මා මේ මෑත දිනකදී රාවය සහයෝගිතා ව්යාපාරයේ උද්යෝගිමත් ක්රියාකරුවකු වූ ආචාර්ය උදාන් ප්රනාන්දුගේ පෙළඹීම නිසා ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලය කෙරෙහි වැඩියෙන්ම බලපෑ විදුහල්පතිවරයා ලෙස සැලකිය හැකි ඩබ්ලිව්.ජේ.ටී. ස්මෝල්ගේ චරිත කතාව කියවීමි. ඔහු ජේම්ස් ඩැරල්ගේ අනුප්රාප්තිකයාය. ඩැරල් එතෙක් රිච්මන්ඩ් විද්යාලයේ ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කළ විදුහල්පතිවරයාය. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ඒ අඩුව පිරවීමට සුදුසු විදුහල්පතිවරයෙකු තමන්ට නොලැබෙනු ඇතැ”යි කියන අපේක්ෂාභාංග හැඟීම්වලින් එම විද්යාලයේ ශිෂ්යයන් වෙලාගෙන සිටින අවස්ථාවකදී ස්මෝල් ඔවුන් අතර වඩා හොඳ අලුත් බලාපොරොත්තු ඇති කළේය. මේ දෙදෙනාම බ්රිතාන්ය ජාතික මෙතෝදිස්ත පූජකයන් වූහ. ස්මෝල් කේම්බ්රිජ් උපාධිධාරියෙකි. ඔහු දේව ගැතිවරයෙක් වුවද දේවධර්මයට සීමා නොවූ විද්යා උපාධිධාරියෙකු විය. ඉංග්රීසි භාෂාව හැරුණු විට ලතින්, ග්රීක්, ප්රංස හා ජර්මන් යන භාෂාද දැන සිටියේය. ගණිතය ඔහුගේ ප්රියතම විෂයය විය. ස්මෝල් 1906 සිට 1920 දක්වා එම විද්යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 1926 සිට 1953 දක්වා වෙනත් විවිධ රටවල මිෂනාරී කටයුතුවල නිරතවී 1956 පෙරළිය ආසන්නයේ නැවත ලංකාවට පැමිණ ඉන්පසු මරණය තෙක්ම ලංකාවේ ජීවත් විය.
ස්මෝල් සිය විදුහලේ ශිෂ්යයන් අතර ජාතික අභිමානය ඇති කිරීම සඳහා ජාතික සංගමය නමින් සංවිධානයක් ඇති කළේය. 56 ආගමික හා භාෂාමය විප්ලවය කෙරෙහි බලපෑ ප්රධාන චරිත දෙකක් (පී.ද එස්. කුලරත්න හා එල්.එච්. මෙත්තානන්ද) ස්මෝල් විදුහලේ පවත්වාගෙන ගිය ජාතික අභිමාන ව්යාපෘතියේ උද්යෝගිමත් අනුගාමිකයන් විය. ස්මෝල් ලංකාවට පැමිණ බණ්ඩාරනායකගේ 56 විප්ලවය නරඹමින් සිටි අවස්ථාවේදී ඒ විප්ලවයේ ප්රමුඛ චරිත දෙකක් තමන් පාසලට හඳුන්වා දෙන ලද ජාතික අභිමාන ව්යාපෘතිය නැමති ගර්භාෂයේ හැදුණු අය බව පෙනුණු විට ස්මෝල් තුළ ඇතිවන්නට ඇත්තේ කෙබඳු හැඟීමක්ද යන්න පැහැදිලි නැත. කුමන ආගමකට හෝ කුමන ජාතියකට අයත් වුවද ස්මෝල් ගුරුවරයකු සඳහා පමණක් නොව පැවිදිවරයෙකු සඳහාද දැක්විය හැකි හොඳ ආදර්ශ ප්රතිරූපයක් ලෙස සැලකිය හැකිය. ඔහු අධ්යාපනය සඳහා පූර්ණ කැපවීමක් පෙන්නුම් කරන ලද හා ඉතාමත් සරල හා චාම් ජීවිතයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විය.
නායකයන් හොඳට හෝ නරකට ලබාදෙනු ලබන ආදර්ශනයක් අනුගාමිකයන් කෙරෙහිද බලපායි. මහා ගණයෙහිලා සැලකිය හැකි ශ්රේෂ්ඨ නායකයන් ලබාදෙන ආදර්ශ සමහරවිට සමාජය කෙරෙහි අවුරුදු දහස් ගණනක් බලපායි. ඉවසිය නොහැකි තරමට ගඳගහන රටක තත්ත්වයට පත්ව තිබෙන ශ්රී ලංකාවට ස්මෝල් ලබාදී තිබෙන මහා ආදර්ශයක් මෙසේය.
