අපේ රටේ පවතින දේශපාලන ක්‍රමයේ කවර තරම් සීමිතකම් තිබුණද රාජ්‍ය නායකයා තෝරා ගැනෙන්නේ මහජන ඡන්දයෙනි. එහිදී මහජනයා විසින් දෙනු ලබන තීන්දුවලට හිස නැමීම එම තනතුරට තරග කරන තරගකරුවන්ගේ යුතුකම හා වගකීම වේ. එහිදී ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට පත් නොකළ යුතු අතර පරාජිතයාද ජයග්‍රාහකයාට ලැබුණු ජයග්‍රහණය සාධාරණ හේතු ඇතිව මිස සාධාරණ හේතු නැතිව භාරගැනීම ප්‍රතික්ෂේප නොකළ යුතුය.
ජය පරාජය භාරගැනීමේ වැදගත්කම
2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර පැවතියේ ළඟ ළඟ තරගයකි. එම තරගයෙන් මහින්ද ජයගත්තේ ඡන්ද 180,786කිනි. ජයග්‍රාහී මහින්ද පාවිච්චි කළ ඡන්දවලින් 50.29%ක් ලබාගන්නා විට පරාජිත රනිල් 48.43%ක් ලබාගැනීමට සමත් විය. ඒ අවස්ථාවේදී මහින්ද ලැබූ ජයග්‍රහණය රනිල් පිළිගත්තේය. සිය පරාජය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් රනිල් තමන්ට ඡන්දය දුන් ජනතාව වීදි බස්සන තැනකට ගියේ නම් රට අවුල් ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි. රනිල් මෙන් නොව, ජෙනරාල් දේශපාලනයට ආධුනිකය. මෙම තරගයෙන් තමන් ජයගනු ඇතැ”යි ඔහු විශ්වාස කළේය. එහෙත් තරගයේදී ඔහු පරාජය විය. දැන් ඔහු කියන්නේ ප්‍රතිඵලය තමන්ට භාරගත නොහැකි බවය. එහෙත් ප්‍රතිඵලය අවංක එකක් නොවන්නේ ඇයිදැ”යි ඔහු විස්තර කරන්නේ නැත. තමන් ජයගන්නා බව පෙනෙන්නට තිබුණද ඡන්දයෙන් එය ප්‍රකාශ වී නැති බව ඔහු කියයි.
එහෙත් රනිල් වික්‍රමසිංහ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරන්නේ නැත. රවුෆ් හකීම් පවා කියන්නේ ඡන්ද දිනයේ සාහසිකකම් සිදු නොවූවත් ඊට පෙර පැවති ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ තත්ත්වයක නොතිබුණු බවය.
රාජ්‍ය සම්පත් යොදා ගැනීම
මැතිවරණවලදී රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් පාලක පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා පිළිවෙතක් 77 සිටම ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජයට පත් කෙරුණු 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදීද පාලක පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේද සහාය ඇතිව රාජ්‍ය මාධ්‍ය උපරිම ලෙස යොදා ගත්තේය. ඒ මොහොතේ ශ්‍රීලනිප සමග ඇති කරගෙන තිබුණු සන්ධානය නිසා එසේ කිරීම වරදක් ලෙස සලකන තැනක ජවිපෙද එදා නොසිටියේය. බලයෙන් පිටස්තරව සිටින විරුද්ධ පක්ෂයක් බලය සඳහා තරග කරන්නේ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයට රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් යොදාගැනීමේ වාසියද ඇති බව සැලකිල්ලට ගනිමිනි. පොදු පෙරමුණ 1994 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත්තේ පාලක එක්සත් ජාතික පක්ෂ රාජ්‍යය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් උපරිම ලෙස ඔවුන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා වටාපිටාවක් තිබියදීය.
