රට ආර්ථික වශයෙන් ගමන් ගනිමින් තිබෙන්නේ දරුණු ප්රපාතයකට ය. ප්රධාන වශයෙන් රටේ සේවා අංශය ද දෙවැනිව රටේ කර්මාන්ත නිෂ්පාදන අංශය ද බිඳ වැටෙමින් තිබෙන අතර, මේ වනවිට ආර්ථික වර්ධන වේගය බිංදුව මට්ටම දක්වා පහත වැටී තිබේ. එය සෘණ අගයක් ගන්නා තත්ත්වයක් දක්වාම පහත වැටීමේ අවධදානමක් ද පවතී.
පාරිභෝගික භාණ්ඩවල මිල ඔරොත්තු නොදෙන තරම් ඉහළයාම මේ නිසා ඇතිවිය හැකි එක් ප්රතිඵලයක් වන අතර, රක්ෂා කරන විශාල පිරිසකට රක්ෂා අහිමිවීම ඒ නිසා ඇතිවිය හැකි තවත් ප්රතිඵලයකි.
රටක ආර්ථිකය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු විට එයින් සිදුවිය හැකි අයහපත් ප්රතිඵල පාලනය කිරීම සඳහා සියුම් ආර්ථික කළමනාකරණයක් අවශ්ය වුවත්, එවැනි තත්ත්වයක් ද අපේ රටේ නොපවතී.
රාජ්ය පාලකයන්ගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ රටේ පවතින දේශපාලන අර්බුදය කෙරෙහි ය. ආර්ථික අර්බුදය කෙරෙහි ඔවුන්ගේ මඳ අවධානයක්වත් යොමුවූ තත්ත්වයක් නො පවතී.
රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය, රටේ පවතින ආර්ථික බිඳ වැටීම වේගවත් කිරීමට හේතුවී තිබෙන අතර, ආයෝජකයින් සිය ආරක්ෂාව පිණිස ආයෝජනයන් හකුළුවා ගන්නා තත්ත්වයකින් ක්රියා කරනවා විනා ආයෝජනය කරන තත්ත්වයක් රටේ නො පවතී. රාජ්ය ආයතනවල ද දෛනික ක්රියාකාරිත්වයක් ඇත්තේ නැති තරම්ය. ඒ සියලු දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ ද දේශපාලන අර්බුදය කෙරෙහි ය.
රට දැන් තිබෙන තත්ත්වය යටතේ සිදුවිය හැකි හොඳම දේ ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම ය. ඒ මගින් රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අවසන් කළ හැකි ය. නැවත වරක් කිසිම පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගත නොහැකි ප්රතිඵලයක් ලබාදුනහොත් එය රටේ අවාසනාව විය හැකි වුවත්, දේශපාලන අස්ථාවරභාවය අවසන් කළ හැකි වේ නම්, ඉක්මන් මැතිවරණයකට යාම රටට යහපත් ය. රටේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීමට ද දේශපාලන ස්ථාවරභාවය අත්යවශ්ය කොන්දේසියකි.