ජයග්‍රාහී අපේක්ෂකයා හා පරාජිත අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද ප්‍රමාණයේ පරතරය විශාල නොවී මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා ජය ලැබුවේ ඡන්ද 3000ක් වැනි සුළු ගණනකින් නම් ඊළඟට කුමක් සිදුවිය හැකිව තිබුණේද? එසේ වී නම් මෙම පක්ෂ දෙකේ ආධාරකරුවන් එකිනෙකා ඇන කොටාගන්නා තත්ත්වයක් ඇතිවී රට ලේ විලක් බවට පත්වන්නට ඉඩ තිබුණි. මෙය රටක නොතිබිය යුතු නොමනා හා අශීලාචාර තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ පවතින දේශපාලන ක්‍රමය, බලය සඳහා කෙරෙන තරගය ශීලාචාර තත්ත්වය තබාගැනීමට සමත්ව නැති බව ඉන් පෙනී යයි. බහුපක්ෂ ක්‍රමයක් තිබිය යුතු සේ ම එම පක්ෂය අතර බලය සඳහා වන තරගයක්ද තිබිය යුතුය. එහෙත් බලය සඳහා තිබෙන තරගය තිබිය යුත්තේ ශීලාචාර තත්ත්වයක මිස අශීලාචාර තත්ත්වයක නොවේ.
මැතිවරණ කොමසාරිස්
පසුගිය ජනාධිපතිවරණයේදී පාලක පක්ෂය සිය මැතිවරණ කටයුතු සඳහා නීතියට පටහැනිව රාජ්‍ය මාධ්‍ය සේ ම රාජ්‍ය සම්පත් ද යොදා ගත්තේය. එය වරදක් ලෙස සැලකිය යුතු වුවත් රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව, මීට පෙර බලයේ සිටි හැම ආණ්ඩුවක්මත් මැතිවරණවලදී නීතියට පටහැනිව රාජ්‍ය මාධ්‍ය සේ ම රාජ්‍ය සම්පත්ද යොදා ගත්තේය. ඒ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් අද සේ ම එදාද මැතිවරණ කොමසාරිස්වරයා සතු නොවීය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පමණක් නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇතිකර ගැනීමෙන් පසු ජවිපෙද 2009 මැතිවරණයේදීද නීතියට පටහැනිව රාජ්‍ය මාධ්‍ය සේ ම රාජ්‍ය සම්පත්ද සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තේය. මෙම ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ තමන් මහත් පීඩාකාරී වටාපිටාවක සිටින බව පෙන්නුම් කරමින්ය. මෙම දේශපාලන ක්‍රමය තුළ මැතිවරණ කොමසාරිස් ධුරයේ සිටි හැම පුද්ගලයෙකුම තීරණාත්මක වැදගත්කමක් ඇති මැතිවරණවලදී කටයුතු මෙහෙයවා ඇත්තේ දැඩි පීඩාකාරී වටාපිටාවක් යටතේය.
1981 යාපනයේ දිස්ත්‍රික් සභා ඡන්දයේදී ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් යාපනේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද කටයුතු මෙහෙයවීමේ වගකීම තමන් වෙත පවරා ගනිමින් මැතිවරණ කොමසාරිස්වරයා යාපනේට යැවීම සඳහා තෝරාගත් නිලධාරීන් 150ක් වෙනුවට කොළඹෙන් තෝරාගත් පාක්ෂිකයන් 150ක් යාපනයට යැව්වේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංවර්ධන සභා මැතිවරණය අවසානයේදී මැතිවරණ කොමසාරිස් ධුරයේ සිටි ජයසේකර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. ඉන්පසු මැතිවරණ කොමසාරිස් ධුරයට පත් චන්දානන්ද සිල්වා මහතාට 1982 ජනමත විචාරණය පිළිබඳ සිය වාර්තාව පළකරන්නට සිදුවූයේ ජනමත විචාරණයෙන් අවුරුදු 05කට පසුවය. 1997 ජනාධිපතිවරණය ආරම්භයේදී එල්ල වූ පීඩනය නිසා මැතිවරණ කොමසාරිස්වරයාට රෝහල් ගතවන්නට සිදුවූ අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තරග බිමේ සිටින ජනාධිපතිවරයෙකු මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තරව සිටි තමන්ට පක්ෂපාතව සිටි පුද්ගලයකු වැඩබලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කළ පළමු අවස්ථාව එය විය.
