හින්දු පත්රයේ පළවූ ජී.එල්. පීරීස් මහතාගේ සම්මුඛ සාකච්ඡාවකදි ඒ මහතා ප්රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්රමයක් වෙනුවෙන් පෙනී සිටින මුත්, තමන් පෙනී සිටින විධායක ජනාධිපති ක්රමය සංශෝධිත ක්රමයක් මිස, දැන් පවතින ක්රමය නොවන බවය. පක්ෂයක් වශයෙන් තමන් පෙනී සිටින්නේ මුක්තිය ඉවත් කළ පාර්ලිමේන්තුවට වග කියන විධායක ජනාධිපති ක්රමයකට බවය.
විධායක ජනාධිපති ක්රමයක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන්නේ නම්, එම මූලික කරුණු දෙකට අතිරේකව සංශෝධනය විය යුතු වෙනත් අංග ගණනාවක් ද මේ ක්රමය තුළ පවතී. දැන් පවතින ක්රමය තුළ වසරක කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ජනාධිපතිට අවශ්ය නම් සාධාරණ හේතු ඇතිව හෝ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. ඒ මගින් නැති අවුල් ඇති කිරීමේ බලය ජනාධිපතිට ලැබී තිබේ. ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග අතින් ඒ වරද සිදුවූ අතර, කවදා හෝ රනිල් වික්රමසිංහ සිය පදවියට පත්වුවහොත් ඔහු අතින් ද ඒ වරද සිදුවිය හැකිය. ඒ නිසා කිසිම ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ මතුවන ඇත්ත අර්බුදයකදි හැර පාර්ලිමේන්තුව හිතුවක්කාරි ලෙස විසුරුවා හැරිය නොහැකි තත්ත්වයක් ඇති කළ යුතුය. කැබිනට් මණ්ඩලය නම් කිරීමේ බලය අගමැතිට ලැබිය යුතු අතර, විධායක ජනාධිපතිට ඇමති තනතුරු දැරිමේ හැකියාව අහෝසි විය යුතුය. ජනාධිපතිවරයෙකු බරපතළ වැරදි කරන අවස්ථාවකදි ජනාධිපතිවරයාට එරෙහිව ද නීතිය ක්රියාත්මක වන ක්රමයක් ඇති කළ යුතුය.
එහෙත් සංශෝධිත විධායක ජනාධිපති ක්රමයක් ගැන කතා කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා මිස, පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා නොවේ. ඒ ගැන රනිල් වික්රමසිංහ මහතා කිසිවක් කතා නොකරන්නේ ඇයි? කිසිම සංශෝධනයකින් තොරව තිබෙන ක්රමය පවත්වාගෙන යෑමට අවශ්ය වී තිබෙන නිසාද?
විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණය කරන්නට එජාපය අපේක්ෂා කරන්නේ නම්, එය ප්රකාශ විය යුත්තේ ජී.එල්. ගේ කටින් නොව රනිල් ගේ කටිනි. අනෙක් අතට ඒ බව ප්රකාශ කළ යුත්තේ පිටරට පළවන පුවත්පත්වලට නොව, පළමු කොට රටේ පළවන පුවත්පත්වලටය.
ඇත්තටම තිබෙන ක්රමය ප්රතිසංස්කරණය කිරීමේ වුවමනාවක් රනිල් වික්රමසිංහ මහතාට තිබේද? ඒ කවර ප්රමාණයකටද යන්න එහි හැඩතල මොනවාද යන්න රනිල් වික්රමසිංහ මහතාගෙන්ම දැනගැනීමට රටේ ජනතාව කැමතිය.
ධර්ම රාජ්යයේ අගවිනිසුරු
උඩුවේ ධම්මාලෝක හිමියන් ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක එල්ලාවල මේධානන්ද හිමියන්ට යවන ලද ලිපියක් මගින් නැවත අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පිළිබඳ ප්රශ්නය සාකච්ඡාවට ගෙන තිබේ.
අගවිනිසුරු ප්රශ්නයට අදාළව ඒ ලිපියේ ඇතුළත් වැදගත් කාරණා කිහිපයක් මෙසේය.