මෙල් හා රාජපක්ෂ
ස්මෝල් දේවගැතිවරයෙකු වුවද ක්රීඩාවට මහත් සේ ඇලුම් කළේය. ඔහු විද්යාලයේ ක්රිකට් ක්රීඩාවේ වර්ධනය සඳහා අනුපමේය සේවයක් කළේය. එකල රිච්මන්ඩ් විද්යාලයේ ක්රිකට් නායකයා තෝරාගනු ලැබුවේ පාසල් ශිෂ්යයන්ගේ ඡන්දයෙනි. සාකච්ඡාවට ලක් කරන්නට යන මෙම අපූරු සිද්ධිය සිදුවී තිබෙන්නේ 1916දීය. පාසල් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට සිටි සුදුසුම පුද්ගලයා වී ඇත්තේ පෙර වසරෙත් විදුහලේ ක්රිකට් කණ්ඩායම් නායකයා ලෙස ක්රියා කළ ඩී.එම්. රාජපක්ෂය. ඩී.එම්. රාජපක්ෂ 1936 සිට 1948දී මියයන තෙක්ම හම්බන්තොටින් රාජ්ය මන්ත්රණ සභාව නියෝජනය කල රුහුණේ සිංහයා නමින් හැඳින්වුණු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා (පියාගේ සහෝදරයා) ය. ඔහුගේ තරගකරු වුයේ ලංකාවේ ප්රමුඛ ධනවත්ම පවුලකින් පැවත එන ආර්.ඒ.ඩී. මෙල්ය. ඔහු 1940 සිට නිල වාර දෙකක් කොළඹ නගරාධිපති වශයෙන් ක්රියා කළ අතර 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දකුණු කොළඹ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්රීවරයාය. 1948දී ඡන්ද පෙත්සම් නඩුවක් නිසා ඔහුට ඔහුගේ මන්ත්රීකම අහිමි විය.
ආර්.ඒ.ඩී. මෙල්ද දක්ෂ ක්රිකට් ක්රීඩකයකු වුවද ඩී.එම්. රාජපක්ෂට සම මට්ටමේ තැබිය හැකි ක්රීඩකයකු නොවීය. ඔහු ඉතා ධනවත් පවුලකින් පැවත එන්නකුවීම හේතු කොටගෙන ඔහු ක්රිකට් නායකයා තෝරන තරගයට ඉදිරිපත් වන අවස්ථාව වනවිට විශාල වශයෙන් ශිෂ්යයන්ට කෑම බීමෙන් සංග්රහ කිරීමෙන් විදුහලේ ශිෂ්යයන් අතර ජනප්රිය පුද්ගලයකු බවට පත්ව සිටියේය. අවසානයේ ක්රිකට් නායකයා තෝරන තරගයෙන් ඒ තනතුර සඳහා සුදුසුම පුද්ගලයාව සිටි ඩී.එම්. රාජපක්ෂ පරාජය කොට ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්වීමට ඔහු සමත් වී තිබේ.
මෙල්ගේ ජයග්රහණය හා රාජපක්ෂගේ පරාජය විදුහල්පති ස්මෝල් ශිෂ්යයන්ට දැනුම් දෙන ලද්දේ ඒ උද්වේගකර අවස්ථාවට සහභාගි වූ සියලුදෙනා විශ්මයට පත්කරන දැනුම්දීම් ගණනාවක්ද ඇතුළත් වන ආකාරයටය. ඩී.එම්. රාජපක්ෂ පරාජය වී ශිෂ්ය ඡන්දයෙන් ආර්.ඒ.ඩී. මෙල් තේරී පත්ව සිටින බව පළමුවෙන් ඔවුන්ට දැනුම් දුන්නේය. හෙට සිට ඩී.එම්. රාජපක්ෂ රිච්මන්ඩ් විද්යාලයේ අධ්යපානය නොලබනු ඇති බවත් ඒ වෙනුවට කොළඹ වෙස්ලි විද්යාලයට එකතු වනු ඇති බවත් ප්රකාශ කරමින් එම වසරේ රිච්මන්ඩ් ක්රිකට් කණ්ඩායම කිසිම ක්රිකට් තරගයකට සහභාගි නොවනු ඇති බවත් ප්රකාශ කළේය.
විදුහල්පති ස්මෝල් රාජපක්ෂගේ පරාජය කෙරෙහිත් ආර්.ඒ.ඩී. මෙල්ගේ ජයග්රහණය කෙරෙහිත් දූෂණය බලපෑ ආකාරය සියසින් දැක්කේය. මෙල් ජයගත්තේ ඒ තනතුරට සුදුසුම පුද්ගලයා වීම නිසා නොව එම ජයග්රහණය ලබාගැනීම සඳහා අතදිගහැර වියදම් කිරීමට ඔහුට පුළුවන්කම තිබුණු නිසාය. මෙල්ගේ ආගම ක්රිස්තියානි වුවත් රාජපක්ෂ බෞද්ධයකු විය. ස්මෝල් ක්රිස්තියානි දේවගැතිවරයකු වුවද ක්රිස්තියානි ශිෂ්යයකු බෞද්ධ ශිෂ්යයකු යටපත් කරමින් ලබන ලද අයථා ජයග්රහණය ඉවසන්නට ඔහු සූදානම් නොවීය. තමන්ගේ විද්යාලයේ ශිෂ්යයන් යුක්තියට පක්ෂපාත නොවී මෙල්ගේ නිර්ලෝභී සංග්රහයන්ට නතුවී අයුක්තිය ජයග්රහණය කරවීමට දායකවීම ඔහුගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. ඒ වසරේ සිදුකරන්නට නියමිතව තිබුණු සියලු ක්රිකට් තරග අවලංගු කිරීමකින් දූෂණයෙන් නායකත්වයට තේරී පත්වූ පුද්ගලයාට පමණක් නොව එහිදී දූෂණයට නතුවූ ශිෂ්යයන්ටද පාඩමක් ඉගැන්වීය. එකල කොළඹ වෙස්ලි විද්යාලය සලකන ලද්දේ ලංකාවේ තිබුණු සියලු මෙතෝදිස්ත පාසල්වලට තිබුණු මව් පාසල වශයෙනි. ඩී.එම්. රාජපක්ෂ වහාම ක්රියාත්මක වන පරිදි වෙස්ලි විද්යාලයේ අනුයුක්ත කිරීම මගින් ඔහුට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීමක් සිදුකළා පමණක් නොව ඒ මගින් තමන් විදුහල්පති වශයෙන් ක්රියාකරන රිච්මන්ඩ් විද්යාලයට දඬුවම් කිරීමක්ද සිදු කළේය.
