යාපනේ පුස්තකාලයට ගිනි තැබුවේ කවුද?

June 15, 2014
Publication:
Ivan revisits the burning of the Jaffna Public Library during the 1981 District Development Council election, when the ruling party had made itself a contender in the North. Jaffna believed the police were responsible, and in private talk senior circles pointed to DIG Edward Gunawardena, then in charge there. Ivan recounts a book published some thirty-two years later, a June 2014 article by retired police officer Tassie Seneviratne and Seneviratne's account to him of a sergeant's story, and his own inquiry to a retired DIG about Gunawardena's background.

රට තිබූ ඓතිහාසික වැදගත්කමක් ඇති පුස්තකාලයක් ලෙස සැලකිය හැකි ලංකාවේ දෙමළ උගතුන් තම වර්ගයාට තිබෙන අනර්ඝ සම්පතක් ලෙස සලකන ලද යාපනේ පුස්තකාලයට ගිනි තබා විනාශකිරීමේ සිද්ධියේ 33 වැනි සංවත්සරය යෙදී තිබුණේ පසුගිය ජූනි 1 වැනිදාටය. ජූලි කලබලවලට පෙර පිරිහෙමින් තිබූසිංහල දෙමළ අන්තර් වාර්ගික සම්බන්ධතා තවදුරටත් පළුදු කිරීමට මේ මහා විනාශකාරී සිද්ධිය හේතුවූ බව අපි දනිමු. ගිනි තබා විනාශ කරන අවස්ථාව වනවිට එම පුස්තකාලයේ දුර්ලබ අත්පිටපත් සමග පොත් 90,000ක් තිබුණි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට තරග කළේ වෙනම රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ලබාගැනීම සඳහා වුවත් 1982 වනවිට රාජ්‍ය පාලනයේ දෙවැනි මට්ටමක් සඳහා යෝජනා වී තිබූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය භාරගැනීමට ඔවුන් එකඟ වී තිබුණි. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා ආණ්ඩුව හා දෙමළ නායකයන් අතර කෙරුණු සාකච්ඡාවල අතරමැදියා ලෙස ක්‍රියාකර තිබුණේ චෙල්වනායගම්ගේ බෑණා වූ මහාචාර්ය ඒ.ජේ. විල්සන්ය. දිස්ත්‍රික් සංවර්ධන සභා පනතට පක්ෂව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කළේය. ඔවුන් එසේ කළේ එවැනි විසඳුමකට එකඟ නොවිය යුතු බවට දෙමළ ඊලමක් සඳහා කෙරෙන සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි කල්ලිවලින් එල්ලවෙමින් තිබූ විරෝධයද නොසලකාය.

එහිදී සිදුවූ ඉතාමත්ම අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ සන්නද්ධ කල්ලිවලින් එල්ල වන බලපෑම් නොසලකා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා එකඟ වී සිටියදී යාපනේ සංවර්ධන සභා ඡන්දය ඔවුන්ට දිනාගන්නට ඉඩහැර ඊට තරග කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එම සංවර්ධන සභාවේද බලය ලබාගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුවද ඒ සඳහා තරග කරන තැනකට තල්ලුවීමය.

එසේ නොවී නම් සන්නද්ධ කල්ලි අතින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් කිහිපදෙනකු ඝාතනයට ලක්වන්නට ඉඩ තිබුණා වුවද අවසාන විග්‍රහයේදී එම සන්නද්ධ කල්ලි යාපනේ ජනතාව අතින් පරාජයට පත්වන්නට ඉඩ තිබුණි. ඒ නිසා සන්නද්ධ කල්ලිවලට තිබෙන පිළිගැනීම දුර්වල වී සාම්ප්‍රදායික දෙමළ නායකයන්ට තිබෙන පිළිගැනීම ශක්තිමත් වන්නට ඉඩ තිබුණි. ආණ්ඩුවට ඒ සඳහා වන හික්මීමක් හෝ ඉදිරි දර්ශනයක් නොතිබුණි.

ආණ්ඩු පක්ෂය එම මැතිවරණයේ තරගකරුවකු බවට පත්වීම නිසා ත්‍රස්තවාදී කල්ලිවලට එම මැතිවරණයේදී සිය ක්‍රියාකාරකම් උපරිම තත්ත්වයකට ගෙන ඒමේ පුළුවන්කම ලැබුණි. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ හිටපු මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්වීමෙන් පසු ආණ්ඩුවේ යාපනේ පැවති ප්‍රචණ්ඩ තත්ත්වයට මුහුණදෙමින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා අතිරේක පොලිස්බල ඇණි එහි යවනවාට අතිරේකව ඇමතිවරුන් දෙදෙනකු සමග විශාල මැරවර පිරිසක්ද එහි යැවීය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප්‍රචාරක රැලිය පැවති ස්ථානයේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසා යාපනේ ගිනිගන්නා තත්ත්වයක් ඇතිවිය. එහි සිටි පොලිස් භටයෝ ඉවක් බවක් නැතිව කඩ සාප්පුවලට ගිනි තැබූහ. එදා රාත්‍රී නගරයේ සිදුවූ ගිනි තැබීම් අතුරින් යාපනේ පුස්තකාලයට ගිනි තැබීම එහි සිදුවූ ලොකුම ගිනිතැබිල්ල ලෙස සැලකිය හැකිය.