ජාතික හෙළ උරුමයට සම්බන්ධ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අගවිනිසුරුතුමන් ඉවත් කිරීමට සහාය දිමට සූදානම් බව රනිල් වික්රමසිංහ මහතා හමුවී දන්වා ඇති බව කියන ධම්මාලෝක හිමියන් ඒ පිළිබඳව කරන පුළුල් සාකච්ඡාවකින් තොරව හිතුමතේට එවැනි තීන්දු ගන්නේ කෙසේදැයි ප්රශ්න කර තිබේ.
ඒ සමග ඒ ලිපිය තුළ මෙතෙක් ප්රසිද්ධියට පත් නොවූ කරුණක් ද සඳහන්ය.
මීට පෙර ද අප විසින් පුළුල්ව සාකච්ඡා නොකොට අප විසින් ද එවැනි තීරණයක් ගෙන පසුව අප විසින්ම එම තීරණය ඉවත් කරගන්නා ලද බව ද එහි සඳහන් වේ. එම රහස ධම්මාලෝක හිමියන් ප්රකාශ කරන්නට පෙර රාවය වාර්තා කර තිබුණි.
අගවිනිසුරුවරයා කාන්තාවක් සමග රාත්රී කාලයේ පාළු තැනක තිබූ වාහනයක සිටියදි පොලිසියේ සෝදිසියට ලක්වීමේ සිද්ධිය කරළියට ආ අවස්ථාවේදි ජාතික හෙළ උරුමයේ මධ්යම කාරක සභාව ඒ ගැන සාකච්ඡා කළේය. එහිදි ඇති කරගත් තීරණය වූයේ ඒ සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාවක් හෙළ උරුමය ඉල්ලා සිටිය යුතු බවය. එක්සත් ජාතික පක්ෂය ගෙනා තේරිම් කාරක සභා යෝජනාවට එල්ලාවල මේධානන්ද හිමියන් අත්සන් කළේ එහි ප්රතිඵලයක් වශයෙනි. යෝජනාව කතානායකවරයාට භාරදිමෙන් පසුව ඒ බව අගවිනිසුරුට දැනගන්නට ලැබුණේය. අගවිනිසුරුගේ අතරමැදි හිමිනමක් එල්ලාවල මේධානන්ද හිමියන්ට කතා කළේය. එහි ප්රතිඵලයක් වශයෙන් එල්ලාවල හිමියන් තමාගේ නම එම යෝජනාවෙන් ඉවත් කරගන්නා බව කතානායකවරයාට දැනුම් දුන්නේය. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයට ඒ යෝජනාවට අත්සන් තැබීමට වෙනත් හිමිනමක් අවශ්ය විය. සුදුසු නම ලෙස හෙළ උරුමය කණ්ඩායමෙන් යෝජනා වූයේ ධම්මාලෝක හිමියන්ගේ නමය. එහෙත් ධම්මාලෝක හිමියන් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය. උන්වහන්සේ ඒ අවස්ථාවේ සිටියේ මහනුවරය.
එක්සත් ජාතික පක්ෂයේ බලවතෙක් ධම්මාලෝක හිමියන්ට දුරකතනයෙන් කතා කොට එල්ලාවල මේධානන්ද හිමියන් සිය අත්සන ඉවත් කොටගෙන ඇති බැවින් වෙනත් හිමිනමකගේ අත්සන අවශ්ය වී තිබෙන බව කියා සිටියේය. තමා ඊට අත්සන් කරන්නට සූදානම් බව ධම්මාලෝක හිමියන් ප්රකාශ කළ විට අත්සන ඒ මොහොතේදිම අවශ්ය වී තිබෙන බව එජාප බලවතා කියා සිටියේය. එසේ නම් වහාම යෝජනාව තමන් වෙත ෆැක්ස් කොට එවන ලෙසත්, තමන් වහන්සේ අත්සන් තබන ලද පිටපත ෆැක්ස් කොට ආපසු එවිය හැකි බවත් ධම්මාලෝක හිමියන් ප්රකාශ කළේය.