2005 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයගත්තේද පාලක පක්ෂය එම මැතිවරණයේදී සිය මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් උපරිම ලෙස යොදා ගන්නා තත්ත්වයක් තිබියදීය. මෙම ක්‍රමය නිවැරදි හෝ සාධාරණ නැත. එහෙත් මෙම දේශපාලන ක්‍රමය තුළ සිරිතක් වශයෙන් බලයේ සිටින පක්ෂය මැතිවරණවලදී රාජ්‍ය මාධ්‍ය හා වෙනත් රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එහිදී විරුද්ධ පක්ෂයක් තරග බිමට එන්නේද නීතිය කුමක් වුවද ආණ්ඩු පක්ෂයට එම විශේෂ වාසිය තිබෙන බව පිළිගනිමිනි. එම වාසිය තිබියදීත් බලයේ සිටින පක්ෂ පරාජය කිරීමට විරුද්ධ පක්ෂය සමත්ව තිබෙනවා සේම මැතිවරණවලදී ආණ්ඩු පක්ෂ ලබන ජයග්‍රහණවලදී එම ජයග්‍රහණයන්ගේ සැර බාල කිරීමට මිස ප්‍රතිඵල ප්‍රතික්ෂේප කිරීමට එය සාධකයක් වශයෙන් ප්‍රයෝජනයට ගෙන නැත.
ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට ආධුනිකයකු වන නිසාම තමන්ගේ රැස්වීම්වලට පැමිණි සෙනඟ දෙස බලා තමන්ට ලැබෙන ප්‍රතිඵලය ගැන අධිතක්සේරුවක් ඇති කරගෙන සිටි බව පෙනේ. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය හසුරුවන ලද්දේද ජය හෝ පරාජය යන දෙකින් කවරක් වුවත් සතුටින් බාරගන්නෙමැයි කියන හැඟීමෙන් නොව, තමන්ට ජය මිස පරාජයකට ඉඩක් ඇත්තේම නැතැ”යි කියන වැරදි ආකල්පය මත පිහිටාය. තමන් බලයට පත්වූ පසුව කරන සාහසික දේවල් ගැන පූර්වානුමාන කතා කියන්නට ඇත්තේද ඒ නිසාය. ආණ්ඩුව සිය ප්‍රතිවාදියා පරාජය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් නීතියට පටහැනිව යොදාගන්නා විට විරුද්ධ පක්ෂයද සිය ප්‍රතිවාදියා පරාජය කිරීම සඳහා නීතියට පටහැනිව තොරතුරු තාක්ෂණය උපරිම මට්ටමකින් යොදාගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. විදේශ රටවල ලියාපදිංචි කළ වෙබ් අඩවි පදනම් විරහිත කටකතා පතුරුවා හරින මූලාශ්‍ර ලෙස ක්‍රියා කළේය.
ඡන්දය පැවති දිනයේදී ජනාධිපතිවරයා ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු විශේෂ ගුවන් යානාවක නැගී ඉන්දියාවට ගිය බව කියන පුවතක් වෙබ් අඩවියක පළකර තිබුණු අතර, එම පුවත එෆ්එම් ගුවන්විදුලි නාලිකාවක් විසින් ද ප්‍රසිද්ධ කරන ලදි. එය ජනාධිපතිවරයා තමන්ට හිමිවන පරාජය දැක රටින් පලා ගියේයැ”යි කියන හැඟීම ජනතාව අතර ඇති කිරීම සඳහා නිර්මාණය කෙරුණු අසත්‍ය ප්‍රවෘත්තියක් විය. මැතිවරණ කොමසාරිස්වරයා නිවාස අඩස්සියේ තබාගෙන ඇතැ”යි කියන ප්‍රවෘත්තියක් ද රටපුරා පතුරුවා හැර තිබුණි. ලැබෙන ප්‍රතිඵල විරුද්ධ පක්ෂ අපේක්ෂකයාගේ වාසියට හේතු නොවන බව පෙනෙන විට රට පුරා පතුරුවන ලද තවත් කට කථාවක් වූයේ සියලු මැතිවරණ ප්‍රතිඵල අරලියගහ මන්දිරය ඔස්සේ ලබාදෙමින් තිබෙන බවය.
