රට ද, රුපියල මෙන් පාවෙන්නට ඉඩ හැර තිබෙන බව පෙනේ. එය නිසි මෙහෙයවීමකින් තොරය.
රටට ආණ්ඩුවක් ඇතත්, ඊට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැත. අනෙක් අතට එසේ තිබෙන ආණ්ඩුවට පවා කිසිදු වැදගත් මූලික කරුණක් පිළිබඳව පොදු එකගතාවක් ද නැත.
පළාත් සභා මැතිවරණ නිසා වැඩිවන තෙල් මිල නොසලකා සිටින ප්රතිපත්තියක් ආණ්ඩුවට අනුගමනය කරන්නට සිදුවිය. එහෙත් පළාත් සභා මැතිවරණයෙන් පසු තෙල් මිලෙහි අතිරේක බර එකවර මහජනතාව මත පටවන්නට සිදුවීම නිසා ඔරොත්තු නොදෙන ජීවන බරකට කරගසන්නට මහජනතාවට සිදුවිය.
අඩුම වශයෙන් ආධාර කණ්ඩායම ශ්රී ලංකාවට වෙන් කළ ණය ආධාර හෝ ලබාගැනීමට සමත් වී නම් තෙල් මිල ඉහළයෑමෙන් ඇතිවී තිබෙන අතිරේක බර දරා ගත හැකි තැනක තබාගන්නට රට සමත්වන්නට ඉඩ තිබණි. දැන් තිබෙන තත්ත්වය යටතේ රටට සිදුවී තිබෙන්නේ ආධාර නොසලකා ක්රියාකරන තැනකට යන්නටය. රට තිබෙන්නේ එදිනෙදා කටයුතු කරගෙන යනවා තබා නියගයෙන් පීඩා විඳින අයට දෙන සහනාධාර ටිකවත් පූර්ණ වශයෙන් ලබාදිය නොහැකි තත්ත්වයකය.
නොවැම්බර්වලදි ආණ්ඩුව අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතුය. එය කෙබඳු අයවැයක් වනු ඇත්දැයි සිතාගන්නටවත් බැරි තරම්ය. පෞද්ගලිකකරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වී තිබෙන විරෝධය නිසා ඒ මගින් ආණ්ඩුවට ලබාගත හැකි ආදායම් ද මුළුමනින් අහිමි වන තත්ත්වයක් ඇති වී තිබේ. එම තත්ත්වය පෙරළා ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකගතාවන් කෙරෙහි ද බලපායි. දැන් නැවත රට යමින් තිබෙන්නේ කාගෙවත් ණය ආධාර නැතිව දෙපයින් නැගී සිටින්නට උත්සාහ කරනවා හැර අන් විකල්පයක් නැති තැනකටය. ගෝලීයකරණයට හසුවන්නට පෙර දෙපයින් නැගී සිටින ලෝකයක් ගැන සිහින දැකීමේ එක්තරා ප්රමාණයක හෝ හැකියාවක් තිබුණත් දැන් ඒ උත්සාහය කරන්නට සිදුවී තිබෙන්නේ ද ගෝලීයකරණයට හසුවූ සංකීර්ණ ලෝකයක සිටය.
70-77 සමගි පෙරමුණ ආණ්ඩුව ද ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන සිහින දැක්කේය. වගා සංග්රාමයක් අරඹා බතල මඤ්ඤොක්කා කන්නට නීතියෙන් නියම කරන තැනකට ගියේය. අත්යවශ්ය ආහාර ද්රව්ය සඳහා පෝලිම් යුගයක් රටේ ඇතිවූ අතර, පාන්ගෙඩිය පවා සුඛෝපභෝගී ආහාරයක් ලෙස සලකා ක්රියාකරන තත්ත්වයක් ඇතිවිය. සහල් ප්රවාහනයට බලපත්ර නිකුත් කරන ලද අතර, මගුල් ගෙවල් සඳහා පවා බලපත්ර ලබාගත යුතු තත්ත්වයක් ඇතිවිය. දැන් රටට නැවත යන්නට සිදුවී තිබෙන්නේ එතනටද?
