දැන් පොදු පෙරමුණු ආණ්ඩුව දක්කන ප්රධාන හා එකම පුද්ගලයා බවට පත්ව සිටින්නේ එස්.බී.ය ජනාධිපතිනිය තමන්ගේ සමස්ත දේශපාලන පැවැත්ම බාරදි තිබෙන්නේ ද ඔහුටය.
මීට සති දෙකකට පෙර පැවති පුවත්පත් සාකච්ඡාවකදි ඔහු ශ්රීලනිපයේ සිටින ජේයෂ්ඨතම පුද්ගලයකු ලෙස සැලකිය හැකි ලක්ෂ්මන් ජයකොඩි ගැන අනියම් ලෙස අනාවැකියක් පළකර තිබේ. එහිදී සංස්කෘතික කටයුතු වැනි කටයුතු කරන නෝන්ජල් අකාර්යක්ෂම අයට අනාගතයක් නැති බව ප්රකාශ කර සිටියේය. එය සැබෑවීමට ගතවූයේ දින කිහිපයක් පමණය. ඊට පෙර ඔහු රිචඩ් පතිරණ මහතා සහභාගි නොවූ ගාල්ලේ පැවති රැස්වීමකදි රිචඩ් පතිරණ පිළිබඳව ද අනියම් ලෙස අනාවැකියක් කීවේය. අනාගතයේ ගොඩ නගන්නට යන ඇමති මණ්ඩලයට එක එක වර්ගවල ලෙඩ ඇති ඇමතිවරුන් ඇතුළත් කර නොගන්නා බව ඔහු ප්රකාශ කර සිටියේය. එම අනාවැකිය ද ඉදිරියේ සනාථ වනු ඇතැයි සිතිය හැකිය.
ධර්මසිරි සේනානායක මැතිවරණයට පෙර අභාවප්රාප්ත නොවූයේ නම්, ලක්ෂ්මන් ජයකොඩිට වූ දේ වෙන්නට සිටි තවත් පුද්ගලයකු වූයේ ඔහුය. වඩා ජේයෂ්ඨ අය සිටියදි,ී එස්.බී. මංගල වැනි ජේයෂ්ඨ නොවන පුද්ගලයන්ට විශාල ඇමතිකම් දෙනවාට කැබිනට් මණ්ඩලය නම් කරන අවස්ථාවේදි ධර්මසිරි විරුද්ධ වුයේය. ධර්මසිරිගේ අවසානයෙහි ආරම්භය ද එයම විය. ඉන්පසු ධර්මසිරිට ලබාදි තිබුණු ජනමාධ්ය ඇමතිකමින් ද ඔහු විසිවී ඒ තැනට මංගල පත්විය.
එස්.බී. තැන් තැන්වල ප්රකාශ කර ඇති පරිදි අනුරුද්ධ රත්වත්තට වැඩිම වුවහොත් ඊළගට ලැබෙනු ඇත්තේ කථානායක ධුරය වැනි තනතුරකි. ජී.එල්. පීරිස්ට සමාජ සේවා ඇමතිකමය. මහින්ද රාජපක්ෂට බුද්ධ ශාසන ඇමතිකමය.
ලක්ෂ්මන් ජයකොඩි වැන්නෙකු පොදු පෙරමුණු ආණ්ඩුවේ නව රිද්මයට නොගැලපෙන කෙනෙකු වූවා සේම කේසරලාල් ගුණසේකර ද එම රිද්මයට නොගැලපුණේය. දැන් පොදු පෙරමුණට වඩාත්ම ගැලපෙන පුද්ගලයන් බවට පත්ව සිටිනුයේ තැන්පත්කමක් ඇති මිනිසුන් නොව හොඳින් බැරීනම් නරකින් කරන්නට හයියක් ඇති මිනිසුන්ය.
පොදු පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ලොකුම පංගුව ලැබී ඇත්තේද එස්.බී.ටය. එස්.බී.ගේ බිරීඳගේ සහෝදරයා විවාහ කොට ගත්තේ සණස ව්යාපාරයේ ප්රධානියා ලෙස ක්රියාකරන කිරිවන්දෙනියගේ දුවකි. ඒ නිසා ඔහුට ජාතික ලැයිස්තුවේ අපේක්ෂකත්වයක් ලබාගත හැකිවිය ආනන්ද ගුණතිලක එස්.බී. ගේ නීති උපදේශකයාය. ජාතික ලැයිස්තු සලාදය වර්ණවත් කිරීම සඳහා යොදාගත් නාමයක් ලෙස සැලකිය හැකි රෝහණ වීරසිංහගේ නම යෝජනා වී ඇත්තේ ද එස්.බී.ගෙන්ය.