මේ මගින් විදුහල්පති ස්මෝල් රිච්මන්ඩ් විද්යාලයට පමණක් නොව රටේ අන් සියලු විද්යාලවලටද ලබාදී තිබෙන ආදර්ශය සැලකිය හැක්කේ ශ්රේෂ්ඨ ආදර්ශයක් ලෙසය. රටට අවශ්යව ඇත්තේ එවැනි නායකයන්ය. රටේ අවාසනාවකට රටට නැත්තේද එවැනි නායකයන්ය.
ක්රමයට නැතිව බැරි අල්ලස හෝ දූෂණය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාපතිවරයාට එල්ල වී තිබෙන චෝදනාව ඉතාමත් බරපතළය. ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා කොතරම් බරපතළ වුවද ඒ ගැන විමර්ශනයකට ඉඩදී ඔහු තාවකාලික අර්ථයෙන් හෝ සිය තනතුර අත්හැර ගියේ නැත. මෙම තනතුරට පුද්ගලයන් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එහෙත් මේ දක්වා ජනාධිපතිවරයා පවා ඒ ගැන කිසිදු ක්රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. මේ ගණයේ තනතුරක් දරන පුද්ගලයකුට විෂමාචාර චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී ඒ ගැන කරුණු සොයා බලා තනතුරෙන් පහ කළ යුතු තරමේ වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් සම්මත කරගැනීම මගින් එවැනි තනතුරු දරන්නන් පහකිරීමේ බලය ඊළඟට ඇත්තේ පාර්ලිමේන්තුවටය. එහෙත් ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහකිරීමට දක්වන ලද හදිස්සිය හෝ කැක්කුම මේ පුද්ගලයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන බවක්ද පෙනෙන්නට නැත.
මෙය වර්තමාන පාලනයට පමණක් ආවේණික විශේෂිත ලක්ෂණයක් ලෙස සැලකීමද වැරදිය. මේ ලක්ෂණය විධායක ජනාධිපති ක්රමය නමැති දූෂිත ආණ්ඩුක්රමය ඇති කිරීමෙන් පසුව බලයට පත් හැම ජනාධිපතිවරයකුගේම පාලන කාලයන් තුළ දක්නට ලැබුණු ඉතාමත් සාමාන්ය ලක්ෂණයක් ලෙස සැලකිය යුතුය.
ලංකාවේ පවත්නා අල්ලස හා දූෂණය පිළිබඳවත් එම වැරදි පාලනය කිරීම සඳහා විටින් විට ඇති කරන ලද ආයතන ක්රමවලට ආවේණික සීමාවන් පිළිබඳව මට මගේම අත්දැකීම් ඇති සේ ම ඒ ගැන අන්යයන්ගේ අත්දැකීම් ආශ්රයෙන් මා ඇති කරගත් නිරීක්ෂණයන්ද තිබෙන්නේය. රටේ පවතින මෙම අවලස්සන තත්ත්වය ජයගැනීමට සිහින දකිමින් සිටින අයට මාගේ අත්දැකීම් සේ ම මා ඇති කරගෙන තිබෙන නිරීක්ෂණයන්ද ප්රයෝජනවත් විය හැකිය.
මගේ මතය අනුව ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්රමය අල්ලස හා දූෂණය අත්තිවාරම් කොටගනිමින් ඒ මත ගොඩනගන ලද දූෂිත දේශපාලන ක්රමයකි. මෙම ක්රමය බලයට පත්වන පාලක පක්ෂවලට රට පාලනය කරනවාට අතිරේකව රටේ පොදු සම්පත් කොල්ලකෑමේ අයිතිය ලබාදෙන ක්රමයක් ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව රටට අයත් පොදු දේපළවල නිල භාරකාරත්වය පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාටය. ඒවා තමන් වෙත පවරා ගැනීමේ සේ ම තමන් කැමති වෙනත් අය වෙත පවරාදීමේ එනම් විකිණීමේ බදු දීමේ හා ප්රදානය කිරීමේ බලය ජනාධිපති සතුය. ජනාධිපති නීතියට යටත් නොවන නිසා හා ජනාධිපතිට අයත් කිසිදු කාර්යයක් දෝෂාභියෝගයකදී හැර සොයා බැලීමේ අයිතියක් පාර්ලිමේන්තුවට පවා නොතිබීම හේතු කොටගෙන පොදු දේපළ විෂයේදී හිතුවක්කාරී ලෙස තමන්ට කැමති දෙයක් කිරීමේ බලය ඒ මගින් ජනාධිපති වෙත ලැබී ඇත්තේය. ඔහු එහිදී කවර දෙයක් කළද ඒ ගැන සොයා බැලීමේ බලයක් කිසිවකුට නැත.
