පක්ෂ නායකයින්ගේ බූදල් බවට හැරී ඇති පක්ෂ අරමුදල්

October 29, 2026
Publication:
Even a small funeral aid society in a village gives its members an account of what it took in and what it spent. Parties that handle hundreds of millions give their annual accounts neither to their members nor even to their own highest bodies. Every party has a treasurer and he is there in name only: the leader handles the money, the leader alone knows what the funds are, and no member may ask.

ගමේ තිබෙන පුංචි අවමංගල්‍ය ආධාර සමිතියක් වුවත් සිය සාමාජිකයන්ට ගිනුම් වාර්තා ඉදිරිපත් කරයි. සමිතියට ලැබුණු ආදායම් හා වියදම් පිළිබඳ ලේඛනයක් සිය සාමාජිකයින්ට ලබාදෙයි.

එහෙත් කෝටි සිය ගණනින් ගනුදෙනු කෙරෙන පක්ෂ, සිය සාමාජිකයින්ට තබා පක්ෂයේ ඉහළම මණ්ඩලවලටවත් එහි වාර්ෂික ගිණුම් වාර්තා ලබාදෙන්නේ නැත. සෑම පක්ෂයකම භාණ්ඩාගාරිකවරයෙක් සිටී. එහෙත් පක්ෂවල ඔහු ඉන්නේ නමට පමණය. මුදල් විෂය හසුරුවන්නේ භාණ්ඩාගාරික නොව පක්ෂ නායකයාය. පක්ෂයේ අරමුදල් පිළිබඳ විස්තර දන්නේ පක්ෂ නායකයා පමණය. පක්ෂ සාමාජිකයන් තබා ඉහළම මණ්ඩලවල සාමාජිකයින්වත් පක්ෂයේ ආදායම් වියදම් පිළිබඳ විස්තර තමන්ට දැනගැනීමට අයිතියක් ඇතැයි කල්පනා නොකරයි. රටේ මුදල් නීතිය අනුව සියලු පුද්ගලයින් හා සංවිධාන තමන් උපයන ආදායම් අනුව ආදායම් බදු ගෙවීමට නීතියෙන් බැඳී සිටී. එහෙත් ඒ නීතිය දේශපාලන පක්ෂවලට පමණක් අදාළ නැත.

මා මීට කලකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයෙකුගෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයටවත් ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ දැයි විමසා සිටියෙමි. තමා දීර්ඝ කාලයක් තිස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරන මුත් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ආදායම් හා වියදම් පිළිබඳ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ නැති බව ඔහු ඊට දෙන ලද පිළිතුර විය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ගිණුම් වාර්තා තමන්ට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නොසිටියේ ඇයිද යන්න ප්‍රශ්න කළවිට ඔහු ප්‍රශ්නයට කිසිම පිළිතුරක් නුදුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් කිසිවක් නොතේරෙන පුංචි බබ්බුන් ලෙස සැලකිය නොහැකිය. එවැනි තොරතුරු දැනගැනීමේ අයිතියක් තමන්ට ඇති බව ඔවුන් දනී. එහෙත් එය තමන්ට අවතීර්ණ විය නොහැකි තහනම් ප්‍රදේශයක් බව ද ඔවුන් දනී. එවැනි තැන්වලට අතගසන්නට ගොස් අත පුච්චා ගැනීමට ඔවුන් සූදානම් නැත.

මෙය එක්සත් ජාතික පක්ෂයට පමණක් ආවේණික ලක්ෂණයක් නොව සියලු දේශපාලන පක්ෂවලට ආවේණික පොදු ලක්ෂණයකි. පක්ෂවල පවතින දේශපාලන සංස්කෘතිය අනුව එම තොරතුරු දැනගැනීමේ අයිතිය ඇත්තේ පක්ෂ නායකයාට පමණය.

පක්ෂවලට ලැබෙන ආදායම් විශාලය. විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී ආධාර ලෙස ගලා එන මුදල්වල ප්‍රමාණය අතිවිශාලය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප එක් අපේක්ෂකයකු සඳහා වියදම් වශයෙන් ගෙවන ලද මිල රුපියල් මිලියනයකි. මුළු අපේක්ෂක සංඛ්‍යාව 200ක් ලෙස සැලකුවද ඒ සඳහා දරා තිබෙන වියදම රුපියල් ලක්ෂ 2000කි. ඊට අතිරේකව විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළ කෙරෙන දැන්වීම් සඳහා ද තමන් ලක්ෂ 5000ක් පමණ වැය කළ යුතුය. එවිට සමස්ත වියදම ලක්ෂ 10,000කට ආසන්න විය හැකිය.