ඒ අනුව වහාම යෝජනාව ධම්මාලෝක හිමියන් දෙන ලද ෆැක්ස් අංකයට යවනු ලැබූවත්, ධම්මාලෝක හිමියන්ගේ අත්සන සහිත යෝජනාව ආපසු නොලැබීම නිසා මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කළ එක්සත් ජාතික පක්ෂ බලවතා අවුලකට පත්ව සිටියේය. ඇත්තටම එහිදි සිදුවී ඇත්තේ යෝජනාවට ධම්මාලෝක හිමියන් අත්සන් තබන බව දැනගන්නට ලැබී අගවිනිසුරුගේ අතරමැදි හිමිනම ධම්මාලෝක හිමියන්ට කතා කිරීමය. අවසානයේ ධම්මාලෝක හිමියන් ද අත්සන් කිරිමෙන් වැළකී සිටීම නිසා තිස්ස අත්තනායකගේ අත්සනින් පමණක් යෝජනාව කතානායකවරයා වෙත බාරදිමට එජාපයට සිදුවිය. අත්සන් ඉවත් කරගැනීමේ ප්රශ්නය හෙළ උරුමයට දැනගන්නට ලැබුණු විට එයින් ඔවුන් විශ්මයට පත්වුවත්, ඊට අතිරේකව අසන්නට ලැබුණු වෙනත් කතා නිසා හෙළ උරුමය පක්ෂය ද ඒ ගැන නිහඬව සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය.
අගවිනිසුරු පිළිබඳ තිත්ත ඇත්ත හෙළ උරුමයට අත්දැකීමෙන් පසක් කරගන්නට ලැබුණේ එම පක්ෂයට අදාළ නඩු විභාගයේදිය. සමහරවිට එම පක්ෂය අගවිනිසුරුට එරෙහිව ක්රියාකරන්නට නැවත තීරණයක් ගන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.
ධම්මාලෝක හිමියන් ද අනාගතයේ නඩු කියන්නට බලාපොරොත්තු වේ නම්, ප්රසිද්ධියේ අගවිනිසුරුවරයා ආරක්ෂා කරන පිළිවෙතකට යෑම වාසිදායකය.
අගවිනිසුරුවරයාට කළ නොහැක්කේ ජේ.ආර්. ජයවර්ධනට මෙන් ගැහැනියක් මිනිහෙක් කරන්නට පමණය. එතුමා එතරම්ම බලවතෙකි. අනාගතයේ ගොඩනගන්නට යන ධර්ම රාජ්යයේ අගවිනිසුරුකමට ද ඔහු සුදුසුය.
වැදි බණ
අපරාධ වැළැක්වීමේ ජාතික උපදේශක සභාව අමතා ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විමල් වීරවංශගේ ස්වරයත් ඉක්මවා යන ස්වරයකින් විප්ලවකාරි කතාවක් කර තිබේ. ඇය එහිදි කියා ඇත්තේ පොලිසියත්, අධිකරණයත් අන්ත දූෂිත බවය. දේශපාලනයෙන් තොර අධිකරණයක් හා පොලිසියක් ඇති කොට තමන්ට ගෙදර යන්නට ඇතොත් එය හොඳටම ඇති බවය.
පොලිසිය දේශපාලකයන් හා පාතාල ලෝකය අතර තිබෙන සම්බන්ධය ගැන ද ඇය එහිදි කතා කර තිබේ.
ඇය එම විෂය ගැන කතා කර තිබෙන ස්වරූපය ඉතාමත් විප්ලවකාරි විය හැකි වුවත්, එය හිතට එකගව කරන ලද අවංක විග්රහයක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණය හා පොලිසිය ඇද වැටී තිබෙන දහජරා තත්ත්වයට රාජ්ය නායිකාව වශයෙන් ඇය ද වගකිව යුතුය.
අධිකරණය එවැනි තත්ත්වයකට පත්වූයේ 1999න් පසුවය. ඊට පෙර අධිකරණයේ දූෂණය තිබුණා විය හැකි වුවත්, දූෂණයේ පරිමාව අනුව පොලිසිය හා අධිකරණය සම තත්ත්වයක තිබුණේ නැත. පොලිසිය අන්ත දූෂිත ආයතනයක් ලෙස සැලකුණ ද අධිකරණය අන්ත දූෂිත ආයතනයක් ලෙස සැලකුණේ නැත.
