ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තීන්දු කෙරෙන මැතිවරණ

October 8, 2000
Publication:
Ivan calls the October 2000 parliamentary election decisive for whatever democracy remains. The UNP introduced institutional violence but could at least retreat under pressure; the People's Alliance won the North Western poll by open plunder without remedy. He welcomes unprecedented pressure from unions, temples, churches, the Elections Commissioner and EU observers, but argues the courts offer no recourse, since Sarath N. Silva took over Karu Jayasuriya's rights case against ITN and Lake House and sent it to bodies tied to Mangala Samaraweera.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අර්ථයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණය රටට ඉතාමත් තීරණාත්මකය. කිසියම් ප්‍රමාණයක හෝ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් රටේ ඉතිරිවී ඇත්නම් එහි පැවැත්ම අවසාන වශයෙන් තීන්දු කරන මැතිවරණය වනු ඇත්තේ මේ පාර්ලිමේන්තු මැතිවරණයයි.

පොදු පෙරමුණ කවර මට්ටමකින්වත් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සූදානම් නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අර්ථයෙන් එහි මෑත ඉතිහාසය ඉතාමත් අපකීර්තිමත්ය. එය දූෂිතභාවයෙන් ද ප්‍රචණ්ඩභාවයෙන් ද පිරි පවතී.

පොදු පෙරමුණේ ප්‍රධාන දේශපාලන තරගකරුවා වූ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ද අපකීර්තිමත්ය. ආයතනගත ප්‍රචණ්ඩත්වය හා දූෂණය රටට හඳුන්වාදෙන ලද්දේ ඔවුන් විසිනි. එහෙත් එම දුෂ්ට ක්‍රියාකලාපයට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පීඩනයක් එල්ල වන තත්ත්වයක් ඉදිරියේ හෝ එම ගොරහැඬි තත්ත්වයෙන් අත්මිදි මටසිළුටු භාවයක් ඇතිකර ගැනීමේ නම්‍යතාවක්වත් එම පක්ෂයට තිබුණේය. එහෙත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ප්‍රධාන දේශපාලන තේමාව කොට ගෙන බලයට පැමිණ පොදු පෙරමුණට අඩුම වශයෙන් එජාපයට තිබුණු ඒ නම්‍යතාවවත් තමන්ට ඇති බව ඔප්පු කිරීමට අසමත් විය.

ආණ්ඩුව වයඹ මැතිවරණය ජයගත්තේ එළිපිට කරන කොල්ලයක ස්වරූපයෙනි. එය මෙතෙක් රටේ ඇතිවූ දූෂිතම මැතිවරණය බව මැතිවරණ කොමසාරිස්වරයාට පවා ප්‍රසිද්ධියේ පිළිගන්නට සිදුවුවත් ප්‍රසිද්ධ මංකොල්ලයක් මගින් බලයට පැමිණ පිරිසේ බලය අහිමිවීමක් සිදුවුයේ නැත. මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රශ්නය අධිකරණ ක්‍රියා මාර්ගයක් මගින් විසඳ ගැනීමට ඉඩ හැර නිහඬ වූ අතර, අධිකරණයෙන් ද ඊට සහනදායි විසඳුමක් නොලැබුණේය. දැන් වයඹ කොල්ලකරුවෝ කිසිදු අභියෝගයකින් තොරවම තහවුරු වූ නීත්‍යනුකූල පාලක පක්ෂයක් බවට පත්ව සිටිති.

මේ දුෂ්ට ක්‍රමය තහවුරු වන්නට ඉඩ දුනහොත් රටේ ඉතිරි වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයත් නැත්තටම නැතිවී යනු නොඅනුමානය. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීමේ හැකියාවක් සමාජයට තිබේද යන්න රට ඉදිරියේ තිබෙන ප්‍රධානම අභියෝගයයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොවූ තරම් බලවත් සමාජ හඬක් මතුවී තිබෙන බව සැබෑවකි. වෘත්තීය සමිති, වෘත්තීයවේදි සංවිධාන, බහුජන සංවිධාන පමණක් නොව වෙන කවරදාකටත් දක්නට නොවූ ආකාරයකට බෞද්ධ පන්සල හා කතෝලික පල්ලිය එම අරගලයේ ප්‍රධාන කොටස්කරුවන් පිරිසක් බවට පත්ව සිටිති.

මැතිවරණ දූෂණ වැළකීම පිණිස මැතිවරණ කොමසාරිස්වරයා ද ඉතාමත් දෑඩි පිළිවෙතකට යොමුවී සිටින තත්ත්වයක් ද පවතී. යුරෝපා සංගමයේ නිරික්ෂක පිරිස ද වෙනදා මෙන් ආවාට ගියාට මෙන් නොව ඉතාමත් විධිමත් ආකාරයකින් සමස්ත ක්‍රියාවලිය නිරික්ෂණය කරන තත්ත්වයකට යොමුවී සිටින බවක් ද දෑකිය හැකිය. මේ සියල්ල ඉතා යහපත් ලක්ෂණ වුවත්, ඒ සියලු දේවලින් පමණක් මතුවී තිබෙන අභියෝගය ජයගත හැකිද යන ප්‍රශ්නයක් ද පවතී.

