මරා වළලා දමන ලද කොමිෂන් සභාවලට පණදීම

October 29, 2026
Publication:
People:
With the constitutional reform minister saying the 17th Amendment will be regularised and the independent commissions revived, Ivan opens the argument about how. He calls the 17th Amendment the one revolutionary amendment so far, sets out the elections commissioner's justified complaints about a commission designed without consulting him, compares it unfavourably with India's, and says what should be built is stronger than what was lost.

ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඉදිරිපත් කරන්නට යන යෝජනා හා දේශපාලන ක්‍රමය වෙනස් කිරීම පිණිස ඉදිරිපත් කරන්නට යන යෝජනා විස්තරාත්මකව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ මැයි 1 වැනිදාය. ඒ නිසා මේ මොහොතේ ඒ ගැන කිසිවක් කතා කිරීමේ හැකියාවක් නැතත්, 17 වැනි සංශෝධනය විධිමත් කොට නැවත ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය පණ ගන්වන බවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමති ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙන නිසා මේ මොහොතේ ඒ ගැන ඵලදායක සංවාදයක් ආරම්භ කිරීම වැදගත්ය.

මෙතෙක් ඉදිරිපත් වී තිබෙන ව්‍යවස්ථා සංශෝධන අතුරින් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකිය හැක්කේ විප්ලවකාරී ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි. දේශපාලනකරණයට හසුවී තිබූ රාජ්‍ය සේවය නිර්දේශපාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ විය. වැදගත් නිල තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේදී අවශ්‍ය නම් හිතුවක්කාරී ලෙස වුවත් පුද්ගලයන් පත් කිරීමට විධායකයට තිබුණු බලය සීමා කොට එවැනි පත් කිරීම් සඳහා විධිමත් ක්‍රමයක් ඇති කිරීම එහි තවත් අරමුණක් විය.

17 වැනි සංශෝධනයේ උපත

වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් අදහස් පාර්ලිමේන්තුවේ උපත ලැබූවක් නොවීය. එය මෙම විෂය ගැන උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක් අතර උපන් අදහසකි. මුල් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කෙරුණේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ මූලිකත්වයෙනි. මුල් කෙටුම්පත තුළ ද අඩුපාඩුකම් තිබුණ ද අපේක්ෂිත අරමුණ ඉතාමත් ඉදිරිගාමී විය.

මෙවැනි යෝජනාවලියකට උගත් සමාජයෙන් ලැබෙන පිළිගැනීම සැලකිල්ලට ගනිමින් කෙටුම්පත වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමේ වගකීම විරුද්ධ පක්ෂයේ සිටි එජාප තමන් වෙත භාර ගත්තේය. ඒ සමග කෙටුම්පත නැවත සකස් කිරීමත් ඔවුන් අතින් සිදුවූ අතර, එහිදී බරපතළ විකෘති කිරීම් කිහිපයක් ද සිදුවිය. එම විකෘති කිරීම් ගැන කෙරුණු කෑගැසීම් නිසා කෙටුම්පත නැවත සකස් කිරීමට එජාපයේ නීතිඥයින්ට සිදුවිය.

ඉන්පසු ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වන්නට ගිය තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවක් ඇති කර ගත්තේය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ තමන්ට ගෞරවය ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම කෙටුම්පත නීතිගත කිරීම කොන්දේසියක් බවට පත්කර ගත්තේය. මෙම වැඩපිළිවෙළ පිළිබඳව තමන් තුළ ඇති නොකැමැත්ත නොසලකා ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා කෙටුම්පත ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස නීතිගත කිරීමට එකඟවීමට ජනාධිපතිනියට ද සිදුවිය. ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර, එය කෙටුම්පතක් ලෙස නැවත සකස් කිරීමේදී එහි හරය සියුම් ලෙස අංගවිකල කිරීමක් සිදුවිය.