රාවයේ පළවූ පුවතකට අනුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට ඩොලර් මිලියන 3ක් (රුපියල් ලක්ෂ 3000ක්) ක් ද, ශ්‍රීලනිපයට ඩොලර් මිලියන 2ක් (රුපියල් ලක්ෂ 2000ක්) ද, ජනතා විමුක්ති පෙරමුණට ඩොලර් මිලියන 1ක් (රුපියල් ලක්ෂ 1000ක්) ද ඉන්දියාවෙන් ලැබුණේය. විදේශ මට්ටමෙන් ලැබෙන ආධාරවල ප්‍රමාණය පිළිබඳ දළ චිත්‍රයක් ඒ මගින් ඇති කරගත හැකිය.

මැතිවරණවලදී ප්‍රධාන දේශපාලන පක්ෂවලට වැඩියෙන්ම ආධාර ලැබෙන්නේ මතභේදයට හේතුවී තිබෙන විදේශ සමාගම්වලිනි. ඊළඟ ලොකුම පරිත්‍යාගශීලීන් බවට පත්වන්නේ කැසිනෝකාරයින් වැනි කළු සල්ලිකාරයින්ය.

94 පාර්ලිමේන්තු මැතිවරණයේදී රුපියල් මිලියනයක් හෝ ඊට වැඩි පරිත්‍යාගශීලීන්ගේ පෝලිමක් දැක බලාගැනීමේ අවස්ථාව මට ලැබුණි. මා දන්නා වාමාංශික පවුල් පසුබිමකින් පැවත එන ව්‍යාපාරිකයෙකුට 94 දකුණු පළාත් සභා මැතිවරණයේදී රුපියල් ලක්ෂ හතක ආධාරයක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දීමට අවශ්‍ය වුවත්, ඇගේම ප්‍රමාද දෝෂයක් නිසා එය දෙන්නට නොහැකිවී ඊට තවත් ලක්ෂ 3ක් එකතු කොට 94 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇයට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට ඔහුට අවශ්‍ය වී ඔහු ඒ බව මට කියා ඒ සඳහා ඇගෙන් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහුට ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග දැන හැඳුනුම්කම් තිබුණි. ඒ නිසා ඔහුටම ඇයට කතා කර දිනයක් හා වේලාවක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියත්, ඔහු ඊට එකඟ නොවීම නිසා ඊට මැදිහත් වෙන්නට මට සිදුවිය.

ඇය ඊට පසුදිනයට බලපාන ආකාරයට වේලාවක් දී ඇයට මා ද හමුවීමට අවශ්‍ය බැවින් ඔහු සමග මට ද එහි එන ලෙස කියා සිටියාය.

දෙන ලද ස්ථානය වී තිබුණේ විපක්ෂ නායක නිල නිවසයි. මා එම පුද්ගලයා සමග එහි යන විට එවැනි පාර්සල් අත තබාගෙන සිටින පිරිසක් පහත මාලයේ සිටියේය. අපි ඉහළ මාලයට ගොස් ඇය හමුවීමු. ඇය මාගේ මිත්‍රයා පිළිගෙන ඔහු විසින් දෙන ලද පාර්සලය සැටියේ පුටුවක් මත තබා විනාඩි දෙක තුනකට සීමාවන ලෙස ඔහු සමග කතා කොට ඔහු ආපසු හරවා හැරියේය. මා සමග කතා කරන්නට තිබෙන නිසා මුදල් ලබාගැනීමේ කටයුතු අවසන් වන තෙක් එහි රැඳී සිටින ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. මම ඉදිරියේ ඇති කාමරයකට වී අසුන් ගත්තෙමි. කාමරේ දොර බාගෙට වසා තිබුණ බැවින් එහි එන පරිත්‍යාගශීලීන්ට මා දැකීමේ හැකියාවක් නොතිබුණද, ඔවුන් දැක්මේ හැකියාව මට ලැබී තිබුණි. පහළ මාලයේ සිටින පරිත්‍යාගශීලීන් අනුපිළිවෙළ අනුව ඉහළ මාලයට එවන ලද්දේ අනුරුද්ධ රත්වත්ත මහතා විසිනි. එහි එන පුද්ගලයා හෝ කණ්ඩායමට ඇතුළත් පුද්ගලයන් කිහිපදෙනා පිළිගෙන ඔවුන්ගෙන් ලැබෙන මුදල් පාර්සලය බාර ගෙන ඉක්මනින් ඔවුන් ආපසු හරවා යවන ලදි. ඉන්පසු ඊළඟ පුද්ගලයා හෝ කණ්ඩායම පැමිණේ. පැමිණි පුද්ගලයන්ට ආචාර කොට ඔවුන් දෙන පාර්සලය භාරගැනීමත් එම පාර්සලය සැටිය මත තබා කෙටි පිළිසඳරක යෙදීමත් සිදුවූයේ එකම ආකාරයකටය. ලැබෙන පාර්සල්වල තරම අනුව එය මිලියනයක් හෝ ඊට වැඩි පරිත්‍යාග සඳහා වෙන් කෙරුණු දිනයක් බව පෙනෙන්නට තිබුණි.