මේ දක්වා බලයට පැමිණි හැම ජනාධිපතිවරයෙක්ම අඩු වැඩි වශයෙන් දූෂිතය. එහෙත් අයථා ලෙස වස්තුව අත්පත් කරගැනීම සඳහා ඒ සියලුදෙනා ප්රදර්ශනය කර තිබෙන කෑදරකමේ තරම එක සමාන නැත. සමහරෙක් විශාල ප්රමාණයකටද ඊට සාපේක්ෂව තවත් සමහරෙක් ඊට අඩු ප්රමාණයකටද අයථා ලෙස වස්තුව උපයා ගෙන ඇත්තේයැ”යි කිව හැකිය. ඒ සියලුදෙනා කවර ප්රමාණයකට හෝ තමන්ට අතිරේකව සිය පවුලේ අය සඳහාද, ගොල්ල වර්ගයා සඳහාද වස්තුව උපයාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා සේ ම සිය දේශපාලන සහචරයන් සඳහාද අයථා ලෙස වස්තුව උපයා ගැනීමට අවස්ථාව ලබාදෙනවාට අතිරේකව ඒ සියලුදෙනා සඳහා ආරක්ෂාව හා රැකවරණය ලබාදී තිබෙන්නේයැ”යි කිව හැකිය. මෙම දේශපාලන ක්රමය දේශයේ පොදු වස්තු කොල්ලකෑම අරමුණු කරගනිමින්ම නිර්මාණය කරන ලද විශේෂිත දේශපාලන ක්රමයක් ලෙසද සැලකිය හැකිය. පොදු වස්තුව කොල්ලකෑමට ලැබෙන අයිතිය මෙම දේශපාලන ක්රමය තුළ දේශපාලන බලය සඳහා පොළඹවන උත්ප්රේරක සාධකය ලෙස ක්රියාකරන්නේයැ”යිද කිව හැකිය. ජයග්රාහී කණ්ඩායමට රට පාලනය කිරීමේ බලයට අතිරේකව රටේ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබෙන්නේය. කොල්ලකන වස්තුව බෙදීයන්නේ බලය අල්ලාගැනීමේදී හා බලය පවත්වාගෙන යෑමේද අඩු වැඩි වශයෙන් ලබාදෙන දායකත්වයේ ප්රමාණය අනුවය. බලයේ සිටින පාලක පක්ෂය පරාජය කොට බලය ලබාගැනීමට ප්රතිපක්ෂ දරන උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේද ප්රතිපක්ෂය හිමිකරගෙන සිටින රටේ පාලන බලය හා වස්තුව කොල්ලකෑමට තිබෙන අයිතිය තමන් වෙත හිමිකර ගැනීමය. ඒ අර්ථයෙන් මේ දේශපාලන ක්රමය තුළ පවතින බලඅරගලය මෙම දූෂිත හා විනාශකාරී දේශපාලන ක්රමය මුළුමනින් පරාජය කොට යහපත් විකල්ප ක්රමයක් ඇතිකර ගැනීමේ අවංක අරමුණින් කරන සද්කාර්යයකට වඩා කොල්ලකාරී කණ්ඩායම් ගණනාවක් අතර වස්තුව කොල්ලකෑමේ අයිතිය දිනාගැනීම සඳහා කෙරෙන බලඅරගලයක් ලෙස සැලකිය හැකිය.
සමස්ත ආයතන ක්රමය සකස් කොට හැඩගැසී ඇත්තේද එම කොල්ලකාරී දර්ශනයට අනුකූලවය. මේ ආයතන ක්රම මොන ජාතියේ සළු පිළි පොරවාගෙන සිටියද අවසාන විග්රහයේදී ඒ සියලුදෙනා බැඳී ඇත්තේ ක්රමයේ දැති රෝද ක්රමයට ගැළපෙන ලෙස කරකැවීමටය.
නිදර්ශනයක් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියම අරමුණ අල්ලස් හෝ දූෂණ වැරදි මර්දනය කිරීම නොව ඒ අරමුණින් ක්රියාකරන ආයතන ක්රමයක් මෙම දේශපාලන ක්රමයට ඇති බව ප්රදර්ශනය කරනවාට අතිරේකව පාලක පක්ෂයට මර්දනය කිරීමට අවශ්ය කරදරකාරයන් නිහඬ කිරීම මගින් පාලක පක්ෂයට සිය කොල්ලකාරී අරමුණු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්ය සහාය ලබාදීමය. මේ තත්ත්වය මේ ක්රමයට අදාළ හැම ආයතන ක්රමයකටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.
මෙම අවලස්සණ හා දූෂණ ක්රමයේ දැති රෝද කැරකෙන ආකාරය හා ක්රමයට සම්බන්ධව ඒ සමග තිබෙන බැඳීම්වල යථා ස්වභාවය තේරුම් ගැනීමට ප්රයෝජනවත් නිදර්ශන කිහිපයක් මෙසේය.
කිරිගොට්ටේ කතාව
පළමු නිදර්ශනය ලලිත් ඇතුලත්මුදලිගෙන් මට අසන්නට ලැබුණු කතාවකි. ඒ වනවිට ඔහු ප්රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් නොතිබුණද ජනාධිපතිවරයා කෙරෙහි පසුවූයේ මහත් කෝපයෙනි.