ජනාධිපතිනියගේ දෙවැනි ජයග්රහණයේ නියමුවා වන්නේ එස්.බී.ය. ඒ වෙනුවෙන් ජනාධිපතිනිය ඔහුට ණය ගැතිය. මෛත්රීපාල සිරිසේන නොසලකා එස්.බී.ට පක්ෂ ලේකම්කම දුන්නේ ද ඒ වෙනුවෙන්මය. ජනමාධ්ය ඇමතිකමට සේම අගමැතිකමට ද එස්.බී.ට කැමැත්තක් තිබුණේය. මංගල ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු වුවත්, ජනමාධ්ය විෂය ඔහු නොදන්නා බවත් එම විෂය තමන්ට දෙන්නේ නම් හොඳ වැඩ කොටසක් කිරිමේ හැකියාව තමන්ට ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදිම ජනාධිපතිනිය වෙත ප්රකාශ කර තිබුණි. එහෙත් තමන්ට සිටින වඩාත්ම විශ්වාසවන්ත සගයාගේ හිත් රිදවන එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිනිය කැමති නොවීය. අගමැතිකමටද ඔහුට ආශාවක් තිබුණි. එහෙත් එවැනි පියවරක් පක්ෂය තුළ බලවත් කැළඹීමක් ඇති කිරීමට හේතුවිය. හැකි නිසා ජනාධිපතිනියට ඔහු අස්වැසීමට සිදුවිය. එහෙත් රත්නසිරි වික්රමනායක මහතා අගමැතිකමට පත්කර ඇත්තේ තාවකාලිකවය. වික්රමනායකගෙන් පසුව අගමැති ධුරය දි.මු.ට දෙන බවට ජනාධිපතිනිය පොරොන්දු වී ඇතත්, එය එසේ වනු ඇතැයි සිතිය නොහැකිය. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදිත් හොඳ ප්රතිඵල පෙන්නුම් කිරීමට එස්.බී. සමත් වුවහොත් එස්.බී.ට ඊළග ආණ්ඩුවේ අගමැතිකම ද ලැබිය හැකිය.
ජනාධිපතිනිය ජනතාව කෙරෙහි වෙනුවට එස්.බී. දිසානායක වැනි බාහු බලයෙන් ක්රියාකරන්නට සූදානම් සුළු පිරිසක් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ඇති බව පෙනේ. බාහු බලයෙන් පමණක් යාහැකි දුරක් ඇතත්, එම දුරෙහි සීමාවක් ද පවතී. පොදු පෙරමුණු ආණ්ඩුව මේ ගමන් ගනිමින් තිබෙන දිසාව මහජනයාට පමණක් නොව. පොදු පෙරමුණේ බොහෝ අයට ද ප්රශ්නයක් වී තිබේ. ඔවුන් මේ නැඹුරුව දකින්නේ ජුන්ටා පාලනයක් කරා යන කැත ගමනක් ලෙසය.
පොදු පෙරමුණේ ඇතැම් අයට නාමයෝජනා ලැබෙන තෙක් නාමයෝජනා ලැබේද නැද්ද යන ප්රශ්නයක් තිබුණි. දැන් ඔවුන්ට තිබෙන ඊළග ප්රශ්නය වී ඇත්තේ මැතිවරණයෙන් තමන් ජය ලැබූවත් තමන්ට වෙන්න යන්නේ කුමක්ද යන විමතියි. දෙවැනි වර ලබන ජයග්රහණයක් රටේ ජනතාවට පමණක් නොව, තමන්ටද බිහිසුණු අත්දෑකීමක් විය හැකි බව ඔවුහු දනිති. ඔවුන් තුළ වර්ධනය වෙමින් පවතින බිය තවදුරටත් විධායක ජනාධිපති ආණ්ඩු ක්රමයක් අවශ්ය නැතැයි සිතන තැනකට ඔවුන් තල්ලු කිරීමට හේතුවී තිබෙන අතර,, සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාගයක් ඒ නිසා ඇතිවිය හැකි අවසාන ප්රතිඵලය විය හැකිය.
ප්රධාන පක්ෂ දෙකෙන් එකම පක්ෂයකටවත් මේ මැතිවරණයේදි පැහැදිලි ජයග්රහණයක් ලැබිය නොහැකිය. ළග ළග තරගයකින් කුමන පක්ෂයක් දිනුවත් අන් පක්ෂවල සහාය නැතිව ආණ්ඩුවක් ඇති කළ නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකිය. එජාපය ජය ගතහොත් පොදු පෙරමුණට අන් පක්ෂ සමග ඔවුන් ගොඩ නගන ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට සිදුවනු ඇති අතර පොදු පෙරමුණ ජයගත්තද සිදුවනු ඇත්තේ එයමය. ඒ නිසා කවර පක්ෂයක් දිනුවත් ජවිපෙ පෙරමුණ වැනි අන් පක්ෂවල එකගතාව ලබාගැනීම සඳහා විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා එකගත්වයක් ඇතිකර ගැනීමට සිදුවීම නොවැළැක්විය හැකිය. ඒ අර්ථයෙන් සියලුදෙනා එකතු කරන පොදු කොන්දේසිය එය වනු ඇත්තේය. එහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ කවුරු දිනුවත් ජනාධිපති පරාජය වීමය.