සංශෝධනය අංගවිකල කිරීම

සේ අංගවිකල කරන ලද ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ කඩිමුඩියේ එක් දිනක් තුළදීය. කෙටුම්පතට ඇතුළත් කාරණා ගැඹුරින් සලකා බැලීමක් සිදු නොවීය. ව්‍යවස්ථා සභාවට පුද්ගලයන් පත් කිරීමේ බලය තිබුණ ද, එසේ පත් කරනු ලබන පුද්ගලයින් වැරදි කරන අවස්ථාවලදී ඒවා සොයා බැලීමේ බලය හෝ බරපතළ වැරදි කරන පුද්ගලයන් තනතුරුවලින් ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට නොතිබුණි. එම වරද නිවැරදි කිරීමට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට කරු ජයසූරිය මහතා අවසාන මොහොතේ ද උත්සාහ කළ ද ජනාධිපතිනියගේ උපදෙස් මත ආණ්ඩු පක්ෂය ඊට තරයේ විරුද්ධ විය. ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් පසු ඒ යටතට වැටෙන සියලු කොමිෂන් සභාවලට ව්‍යවස්ථා සභාව විසින් අලුතෙන් සාමාජිකයන් පත් කිරීමට ගෙනා යෝජනාවට ද ආණ්ඩු පක්ෂය විරුද්ධ විය. අතරමැදි එකඟතාවක් සඳහා තිබෙන කොමිෂන් සභා අතරින් රාජ්‍ය සේවා කොමිසමට පමණක් පුද්ගලයින් පත්කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට ලබාදීමට එකඟ විය. අධිකරණ සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මානව හිමිකම් කොමිසම යන ආයතනවලට පත් කර තිබෙන සාමාජිකයන්ගේ නිල කාලය අවසන්වීමෙන් පසු පමණක් පුද්ගලයන් පත්කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට ලැබුණි.

ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු ඉක්මණින් ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කිරීමක් සිදු නොවූවත් ප්‍රමාද වී හෝ තෝරා ගත් ව්‍යවස්ථා සභාව වැදගත් හා ඵලදායී වැඩ කොටසක් ඉටු කෙරිණ. විශේෂයෙන්ම එච්.එල්. ද සිල්වා මහතාගේ දායකත්වය කැපී පෙනෙන තත්ත්වයක තිබුණි. ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයින් තෝරා ගැනීමේදී යොදා ගත් නිර්ණායක සකස් කළේ ඔහුය. ඔහු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, තමන්ගේ නඩු සඳහා උසාවි ඉදිරියේ පෙනී සිටින පිළිවෙත විවේචනය කරමින් “සන්ඩේ ලීඩර්” පුවත්පතේ පළවූ විවේචනයක් හේතු කොටගෙන ඔහු ව්‍යවසථා සභාවෙන් ඉවත් විය. ඒ සමග ව්‍යවස්ථා සභාවේ ගුණාත්මක අගයේ යම් පිරිහීමක් ද ඇතිවිය.

පොලිස් කොමිසමට හා රාජ්‍ය සේවා කොමිසමට මතභේදවලින් තොරව සාමාජිකයන් තෝරා පත් කිරීමට හැකි වුවද, මැතිවරණ කොමිසම සඳහා ජනාධිපතිනිය වෙත නිර්දේශ කර යවන ලද නාමලේඛනයට ජනාධිපතිනිය අනුමැතිය දීමෙන් වැළකී සිටීම හේතු කොටගෙන අලුත් වටයක අර්බුදයක් නිර්මාණය විය. ජනාධිපතිනිය නාමලේඛනයට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළේ මැතිවරණ කොමිසමේ සභාපති තනතුරට නිර්දේශ කර තිබෙන පුද්ගලයා එජාපයේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකු බවට චෝදනා කරමිනි. ඉන්පසු ව්‍යවස්ථා සභාව ජනාධිපතිනිය නගන ලද චෝදනාව පිළිබඳව නැවත පරීක්ෂණයකට යමින් එම චෝදනාව සත්‍යයක් නොවන බව පරීක්ෂණයේදී තහවුරුවීමෙන් පසු නැවත එම නාමලේඛනය ජනාධිපති අනුමැතිය සඳහා ජනාධිපතිනිය වෙත යවනු ලැබුවත් ජනාධිපතිනිය එය අනුමත කළේ නැත.