ඔහුට අනුව මෙම දේශපාලන ක්රමය තුළ ක්රියාත්මක වන වස්තු කොල්ලයේ සාරය ගලායන්නේ ජනාධිපතිවරයාගේ සරමේ කැහැපටටය. ඔහු එය කිරිගොට්ටකට සමාන කළේය. කිරිගොට්ටේ අග තිබෙන ලොකු හිලෙන් වැගිරෙන කොටස ජනාධිපතිගේ පංගුව ලෙස සැලකිය හැකි වුවද කිරිගොට්ටේ ඇති අනෙකුත් අප්රධාන හිල්වලින් ආණ්ඩුවේ සෙසු ප්රධානීන්ටද ඒ සාරයෙන් කොටසක් ගලා ගියේය. එහෙත් ප්රේමදාස ජනාධිපතිවරයා කිරිගොට්ටේ ඇති අතුරු හිල් කිසියම් මැලියම් වර්ගයක් යොදා වසා දමා සියලු සාරය ජනාධිපතිවරයාට යන ලොකු හිලෙන් ගලා යන තත්ත්වයක් ඇතිකර තිබෙන බවත් ආණ්ඩුව අභ්යන්තරයේ දරුණු ප්රේමදාස විරෝධයක් ගොඩනැගෙමින් තිබීම කෙරෙහි ඒ සාධකයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවත් කියා සිටියේය. ඊට පෙර එම කිරිගොට්ටේ ජනාධිපතිවරයාට පංගුව යන ලොකු හිලක් තිබුණද අනෙක් අයටද සාරය ගලා යන පුංචි හිල් තිබුණු බව කියන විට ඔහු ඉන් අදහස් කළේ ඊට පෙර පැවති ජේ.ආර්. ජයවර්ධන යුගය බවට සැකයක් තිබිය නොහැකිය.
දෙවැනි නිදර්ශනය ඊට වෙනස්ය. එය සිදුවූයේ යූඑන්පී ආණ්ඩු කාලයේ ලොකු ධනවතකු බවට පත්ව සිටිය ඇමතිවරයකු සමග මධුවිත බොමින් කරන ලද සුහද අල්ලාප සල්ලාපයකදීය. එම සාකච්ඡාවට මගේ මිත්රයකුද සහභාගි විය. කෙරුණු කතාබහ හොඳින් ගලායමින් තිබුණු අවස්ථාවකදී මම ඇඟට පතට නොදැනී “ඔබ මේ රටේ ධනවතකු වූයේ කෙසේද?යි අසා සිටියෙමි. මාගේ එම ප්රශ්නයෙන් ඔහු ක්ෂණික වශයෙන් ත්රස්ත වූ බවක් පෙනෙන්නට තිබුණි. මුහුණේ ඇතිවූ වෙනස ඔහු ඉක්මනින් පාලනය කරගත්තේය. දේශපාලනඥයන්ට තමන් කරන ව්යාපෘතිවලින් නීත්යනුකූල වට්ටමක් ලැබෙන බවත් තමා ධනවත් වූයේ එසේ ලැබුණු වට්ටම් මුදලින් බවත් ඔහු කියා සිටියේය. එහෙත් එම සාකච්ඡාව වැඩිදුර ඉදිරියට ගෙනයෑම වැළකීමට ඔහුට අවශ්ය විය. තමාට කෙටි වේලාවකට හදිසියේම එළියට යන්නට සිදුවී තිබෙන බවත් තමන් ඉක්මනින්ම නැවත එන බවත් එතෙක් අප දෙදෙනාට මේ කතාව තවදුරටත් කරගෙන යා හැකි බව කියා ඔහු අප අතහැර ගියේය. ඔහුට අප මගහැරීමට අවශ්ය වූ නිසා එසේ කළ බව තේරුම් ගැනීමට අමාරු දෙයක් නොවූ නිසා ඔහු පිටවීයෑමෙන් පසු අපද ඔහුගේ නිවසින් පිටවී ආවෙමු. එහෙත් ඒ ප්රශ්න කිරීම නිසා කිසිවිටෙකත් ඔහු මගෙන් පළිගැනීමට උත්සාහ නොකළ බවද කිව යුතුය.
