1. නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් දිනාගැනීමේ අරමුණ විරුද්ධ පක්ෂ ව්යාපාර ඒකාබද්ධ කිරීම සඳහා යොදා ගැනෙන පොදු සාධකය විය යුතුය.
2. ජාතිය භේදකිරීමටද ජනතාව පීඩාවට පත්කිරීමටද, සමස්ත ආයතන ක්රමය අකාර්යක්ෂම හා දූෂණය කිරීමටද හේතුවී තිබෙන දේශපාලන ක්රමය හා ඊට බලපා තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාව අහෝසි කොට ජාතිය සමගි කොට ඒකාබද්ධ කිරීමටද ඒ සියලුදෙනාට මනුෂ්ය ගෞරවය හා අයිතිවාසිකම් ලබාදීමටද හේතුවන දූෂණයෙන් හා අකාර්යක්ෂමභාවයෙන් තොර සක්රීය ආයතන ක්රමයක් හා නීතියේ පාලනයක් ඇති කිරීමට හේතුවන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කිරීම මගින් ශ්රී ලංකා රාජ්ය සියලුදෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතුවන ලෙස ප්රතිනිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන හා අව්යාජ අරමුණ විය යුතුය.
3. විරුද්ධ පක්ෂ ව්යාපාර පොදු වැඩසටහනක් තුළ ඒකාබද්ධ විය යුත්තේ එම අරමුණ දිනාගැනීම සඳහාය.
4. ඇතිකරගනු ලබන ඒකාබද්ධතාව තබාගත යුත්තේ ඒ අරමුණ සම්පූර්ණ කරගන්නා තෙක් පමණය. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ තාවාකලික භාරකාර ආණ්ඩුවක් යටතේ නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අවශ්ය කරන විධිවිධාන හා ආයතන ක්රමය ඇති කළ යුතුය.
5. කාල නිර්ණයකට අනුව ව්යවස්ථාව සම්පාදනය කොට සම්මත කරගැනීමෙන් පසු ඒකාබද්ධ වැඩසටහන අවසන් කළහැකි අතර ඒ සමග පැවැත්වෙන මැතිවරණවලට විරුද්ධ පක්ෂවලට තමන් කැමති ලෙස තනි තනියෙන් හෝ එකතුව තරග කළ හැකිය.
6. ඒ අතරතුර කාලයේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඒකාබද්ධ විරුද්ධ පක්ෂයක් ලෙස මුහුණ දිය යුතුය. පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඊට ඒකාබද්ධ විපක්ෂය පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරමින් තරග කළයුතු අතර පළමුවෙන් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නම් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ ලාංඡනය යටතේ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය එක ලැයිස්තුවකින් තරග කළ යුතුය.
7. ඒ කවර මැතිවරණයකින් හෝ ලබන ජයග්රහණයකදී ගොඩනගනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ තාවකාලික භාරකාර ආණ්ඩුවකි. එම තාවකාලික භාරකාර ආණ්ඩුවේ මූලික අරමුණ ලෙස ක්රියාකරනු ඇත්තේ නව ව්යවස්ථා සම්පාදනයක් සඳහා අවශ්ය විධිවිධාන හා ආයතන ක්රම ඇති කොට නව ව්යවස්ථා සම්පාදනයක් සඳහා ක්රියාකිරීමය.
8. ඒකාබද්ධ වැඩසටහනට එකතුවන පක්ෂ සමගිව ක්රියාකරන අතර ඒවා සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමේ අයිතිය සේ ම ක්රියාවට නගන පොදු වැඩසටහනේ සම අයිතියද හිමිවිය යුතුය. මෙහෙයුම් කටයුතු සිදුවිය යුත්තේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත සභාපති මණ්ඩලයක් මගිනි.
9.තීන්දු ගැනීම් සිදුවිය යුත්තේද වැඩි ඡන්දයෙන් නොව සාකච්ඡා මගින් ඇතිකර ගන්නා පොදු එකඟතාවකිනි. එම කටයුතුවලට මගපෙන්වන ව්යවස්ථාවක් ඒකාබද්ධ විපක්ෂයට තිබිය යුතුය.