ඉන්පසු 2001 මැතිවරණයේදී ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ ස්ටිකරයක් මුද්‍රණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ගෙන තිබුණු රහස්‍ය තීරණයක් දැනගන්නට ලැබී ආණ්ඩුව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයට ලක් කළා පමණක් නොව, අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ උපදෙස් පරිදි ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වූයේ නීතිපතිගේ මැදිහත්වීම නිසාය. මේ සියල්ලෙන් පෙනෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාට නීතියට හා හිතට එකඟව ක්‍රියාකිරීමේ පූර්ණ නිදහසක් මෙම දේශපාලන ක්‍රමයෙන් ලබාදී නැති බවය. 17 වැනි සංශෝධනය යටතේ ඇති කර තිබෙන ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම මෙම තත්ත්වයට දිය හැකි හොඳ විසඳුමක් නොවන බවද කිව යුතුය. මැතිවරණ කොමිසම පිහිටුවා නැතත් එම නීතිය යටතේ මැතිවරණ කොමිසම සතු සියලු බලතල මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණේය.
එහෙත් තමන්ට ලැබී තිබුණු එම බලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වාතාවරණයක් දේශපාලන ක්‍රමය තුළ නොතිබුණි. මෙම දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරන තෙක් කොතරම් හොඳ අලුත් නීති ඇති කරගත්තද ඒවායින් ලැබිය හැකි ප්‍රයෝජනය අල්පය.
ජීවිතයත් මරණයත් අතර සටන
ජනාධිපතිවරයාට ලැබුණු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රතිපක්ෂ අපේක්ෂකයා ලැගුම් ගෙන සිටි හෝටලය වැටලීමේ සිද්ධිය මැතිවරණ ජයග්‍රහණයේ දීප්තිය යම් පමණකට හෝ දුර්වර්ණ කිරීමට හේතුවූ බව කිව යුතුය. වැටලීමක් කිරීමට තරම් සාධාරණ හේතු තිබුණා විය හැකි වුවත් බැලූ බැල්මට ඇතිකරන හැඟීම යහපත් නැත. යුද නායකයකු තරග බිමට පැමිණීම දේශපාලන තලයේ තිබූ වෛරසහගත බෙදීම තියුණු කළේය. එය ආරක්ෂක සේවාවන් තුළද අනවශ්‍ය තරම් දේශපාලන බෙදීමක් ඇති කිරීමට හේතුවිය. දේශපාලන අර්ථයෙන් ජෙනරාල් පළපුරුදු නායකයකු නොවීම නිසා ජෙනරාල්ට ආණ්ඩු විරෝධී බලවේගයන් අතර ලැබුණු උණුසුම් පිළිගැනීම තමන්ට ලැබෙන නියත ජයග්‍රහණයක් පිළිබඳව ජෙනරාල් තුළ අධිවිශ්වාසයක් ඇති කිරීමට හේතුවිය. විවේචනයන්ට හුරු පුරුදු කෙනකු නොවීම නිසා ප්‍රතිපක්ෂයෙන් එල්ල වන විවේචනයට ප්‍රතිචාර දක්වන ලද්දේ කෝපයෙනි.
ප්‍රතිපක්ෂ අපේක්ෂකයා ජෙනරාල් දෙස බැලුවේ විපක්ෂ සන්ධානයට තිබෙන මහජන බලයට අතිරේකව හමුදා නායකයාද වශයෙන් ඔහුට තිබුණු හමුදා බලයද තමනට එරෙහිව යොදාගනු ඇතැ”යි කියන සැකයෙනි. ජෙනරාල් තමන්ට ලැබෙන ජය ගැන මිස පරාජයක් ගැන හිතුවේම නැති තරම්ය. ප්‍රතිපක්ෂ අපේක්ෂකයාට තමන්ගේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණද වැරදිලාවත් පරාජය වුවහොත් තමන් හා තමන්ගේ ප්‍රධාන අනුගාමිකයන්ට මැරුම් කන්නට සිදුවන බවට බිය ඇති කරගෙන තිබුණේය. මෙම පරස්පර විරෝධී මානසික වාතාවරණය මෙම ජනාධිපතිවරණය වෙන කවරදාකවත් දක්නට නොතිබුණු දෙපක්ෂයක් අතර වෛරයෙන් කෙරෙන ජීවිතයත් මරණයත් අතර සංග්‍රාමයක් බවට පත්කොට තිබුණේය. මෙම විශේෂිත මානසික වටාපිටාව තුළ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු පාලකයා ජය නොගෙන ප්‍රතිපක්ෂය ජයගත්තේ නම් ලේ හැලෙන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවන්නට ඉඩ තිබුණි.