පාස්කරලිංගම් හා ශන්මුගලිංගම්
තෙවැනි නිදර්ශනය උසස් රාජ්ය නිලධාරියකු පිළිබඳවය. ඒ වනවිට ජනාධිපති රණසිංහ ප්රේමදාස ඝාතනයට ලක්වී ජනාධිපති ඩී.බී. විජේතුංග ඒ තැන ගෙන සිටියේය. භාණ්ඩාගාර ලේකම් පාස්කරලිංගම් පිළිබඳව විශාල විවේචන මතුවී තිබුණු අතර මෙම සාකච්ඡාව සිදුවූයේ භාණ්ඩාගාරයේ දෙවැනියා ලෙස ක්රියා කළ ශන්මුගලිංගම් මහතා සමග ඔහුගේ නිවසේදීය. ඔහු සමග කෙරුණු කතාබහට මට අවස්ථාව සූදානම් කරදෙන ලද්දේ අතරමැදි වෙනත් පුද්ගලයකු විසිනි. එය පාස්කරලිංගම් ගැන කෙරුණු කතාබහක් ලෙස සැලකිය හැකිය. ඔහු පාස්කරලිංගම්ගේ හිතුවක්කාරී හා දූෂිත ක්රියාකලාපය මට කියා දුන්නේය. නොයෙකුත් දේවල් සිදුවූ ආකාරය විස්තරාත්මකව කියා දුන්නේය. සාකච්ඡාව අවසන් වී අතට අතදී ඔහුගෙන් සමුගන්නට පෙර මම පාස්කරලිංගම් ගැන නොව ඔහු පිළිබඳව අසන්නට ප්රශ්නයක් තිබෙන බව කියා සිටියෙමි. ඔහු මහත් විමතියකින් යුතුව තමා පිළිබඳව අසන්නට ප්රශ්නයක් ඇතොත් එය ඇසුවාට කමක් නැති බව කියා සිටියේය. මම සමුගැනීම පිණිස ඔහුගේ අත අල්ලාගෙන ඔබේ අත් දූෂණයෙන් තොර පිරිසිදු තත්ත්වයක තිබෙන්නේදැ”යි අසා සිටියෙමි. ඒ ප්රශ්නයෙන් ඔහුගේ මුහුණේ ලොකු වෙනසක් ඇතිව තිබුණද ඔහු තැන්පත් ස්වරයකින් කීවේ පාස්කරලිංගම්ගේ අත් තරමට අපිරිසිදු නැතත් තම අත්ද මුළුමනින් පිරිසිදු නැති බවය.
තවදුරටත් ඔහු පීඩාවට පත්කිරීමට මට අවශ්ය නොවූ අතර මා අසන ලද ප්රශ්නයට හිතට එකඟව පිළිතුරක් දීම ගැන ඔහුට ස්තුතිවන්තවෙමින් අතරමැදි පුද්ගලයා සමග ඔහුගේ නිවසින් පිටවී ආවෙමි. එහෙත් මාගේ එම ප්රශ්න කිරීම අතරමැදියාගේ නම් සතුටට හේතුවී නොතිබුණි. තමන්ට නොකියා එවැනි ප්රශ්නයක් ඇසීම ගැන ඔහු මට දොස් කීවේය. ශන්මුගලිංගම්ට එරෙහිව කේලමක් කීම සඳහා නොව ඔහු විසින් දෙන ලද පිළිතුරට ආවේණික සුවිශේෂතාව සලකා මේ කතාව බලයට එන්නට පෙර මා චන්ද්රිකා කුමාරතුංග සමගද කියා තිබුණේය. ඇය බලයට පත්වීමෙන් පසුව ඇගේ කැඳවීමක් අනුව මා මුදල් අමාත්යාංශයේ තිබූ ඇගේ කාර්යාලයට ගිය අවස්ථාවකදී ශන්මුගලිංගම් ඇගේ මේසයේ ඉදිරිපස පුටුවක වාඩිවී ඇය සමග කතා කරමින් සිටියේය. මා දුටු වහාම ඔහු පුටුවෙන් නැගිට ඒ ස්ථානයෙන් පිටවී ගියේය. අගමැතිනිය මා සමග සිනාසෙමින් ඔයාගේ යාළුවා ශන්මුගලිංගම් මා මගේ ළඟ වැඩට ගත්තායැ”යි සිනාසෙමින් කියා සිටියේය. ශන්මුගලිංගම් මගේ යාලුවකු නොවීය. මම ඔහු හමුවී තිබුණේ එක් වතාවක් පමණය. කෙසේ වුවද ශන්මුගලිංගම් ගැන මගෙන් අසන්නට ලැබුණු කතාව ඇය තුළ ඔහු පිළිබඳව පැහැදීමක් ඇති කිරීමට හේතුවී තිබුණා විය යුතුය.
නීතිය අකුරටම ක්රියාත්මක කළ රේගු නිලධාරියා
එජාපයේ පාලන කාලයේ මට රජයේ බිහිසුණු පළිගැනීම්වලට ලක්වූ රේගු මිත්රයකු මට සිටියේය. ඔහු රේගු නීතිය අකුරටම ක්රියාත්මක කරන්නට උත්සාහ කළ එම විෂයේදී උසස් නිලධාරීන්ට පවා හිස නොනමන තත්ත්වයකින් ක්රියා කළ අභීත පුද්ගලයකු විය. රේගුවේ දූෂිත නිලධාරීන් ගැන ඔහු රළු විවේචනයක්තිබුණි. සල්ලි අවශ්ය නම් හොරකම් නොකර එහි සිදුවන හොරකම් ඇල්ලීමෙන් පමණක් වුවත් රේගු නිලධාරියකුට විශාල ලෙස ධනය උපයාගත හැකි බව ඔහු මට කීවේය. මෙම රේගු නිලධාරියාද රේගුවේ සිදුවන වංචා අල්ලා ගැනීමෙන් කිසියම් විශාල ධනයක් උපයාගෙන තිබූ නිලධාරියකු ලෙසද සැලකිය හැකිය. ඒ පිළිබඳව