10. පළමු අදියරයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කරගත යුත්තේ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ස්වභාවය සඳහා නොව නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇතිකර ගැනීමේ අවශ්යතාව හා ඒ සඳහා ක්රියාත්මක කරන සංක්රමණීය වැඩසටහන සඳහාය.
11. එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන සාකච්ඡා පොදුවේ නොව පළමු තෝරාගත් ප්රධාන පක්ෂ දෙකක් අතර සිදුවිය යුතුය. ඒ පක්ෂ දෙක එකඟතාවට ඒමෙන් පසු එම පක්ෂ දෙකේ නායකයන් තෝරාගත් තවත් පක්ෂයක් සමග සාකච්ඡා කළ යුතුය. ඒ ආකාරයට යූඑන්පීය, ජේවීපීය හා ප්රජාතන්ත්රවාදී පක්ෂ යන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු ඒ පක්ෂ තුනේ නායකයන් දෙමළ සන්ධානය සමගද, මුස්ලිම් කොංග්රසය සමගද, තොණ්ඩමන්ගේ පක්ෂය සමගද වෙන් වෙන්ව සාකච්ඡා කළ යුතුය.
12. ආණ්ඩුවේ වෙනත් අභ්යන්තර කණ්ඩායම් සමග කෙරෙන සාකච්ඡා සඳහාද දොරටු විවෘතව තබාගත යුතුය.
13. දෙවැනි අදියරයේදී සාකච්ඡා සිදුවිය යුත්තේ ඇතිකර ගන්නා නව ව්යවස්ථාව සම්පාදනය කිරීමේදී පදනම් කරගතයුතු ව්යවස්ථා මූලධර්ම ගැනය. අවශ්ය නම් ව්යවස්ථාව සකස් කිරීමේදී යොදාගත යුතු පොදු මූලධර්ම ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස ඒ ගැන උනන්දුවක් දක්වන මහජනය සංවිධානවලින්ද ඉල්ලා සිටිය හැකිය.
14. ව්යවස්ථාව සම්පාදනය කළයුතු මූලධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමෙන් පසු නව ව්යවස්ථාවක් ඇතිකර ගන්නා තෙක් ක්රියාත්මක විය යුතු තාවකාලික ව්යවස්ථාව හා තාවකාලික භාරකාර ආණ්ඩුව හා එය විසින් කළයුතු කාර්යයන් විස්තර කෙරෙන වැඩසටහන් ඇතිකරගත හැකිය.
15. එම වැඩසටහන සම්පාදනය කරගැනීමෙන් පසු ප්රසිද්ධ මහජන උළෙලක් පවත්වා ඒකාබද්ධ වැඩසටහන මහජනයාගේ දැනගැනීම සඳහා ප්රසිද්ධියට පත් කළ හැකිය. එහිදී ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්යාපාරයේ නායකයන්ට පොදු වැඩසටහන සම්පූර්ණ කරන තෙක් සමගියෙන් ක්රියාකරන බවට ප්රසිද්ධ දිවුරුම්දීමක්ද කළ හැකිය. එම උත්සවයේ අරමුණ විය යුත්තේ ඒකාබද්ධ වැඩසටහනට එකතු වන පක්ෂවල ක්රියාකාරීන් සේ ම මහජනතාවද ප්රබෝධයට පත්කිරීමය.
16. ඉන්පසු ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්යාපාරයට තෝරාගත් ප්රධාන නගරවල මහජන රැස්වීම්ද සෙසු ප්රදේශවල මහජන සම්මන්ත්රණද පැවැත්විය හැකිය.
17. අවශ්ය නම් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යන අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට ජනාධිපති හමුවී කරන සාකච්ඡාවක් මගින් තමන් එකඟ වී තිබෙන මූලධර්ම මත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කිරීම සඳහා ක්රියාකරන ලෙසත්, ඒ සඳහා තමන් යෝජනා කරන ආකාරයේ භාරකාර ආණ්ඩුවක් ඇති කරන ලෙසත් ඉල්ලා සිටිය හැකිය. ඊට ජනාධිපතිවරයා එකඟ නොවේ නම් ඊළඟට පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකින් ආණ්ඩුව පරාජය කරමින් නව වැඩසටහන ක්රියාත්මක කරන බව ප්රකාශ කළ හැකිය.