හිටපු පාලකයා ලබන ජයග්‍රහණය තුළ එක්තරා ප්‍රමාණයකට අනුමත කළ නොහැකි සීමාන්තික දේවල් සිදුවුවද ගැටුම තුළ තිබුණු වෛරයේ තරමටම ගැළපෙන පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මකවීයැ”යි කිව නොහැකිය. ජෙනරාල් ලැගුම් ගෙන සිටි හෝටලය හමුදාව ලවා වැටලීමකට ලක් කර තිබුණද ජෙනරාල් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය. තරගයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුවහොත් බලය අත්හැරීමක් සිදු නොවනු ඇතැ”යි ජෙනරාල් හා ඔහුගේ සමහර ප්‍රධාන පෙළේ අනුගාමිකයන් සිතුවා විය හැකිය. ඒ නිසා මැතිවරණ ජයග්‍රහණයක් පෙනෙන්නට ඇත්නම් බලය සිය කැමැත්තෙන් අත්හැර යන තෙක් බලා නොසිට බලය උදුරා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුණාද විය හැකිය. ප්‍රතිපක්ෂ දෙකම එකිනෙකා කෙරෙහි බැලුවේ වෛරයෙන් හා සැකයෙනි. දෙපක්ෂයේම කෙටි ඉතිහාසයට ඇතුළත් දේවල් මොනවා වුවත් මහජනයා විසින් ජෙනරාල් පරාජය කර ඇති බැවින් ජයග්‍රාහී ජනාධිපතිවරයා කොතරම් සාධාරණ හේතු තිබුණද සිය ප්‍රතිවාදියා පීඩාවට පත් කරන තැනකට නොයා යුතුය.
ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනද මෙම තරගයේදී දෙපිලකට බෙදී ක්‍රියා කළේය. තෝරාගත් එක් අපේක්ෂකයකුට ඍජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කළේය. සමහරවිට සිය ප්‍රතිවාදියා පරාජය කිරීම සඳහා පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිවද ක්‍රියා කළේය. මෙම විරසකය ජයග්‍රාහකයාගේ මනසේ සේ ම පරාජිත ජනමාධ්‍යවේදීන්ගේ මනස්වලද තිබිය හැකිය. එහෙත් ජයග්‍රාහකයා මෙවැනි විරසකයන් හිතේ තබාගෙන තමන්ට එරෙහිව ක්‍රියාකළ ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ යුතු නැති අතර රටේ රාජ්‍ය නායකයා වශයෙන් ඔවුන් සමග සුහදව හා මිත්‍රශීලිව ක්‍රියාකරන තැනකට යායුතුය. මෙම ජනාධිපතිවරණයේදී මහින්ද විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනද තමන්ගේ උත්සාහය මහජනයා විසින් පරාජය කර තිබෙන බව තේරුම් ගනිමින් රාජ්‍ය නායකයා වශයෙන් ජයග්‍රාහකයාට ලැබිය යුතු ගෙ!රවය ලැබෙන ආකාරයට ක්‍රියාකළ යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණය
සිදුකරන්නට යන වෙනස්කම් මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් වෙන ඕනෑම දෙයක් සිදුවිය හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය. ජනාධිපතිවරණයේදී මහින්ද විරෝධී දේශපාලන බලවේගයන් එකට එකතු වී එක ධජයක් යටතේ සටන් කළද එම සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයට වලංගු බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවී සිටි පක්ෂ අලියා ලකුණෙන්ද, ජෙනරාල් සරත් ෆොන්සේකා එජාපයේ අපේක්ෂකයකු ලෙස තරග නොකළහොත් ජෙනරාල් හා ජවි පෙරමුණ හංසයා ලකුණෙන්ද, ජෙනරාල් අලියා ලකුණෙන් තරග කළහොත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සීනුව ලකුණෙන්ද, දෙමළ සන්ධානය දෙමළ සන්ධානය ලෙස වෙනමද තරග කරනු ඇතැ”යි සිතිය හැකිය. ජෙනරාල් පරාජය වූයේ ළඟ ළඟ තරගයකින් නම් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට නායකත්වය දෙන පුද්ගලයා වීමේ හැකියාව ඔහුට ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහු ලද ප්‍රතිඵලයේ තරම අනුව දැන් එවැනි තත්ත්වයක් ලැබෙනු ඇතැ”යි සිතිය නොහැකිය.
ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන්නේ නම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගැනීමට ඔහුට සිදුවනු ඇති අතර එසේ නොවේ නම් තමන්ගේ දේශපාලන කණ්ඩායමක් ඇති කරගනිමින් ජවිපෙ සමග එකතු වී ගොඩනගන සන්ධානයක නායකයා වශයෙන් තරග කිරීමට ඔහුට සිදුවනු ඇත. හංසයා ලකුණ ලබාගත් පක්ෂය එජාපයට සම්බන්ධ නාමමාත්‍රික පක්ෂයක් වන නිසා එජාපයේ එකඟත්වය නැතිව ජෙනරාල්ට හෝ ජවිපෙට හංසයා ලකුණින් තරග කිරීමට හැකිවනු ඇතැ”යි ද සිතිය නොහැකිය.
ව්‍යවස්ථාව වෙනස් කිරීම
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබී තිබෙන ජයග්‍රහණයේ විශාලත්වය අනුව පොදු පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලොකු ජයග්‍රහණයක් ලැබෙනු ඇතැ”යි සිතිය හැකි වුවත් ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට තුනෙන් දෙකේ බලයක් ලැබෙනු ඇතැ”යි සිතිය නොහැකිය. එවැනි විශාල බලයක් ආණ්ඩුවකට ලැබීමද සුදුසු නැත. ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වුවත් ඒ එකඟතාව විරුද්ධ පක්ෂවලින් ලබාගත යුතුය. මහජනයාගේ විශ්වාසයට ගෞරවයට හේතුවන වෙනසක් ඇති කරගත හැක්කේ රටට අවශ්‍ය වෙනස්කම් සඳහා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය පොදු එකඟතාවකින් ක්‍රියාකරන තැනකට යොමුවීමෙනි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී සමගි පෙරමුණට තුනෙන් දෙකක බලයක් තිබුණු නිසා එම ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේ විරුද්ධ පක්ෂය සමග ඇති කරගන්නා පොදු එකඟතාවකින් තොරවය.
එම ව්‍යවස්ථාවේ අසාර්ථකභාවය කෙරෙහි එය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ඊළඟට 1977 ව්‍යවස්ථා සම්පාදනයේදීද එජාප ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබීම නිසා විරුද්ධ පක්ෂය නොසලකා තමන්ගේ තනි කැමැත්තට ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හැකිවිය. එම ව්‍යවස්ථාවේ අසාර්ථකභාවය කෙරෙහි ද එම ව්‍යවස්ථා සම්පාදනයට ආවේණික හිතුවක්කාරභාවය බලපෑවේය. දෙවරක් කරන ලද මෙම වරද තුන්වරක් කළ යුතු නැත. රටක මූලික නීතිය ලෙස සැලකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. දේශපාලන ක්‍රමයේ නෛතික අත්තිවාරම වන්නේ එයයි. තිබෙන ක්‍රමය වෙනස් කළයුත්තේ හෝ තිබෙන ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ඇතිකළ යුත්තේ බලයේ සිටින පක්ෂයට එවේලේ ලැබෙන වාසි සලකා නොව රටේ වර්තමානයේ පමණක් නොව අනාගතයේද අභිවෘද්ධිය මුල් කොටගෙනය. තිබෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම දඩිබිඩියේ කෙරෙන කාර්යයක් බවට පත් නොකර ගත යුතුය.
නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් ව්‍යවස්ථාවක් වෙනස් කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීම සඳහා කෙරෙන සංවාදය පාර්ලිමේන්තුවට පමණක් සීමාවන දෙයක් බවට පත්කර නොගත යුතුය. එය ව්‍යවස්ථා සම්පාදන විෂය ගැන දන්නා විශේෂඥයන් අතර පමණක් නොව විවිධ තරාතිරම්වලට අයත් මහජනතාව අතරද කෙරෙන සංවාදයක් බවට පත්කර ගත යුතුය.
අවශ්‍ය වෙනස්කම් මොනවාද?
තිබෙන දේශපාලන ක්‍රමය විධිමත් කරන ව්‍යායාමයකදී හෝ නව දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීම සඳහා කෙරෙන ව්‍යායාමයේදී සාර්ථක වෙනසක් ඇති කිරීම සඳහා සැලකිල්ලට ගත යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න මෙසේ පිඬු කළ හැකිය.
1. සියලු ජනවර්ගවලට හා ආගම් අදහන්නන්ට ඔවුන්ගේ ජනවාර්ගිකභාවයේ හෝ ආගමිකභාවයේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නැවත ඒ සියලුදෙනා ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සමගියෙන් එකට බැඳ තැබීමට හේතුවන භේදයකින් තොරව ඒ සියලුදෙනා ආදරයෙන් හා ගෙ!රවයෙන් රැකබලා ගැනීමට හේතුවන ආකාරයට තිබෙන දේශපාලන ක්‍රමය විධිමත් ලෙස වෙනස් කරන්නේ හෝ නව දේශපාලන ක්‍රමයක් ඇති කරගන්නේ කෙසේද? ඒ තත්ත්වය සහතික කිරීම සඳහා දේශපාලන ක්‍රමයට ඇතුළත් විය යුතු අංග හෝ විධිවිධාන මොනවාද?
2. නීතියේ ආධිපත්‍යය රජයන දේශපාලන ක්‍රමයක් සඳහා තිබිය යුතු විධිවිධාන මොනවාද?
3. රටේ රාජ්‍ය නායකයාට රට පාලනය කිරීම සඳහා කිසියම් විශාල බලයක් තිබිය යුතුය.
එහෙත් ඒ විශාල බලය වැරදි ලෙස හෝ නීතියට පටහැනිව පාවිච්චි කිරීමට ඉඩක් නොතිබිය යුතුය. ඒ සඳහා තිබිය යුතු විධිවිධාන මොනවාද?
4. දැන් තිබෙන දේශපාලන ක්‍රමය තුළ බල පිරමීඩයේ ඉහළම තැනක සිටින රාජ්‍ය නායකයාගේ සිට පහළම තැනක සිටින නිලධාරියා දක්වා ඔවුන්ට ලැබී තිබෙන බලය වැරදි ලෙස හෝ නීතියට පටහැනිව පාවිච්චි කරන්නේද යන්න නිරන්තරයෙන් සොයා බලන ක්‍රමයක් නැත. එවැනි ක්‍රමයක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන මොනවාද?
5. දැන් පවතින දේශපාලන ක්‍රමය දූෂණයට බර තබා සකස් කරන ලද දේශපාලන ක්‍රමයකි. දේශපාලන බලය හෝ නිලධර බලය තුළ පාලනය කරනවාට අතිරේකව රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමක්ද සිදුවේ. එම තත්ත්වය භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් හීන කිරීමට හේතුවී පොදු සේවාවක් නවීන කිරීමට හෝ කාර්යක්ෂම කිරීමට අවශ්‍ය ආයෝජන හැකියාව සීමා කොට රටේ සංවර්ධන වේගය දුර්වල කිරීමට හේතුවී තිබේ.
දේශපාලන බලයෙන් හෝ නිල බලයෙන් නිල දරන්නන්ට අයථා ලෙස වස්තුව උපයා ගැනීමට ලැබී තිබෙන ඉඩ අහෝසි කිරීම සඳහා ඇති කළ යුතු විධිවිධාන මොනවාද?
6. රාජ්‍ය පාලකයා හා සෙසු මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන ඡන්ද ක්‍රමය දූෂිතය. එය නිර්මාණය කොට ඇත්තේ දේශපාලන බලය සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කළ හැකි කළු සල්ලිකාරයන් කිහිපදෙනකුට මහජනයා බලයට පත්කරන ආණ්ඩු අනියම් ලෙස පාලනය කළ හැකි ආකාරයටය. මැතිවරණවලදී මුදල් බලයට ලැබී තිබෙන වැදගත්කම පාලනය කිරීම සඳහා යොදාගත යුතු විධිවිධාන මොනවාද?
7. රටේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගලා යන්නක් විය යුතුය. විටින් විට ඇතිවන ආණ්ඩු වෙනස්වීම් එම අඛණ්ඩභාවය බිඳදැමීමට හේතු නොවිය යුතුය. එහෙත් දැන් පවතින ක්‍රමය තුළ ආණ්ඩු වෙනසක් පමණක් නොව ඇමති මණ්ඩලයේ සිදුවන වෙනසක් එම මූලික ප්‍රතිපත්ති වෙනස් කිරීමට හේතුවිය හැකිය.
පිළිගත් මූලික ජාතික ප්‍රතිපත්ති පිළිබඳව දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කරගැනීම සඳහා එම රාමුවේ ක්‍රියාකාරී පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ඇති කළ යුතු විධිවිධාන මොනවාද?
8. දේශපාලන පක්ෂ අනාගත රාජ්‍ය නායකයන් පුහුණු කරන පුහුණු ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියාකරයි. එහෙත් අපේ රටේ තිබෙන පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නැත. දූෂිතය. හැම පක්ෂයකම නායකයා ඒකාධිපතියෙකි. පක්ෂ සාමාජිකයන්ට පක්ෂ නායකයා වෙනස් කළ නොහැකිය. අවසාන විග්‍රහයේදී මේ පක්ෂ ක්‍රමය රටට දායාද කරමින් තිබෙන්නේ දූෂිත ඒකාධිපති පන්නයේ නායකයන්ය. රටේ පවතින බහු පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සඳහා ඇති කළ යුතුව තිබෙන විධිවිධාන මොනවාද?
9. අපේ රටේ තිබෙන්නේ ප්‍රතිපක්ෂ කෙරෙහි වෛරය පතුරුවන ක්‍රමයකි. ප්‍රතිපාක්ෂිකයන් සැලකෙන්නේ ද්‍රෝහීන් ලෙසය. පක්ෂ අතර බලය සඳහා වන තරගයක් තිබියදීත් වෛරයෙන් තොරව එකිනෙකා කෙරෙහි ගෙ!රවයෙන් හා අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීම සඳහා තිබිය යුතු විධිවිධාන මොනවාද?
10. මෙම දේශපාලන ක්‍රමය තුළ ප්‍රමුඛතාව ලැබෙන්නේ සුදුසුකම්වලට නොව දේශපාලන පක්ෂවාදී ක්‍රමයටය. මෙය රටේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව හීන කරන සාධකයක් ලෙස ක්‍රියා කරයි. හැම තැනකදීම සුදුසුකමට ප්‍රමුඛ තැන ලැබෙන ක්‍රමයක් සඳහා ඇති කළයුතු විධිවිධාන මොනවාද?
11. සාධාරණ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙන, අයුක්තියක් සිදුවී ඇති අයට යුක්තිය ඉටුකර දෙන කාර්යක්ෂම ක්‍රමයක් රටේ නැත. එම දුර්වලතාව ජයගැනීම සඳහා ඇති කළයුතු විධිවිධාන මොනවාද? සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන සාර්ථක හා වේගවත් ඉදිරි ගමනක් රටට අවශ්‍ය නම් අපේ රටේ ආණ්ඩු ක්‍රමයට ආවේණික මෙම මූලික දෝෂවලට සාර්ථක පිළිතුරු සොයාගත යුතුය. එය දුෂ්කර හා සංකීර්ණ විය හැකි වුවත් දේශපාලන පක්ෂ සේම, රටේ උගතුන්ද ඇතුළු දැනුවත් සමාජය ඒ සඳහා වන ප්‍රබල උත්සාහයක යෙදේ නම් ඒ සඳහා අවශ්‍ය පිළිතුරු සොයා ගැනීමට බැරිකමක් ද නැත.
Editor’s Note
The Elections Commissioner who resigned over the 1981 Jaffna District Development Council election is named only as Jayasekera. Ivan dates the hospitalisation of an Elections Commissioner under pressure to 1997; no presidential election was held that year, and the reference is likely to the 1999 contest. Fonseka was arrested on 8 February 2010, the day after this article appeared.