යාපනේ ජනතාව අතර පිළිගත් මතය වී තිබුණේ එය පොලිසිය විසින් කරන ලද සාහසික ක්‍රියාවක් බවය. ඒ ගැන සොයා බැලීම පිණිස කොළඹින්ද විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවනු ලැබූ බව කියනු ලැබේ. එහෙත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවාවීද යන්න අප්‍රකටය.

නිල නොවන ආකාරයකින් සමහර උසස් තැන්වල කෙරෙන කතාබහවලදී ඇඟිල්ල දිගු කෙරෙමින් තිබුණේ ඒ අවස්ථාවේ එහි පොලිස් ප්‍රධානියා ලෙස ක්‍රියා කළ නියෝජ්‍ය පොලිස්පති එඩ්වඩ් ගුණවර්ධන වෙතය. ආණ්ඩුව එඩ්වඩ් ගුණවර්ධන එහි යවනු ලැබුවේ මැතිවරණ සමයේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්නවීම නිසාය. ඒ වනවිට මහජනයාගේ ගෞරවයට හේතුවූ උසස් පොලිස් නිලධාරියකු (නියෝජ්‍ය පොලිස්පති මහේන්ද්‍රන්) යාපනේ සිටියේය. එඩ්වඩ් ගුණවර්ධන එහි යවා තිබුණේ ඔහුටද ඉහළින් තැබෙන ආකාරයටය.

කොළඹ මල් පාරේ අංක 80 දරන ස්ථානයේ 1985දී ඇති කරන ලද ඒකාබද්ධ අණදෙන මූලස්ථානයේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් තිස්ස ඉන්දික වීරතුංගගේ (ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ළඟ ඥාතියෙකු විය.) සහායකු ලෙස එහි ක්‍රියා කළ පුද්ගලයකුගෙන් මට දැනගන්නට ලැබී තිබුණු ආකාරයට යාපනේ පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව එහි ඇතිවූ කතාබහකදී බුල් වීරතුංග ඔවුන් සමග කියා ඇත්තේ පුස්තකාලය ගිනි තැබූ සිද්ධිය පිටුපස සිටින්නේ එඩ්වඩ් ගුණවර්ධන බවය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වර්තමානයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ ලෙස ක්‍රියා කරන මනික් ද සිල්වා ඇතුළු ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු විශ්‍රාම ගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග කරන කතාබහකදී යාපනේ පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව මනික් ද සිල්වා අසන ලද ප්‍රශ්නයකට දෙන පිළිතුරක් වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මනික් ද සිල්වා වෙත හැරී කියා ඇත්තේ යාපනේ පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයා දැන් ඔබ වැඩ කරන ආයතනයේම වැඩ කරන බවය. එකල මනික් ද වැඩ කළේ ලේක්හවුසියේය. එකල එඩ්වඩ් ගුණවර්ධනද එම ආයතනයේ ලොකු තනතුරක් ඉසිලුවේය.

එහෙත් පුදුමයට මෙන් එම අවාසනාවන්ත බිහිසුණු සිද්ධිය ඇතිවී තවත් අවුරුදු තිස් දෙකකට පමණ පසුව “යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කවුද?” යන තේමාව යටතේ ඉංග්‍රීසි බසින් පොතක් පළවිය. එඩ්වඩ් ගුණවර්ධන එහි කතුවරයා විය. එම පොතේ පිටපතක් මිලට ගැනීමේ වුවමනාව මට තිබුණද මොන හේතුවක් නිසා හෝ අද දක්වා එය මිලදී ගැනීම අතපසු විය. එහෙත් පොත ගැන පළවූ දීර්ඝ විචාරයක් කියවීමේ අවස්ථාව මට ලැබුණි. එඩ්වඩ් ගුණවර්ධන ඒ මගින් කියා තිබෙන්නේ පුස්තකාලය ගිනි තබන ලද්දේ ප්‍රභාකරන් බවය. පොත එළිදක්වන උළෙලේ කථිකයන් වී තිබුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා ගුණදාස අමරසේකරය.