මෙම සන්දර්ශනය අවසන්වීමට පැය දෙකක පමණ කාලයක් ගතවී යැයි කිව හැකිය. අවසාන පරිත්‍යාගයකින් පසුව අනුරුද්ධ රත්වත්ත මහතා ඉහළ මාලයට පැමිණි අතර, මට ද පිටතට එන ලෙස අඬගැසීම නිසා මම ද පිටතට ආවෙමි. සැටියේ ඇති ලොකු පුටුවේ පාර්සල් ගොඩ ගසා තිබුණි. එහි පාර්සල් 20ක් හෝ 25ක් පමණ තිබෙන්නට ඇත.

අනුරුද්ධ හා මා සිනාසෙමින් ඇය අසල වාඩිවූ විට ඇයට යමක් හදිසියේ මෙන් මතක් වී ඒ ගැන අනුරුද්ධගෙන් ප්‍රශ්න කළේය. ඒ ඊට දින දෙකකට පෙර තමන් එවැනි පරිත්‍යාගශීලීන් පිරිසක් ඇය එම ස්ථානයට එවා තිබුණ ද, කුමන හේතුවක් නිසා හෝ ඇයට එහි එන්නට හැකිවී නැත. ඇයට අනුරුද්ධගෙන් දැනගන්නට අවශ්‍ය වූයේ ඒ ලැබුණු මුදල්වලට කුමක් වීද යන්නයි.

එකල අනුරුද්ධ නැවතී සිටියේ විපක්ෂ නායක නිල නිවසේය. ඔහු ඇය සිය කාමරයට කැන්දාගෙන ගොස් එහි තිබු ලොකු අල්මාරි දෙකෙන් එකක් විවෘත කොට එම අල්මාරියේ පිළිවෙළකට ගොඩ ගසා තිබුණු මුදල් පාර්සල් ඇයට පෙන්නුවේය. පසුව ගෙනියන තෙක් එදින ලැබුණු මුදල් පාර්සල් ද එහිම තබන ලෙස ඇය ඔහුට කියා සිටියාය.

ඉන්පසු කාමරයෙන් පිටවී අපි නැවත මුදල් පාර්සල් ගොඩ ගසා තිබූ සැටියේ ඇති අනෙක් පුටුවල වාඩිවීමු.

මේ ලැබුණු මුදල් වෙනුවෙන් ඔවුන්ට ආපසු දෙන්නේ මොනවාදැයි මා නිකමට මෙන් ඇගෙන් අසා සිටියෙමි. ඒ ප්‍රශ්නය ඇගේ සන්තෝෂයට හේතු නොවීය.

“මම ඉල්ලලා නෙවෙයි නේ ගත්තේ.”” ඇය ඔලොක්කුවට මෙන් කීවාය. ““ඒගොල්ලො දුන්නා. මම ගත්තා. මුදල් අපිට මේ වෙලාවේ අවශ්‍යයි.”” ඇය කියාගෙන ගියාය.