පරාජය කෙරෙහි බලපෑ හේතු
විරුද්ධ පක්ෂයේ පරාජය කෙරෙහි විරුද්ධ පක්ෂ සන්ධානය තුළ එකතු වී සිටි බලවේගයන්ගේ ස්වභාවය හා ඒ ගැන සාමාන්‍ය මහජනයා ඇති කරගත් සැකය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. එය සැදුම් ලද්දේ සකල විධ මහින්ද විරෝධී බලවේගයන්ගේ එකතුවකිනි. එය එකට නොපෑහෙන බලවේගයන්ගේ එකතුවක් වූ අතර මහින්දගෙන් පළිගැනීමට තිබෙන ආශාව ඔවුන් සියලුදෙනා එකට එකතු කළ පොදු සාධකය විය. මෙම එකතුව තුළ සිටි දේශපාලන බලවේගයන් අතර පැවති නොගැළපීම් ඔවුන් මහජනයාගේ සැකයට හේතුවන ලොකුම සාධකය ලෙසද සැලකිය හැකිය. යුද්ධය පැවති කාලයේදී ජෙනරාල් එජාපයේද, දෙමළ සන්ධානයේ හා මනෝ ගනේෂන්ගේද, මුස්ලිම් කොංග්‍රසයේද, මංගලගේ මා පාර්ශ්වයේද දැඩි විවේචනයට හා චෝදනාවන්ට ලක්වූ චරිතයක් විය. ලසන්ත වික්‍රමතුංග එජාප වෙනුවෙන් හා එම පක්ෂ නායකයා වෙනුවෙන් අතිවිශාල වැඩ කොටසක් ඉටු කොට එම පක්ෂය වෙනුවෙන්ම සිය ජීවිතය පූජා කළ ජනමාධ්‍යවේදියකු ලෙස සැලකිය හැකිය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී එජාප නායකයන් ඒ ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පොදුවේ චෝදනා කළද, විශේෂ වශයෙන් ඔවුන් ඇඟිල්ල දිගු කළේ ජෙනරාල් වෙතය. තමන්ට තිබෙන තොරතුරු අනුව යුද හමුදාපතිට වාර්තා කරන හමුදා කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලද අතර ඒ ගැන වන විශේෂ ප්‍රකාශයක් ජෝසප් මයිකල් පෙරේරා විසින් පාර්ලිමේන්තුව වෙතද ඉදිරිපත් කරන ලදි. ඒ චෝදනාවේ ඇත්ත නැත්ත කුමක් වුවද එජාප ජෙනරාල් සිය පොදු අපේක්ෂකයා කරගන්නේ තමන් එල්ල කරන ලද එම බරපතළ චෝදනා ඉවත් කරගැනීමෙන් තොරවය. දෙමළ සන්ධානයේ නායකයන් සේ ම මනෝ ගනේෂන්ද යුද්ධයේදී ජෙනරාල් රළු ලෙස විවේචනය කළේය. විවිධ චෝදනා එල්ල කළේය. එහෙත් පුදුමයකට මෙන් මෙම දෙපිරිස පමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ එල්ටීටීඊ හිතවාදීන්ද මහත් ප්‍රබෝධයකින් යුතුව ජෙනරාල්ට උපරිම ලෙස ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය.
ජෙනරාල් ගොඩනගන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන විෂය භාරව ක්‍රියා කරන පුද්ගලයා ලෙස පෙනී සිටි සරත් නන්ද සිල්වා ද ජෙනරාල් කෙරෙහි මහත් වෛරයෙන් ක්‍රියා කළ පුද්ගලයෙකි. ජෙනරාල්ගේ සේවා කාලය දිගු කොට ඔහු හමුදාපති ධුරයට පත්වීම වළකන්නට ඔහු උපරිම ලෙස උත්සාහ කළා පමණක් නොව, එම උත්සාහය අසාර්ථකවීමෙන් පසු ජෙනරාල්ට රිදවන්නට සිය අධිකරණ බලය ද යොදා ගත්තේය. 1983 සිට මෙම ජනාධිපතිවරණය තෙක්ම එජාපය පිළිබඳව ජේවීපීයට තිබුණේද ෙවෙරසහගත ආකල්පයකි. ඔවුන් එජාප සැලකුවේ කවරදාවත් පාලන බලය නොලැබිය යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙසය. රනිල්ගේ පාර්ලිමේන්තු ආණ්ඩුව චන්ද්‍රිකාගේද ආධාර ඇතිව ගෙදර යවන ලද්දේ ඔවුන් විසිනි. මෙම විරුද්ධ පක්ෂ එකතුවේ තමන් වැදගත් පුරුකක් ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සරත් නන්ද සිල්වා සමග සේ ම ජේවීපීය සමගද තිබුණේ වෛරයකි.
චන්ද්‍රිකාගේ දේශපාලන පැවැත්ම අවුරුද්දකින් කෙටි කරන ලද්දේ සරත් නන්ද සිල්වාය.