ඒ පොත එළිදක්වා තවත් කලකට පසුව විශ්‍රාම ගිය තවත් පොලිස් නිලධාරියකු වූ ටැසි සෙනෙවිරත්න පුස්තකාල ගිනිතැබිල්ල ගැන තමන්ට අසන්නට ලැබී තිබුණු තොරතුරු ආශ්‍රයෙන් පසුගිය ජුනි 1 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියා තිබුණි. ඔහු එම ලිපියෙන් යාපනේ පුස්තකාලයට ගිනි තබන ලද්දේ ප්‍රභාකරන්ය කියන එඩ්වඩ් ගුණවර්ධනගේ මතය බොරු කර තිබුණි. ඔහු එහි කියා තිබුණේ තමන් ළඟ වැඩ කළ පොලිස් සාජන්වරයකු යාපනේ පුස්තකාලයේ ඉදිරිපස ඇති දොර සමග ඇති බිමට පෙට්‍රල් වත්කොට ගිනි තබන ලද්දේ තමා විසින් බව පසුකලකදී ඔහුට කියන ලද බවය. ඒ වනවිට ඔහු තමා කරන ලද එම ක්‍රියාව ගැන මහත් කම්පනයකට පත්ව සිටි බවද ඔහු ලියා තිබුනි. පොලිස් සාජන්වරයා එසේ කළේ තමාගේ වුවමනාවෙන්ද නැතිනම් වෙනත් කවුරුන් විසින් හෝ දෙන ලද උපදෙසක් නිසාද කියා එහි සඳහනක් වී තිබුණේ නැත. එහෙත් එම පොලිස් සාජන්වරයාට ඔහු දන්නා වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එම ගිනි තැබීම පිළිබඳ පූර්ණ විස්තරයක් ලබාදී තිබෙන බවද ඒ සමග ඒ ක්‍රියාවට අණදෙන ලද පුද්ගලයාද හෙළිදරව් කර තිබෙන බව ටැසි සෙනෙවිරත්නගේ ලිපියේ සඳහන් වී තිබුණද එම ක්‍රියාවට අණදෙන ලද පුද්ගලයා කවුද යන්න එහි සඳහන් වූයේ නැත.

ටැසි සෙනෙවිරත්නගේ එම ලිපිය පළවී දින කිහිපයකට පසුව කිසියම් අවස්ථාවකදී මට ඔහු අහම්බෙන් මෙන් හමුවිය. මා ඔහුගේ ලිපිය ගැන කතා කළ විට ඔහු සාජන්ගේ කතාව මට විස්තරාත්මකව කීවේය. යාපනේ පුස්තකාලය තිබෙන්නේ යාපනේ පොලිසිය ළඟය. මේ සාජන්වරයා පුස්තකාලයට ගිනි තබා නැවත පොලිසියට ඒමෙන් පසු පොලිසියේ ඇතුළත සිටින කෙනෙකුට පුවත්පතක් කියවිය හැකි තරමේ ආලෝකයක් ඒ ගින්නෙන් විහිදුණු බව කියා තිබේ. ඔහුගේ මේ කතාව ටාසි සෙනෙවිරත්නට කීමෙන් පසු වෙනත් අවස්ථාවකදී එම සාජන්වරයා වඩා විස්තරාත්මක ලෙස එම කතාව තමා දන්නා විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කියා තිබෙන බවත්, එම නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට ඒ බව කී බවත් ඔහු කීවේය. ඔහුට කියා තිබෙන ආකාරයට ගිනි තැබීමට අණදී ඇත්තේ කවුදැයි මා ඇසූවිට “එඩ්වඩ් ගුණවර්ධන” යන්න ඔහු දෙන ලද පිළිතුර විය.

ටැසි සෙනෙවිරත්නගෙන් මේ දේ ගැන දැනගැනීමෙන් පසුව මා තවත් දිනක එඩ්වඩ් ගුණවර්ධනගේ පසුබිම් තොරතුරු දැනගැනීම පිණිස මා දන්නා විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙට කතා කළෙමි. ඔහුගෙන් අසන්නට ලැබුණු බොහෝ දේ අතර එඩ්වඩ් ගුණවර්ධන පිළිබඳව ඔහු ඉදිරිපත් කළ වැදගත් නිරීක්ෂණයක්ද තිබුණි. ඔහුට අනුව එඩ්වඩ් ගුණවර්ධන ඒ කාලයේ පොලිස් සේවයට එකතු වී සිටි ශාස්ත්‍රාලයීය උගතුන් කිහිපදෙනකුගෙන් කෙනෙකි. අවසානයේ ශාස්ත්‍රාලයීය වැදගත්කමක් ඇති ඉතාමත් දුලබ ගණයේ අත්පිටපත් සහිත පොත් 90,000ක පුස්තකාලයක් ගිනි තැබීමට අණදී තිබෙන්නේ ශාස්ත්‍රාලයීය උගතෙකි. එම ශාස්ත්‍රාලයීය උගතාගේ අණින් දුර්ලභ අත්පිටපත් සහිත පොත් 90,000ක් විනාශ වන විට එම ශාස්ත්‍රාලයීය උගතා රටට දායාද කර තිබෙන පොත් ගණන දෙකකි.