මෙම මුදල් ලබාගැනීමේදී මුදල් දෙන ලද අය කව්ද, ඔවුන් දෙන ලද මුදල් ප්‍රමාණය කොපමණද යන විස්තර සටහන් කරගැනීමක් සිදු නොවීය. හැම ප්‍රධාන පක්ෂයකටම මුදල් ලැබෙන්නේ මීට සමාන ආකාරයකටය. දින යොදන්නේ පරිත්‍යාගශීලීන්ගේ තරාතිරම හා ඔවුන් දෙන මුදල් ප්‍රමාණ අනුවය. 10 ලක්ෂයකට අඩු පරිත්‍යාග සඳහා එක් දිනයකි. දශ ලක්ෂයේ සිට දශ ලක්ෂ 5 දක්වා තවත් දිනයකි. ඊට වැඩි නම් තවත් දිනයකි. සිරිතක් ලෙස කරන්නට යන පරිත්‍යාගයේ තරම පරිත්‍යාගශීලීන් විසින් දැනුම් දේ. ඒ නිසා ලැබෙන පරිත්‍යාගයේ ප්‍රමාණය අනුව දින යොදා ගැනීම අපහසුවන්නේ නැත.

94 ජනාධිපතිවරණයට ලොකුම පරිත්‍යාගය ලැබී ඇත්තේ හැරී ජයවර්ධනගෙනි. ඔහු විසින් දරන ලද වියදම මිලියන 40කි. හැටන් නැෂනල් බැංකුව මිලියන 10කි. විවාදයට හේතුවී තිබූ ප්‍රීමා සමාගමෙන් මිලියන 10කි. ජෝන් කීල්ස් මිලියන 05කි.

94 පාර්ලිමේන්තු මැතිවරණයේදී හා 94 ජනාධිපතිවරණයේදී ඇයට ලැබුණු මුදල් ආධාරවලදී ඇයට සමීපව ක්‍රියා කළ පුද්ගලයකු මා සමග ප්‍රකාශ කළ ආකාරයට ඇය 94 පාර්ලිමේන්තු මැතිවරණයට ලැබුණු ආධාර නිර්ලෝභීව වියදම් කළාය. එහෙත් ජනාධිපතිවරණය වන විට ඇය ක්‍රීඩාව හඳුනාගෙන තිබුණේය. ලැබුණු ආධාරවලින් අඩක් පමණ ඇය ඉතිරි කොට ගත්තාය.

බණ්ඩාරනායක මැතිනියට ඉතාමත් සමීප පුද්ගලයෙකු සමග 1991දී පමණ මම මෙම අරමුදල් පිළිබඳ විෂය සාකච්ඡා කොට ඇත්තෙමි. බණ්ඩාරනායක මැතිනිය ස්වභාවයෙන්ම මුදල් වැය කිරීමට ලෝබ බවත්, මැතිවරණයට ලැබෙන ආධාරවලින් අඩක් පමණ ඊළඟ මැතිවරණයට වියදම් කිරීම සඳහා ඉතුරු කරගන්නා බවත් කියා සිටියාය. එහි තේරුම ඊළඟ මැතිවරණයට ලැබෙන මුදල් ඇය බාර නොගන්නා බවදැයි මම අසා සිටි විට ඔහු සිනාසුණා මිස මට කිසිදු පිළිතුරක් නුදුන්නේය.

1982 ජනාධිපතිවරණයට අදාළව ගාමිණී දිසානායක මහතාගෙන් අසන්නට ලැබුණු අපූරු කතාවක් මෙසේය. ජේ.ආර්. ජයවර්ධන එම ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා සිය හිතවත් ව්‍යාපාරිකයෙකුට කෝස්ටික් සෝඩා සඳහා ටෙන්ඩරයක් ලබා දුන්නේය. මේ නිසා එම ව්‍යාපාරිකයා එකවර ගෙන්වන ලද කෝස්ටික් සෝඩා ප්‍රමාණය එක වසරකට නොව වසර පහකට පමණ ප්‍රමාණවත් විය.