වන ඔහුගේ දර්ශනයට මා මුළුමනින් එකඟ නැතත් ඔහු කතා කරන දේවල් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි නිලධාරියකු වීයැ”යි කිව හැකිය. ජනාධිපති ජයවර්ධන පාලන යුගයේදී ජනාධිපතිට කිට්ටු දැන හැඳුනුම්කම් තිබුණු බලවත් ව්යාපාරිකයකු අලුත්ම අලුත් බෙන්ස් රථයක් පාවිච්චි කළ බෙන්ස් රථයක් ලෙස ගෙන්වන ලද අවස්ථාවකදී මෙම නිලධාරියා එය අල්ලා ගත්තේය. විවිධ බලපෑම් එල්ල වුවත් සිය පිළිගත් ප්රතිපත්තිය ලිහිල් කිරීමට ඔහු එකඟ නොවීය. අවසානයේදී රේගු අධ්යක්ෂ ජනරාල් මගින් ඔහුට ජනාධිපති ජයවර්ධනද බලපෑම් කළේය. එහෙත් ඔහු සිය ප්රතිපත්තිය වෙනස් නොකළ අතර අවසානයේ ඔහු වැඩතහනමකට ලක් කොට ඔහුව නිෂ්ක්රීය කළේය. මෙම නිලධාරියා චන්ද්රිකා කුමාරතුංගට 1994 පැවති ජනාධිපතිවරණයේදී ඉතා වැදගත් උදව්වක් කර තිබුණි. ඒ නිසා ඇයද ඔහු ගැන දැන සිටියාය. ඇය බලයට පත්වූ පසු මෙම නිලධාරියා සඳහා පනවා තිබෙන වැඩතහනම ඉවත් කොට ඔහු නැවත රේගු සේවයට බඳවා ගන්නා ලෙස ඇගෙන් ඉල්ලා සිටියෙමි. ඇය ඊට බලවත් කැමැත්ත ප්රකාශ කරමින් ඔහු නැවත සේවයට ගැනීම පිණිස ක්රියාකරන බවට සහතික විය. එහෙත් මෙම නිලධාරියා සේවයට බඳවා ගන්නවාට මුදල් අමාත්යාංශයේ උසස් නිලධාරීන් බලවත් ලෙස විරුද්ධවීම නිසා එම ඉල්ලීම ඉටුකිරීමට ඇය අසමත් වූ අතර මා ඒ ගැන දිගින් දිගට ඇගෙන් කරුණු විමසන තත්ත්වයකට යෑම නිසා ඇය පමණක් නොව මාද දුෂ්කර තත්ත්වයකට පත්ව සිටියේයැ”යි කිව හැකිය. කිසියම් දිනක ජනාධිපතිනියගේ ලේකම්වරයකු (ඔහු ඇය විශ්රාම ගැනීමෙන් පසු වර්තමානයේ ඇගේ ලේකම්වරයා වශයෙන් ක්රියාකරන නිලධාරියාය.) මට දුරකතනයෙන් කතා කොට ඉහත රේගු නිලධාරියා සේවයට ගැනීමට ජනාධිපතිනිය අකමැති නැතත් ඔහු සේවයට ගන්නවාට මුදල් අමාත්යාංශයේ උසස් නිලධාරීන් තරයේ විරුද්ධ නිසා ඔහු නැවත සේවයට ගැනීමට පුළුවන්කමක් තමන්ට නැති බව මට දැනුම් දෙන ලෙස ජනාධිපතිනිය කී බව ඔහු මට කියා සිටියේය. එම පණිවුඩය මගේ බලවත් විරෝධයට හේතුවූ අතර එම රේගු නිලධාරියා කවදා හෝ ජනාධිපතිනිය සමග තරහක් ඇති කරගන්නා දිනක මමද ඔහුට එකතු වන බව ජනාධිපතිනියට කියන්නැ”යි මම ලේකම්වරයාට කියා සිටියෙමි.
ජනාධිපති හා රේගු ප්රධානියා
ජනාධිපතිනිය මෙම නිලධාරියා රේගුවට නැවත බඳවාගැනීම සඳහා ක්රියා කළේ නැතත්, ජනාධිපතිනිය ඇගේ අමාත්යාංශ නිලධාරියකු වශයෙන් ක්රියාකරමින් සිටි සේනාරත්න මහතා රේගුවේ ප්රධානියා බවට පත්කිරීමෙන් පසුව ඔහු මෙම නිලධාරියාට සිදුවී තිබුණු අසාධාරණය ගැන සොයා බලා නැවත සේවයට බඳවාගත්තා පමණක් නොව එම නිලධාරියා රේගු විමර්ශන අංශයේ ප්රධානියා බවටද පත් කළේය.
මේ කාලයේදී ආණ්ඩුවට සම්බන්ධ ප්රධාන පෙළේ ව්යාපාරිකයකු ආනයන කටයුතුවලදී දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබුණු දැවැන්ත රේගු වංචාවක් රේගුව විසින් අල්ලා ගන්නා ලදි. එම වංචාව අල්ලා ගන්නා ලද නිලධාරීන් මෙම ව්යාපාරිකයාගේ කාර්යාලය සෝදිසි කොට එහි සඟවා තිබූ ලිපි ලේඛන තොගයක්ද අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ කාර්යාලය පරීක්ෂා කෙරුණු අවස්ථාවේදී එම වැටලීම කරන ලද කණ්ඩායමේ ප්රධානියා ලෙස ක්රියා කළ නිලධාරියාගේ හිසට පිස්තෝලය තබා අවශ්ය වෙතොත් ඔහු මරා දමන බවට මෙම ව්යාපාරිකයා තර්ජනය කොට තිබුණි.