ආවේණික සීමා

ය 17 වැනි සංශෝධනයට ආවේණික කැපී පෙනෙන දුර්වලතාවක් වී යැයි කිව හැකිය. ව්‍යවස්ථා සභාවේ නිර්දේශයක් ජනාධිපති අනුමත නොකරන අවස්ථාවකදී ඊළඟට කුමක් විය යුතුද යන්න එහි සඳහන්වන්නේ නැත. පත්කිරීමේ ක්‍රියාවලිය අරභයා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සභාව ඉටු කරන කාර්ය භාරය ඇමරිකා එක්සත් ජනපදයේ දී සෙනට් මණ්ඩලය ඉටු කරයි. සෙනට් මණ්ඩලය ඉදිරිපත් කරන නිර්දේශයක් ජනාධිපති අනුමත නොකරන අවස්ථාවකදී දින 14කට පසුව ජනාධිපතිගේ අනුමැතිය නැතිව වුවත් නීතිගත වන ක්‍රමයක් එහි පවතී. අපත් එවැනි ක්‍රමයකට යා යුතුය.

මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන සමහර විවේචනවල යුක්තිසහගත භාවයක් පවති. එම කොමිසම නිර්මාණය කර ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීමකින් පවා තොරවය. අනෙක් අතට ඉන්දියානු මැතිවරණ කොමිසම සමග ගත්විට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම තිබෙන්නේ ඉදිරියෙන් නොව පස්සෙනි. නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් සහතික කිරීම සඳහා අවශ්‍ය නීති පනවා නොමැති අවස්ථාවක නීති පනවන තෙක් සුදුසු නියෝග පැනවීමේ බලය ඉන්දියානු මැතිවරණ කොමිසම සතුය. දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහතික කිරීම සඳහා මැදිහත් වී ක්‍රියා කිරීමේ බලය සේ ම පක්ෂ අරමුදල් ප්‍රශ්න කිරීමේ බලය ද හිමිය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය විධිමත් කරන්නේ නම්, ඒ බලතල ද මැතිවරණ කොමිසමට ලබාදිය යුතුය. මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කරන විධි විධාන ද ඊට ඇතුළත් විය.

ව්‍යවස්ථා සභාවේ නිල කාලය දීර්ඝ කිරීම සුදුසුය. ඒ සමග ව්‍යවස්ථා සභාවට වෙනත් වගකීම් ද පවරා දිය හැකිය. ශිෂ්ටසම්පන්න හැම රටකම පාහේ දේශපාලන ක්‍රමය පුනරීක්ෂණය කරන ආයතන ක්‍රමයක් පවතී. මෙම ආයතන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරයත්, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා වෙනත් ආයතන ක්‍රම ක්‍රියාත්මක වන ආකාරයත් පිළිබඳ පරීක්ෂාවෙන් ඉඳිමින් සිය යුතුකම් හරියාකාරීව ඉටු නොකරන ආයතන හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතු යනාදිය ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙයි. පාර්ලිමේන්තුව එම වාර්තාව ප්‍රසිද්ධ කරන අතර, ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කරයි. දේශපාලන ආයතන ක්‍රමය විමර්ශනය කිරීමේ බලතල ව්‍යවස්ථා සභාවට ලබාදිය හැකිය. එසේම ස්වාධීන කොමිෂන් සභාවලට හා විවිධ තනතුරුවලට ව්‍යවස්ථා සභාව පත් කරන පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ල වන අවස්ථාවලදී ඒවා සොයා බලා වරදකරුවන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලය හෝ එල්ල වූ චෝදනා පිළිබඳ පරීක්ෂණ වාර්තා සමග සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට ලබාදිය හැකිය.