වෙනදා මැතිවරණ ක්‍රියාවලියේ බලවත් වරදක් සිදුවූ විට යුක්තිය ඉටු කරවා ගැනීමට යාමට අධිකරණයක්වත් ඉතිරිවී තිබුණේය. එහෙත් වයඹ අත්දැකීම්වලින් ඔප්පු කෙරෙන්නේ බලයේ සිටින පාලක පක්ෂයකට තක්කඩිකමින් හෝ මැතිවරණයක් ජයගත හැකි නම් අධිකරණයෙන් පවා ලබාගත හැකි සහනයක් ද නැති බවය.

ජනාධිපතිනිය එල්ල වන බලවත් සමාජ අපවාදය නොසලකා නීතිඥ නිල කබාය ගැලවෙන්නට ඔන්න මෙන්න කියන තැනක සිටි පුද්ගලයකු අධිකරණයේ ප්‍රධානියා බවට පත් කළේ ද, තමන්ගේ සාහසික දේශපාලන ක්‍රියාකාරකම්වලට අධිකරණයෙන් අභියෝගයක් එල්ල නොවන තත්ත්වයක අධිකරණය තබාගැනීම පිණිසය. එය අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කරන තීරණාත්මක පියවරක් වුවත් කිසිම නිල විරුද්ධ පක්ෂයක් ඒ අවස්ථාවේදි ඊට එරෙහිව නැගී සිටින පිළිවෙතක් අනුගමනය නොකළේය. අප්පිරීයාවෙන් වුවත් ගරු කටයුතු තනතුරට පත්වූ පුද්ගලයා අනියම් ලෙස හෝ ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ ද ඔවුන්ටමය.

මතුවන දේශපාලන ආරාවුල් වලදි ශ්‍රේෂ්ඨාධිකරණයේ බලවත් පැත්තක් යුක්තිය හා නීතිය වෙනුවෙන් ක්‍රියාකරනවා වෙනුවට පොදු පෙරමුණට පක්ෂපාත ආකල්පයකින් ක්‍රියාකිරීම පැහැදිලිව හා ප්‍රකටව පෙනෙන්නට තිබෙන ලක්ෂණයකි.

පොදු පෙරමුණට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරදිමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ මූලික පුද්ගලයන් අතර සරත් සිල්වා මහතා ද වූයේය. එම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූල භාවය විමසා බලන විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ද සරත් සිල්වා මහතාය. එජාපයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ස්වාධීන රූපවාහිනී සේවයේ හා ලේක්හවුසියේ ප්‍රධානීන් වගඋත්තරකරුවන් කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමට නියමිතව තිබුණේ ආචාර්ය අමරසිංහ ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. එහෙත් මැතිවරණ කටයුතු කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට හේතුවිය හැකි එම නඩුව සරත් සිල්වා මහතා තමාගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ගත්තා පමණක් නොව. එය ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයක විභාග නොකළ යුතු තරම් නඩුවක් ලෙස සලකා ලේක්හවුසියට එල්ල වී තිබෙන චෝදනා සලකා බැලීමේ වගකීම පුවත්පත් මණ්ඩලය වෙතත්, ස්වාධීන රූපවාහිනියට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා විභාග කිරිමේ වගකීම මානව හිමිකම් කොමිසම වෙතත් යොමු කළේය. ඒ නඩුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ විජෙිදාස රාජපක්ෂ මහතාය. ඔහු මංගල සමරවීර හා එස්.බී. දිසානායක යන ඇමතිවරුන් දෙදෙනාගේ ද නීති උපදේශකයා වන්නා සේ ම මංගල සමරවීර මහතා යටතේ ඇති පුවත්පත් මණ්ඩලයට මංගල සමරවීර මහතා විසින් සභාපති වශයෙන් පත් කරන ලද පුද්ගලයා ද වන්නේය. මානව හිමිකම් කොමිසන් සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් ද මංගල සමරවීර මහතා යටතේ ඇති ආයතනවල දේශපාලන පත්වීම්ලාභීන්ය. අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මංගල සමරවීර ඇමතිවරයා යටතේ ඇති ආයතන දෙකකට එරෙහිව පවරන ලද නඩුව එය හරියට මංගල සමරවීර ඇමතිවරයාට එරෙහිව පවරන ලද නඩුවක් විමසීමට මංගල සමරවීර මහතා පවත්වාගෙන යන විශේෂ වර්ගයකට අයත් අර්ධ අධිකරණ ආයතන දෙකකට බාරදිමකට සමානය.

මේ නිසා සාහසික මංකොල්ලයක් මගින් මේ මැතිවරණය ජයගැනීමට පොදු පෙරමුණ සමත් වුවහොත් අධිකරණය මගින් එය නිවැරදි කරගැනීමේ ඉඩක් නොපවතී. එහි තේරුම වන්නේ රට ඉන්නේ අරාජිකත්වයකට වැටෙන්නට ඔන්න මෙන්න කියන තැනක බවය.