෙත් තමා ජීවත් වන තෙක් පක්ෂ නායකත්වය අත්හරින්නට පක්ෂ නායකයා කැමති නැත.

දැන් කැරලිකරුවෝ තමන්ට අයිති නැති අනවශ්‍ය දේවල් ප්‍රශ්න කරන තැනකට ද පත්ව සිටිති. පසුගිය මැතිවරණයේදි විදේශීය රටකින් ලැබුණු ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 500) හා අනෙකුත් ආධාරවල ගිණුම් ලබාදෙන ලෙස දැන් ඔවුන් පක්ෂ නායකයාගෙන් ඉල්ලා සිටිති. එය කිසිම පක්ෂයක පාක්ෂිකයකු සිය පක්ෂ නායකයාගෙන් නොඇසිය යුතු කරම් නොහොබිනා ප්‍රශ්නයකි. මරණාධාර සමිතියක් නම්, අයවැයක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් පක්ෂ එසේ කළ යුත්තේ ඇයි? ලැබෙන ධනය රිසි ලෙස භුක්ති විඳීමේ අයිතිය පක්ෂ නායකයාට තිබිය යුතුය. එය රටේ හැම පක්ෂයකම නායකයාට තිබෙන අයිතියයි.

3. හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා මහතා දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සාමාජිකයෙකි. හෙරොයින් ජාවාරමකට අදාළව බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරියෙකුට අදාළව කෙරෙන පොලිස් පරීක්ෂණ වලින් ඉන්ද්‍රා ද සිල්වා මහතා එම පොලිස් නිලධාරියාට තිබෙන සමීප සම්බන්ධය අනාවරණය වී තිබේ. එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට එම නිලධාරියාගේ බිරිඳ (ඇය ද පොලිස් නිලධාරිනියකි) පරිහරණය කරමින් තිබූ ජංගම දුරකතනය ඇයට ලැබී තිබෙන්නේ ඉන්ද්‍රා ද සිල්වා මහතාගෙනි. එම ජංගම දුරකතනයේ හිමිකරුවාගේ නම හා ලිපිනය ලෙස සඳහන්වන්නේ ද ඉන්ද්‍රා ද සිල්වා මහතාගේ නම හා ලිපිනයයි. අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරියා බොරැල්ල ගෝතමී පාරේ ඉදිකෙරෙමින් තිබෙන මහල් නිවාසයක වැඩ කරන කාර්මිකයන් පොලිසියට ලබාදි තිබෙන කටඋත්තර වලට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන ඉන්ද්‍රා ද සිල්වා මහතා එම නිවස ඉදිකරන වැඩබිමට නිතර නිතර පැමිණෙන බවත්, එම ඉදිකිරිම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද ඔවුන්ට උපදෙස් දුන් බවත් සඳහන් වේ. කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ පොලිස් ඒකකය ඉන්ද්‍රා ද සිල්වා මහතා පොලිස්පතිව සිටියදි විසුරුවා හැරිමේ රහස ද මෙම පරික්ෂණයේදි අනාවරණය වී තිබේ.

4 අද්මිරාල් දයා සඳගිරි මහතා හිටපු නාවුක හමුදාපතිවරයාය. වර්තමානයේ ත්‍රිවිධ හමුදාවට අණ දෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ විශ්වාසවන්තම යුද නිලධාරියාය.

අද්මිරාල් දයා සඳගිරි ගැන ප්‍රකාශ වෙමින් තිබෙන කතාවලින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ මුදුනත කුණුවී තිබෙන තරම හොඳින් සංකේතවත් කරයි.

ඔහු නාවුක හමුදාපතිව සිටියදි ඇණවුම් කර තිබුණ රුපියල් සිය කෝටියකට අධික ගනුදෙනුවක් දැන් රජය විසින් අවලංගු කර තිබේ. අලුත්ම අලුත් කාලතුවක්කු ලෙස ඔහු මිලදි ගන්නට උත්සාහ කර ඇත්තේ අවුරුදු 20ක් පැරණි කාලතුවක්කුය. එම අවි ගනුදෙනුවේ සැපයුම්කරුවා ලෙස ක්‍රියා කොට ඇත්තේ ඊශ්‍රායල් සමාගමකි. ගිවිසුම අත්සන් කොට ඇත්තේ 2004 දෙසැම්බරයේදිය. මුළු ගනුදෙනුවේ වටිනාකම ඇමරිකන් ඩොලර් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 107කි. ඒ සඳහා ගෙවන ලද අත්තිකාරම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් විසි එක් ලක්ෂ හතළිස් දහසක් හෙවත් රුපියල් විසි එක් කෝටි අසූ දෙලක්ෂයකි. අවි තොගය 2005 ජූනිවලදි කොළඹට ළගාවීමට නියමිතව තිබුණ ද ඒවා ලබාගැනීමට නොහැකි වී ඇත්තේ සැපයුම්කරුවාට එක්සත් රාජධානියේ රාජකීය නාවුක හමුදාවේ ප්‍රහාරක නාවුක යාත්‍රාවලින් ඒවාට සවිකර තිබූ විසි වසරක් පැරණි තුවක්කු ඉවත් කරන තෙක් බලා සිටින්නට වීම නිසාය. කොටින්ම අලුත්ම අලුත් මිලිමීටර් 30 නාවුක ප්‍රහාරක කාලතුවක්කු ලෙස මිලදි ගන්නට උත්සාහ දරා ඇත්තේ විසි වසරක් පැරණි එක්සත් රාජධානියේ නාවුක හමුදාවට එපා වූ කාලතුවක්කුය.

5 විගණකාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2003 වසරේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විගණක වාර්තාව අනුව පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි චීනයෙන් ආනයනය කිරීම ආරම්භ කළදා සිට හැම වසරකම චීනය මුදල් අයකිරීමකින් තොරව ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදි තිබෙන නිල ඇඳුම් රෙදි මීටර් සංඛ්‍යාව මීටර් ලක්ෂ 05කි. 2002 දක්වා හැම වසරකදිම එසේ නොමිලේ ලැබෙන මීටර් ලක්ෂ 05 අතුරුදහන් වී තිබේ.

2002 වසරේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් අතුරුදහන් වී ඇති නිල ඇඳුම් පැකට් සංඛ්‍යාව 480,000කි. එවිට එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට වැටෙන පැකට් සංඛ්‍යාව 240කි. අමාත්‍යාංශ මට්ටමෙන් අතුරුදහන් වී ඇති රෙදි පැකට් සංඛ්‍යාව 575,862කි.

මෙම නිදර්ශන අතරට අවශ්‍ය නම් මීට පෙර කතා කර ඇති අගවිනිසුරු, මහා භාරකරු, හැඳුනුම්පත් කොමසාරිස් වැනි නිදර්ශන ද එකතු කළ හැකිය. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සියලු මුල් කුණුවී තිබෙන බවය. ප්‍රභාකරන්ගෙන් එල්ල වන යුදමය ප්‍රහාරයකින් තොරව වුවත් මෙම රාජ්‍යයට පැවතීම අමාරු බවය. ප්‍රභාකරන් මෙම විකෘති රාජ්‍යයේම විකෘති නිර්මාණයක් වන අතර, ශ්‍රී ලංකා රාජ්‍යය කඩා වැටෙන දිනක එහි සුන්බුන් ප්‍රභාකරන්ගේ අර්ධ රාජ්‍ය මත කඩා වැටී රාජ්‍යයන් දෙකේම විනාශය සමාන කාලවකවානුවක සිදුවීමට ද ඉඩ තිබේ.