ජනාධිපතිනියට මෙම ව්යාපාරිකයා සමග මුලදී ලොකු මතභේද තිබුණි. එහෙත් ඡන්ද කටයුතු සඳහා විශාල ලෙස මුදල් අවශ්ය වන අවස්ථාවලදී මෙම ව්යාපාරිකයා මත යැපෙන තත්ත්වයකට ඇය පත්ව සිටීම නිසා මෙම අර්බුදයේදී ඇය ඔහු දැඩි ලෙස ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. ඇය එහිදී කොතරම් දුර දිග යන තැනකට ගියේද කියතොත් ඔහුගේ කාර්යාලය පරීක්ෂා කළ රේගු නිලධාරින්ව ඇය ප්රසිද්ධියේ හෙළා දැක්කේය. රේගුවේ ප්රධානියාද ජනාධිපතිනියට ළඟ සම්බන්ධයක් තිබූ නිලධාරියකු වුවද මෙම අර්බුදයේදී ඔහු ජනාධිපතිනිය ආරක්ෂා කරන ප්රතිපත්තියක පිහිටා ක්රියාකරනවා වෙනුවට රාජකාරිය අකුරටමට ඉටු කළ රේගු නිලධාරීන් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. මෙම ව්යාපාරිකයාගේ රේගු වංචාව අල්ලා ගැනීම ආශ්රයෙන් ඇතිවූ අර්බුදය අවසන් වූයේ මෙම ව්යාපාරිකයා විසින් කුලී මිනීමරුවන් යොදා එම විමර්ශනය භාරව ක්රියා කළ ප්රධාන නිලධාරියා ඝාතනයට ලක්කිරීමෙනි. මෙම රේගු නිලධාරියා මරා දමන වැඩපිළිවෙළේ ව්යාපාරිකයාගේ අතවැසියා ලෙස ක්රියාකර තිබුණේද රේගු නිලධාරියෙකි. මෙම මනුෂ්ය ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය පරීක්ෂණ කටයුතුවලට මම ඇස ගසාගෙන සිටියෙමි. මෙම ඝාතනයට මෙම ව්යාපාරිකයාට තිබූ සම්බන්ධය හොඳින් හෙළිදරව් වී තිබියදී හා ඔහුගේ සම්බන්ධය ගැන අවශ්ය සාක්ෂි තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන්ට එරෙහිව පවරන ලද නඩුවේ එම ව්යාපාරිකයා විත්තිකරුවකු නොකළේය. පරීක්ෂණය භාරව ක්රියාකළ දෙවැනි නිලධාරියාගෙන් ඒ ගැන මම කරුණු විමසුවෙමි. මෙම ඝාතනයට ව්යාපාරිකයාට ඇති සම්බන්ධය තහවුරු කරන කරුණු සොයාගෙන තිබියදීත් මෙම ව්යාපාරිකයා එම නඩුවේ විත්තිකරුවකු බවට පත්නොවූයේ ඇයිදැ”යි මම විමසූ විට ඔහු දෙන ලද පිළිතුර වූයේ එම ව්යාපාරිකයා එම නඩුවට ඇතුළත් නොකරන ලෙසට ඉහළින් ලැබුණු දැනුම්දීමක් නිසා එසේ කරන ලද බවය.
තරුණ දේශපාලන තරුව
මාගේ අවසාන නිදර්ශනය දේශපාන අඹරේ බැබලෙමින් සිටි දේශපාලන තරුණ තරුවක් ගැනය. මේ තරුණ දේශපාලකයා රාවය කියෙව්වේය. මා විධායක ජනාධිපති ක්රමය ගැන ලියන ලද ලිපි පෙළකින් පසුව දුරකතනයෙන් මා අමතා කතා කළ එම තරුණ දේශපාලක තරුව විධායක ජනාධිපති ක්රමය අළලා මා ලියන ලද ලිපි පෙළ කියවනු ලැබූ බවත් එය විධායක ජනාධිපති ක්රමය ගැන ලියවුණු හොඳ විග්රහයක් ලෙස සැලකිය හැකි බවත් කීවේය. ඉන් සතුටට පත් මා ඔහු අමතා මෙසේ කීවේමි. ඔබ ඉදිරියට යමින් සිටින තරුණ දේශපාලකයෙක්. විධායක ජනාධිපති ක්රමය ගැන මා ලියා තිබෙන විග්රහය ඔබ පිළිගන්නේ නම් මෙම දූෂිත දේශපාලන ක්රමය වෙනස් කරන ක්රියාමාර්ගයක් වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර මා විස්මයට පත් කළේය. එවැනි වැඩසටහනක් වෙනුවෙන් පෙරමුණ ගැනීමේ හැකියාවක් තමන්ට නැති බවත් මෙම ක්රමය පාවිචිච් කෙරෙමින් තිබෙන ආකාරය දූෂිත විය හැකි වුවත් තමන්ට වැඩ කරන ආධාරකරුවන්ට විශේෂ සැලකිලි දැක්වීමට ඉඩක් නැති කවර දේශපාලන ක්රමයක් වුවද ප්රායෝගික නොවන බවත් ඒ නිසා තමා තිබෙන මෙම ක්රමයට කැමති බවත් එම ක්රමය වෙනුවෙන් පෙනී සිටින බවත් කියා සිටියේය. මෙම දුරකතන සංවාදය සිදුවූයේ මීට වසර තුන හතරකට ඉහතදීය.