එක්සත්කමට බලපෑ පොදු සාධකය
දෘෂ්ටිමය වශයෙන් එක තැනක සිටිය නොහැකි මේ සියලුදෙනා එකට එකතු කරන එකම පොදු සාධකය ලෙස ක්‍රියාකළේ ඔවුන් තුළ පැවති මහින්ද විරෝධයයි. මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් නැතිභංග කොට ඔහුගෙන් පළිගැනීම මේ සියලුදෙනා අපේක්ෂා කළ විමුක්තිය විය. මෙම විශේෂ එකතුව මහින්ද විරෝධී බලවේගයන්ගේ ආස්වාදයට හේතුවී තිබුණද සාමාන්‍ය ජනතාව අතර එය කෙරෙහි පැවතියේ විශ්වාසයක් නොව සැකයකි. සීමිතිකම් තිබුණද තමන්ගේ නිදහස වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ තමන්ගේ ගෞරවයට හේතුවූ නායකයකු විනාශ කිරීමේ අරමුණින් ක්‍රියාකරන දුෂ්ට බලවේගයක් ලෙසිනි. අනෙක් අතට මහින්ද විරෝධී ඝෝෂාව බොහෝ දුරට නගරබදට සීමාවූ දේශපාලන ප්‍රපංචයක් විය. ගම්බද ජනතාව අතර මහින්දට තිබෙන පිළිගැනීමේ වර්ධනයක් මිස පිරිහීමක් ඇතිවී නොතිබුණි. එජාප ග්‍රාමීය ජනතාව අතර වැඩ කිරීම අත්හැර තිබීම, ගැමි ජනයාගේ ජීවිත නගා සිටුවීම පිණිස මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකර තිබීම, මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගත් දේශපාලන වීරයා ලෙස සැලකීම වැනි සාධක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබෙන පිළිගැනීම ශක්තිමත් කිරීමට හේතුවී තිබුණි.
විරුද්ධ පක්ෂ සන්ධානය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිශේධ කිරීම සඳහා යොදගත් තර්ක සේ ම එම තර්ක ඉදිරිපත් කළ ස්වරයද ග්‍රාමීය ජනතාවගේ පිළිගැනීමට හේතුවූයේ නැත. ආර්ථික අමාරුකම්ද නගරයට දැනෙන තරමට ගමට දැනී තිබුණේ නැත. විරුද්ධ පක්ෂ සන්ධානය මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට දරන උත්සාහය ඔවුන්ට පෙනුණේ රට ආපස්සට හැරවීමට දරන දුෂ්ට උත්සාහයක් ලෙසය. අවසානයේදී ඔවුන් මහින්ද විරෝධී නාගරික කැරැල්ල පරාජය කොට සිය දේශපාලන වීරයාට අතිවිශාල ජයග්‍රහණයක් අත්පත් කර දුන්නේය. මෙම තරගයෙන් ජනාධිපතිට ලැබී තිබෙන ජයග්‍රහණය ඉතා විශාල වුවත් එම විශාල ජයග්‍රහණය තුළ දැකිය හැකි සීමාසහිතකම්ද පවතී.
නගරවල අතෘප්තිය
සාර්ථක රාජ්‍ය පාලනයක් සඳහා ගැමි ජනයාගේ සහාය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ග්‍රාමීය ජනතාවගේ ප්‍රමාණයට සාපේක්ෂව නාගරික ජනයාගේ ප්‍රමාණය කුඩා වුවත්, සාපේක්ෂ වශයෙන් වැඩි උගත්කමක් ඇත්තේ නගරවලය. රටේ උගත් ජනයා අතර පාලකයා කෙරෙහි අතෘප්තියක් තිබීම පාලකයාගේ හෝ රටේ යහපතට හේතුවන්නේ නැත. දූෂණය, මානව හිමිකම්, යහපාලනය වැනි ක්ෂේත්‍ර වඩාත්ම අදාළවන්නේ ඔවුන්ටය. උගත් මිනිසුන් තෘප්තිමත් කිරීමට නම් ඔවුන් වැදගත් කොට සලකන වටිනාකම් කෙරෙහි සංවේදීව ක්‍රියාකරන තැනකට ආණ්ඩුව යා යුතුය. නාගරික ජනයාගේ අතෘප්තිය කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනා ගනිමින් ඒ හේතුවලට හරි විසඳුම් ලබාදෙන තැනකට යා යුතුය. රටේ පවතින දූෂණය තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ජනාධිපතිවරයා ජනතාවට දී තිබෙන පොරොන්දුව සැබෑවක් කරන තැනකට යාමෙන් පමණක් වුවත් නාගරික ජනයා අතර පවතින අතෘප්තිය කිසියම් විශාල ප්‍රමාණයකට දුරුකළ හැකිය.