මේ තිබෙන තත්ත්වය වඩා දුෂ්කරවීමට තව ඊට එකතුවීමට ඇත්තේ යුද්ධය පමණය. දැන් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය තුළ බොහෝ කල් යන්නට මත්තෙන් නැවත යුද්ධ කරන තැනකට ද රට තල්ලු විය හැකිය.
සාම ක්රියාවලිය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ජනාධිපතිනියට එසේ කිරීමට අවශ්ය වී තිබුණත්, ඊට ජනතා විමුක්ති පෙරමුණෙන් බුරුළක් ලැබෙන්නේ නැත. අවසාන විසඳුමක් හැර මොනම ආකාරයේ හෝ අන්තර් පාලනයක් ගැන කතා කරනවාට ජනතා විමුක්ති පෙරමුණ එකහෙළා විරුද්ධය. ජනාධිපතිනියට ජනතා විමුක්ති පෙරමුණ අතහැර ඉදිරියට යෑමේ හැකියාවක් ද නැත.
දැන් රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව යුද්ධ නොකරන තැනක නැවතී සිටිනවාට වඩා යුද්ධ කරන තැනකට රට තල්ලු කිරීම ආණ්ඩුවට වාසිදායකය. එවිට ජීවන අමාරුකම් වෙත යොමුවී තිබෙන මහජන අවධානය ඉන් ඉවත් කොට යුද්ධය වෙත යොමු කළ හැකිය. එල්ටීටීඊ සතුරාගෙන් රට මුදාගන්නා දේශප්රේමී යුද්ධයත් සමග වගා සංග්රාමයක් ගැන පුරාජේරු කතා කළ හැකිය. යුද්ධ කරන අතර, වැව් තැනිය හැකිය. වී ගොවිතැනින් රට ස්වයංපෝෂිත කළ හැකිය. නැවත ඇති කරන පරාක්රමබාහු යුගයක් ගැන උදම් ඇනිය හැකිය.
මුළු රටම තිබෙන්නේ මංමුළාවූ තත්ත්වයකය. කිසිවකුට ඉදිරිය පෙනෙන්නේ නැත. තමන් මංමුළාවූ තැනක සිටින බව හැම කෙනෙකුම දනිතත් ඒ බව ප්රකාශ කරන්නට ද කැමති නැත. රටේ නායකයන් ද තමන් මංමුළා වූ තැනක සිටින බව දනිතත්, ඒ බව අගවන්නට කැමති නැත. තමන් මංමුළා වූ ගමනක යෙදි සිටින බව ආණ්ඩුව දනිතත්, ආණ්ඩුවට මහජනයාට කියන්නට සිදුවී තිබෙන්නේ තමන් රට පෙරට ගෙනයමින් තිබෙන බවය.
දැන් තිබෙන තත්ත්වය යටතේ රට පරිපූර්ණ අර්බුදයකට තල්ලු වී යනු නොවැළැක්විය හැකිය. දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇතිකර ගැනිමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ආණ්ඩුවට බහුතර බලයක් ඇති කරගැනීම පහසු නොවනවා සේ ම බහුතර බලයක් ඇති කරගත්තද පොදු එකගතාවක් ඇති කරගත නොහැකිය. තෙල් මිල වැඩිවීම, නියගය වැනි හේතූන් නිසා ද, බාහිර ණය ආධාර නොලැබීම නිසා රට ආර්ථික වශයෙන් පිරිහෙන තැනට පත්වනු ඇත්තේය. විරුද්ධ පක්ෂයක් ඇතත්, එයට නැගී සිටීමේ ආරම්භක ශක්තියක් නැත. සමාජය ඉන්නේ ද පීඩනයේ බර ගැන කන්කෙඳිරිගානා තැනක මිස ඉන් ඔබ්බට ගිය කිසිවක් නොදන්න තැනකය. මේ තිබෙන අවුල් සහගත තත්ත්වයට යුද්ධය ද එකතු වුවහොත් ඇමති දිමු ජයරත්න කියා ඇති පරිදි ශ්රී ලංකාව ඉතියෝපියාවක් බවට පත්වන්නට ද බැරි නැත.