පාසල් අධ්‍යාපනයේදී අදක්ෂ දරුවන් ගැන

February 24, 2013
Publication:
Ivan tells parents that a child who fails at school is not a failure. Fewer than five in a hundred who enter school reach university, and academic success is only one ladder upward: D.S. Senanayake, the least able of three brothers, became the first Prime Minister, and Martin Wickramasinghe, schooled to the seventh grade, became the country's greatest man of letters. He urges parents to find the talent a child has and steer it into good vocational training, ideally in English so the way abroad stays open.

පාසල් අධ්‍යාපනය සාමාන්‍යයෙන් දෙමාපියන්ට විශාල දුක් කරදර හා හිත් වේදනාවන්ට මුහුණ දෙන්නට සිදුවන විශේෂ අධියරයක් ලෙස සැලකිය හැකිය. පාසල් යන වයසට එළැඹෙන දරුවෙකුට සුදුසු පාසල් සොයාගැනීම සඳහා දරන්නට සිදුවන මහන්සිය හා ගෙවන්නට සිදුවන වන්දිය සුළුපටු නැත. එය ජාතික කළමනාකරණයේ ඇති අසාමාර්ථභාවය හා දූෂිත ස්වරූපය පෙන්නුම් කරන එක් වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමෙන් පසුවද සියලු දරුවන් පාසල් අධ්‍යාපනයේදී හොඳ ප්‍රතිඵල පෙන්නුම් කරන සාමාර්ථයන් බවට පත්වන්නේ නැත. අවසානයේදී හොඳ ප්‍රතිඵල පෙන්නුම් කරන දරුවන් දෙමාපියන්ගේ වැඩි සැලකිලි හා වැඩි ආදරය ලබන්නන් බවටත් නරක ප්‍රතිඵල පෙන්නුම් කරන්නන් ඔවුන්ගේ අඩු සැලකිලි හා අඩුවෙන් ආදරය ලබන දරුවන් බවටත් පත්වන්නේය. සමහරවිට එවැනි දරුවන් සැලකෙන්නේ කාලකණ්ණි දරුවන් ලෙසය. “අපි එයාට කරන්න ඕන හැම දෙයක්ම කළා. එයාට ඉගෙන ගන්න බැරි නම් අපි මොනව කරන්නදැ”යි කියා ඔවුන් මැසිවිලි නගති.

පාසල් අධ්‍යාපනයට එකතු වන දරුවන්ගෙන් උසස් අධ්‍යාපනයක් ලබන්නට සමත්වන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසල් අධ්‍යාපනයට එකතු වන පාසල් යායුතු වයසේ ළමුන්ගේ අනුපාතිකය 90%ක් තරම් ඉහළ මට්ටමක පවතී. එහෙත් එසේ පාසල් අධ්‍යාපනයට එකතු වන අයගෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ 95%ක් පමණය. ඉන්පසු ඒ අය අතරිනුත් ද්විතීයික අධ්‍යාපනයට එකතුවන්නේ 75%ක් පමණය. සාමාන්‍ය පෙළ දක්වා වන ගමනේදී ඔවුන්ගෙන්ද තවත් 50%ක්ම හැලෙන්නේය. උසස් පෙළට වරම් ලබන්නේද ඉනුත් 50%ක් පමණය. ඉන්පසු ඒ අයගෙන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලබන්නේ තවත් 50%ක් පමණය. ඒ අයගෙන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන්නේ 15%කටත් අඩු ප්‍රමාණයකට පමණය. අවසානයේදී පාසල් අධ්‍යාපනයට එකතු වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සඳහා වරම් ලබන අයගේ ප්‍රමාණය 5%ක් තරම්වත් නැත.

පාසල් අධ්‍යාපනයේදී පවුලේ සියලු දරුවන් දක්ෂවන්නේ ඉතාමත් කලාතුරකිනි. සමහර දරුවන් පාසල් අධ්‍යාපනයට දක්ෂය. සමහර දරුවන් අදක්ෂය. පාසල් අධ්‍යාපනයේදී අදක්ෂ දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් අනුගමනය කළයුතු විශේෂ ප්‍රතිපත්තියක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද?