එකල ජනමාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට ජනාධිපති ප්‍රේමදාස මහතා මිය යන අවස්ථාව වන විට සුචරිතයේ රුපියල් කෝටි 35ක වටිනාකම ඇති මුදල් නෝට්ටු තිබුණේය. රුපියල් දහසේ නෝට්ටුවලින් යුතු රුපියල් ලක්ෂයේ බන්ඩල් වශයෙන් පිළියෙළ කර තිබුණු එම මුදල් තොගය බහා තිබී ඇත්තේ විශාල ට්‍රන්ක් පෙට්ටියකය. සුචරිතයේ තිබූ මෙම මුදල් සහිත ට්‍රන්ක් පෙට්ටිය පක්ෂය වෙනුවෙන් භාරගෙන ඇත්තේ සිරිසේන කුරේ හා රනිල් වික්‍රමසිංහ යන නායක දෙපළ විසිනි. එය 94 පාර්ලිමේන්තු මැතිවරණය හා ඉන්පසු පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සූදානම් කර තබන ලද මුදල් බව ද සමහර අයගේ විශ්වාසය විය. මැතිවරණයකට යන වියදම පිළිබඳ දළ චිත්‍රයක් ඒ මගින් ද ඇති කරගත හැකිය.

පක්ෂ අරමුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය පක්ෂ නායකයින් දූෂණයට පොළඹවයි. සියලු පක්ෂ නායකයින්ට මුදල් ලැබෙන්නේ කළු සල්ලි වශයෙනි. ඒවා විධිමත් ලෙස ලේඛනගත කිරීමක් සිදු නොවේ. පක්ෂ නායකයා ලැබෙන මුදල්වලට, මුදල් පරිත්‍යාග කරන පුද්ගලයාට, පක්ෂයට හෝ මහජනතාවට වගකිවයුතු නැත. ලැබෙන ආධාරවලින් අවශ්‍ය නම් කිසියම් පංගුවක් පෞද්ගලික පරිහරණය සඳහා වුවද යොදා ගත හැකිය.

බටහිර යුරෝපයේ පමණක් නොව ඉන්දියාව වැනි රටවල් පවා මැතිවරණ අරමුදල් සඳහා නීති රීති පවතී. එහෙත් අපේ රටේ ඒ සඳහා කිසිම නීතියක් ඇත්තේ නැත. නීති සම්පාදනයේ වගකීම තිබෙන්නේ ද පක්ෂ නායකයන්ටය. ඔවුන් හිතාමතාම මේ විෂයට අදාළ නීති සම්පාදනයෙන් වැළකී සිටිනවා විය හැකිය.

නායකත්වයේ සිටින පුද්ගලයින් නායකත්වය අතහැර යෑමට මැලිකමක් දක්වන හේතු අතර මෙය ද එක හේතුවක් විය හැකිය. ප්‍රධාන පක්ෂයක නායකත්වය ලැබීම සල්ලි ඉල්ලමක් ලැබුණා හා සමානය. එවැනි සල්ලි ඉල්ලමක අයිතිය ලැබුණු විට එම සල්ලි ඉල්ලමේ අයිතිය අත්හරින්නට කැමති වන්නේ කව්ද? පසුගිය වසර 05ක් වැනි කාලසීමාවක් සඳහා පක්ෂයට ලැබුණු ආදායම් හා වියදම් පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස පක්ෂ නායකයන්ට බලකළ යුතුය. මේ වැරදි සම්ප්‍රදාය පරාජය කළ හැකිවනු ඇත්තේ පක්ෂ නායකයන් ලැජ්ජාවට පත්කිරීමෙන් පමණය. •

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගැටුමට යන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගැටුමක් ඇති කරගන්නා තැනකට තල්ලු වී යමින් සිටින බව පෙනේ. විවිධ සීමාසහිතකම් තිබුණ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක රටවල් නියෝජනය කරන ජගත් සංවිධානය වේ. ශ්‍රී ලංකාව ද එහි සාමාජික රටකි. එහි එක් සාමාජික රටක් වශයෙන් අපි එම සංවිධානයේ විවිධ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අත්සන් තබා තිබෙන අතර, තවදුරටත් සාමාජික රටක් වශයෙන් එහි රැඳී සිටීමට නම් ඇති කරගෙන තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට ගරු කිරීමේ වගකීම අප රට සතු ය. ඇති කරගෙන තිබෙන විවිධ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව එම ප්‍රඥප්තීන්ට පටහැනිව කරුණු සිදුවන අවස්ථාවල දී මැදිහත්ව ක්‍රියාකිරීමේ බලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තිබෙන අතර, එවැනි අවස්ථාවල දී සංයමයකින් ඒවාට මුහුණ දීමට අප උත්සාහ කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්නද්ධ ගැටුම් තුළ ළමුන් පිළිබඳ විශේෂ නියෝජිත ඇලන් රොක් කරුණා පාර්ශ්වයට හා යුද්ධ හමුදාවට අදාළව කරන ලද ප්‍රකාශයක් මහත් විවාදයට හේතුවී තිබෙන අතර, ඔහුට කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට යෑම රටේ ගෞරවයට හේතුවන්නේ නැත.