වැරදි හා අඩුපාඩුකම්

ජය ගැනීම

යලු කොමිෂන් සභාවලට විශ්‍රාම ගිය විනිසුරුවරුන් හෝ නීතිඥයින් පත් කිරීමේ සම්ප්‍රදාය ද යහපත් සම්ප්‍රදායක් ලෙස සැලකිය නොහැකිය. නීතිය ගැන වැටහීමක් හා පළපුරුද්දක් ඇති එවැනි පුද්ගලයන් වැදගත් වුවත්, ගණකාධිකාරින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, හා විද්‍යාඥයින් වැනි වෙනත් වෘත්තිකයින් ද එම තනතුරුවලට පත් කරන ක්‍රමයක් ඇති කළ යුතුය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට විශ්‍රාම ගිය වයසට ගිය පුද්ගලයන් වෙනුවට අල්ලස් හෝ දූෂණය තුරන් කිරීමට ඇත්ත උනන්දුවක් ඇති පුද්ගලයන් පත් කිරීම වැදගත්ය. දැන් තිබෙන කොමිෂන් සභාවට පරීක්ෂණයක් ආරම්භ කළ හැක්කේ පැමිණිල්ලක් ලැබෙන අවස්ථාවකදී පමණය. ජනමාධ්‍යවල පළවන තොරතුරු පදනම් කොටගෙන ද පරීක්ෂණයක් ආරම්භ කිරීමේ බලය එම කොමිෂන් සභාවලට ලබාදිය යුතුය.

වත්කම් බැරකම් නීතිය ද විධිමත් විය යුතුය. වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන ක්‍රමයක් ඇති කළ හැකිය. වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා වෙබ් අඩවියක් ආරම්භ කොට ලැබෙන සියලු ප්‍රකාශන එම වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කරන ක්‍රමයක් ඔස්සේ ප්‍රමුඛ වැදගත්කමක් ඇති පුද්ගලයන්ගේ වත්කම් බැරකම් නිරන්තර මහජන පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කළ හැකිය.

පොලිස්පතිවරයා මුළුමණින් පොලිස් කොමිසමෙන් බැහැර කර තබන ක්‍රමයේ වරදක් තිබෙනවා විය හැකිය. එහෙත් තිබුණු පොලිස් කොමිසම වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයට ගෞරවය ගෙනාවේ පොලිස් කොමිසමේ හිටපු සභාපති රංජිත් අබේසූරිය මහතාය. ඔහු තමන්ට එල්ල වන දේශපාලන බලපෑම් නොසලකා පොලිස් කොමිසමේ කටයුතු ස්වාධීනව ඉදිරියට ගෙන ගියේය. පැවති මැතිවරණ දෙක නිදහස් හා සාධාරණ වීම කෙරෙහි එම පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස බලපෑවේය.

අධිකරණයේ ස්වාධීනත්වය යහපත් රාජ්‍ය පාලනයක් සඳහා බලපායි. ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය හා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය යහපත් රාජ්‍ය පාලනයක් සහතික කිරීම සඳහා ඉටුකරන කාර්ය භාරය අතිවිශාලය. එහෙත් ස්වාධීන අධිකරණයක ඇති වැදගත්කම හරියාකාරව තේරුම් ගැනීමට තවමත් ශ්‍රී ලංකාව සමත්ව නැත. ස්වාධීන අධිකරණයක් ඇත්නම් දේශපාලන තලයේ සිදුවන බරපතළ වරදක් නිවැරදි කරගැනීමේ හැකියාව තිබෙන අතර, දේශපාලනඥයින්ගේ පැවැත්ම ද මීට වඩා යහපත් වන්නට ඉඩ තිබුණි.

මරා දමා තිබෙන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයට නැවත පණ දිය හැකි නම් එය සමාජයේ ප්‍රගතියට හේතුවන ඉතාම වැදගත් ඉදිරි පියවරක් වනු නොඅනුමානය. එහෙත් ඒවාට නැවත පණදීමේ ක්‍රියාවලිය අවංක අදහසින් රටේ පොදු යහපත අරමුණු කරගෙන කරන්නක් විය යුතුය. එයින් අදහස් කරන්නේ ගොඩ නගන්නට යන්නේ බාහිර පෙනුමෙන් ස්වාධීන එහෙත් අභ්‍යන්තර හරයෙන් පරාධීන කොමිෂන් සභා ක්‍රමයක් නම් එයින් රටට අයහපතක් මිස, යහපතක් විය නොහැකිය. එහෙත් ගොඩනැගිය යුතුව තිබෙන්නේ තිබුණු ස්වාධීන කොමිෂන් සභාවලටත් වඩා ස්වාධීන හා බලවත් කොමිෂන් සභා ක්‍රමයකි. •