අධ්‍යාපනය ඉහළ නැගීම සඳහා තිබෙන ජනප්‍රියම ඉණිමඟ ලෙස සැලකිය හැකිය. එහෙත් එය ඉහළ නැගීමට තිබෙන එකම ඉණිමඟ ලෙස සැලකීම වැරදිය. එය ඒ සඳහා තිබෙන විකල්ප අතරින් එකක් පමණය. පාසල් අධ්‍යාපනයේදී දක්ෂතා පෙන්නුම් කරන දරුවන් අබිබවා පාසල් අධ්‍යාපනයට අදක්ෂ දරුවන් ඉහළ නගින අවස්ථා කොතෙකුත් පවතී. ඒ නිසා පාසල් අධ්‍යාපනයේදී අදක්ෂ දරුවන් කාලකණ්ණි දරුවන් ලෙස සැලකීම වැරදිය.

ඩී.එස්. සේනානායක හා මාර්ටින් වික්‍රමසිංහ

මෙම තත්ත්වය තේරුම් ගැනීම සඳහා දැක්විය හැකි දේශීය නිදර්ශන බොහෝ ඇතත් තෝරාගත් නිදර්ශන දෙකක් පමණක් ඉදිරිපත් කරමි. පළමු නිදර්ශනය අගමැති ඩී.එස්. සේනානායක හා ඔහුගේ සහෝදරයන් ගැනය.

ඩී.එස්. සේනානායකගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු විය. ඔහුට පවුලේ දරුවන් සිව්දෙනෙකු සිටි අතර ඉන් තිදෙනෙක් පිරිමි දරුවන් විය. එෆ්.ආර්. වැඩිමලාද, ඩී.සී. දෙවැනියාද, ඩී.එස්. බඩපිස්සාද විය. තිදෙනාම අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙනි. මේ සොහොයුරන් තිදෙනා අතුරින් අධ්‍යාපනයේදී දක්ෂ වූයේ එෆ්.ආර්. පමණය. අදක්ෂම කෙනා වූයේ ඩී.එස්.ය ඔහු හැමවිටම සිටියේ පන්තියේ අන්තිමයන් දෙදෙනා අතරය. උසස් අධ්‍යාපනයක් හිමිකර ගැනීමට සමත් වූයේ එෆ්.ආර්. පමණය.

එෆ්.ආර්. කේම්බ්‍රිජ් උපාධි අධ්‍යාපනයක් ලබා තිබීම නිසා ඔහු හඳුන්වන ලද්දේ ලන්ඩන් ජොන් වශයෙනි. ඩී.සී. පවුලේ වතුපිටි බලාගත් නිසා ඔහු හඳුන්වන ලද්දේ කොළඹ ජොන් වශයෙනි. ඩී.එස්. නිකම්ම කාලය ගතකරන්නෙක් වීම නිසා ඔහු හඳුන්වන ලද්දේ කැලේ ජෝන් වශයෙනි.

ඩී.එස්. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමෙන් පසු මන්ත්‍රණ සභාව අමතා කතා කරන විට ඔහුට මුහුණ දෙන්නට සිදුවූ අපූරු අත්දැකීමක් පිළිබඳව ඩී.එස්.ගේ බෑණනුවන් වන සර් ජෝන් කොතලාවලගේ ස්වයං චරිතාපදානයේ සඳහන් වේ. ඒ කාලයේදී ඩී.එස්. සේනානායකට ලියාගෙන එන සටහනක් දෙස බලාගෙන මිස කතා කරන්නට දැන නොසිටියේය. ඔහු ලියාගෙන තිබූ කොළය බලාගෙන වේගවත් කතාවක් කරමින් සිටියදී අතේ තිබුණු කොළය හුළඟේ ගියේය. ඉන්පසු ඔහුට කළ හැකිවූයේ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන්ගේද හාස්‍යයට හේතුවන ලෙස වහාම කතාව නවතා අසුනේ වාඩිවීම පමණය.

එහෙත් ඔහු ඔහුගේ අනෙකුත් සියලු සහෝදරයන් අබිබවා ලංකාවේ පළමු අගමැති බවට හා රටේ ප්‍රමුඛයා බවට පත්විය. අවසානයේදී පවුලට සිටි අදක්ෂම දරුවා අන් සියලුදෙනා අබිබවා ඉහළට ගියේය.