ජේ.ආර්. ජයවර්ධන තරමටම ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග ද අධිකරණයට ඇඟිලි ගැසුවේය. ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ දේශපාලන හිතවතෙකු අගවිනිසුරු ධුරයට පත් කළ ද, ඒ පුද්ගලයා අධිකරණයේ ප්රධානියා වූ දින සිටම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තිබුණු දේශපාලන සම්බන්ධකම් අත්හරිමින් අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින පුද්ගලයෙකු බවට පත්වූයේය.
විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරම් මහතා ලීඩර් පුවත්පතට ප්රකාශ කර තිබෙන පරිදි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට දේශපාලන වැදගත්කමක් ඇති නඩුවක් සඳහා විනිසුරු මඬුල්ලට තමන්ට අවශ්ය විනිසුරුවරුන් පිරිසක් පත්කර ගැනීමට අවශ්ය වී ඔහු ඒ ගැන අගවිනිසුරුවරයා සමග කතා කළේය. සමරකෝන් අගවිනිසුරුවරයා ජනාධිපති කියන කතාවට තමා බොමින් සිටි පයිප්පයෙන් දුම් ගුලියක් පිටකළා විනා ඊට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. එහෙත් පසුදා එම නඩුවට අගවිනිසුරුවරයා පත් කර තිබුණේ ජනාධිපතිවරයා ඉල්ලා සිටි විනිසුරු මඬුල්ල නොව, තමාට අභිමත වෙනත් විනිසුරු මඬුල්ලකි. ඒ නිසාම ජනාධිපතිවරයා අපේක්ෂා කළ සහන එම නඩුවෙන් ලබාගත හැකි වූයේ ද නැත. විග්නේෂ්වරන් මහතා ප්රකාශ කර ඇති ආකාරයට සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව ගෙනා දෝෂාභියෝගයට බලපෑ මුල් හේතුව වූයේ ද එයයි.
ශ්රී ලංකා අධිකරණයේ ස්වර්ණමය යුගය පැවතියේ නෙවිල් සමරකෝන් යුගයේදිය. ඒ යුගයේ සිට ස්වාධීන ගමන් මගක ගමන් ගනිමින් තිබූ අධිකරණයේ ගමන් මග පටු දේශපාලන වුවමනාවන් මත ආපස්සට හැරවූ ඊළග ජන නායිකාව වූයේ චන්ද්රිකාය. ඒ විනාශකාරි ගමන ආරම්භ වන්නේ ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා එල්ල වී තිබුණු පුද්ගලයෙකු වන සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කිරිමෙනි. ඔහු නෙවිල් සමරකෝන් ගිය ගමනට වෙනස් ගමනක යමින් අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් බවට පත් කළේය. ඒ ගමනට එකග නොවන අධිකරණ නිලධාරින් පීඩාවට පත්කරමින් ඔවුන් අධිකරණ සේවයෙන් පලවා හැරියේය.
තමන් විසින් අගවිනිසුරු ධුරයට පත් කළ මෙම පුද්ගලයාට එල්ලවී තිබෙන බරපතළ චෝදනා ගැන ජනාධිපතිනිය දන්නේම නැද්ද? බරපතළ චෝදනා ඇතුළත් දෝෂාභියෝග දෙකකින් ඔහු ගලවා ගත්තේ තමා බව ඇයට අමතකද? අඩුම වශයෙන් අධිකරණය ගඳ ගසන තත්ත්වයකට පත් කළ දියවන්නාඔය සිද්ධිය පිළිබඳවවත් ඇයට අසන්නට ලැබුණේ නැද්ද?
අධිකරණය අන්ත දූෂිතයි කියනවා වෙනුවට අධිකරණය අන්ත දූෂිත තත්ත්වයකට ඇද වැටීම කෙරෙහි ද මාගේ හිතුවක්කාර ක්රියාකාරකම් ද හේතුවී යැයි ජනතාවට කීවේ නම්, එය අවංක නිර්භීත හා විප්ලවකාරි ප්රකාශයක් වන්නට ඉඩ තිබුණි.