රාජසන කතාව හා ප්‍රජාතන්ත්‍රවාදය

November 5, 2000
Publication:
The editorial says the President's throne speech covered much but ignored the real problems of democracy. It cites the Elections Commissioner, PAFFREL's finding of gross malpractice in 22 electorates, the election-violence monitors' call to annul 17 results and EU observers' ratings of polling stations, against her claim to have revived democracy since 1994. Consensus against Prabhakaran's terrorism, it argues, requires first ending the state terror and electoral fraud of every ruling party since 1977, and the opposition must take up a practical reform programme.

ජනාධිපතිනිය සිය රාජාසන කතාවෙන් බොහෝ දේ කතා කළත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දි සිටින ඇත්ත ගැටලු ගැන කිසිවක්ම කතා නොකළා ය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ මහජන නියෝජිත පාලන ක්‍රමයකි. එවැනි පාලන ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායක සභාව උත්තරිතම දේශපාලන ආයතනය ලෙස සලකන අතර, ඊට නියෝජිතයන් තෝරා පත් කර ගැනෙන්නේ මහජන ඡන්දයෙනි. ව්‍යවස්ථාදායක සභාවක් සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක නොපවතී නම්, හා ඊට තේරි පත්වන නියෝජිතයන්ගෙන් කිසියම් පිරිසක් තේරි පත්වන්නේ දූෂිත ආකාරයකට නම් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස සැලකිය නොහැකි ය.

අප රට ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමයේ සැබෑ හැඩතල මොනවාද යන්න පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනා ලෙස පෙන්නුම් කළේ ය.

එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවී ය. එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවීය යන්න මැතිවරණ කොමසාරිස්වරයාගේ සිට දේශීය හා විදේශීය නිරික්ෂණ ආයතන දක්වා වන සියලුදෙනාගේ පොදු නිරික්ෂණය විය. පැෆරල් සංවිධානයේ මතය වූයේ ද මැතිවරණ කොට්ඨාශ 22ක පැවති තත්ත්වය අන්ත දූෂිත බව ය. මැතිවරණ කොට්ඨාශ 17ක පැවති තත්ත්වය අන්ත දූෂිත බවත්, ඒ මැතිවරණ කොට්ඨාශ 17 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කළ යුතු බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ ආයතනය ප්‍රකාශ කර සිටියේ ය. යුරෝපා සංගමය විසින් එවන ලද නිරික්ෂණ කණ්ඩායමේ මතය වූයේ මැතිවරණ මධ්‍යස්ථාන 2%ක තත්ත්වය ඉතාමත් නරක බවත්, තවත් 8%ක තත්ත්වය නරක බවත් ය.

ජනාධිපතිනිය තමන් 94න් පසුව ප්‍රජාතන්ත්‍රවාදයේ නව පුනර්ජීවයක් ඇති කළ බව ප්‍රකාශ කරන්නේ මෙවැනි ජරාජීර්ණ තත්ත්වයක් රටේ රජ කරමින් තිබෙන අවස්ථාවක ය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට ඉක්මන් පිළියමක් සොයාගත යුතු බව සත්‍යයකි. එහෙත් ඒ ප්‍රශ්නයට දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගත හැකිවනු ඇත්තේ 1977 සිට බලයට පත්වන හැම පාලක පක්ෂයක් විසින් ම විරුද්ධ පක්ෂවලට එරෙහිව රාජ්‍ය බලය යොදා ගනිමින් පවත්වාගෙන යන ත්‍රස්තවාදය හා මැතිවරණ ජයගැනීම සඳහා ආයතන ගත මට්ටමකින් පවත්වාගෙන යන දූෂණ ආශ්‍රයෙන් මතුවී තිබෙන ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ඇති කරගත හැකි නම් පමණ ය.

එහෙත් ජනාධිපතිනිය එවැනි ප්‍රශ්න තවමත් වැදගත් කොට සළකන බවක් පෙනෙන්නට නැත. ඇය සිතන බව පෙනෙන්නේ ඒ සියලු ප්‍රශ්නවලට ද ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන නව ව්‍යවස්ථාවක් ඔස්සේම විසඳ ගත යුතු බව ය. එහි අවසාන තේරුම වනු ඇත්තේ කිසිම මූලික ප්‍රශ්නයකට පොදු එකගතාවක් ඇති කරගත නොහැකි තත්ත්වයක් ඉතිරිවීම ය. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ රටේ පවතින අවුල් සහගත බව තව තවත් තීව්‍ර වීම ය.

මේ තත්ත්වය ඉදිරියේ විපක්ෂය අනුගමනය කරන්නට යන්නේ කුමන ප්‍රතිපත්තියක් ද යන්න තවමත් පැහැදිලි නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන ගරා වැටීම වළකා එහි නව පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණයන් ඉදිරියට ගැනීමට ආණ්ඩුව සූදානම් නැතත්, ඒ අරමුණ වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීම පොදුවේ විපක්ෂයේ පක්ෂ ඉදිරියේ තිබෙන වගකීම යි.