මගේ දෙවැනි නිදර්ශනය ශ්‍රී ලංකාව බිහිකළ මහා ගත්කරුවා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ ගැනය. ඔහු විධිමත් ශ්‍රාස්තාලයීය අධ්‍යාපනයක් ලැබූ කෙනෙකු නොවීය. අධ්‍යාපනය ලැබුවේ හත්වැනි හෝ අටවැනි පන්තිය දක්වා පමණය. ඉන්පසු ඔහු ලැබූ අධ්‍යාපනය ස්වඋත්සාහයෙන් පොත් කියවීමෙන් ලැබූ අවිධිමත් අධ්‍යාපනයක් ලෙස සැලකිය හැකිය. එසේ වුවත් ඔහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් ලැබූ සියලුදෙනා අබිබවා මේ දක්වා ශ්‍රී ලංකාව බිහිකළ මහා ප්‍රාඥයා බවට පත්වීමට සමත් විය.

රූසෝ හා ඩාවින්

මේ සඳහා ලෝක මට්ටමෙන් දැක්විය හැකි නිදර්ශනද බොහෝය. ප්‍රංශ විප්ලවයේ මහා දාර්ශනිකයා ලෙස සැලකෙන රූසෝ (1713-1778) විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් නොලැබූ ලුම්පන් පසුබිමකින් පැමිණි පුද්ගලයෙකි. වාෂ්ප බලයෙන් ක්‍රියාකරන එන්ජිම සොයාගත් ජේම්ස් වොට්ස් (1733-1819) උසස් අධ්‍යාපනයක් නොලැබූ රසායනාගාර සේවකයකු විය. විදුලිබලය හා එහි ඇති චුම්බකත්වය සොයාගත් මයිකල් ෆැරඩේ ද (1791-1867) පළමු පෙළේ විද්‍යාඥයකු ලෙස සැලකුණද ඔහුද නිල උසස් අධ්‍යාපනයක් නොලැබූ මහාචාර්යවරයෙකු ළඟ වැඩ කළ කම්මල්කරුවකුගේ පුතෙකු විය.

පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්ද (1809-1882) පාසල් අධ්‍යාපනයේදී දක්ෂයකු නොවීය. ඔහුගේ වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය මුළුමනින් අසාර්ථක එකක් විය. ඔහු පවුලේ නම්බුව නැති කරන්නකු ලෙසට පියා චෝදනා කළේය. ඩාවින් සාර්ථක පුද්ගලයෙකු බවට පත්වූයේ ඔහුගේ ඇඟේ තිබුණු විෂයට එකතුවීමෙන් පසුවය.

ඒ සියලු නිදර්ශනවලින් දෙමාපියන්ට උගත හැකි පාඩම වනුයේ පාසල් අධ්‍යාපනයේදී අදක්ෂ දරුවන් කාලකණ්ණි දරුවන් ලෙස නොසැලකිය යුතු බවය. ඔවුන් පාසල් අධ්‍යාපනයේදී අදක්ෂ වුවත් වෙනත් දේවලදී දක්ෂ විය හැකිය. එවැනි අයගේ ඇඟේ තිබෙන දක්ෂතා මොනවාදැයි දෙමාපියන් හඳුනාගත යුතුය. ඔවුන් කුරෝලු වන්නට ඉඩ නොදී ඔවුන්ගේ ඇඟේ තිබෙන දක්ෂතාවලට ගැළපෙන වෘත්තීය අධ්‍යාපනයකට ඔවුන් යොමු කළ යුතුය.

ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවට වෘත්තීය අධ්‍යාපනය

වෘත්තීය අධ්‍යාපනයක් සඳහා තෝරාගැනීමට තිබෙන විෂය ක්ෂේත්‍රයේ ප්‍රමාණය විශාලය. එය සීයටත් වැඩිවිය හැකිය. වැදගත්ම දේ මොකක් හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන ප්‍රතිපත්තියක් වෙනුවට දරුවාගේ ඇඟේ තිබෙන නැතිනම් ඔහු වැඩි කැමැත්තක් දක්වන විෂය ක්ෂේත්‍රය හඳුනාගෙන එම විෂය ක්ෂේත්‍රය සඳහා වන වෘත්තීය අධ්‍යාපනයකට යොමු කිරීමය. එහිදී දරුවා සමග ඒ ගැන බුද්ධිමත්ව කතා කිරීම වැදගත්ය. එය තමන්ට කළ නොහැකි නම් සුදුසු වෙනත් පුද්ගලයෙකු ලවා එසේ කළ හැකිය. ඔහු උනන්දුවක් දක්වන විෂය ක්ෂේත්‍රය හඳුනාගෙන එම විෂය ක්ෂේත්‍රය තුළ ඔහුට යාහැකි උපරිම දුර කුමක්ද යන්න ඔහුට කියා දිය යුතුය. ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ඔස්සේ පමණක් නොව වෘත්තීය අධ්‍යාපනයක් ඔස්සේද උපාධිධාරියෙකු විය හැකි බව ඔහුට පෙන්වා දිය යුතුය.

නිදර්ශනයක් වශයෙන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනය වෘත්තීය අධ්‍යාපනයක් සඳහා ලෝකයේ පිළිගත් ලංකාවේද ක්‍රියාත්මක වන ආයතනයකි. ශාස්ත්‍රීය අධ්‍යාපනයේදී අසාර්ථක එහෙත් වෘත්තීය අධ්‍යාපනයේදී දක්ෂතා ඇති කෙනෙකුට එම ආයතනයේ පාඨමාලා ඔස්සේ ක්‍රමයෙන් වරලත් ඉංජිනේරුවකුගේ තත්ත්වයට පත්විය හැකිය. එම සහතිකය දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද පිළිගනී. වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් ලබාදෙන විශාල ආයතන පද්ධතියක් ලංකා ආණ්ඩුව සතුවද පවතී.

වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් සඳහා ආයතනයක් තෝරාගැනීමේදී සැලකිල්ලට ගතයුතු වැදගත් කාරණා දෙකක් පවතී. ලබාදෙන පුහුණුවේ ගුණාත්මක අගය හා ලබාදෙන සහතිකයට තිබෙන පිළිගැනීමේ ප්‍රමාණය සැලකිල්ලට ගතයුතු වැදගත් එක් කොන්දේසියකි. උගන්වන භාෂාවද සැලකිල්ලට ගතයුතු තවත් වැදගත් කොන්දේසියකි. ඔබේ දරුවාට අවශ්‍ය ශ්‍රී ලංකාවට සීමා නොවී ලෝකයේ ඕනෑම දියුණු රටකට ගොස් වැඩ කිරීමට නම් එම වෘත්තියේ නිරතවීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුමක් ලබාදීම වැදගත්ය. එහෙත් එවැනි කෙනෙකුට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුමේ තරම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට අවශ්‍ය දැනුම නොවන බවද තේරුම් ගත යුතුය. ඒ නිසා විදේශ ගතවීමට අපේක්ෂා කරන දරුවකුට නම් ඔහු ලබාගන්නා වෘත්තීය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන ආයතනයකට යොමු කිරීම අත්‍යවශ්‍යය.

මා මෙම විෂය ගැනම මීට වෙනස් ආකාරයකින් ලිපියක් ලියා පළ කළ අවස්ථාවකදී එය කියවූ පියෙකු දුරකතනයෙන් මා අමතා කතා කරමින් ඔහුගේ පුතුන් දෙදෙනා ගැන අපූරු කතාවක් කීවේය. ඔහුගේ එක් පුතකු දොස්තර කෙනෙකු බවත් අනෙක් පුතා කාර්මිකයෙකු බවත් කියා සිටිමින් මාගේ දොස්තර පුතාට වඩා කාර්මික පුතා හැම අතකින්ම සාර්ථක හා තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව කියා සිටියේය. ඉන්ද පෙනෙන්නේ ඉහළ නැගීම සඳහා තිබෙන්නේ එක ඉණිමඟක් පමණක් නොවන බවය. ඉණිමං ගණනාවක් තිබෙන බවය. ඒ අතරින් සිය දරුවාට ගැළපෙන ඉණිමඟ කුමක්ද කියා දෙමාපියන් බුද්ධිමත්ව තෝරාගත යුතුය.