යන්නේ කොයිබටද?

January 3, 2010
Publication:
The first presidential election after the defeat of Prabhakaran's de facto state ought to be about what kind of Sri Lanka replaces it, but the campaign has been consumed by trivia and mutual spite. Both main candidates are products of the war they won — Rajapaksa as commander-in-chief, Fonseka as army commander — and neither has said what he would build. Rajapaksa promises a good future without describing it; Fonseka would abolish the executive presidency without saying what succeeds it. Both are asked to address the grievance minorities believe survives Prabhakaran's defeat, and to explain how corruption can be beaten within a system built to protect it. The press is told to stop staging cockfights.

ශ්‍රී ලංකා රාජ්‍යය තුළ බෙදුම්වාදී ත්‍රස්තවාදයක් මත පදනම් වූ තවත් තත්ත්වාකාර රාජ්‍යයක් ගොඩනැගී තිබීම ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය. තිස් අවුරුදු යුද්ධයකින් පසු එම අභියෝගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතත් ඊළඟට අප ගොඩනගන්නට යන්නේ කුමන ආකාරයේ ශ්‍රී ලංකාවක්ද යන්න රටක් වශයෙන් අප ඉදිරියේ ඇති ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. දැන් පැවැත්වෙන ජනාධිපතිවරණය ප්‍රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍යය පරාජය කොට රට එක්සේසත් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු ජනාධිපතිවරණයයි. රටේ හොඳට හෝ නරකට මෙම ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බවට පත්ව සිටින්නේද එම ජයග්‍රාහී යුද ව්‍යාපාරය විසින් බිහිකරන ලද ප්‍රධාන පෙළේ වීරයන් දෙදෙනෙකි. එක් අපේක්ෂකයකු එම යුද්ධයේ සේනාධිනායකයා වන විට අනෙක් අපේක්ෂකයා යුද හමුදාපතිවරයාය.

තිස් අවුරුදු යුද්ධයක නිමාවෙන් පසුව පැවැත්වෙන මෙම ජනාධිපතිවරණයේදී ඊළඟට ගොඩනගන ශ්‍රී ලංකාව කෙසේවිය යුතුද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙන ප්‍රධාන මාතෘකාව විය යුතු වුවත්, සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නේ එම මූලික කාරණය නොව අනං මනංය. දෙපාර්ශ්වය අතර කෙරෙන වාද විවාද තුළද ෙවෛරසහගත හා ද්වේෂසහගත ස්වරූපයක් දැකිය හැකිය. රටට සුබ අනාගතයක් ඇති කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි. එහෙත් ඉන් හරියටම අදහස් කෙරෙන්නේ කුමක්ද යන්න නොපැහැදිලිය. ගොඩනගන්නට යන ශ්‍රී ලංකාවේ හැඩතල මොනවාද යන්න විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කර නැත. විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්ව සිටින ජෙනරාල් ෆොන්සේකා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කර ඇතත් තමන් ඒ වෙනුවට ගොඩනගන්නට යන දේශපාලන ක්‍රමයේ ස්වභාවය කුමක්ද යන්න ගැන හරි පැහැදිලි කිරීමක් කර නැත.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දැන්වත් තමන්ගේ පාක්ෂිකයන් අතර එකිනෙකා කෙරෙහි ද්වේෂය හා වෛරය පතුරුවන ක්‍රියාමාර්ගයන්ගෙන් බැහැර වී ප්‍රතිපත්තිමය වැදගත්කමක් ඇති කාරණා සාකච්ඡාවට ලක්කරන තැනකට යායුතුය. ජනමාධ්‍ය ද කුකුල් පොර ඇති කරන තැනකට නොගොස් ප්‍රතිපත්තිමය සංවාදයක් සඳහා සුදුසු වටාපිටාවක් ඇති කරන තැනකට යායුතුය. තිබෙන විධායක ජනාධිපති ක්‍රමය මේ තිබෙන ආකාරයට පවත්වාගෙන යනවාද නැතිනම් සංශෝධනය කරනවාද, ඒත් නැතිනම් තිබෙන ක්‍රමය අහෝසි කොට අලුත් ක්‍රමයකට යනවාද යන ප්‍රශ්නය පිළිබඳව මෙම අපේක්ෂකයන් දෙදෙනා පැහැදිලිව හා විස්තරාත්මකව විග්‍රහ කරන තැනකට යායුතුය. ප්‍රභාකරන් පරාජය කර ඇතත්, තමන්ට අදාළව විසඳිය යුතු ප්‍රශ්නයක් ඉතිරිවී තිබේයැ”යි සුළු ජාතීහු විශ්වාස කරති. ඒ ප්‍රශ්නයට දෙන්න යන විසඳුම ගැනද මෙම අපේක්ෂකයන් දෙදෙනා පැහැදිලි කිරීමක් කළ යුතුය.

දූෂණය නැති කරන බව අපේක්ෂකයෝ දෙදෙනාම කියති. එහෙත් අපට ඇත්තේ දූෂණය රකින දේශපාලන ක්‍රමයකි. පොදුවේ ගත් විට දේශපාලනඥයන් දූෂිතය. රටේ දූෂණය පිළිබඳ අභියෝග ජයගන්නේ කෙසේද යන ප්‍රශ්නය ද මෙම අපේක්ෂකයන් දෙදෙනා විස්තරාත්මකව රටට පැහැදිලි කිරීමක් කළ යුතුය. කොටින්ම ගොඩනැංවිය යුතුව තිබෙන ශ්‍රී ලංකාවේ හැඩතල මොනවාද යන්න ඔවුන් පැහැදිලි කළ යුතුය.