ළමුන් බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීම පිළිබඳව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ වරද එල්ටීටීඊයට අතිරේකව කරුණා පාර්ශ්වය විසින් ද කරන බවට පිළිගත හැකි සාක්ෂි තමන්ට තිබෙන බවත්, එහි දී ආණ්ඩුවේ හමුදා කරුණා පාර්ශ්වයට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කර තිබෙන බවත් ය.

ළමුන් හමුදා සේවයට යොදා ගැනීම සන්නද්ධ අරගලයක් ඇති ඕනෑම රටක නිල නොවන හමුදා පවත්වාගෙන යන ජනප්‍රිය ප්‍රතිපත්තියකි. යුද්ධයට අවශ්‍ය මිනිසුන් ලබාගත හැකි පහසු ම ක්‍රමය වන්නේ එයයි. එය එල්ටීටීඊය විසින් පවත්වාගෙන යන ජනප්‍රිය ක්‍රමයක් වන අතර, එල්ටීටීඊයට එරෙහිව සටන් කරන නිල නොවන හමුදා ද ඒ ක්‍රමය යොදා ගන්නේ නම් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේ නැත. ජේවීපීය ද 86-87 කැරැල්ලේදී ළමුන් යොදා ගත්තේ ය. ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය සේ ම, මාඕ සේතුගේ කොමියුනිස්ට් පක්ෂය යුද්ධ ව්‍යාපාර සඳහා ළමුන් යොදා ගත්තේ ය.

කෝපයෙන් ප්‍රතිචාර දක්වනවාට වඩා ඇලන් රොක් යුද්ද හමුදාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සත්‍යයක් දැයි සොයා බලා එවැනි වරදක් සිදුවී ඇත්නම් ඒ වරද නිවැරදි කිරීම රටේ ගෞරවයට හේතු වේ.

යාපනේ පවතින මානුෂික අර්බුදය හා රටේ පවතින මානව හිමිකම් තත්ත්වය කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වී තිබෙන කණස්සල්ල පුදුමයට හේතුවිය යුතු තත්ත්වයක් ලෙස සැලකිය නො හැකි ය. එය සන්නද්ධ ගැටුමක් පවතින ඕනෑම රටක සාමාන්‍යයෙන් ඇතිවිය හැකි තත්ත්වයකි. සියලු පිළිගත් මූලධර්ම අකුරට ම පිළිපදිමින් යුද්ධ කිරීමේ හැකියාවක් දෙපාර්ශ්වයට ම නැත. එහෙත් ඒ නිසා සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යුක්තිසහගත වන්නේ නැත. මෙවැනි ගැටුමක දී සිදුවන එවැනි වැරදි අවම තත්ත්වයකට ගැනීම දෙපාර්ශ්වයේ ම වගකීමකි.

රටේ ඇතිවී තිබෙන අර්බුදයට වගකිවයුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර ප්‍රජාව වැනි පිටස්තරයින් නොව අපම ය. රටේ පවතින අර්බුද අභ්‍යන්තරික වශයෙන් සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට අසමත් වූ විට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් හා මැදිහත්වීම් ඇතිවේ. එම තත්ත්වය අවම කරගත හැකිවනු ඇත්තේ අපේ රටේ පවතින අර්බුද අප විසින් ම විසඳා ගන්නා තැනකට යාමෙන් පමණ ය.

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ විශේෂ නියෝජිතයාටවත් නැවත සාකච්ඡා ආරම්භ කරන තැනකට මෙම දෙපාර්ශ්වය ම ගෙන ඒමට හැකි වේ නම්, යුද්ධයක් නැවත ඇතිවීමේ අවදානම ජයගැනීමට රටට හැකි වන්නේ ය. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය ම අන්තවාදී ආකල්පවලින් අත් මිදී සාමකාමී ලෙස ප්‍රශ්න විසඳා ගන්නා තැනකට ආ යුතු ය.