තොරතුරු ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදෙන තොරතුරු පනතක් නීතිගත කිරීමෙන්, වත්කම් බැරකම් නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට දැනගැනීම පිණිස විශේෂ වෙබ් අඩවියක පළකිරීමෙන්, පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා හා විශේෂ කාරක සභා රැස්වීම් ජනමාධ්‍යවලට විවෘත කිරීමෙන් හා දැන් පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවට හොංකොංවල තිබෙන දූෂණ මර්දන කොමිසම වැනි අල්ලස් හෝ දූෂණය මර්දනය කිරීමේ සැබෑ අරමුණින් ක්‍රියා කරන බලවත් ආයතන ක්‍රමයක් ඇති කිරීමෙන් පමණක් වුවත් දූෂණය මර්දනය කිරීමේ අරමුණ කිසියම් විශාල ප්‍රමාණයකට ජයගත හැකිය. දූෂණ මර්දනයේදී වැදගත්ම සාධකය ලෙස ක්‍රියාකරන්නේ රාජ්‍ය නායකයාගේ අධිෂ්ඨානයයි. දූෂණය මර්දනය කිරීම සඳහා කාර්යක්ෂම ආයතන ක්‍රමයක් ඇති කොට පක්ෂ භේදය හෝ තරාතිරම නොසලකා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියා කරන තත්ත්වයක් ඇති කළ හැකි නම් දූෂණය රජ කරන තත්ත්වයක පැවති හොංකොං දේශය හිමි කරගෙන සිටින තත්ත්වයට සමාන තත්ත්වයක් හිමිකර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ද ඇත්තේය.
දුෂ්කරම දේ වනුයේ ශක්තිමත් ආරම්භයක් ඇති කිරීමය. ශක්තිමත් ආරම්භයක් ඇති කළ විට ක්‍රමයෙන් එය මුල් බැසගත් ශක්තිමත් සම්ප්‍රදායක් බවට පත්වන්නේය.
සුළු ජාතික අතෘප්තිය
මෙම ජයග්‍රහණයට ආවේණික ඊළඟ ලොකුම සීමාසහිතකම ලෙස සැලකිය හැක්කේ එය රටේ සුළු ජාතිකයන්ගේ දායකත්වයක් තොර ජයග්‍රහණයක් වීමයි. රටේ සිංහල මහ ජාතිය මෙම ජයග්‍රහණයට කැපී පෙනෙන ලෙස දායක වී ඇතත්, දෙමළ, උඩරට දෙමළ හා මුස්ලිම් යන ජන කණ්ඩායම්වල ප්‍රමාණවත් තරමේ දායකත්වයක් මෙම ජයග්‍රහණයට ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. “නැගෙනහිර නවෝදය”, “උතුරු වසන්තය” වැනි ව්‍යාපෘති යටතේ එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා විශාල වියදමක් දරා ඇතත්, මෙම ජයග්‍රහණය සඳහා එම ප්‍රදේශවල ජනතාවගෙන් ලැබී තිබෙන දායකත්වය අල්ප මට්ටමක පවතී. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන්වලින් පමණක් සුළු ජාතීන් අතර පවතින අතෘප්තිය දුරු කළ නොහැකි බව ඉන් පෙනීයයි. සංවර්ධනය ඔවුන්ට අවැදගත් නැත. එහෙත් සංවර්ධනය සමග ඔවුන්ට විසඳා ගතයුතු දේශපාලන ප්‍රශ්නද ඇත්තේය.
ඔවුන්ට තිබෙන දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමෙන් තොරව ඔවුන් ජීවත් වන ප්‍රදේශවල යටිතල පහසුකම් වර්ධනය කිරීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් කළ නොහැකිය. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව වඩුක්කොඩෙයි ප්‍රකාශනයේ එන මූලධර්ම හෝ තිම්පු මූලධර්ම පිළිගන්නා තැනකට යායුතු බව ඉන් අදහස්වන්නේ නැත. එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු දැන් රට ඉදිරියේ විවර වී ඇත්තේ අලුත් අවකාශයකි. ඒ අවකාශයට පැරණි විසඳුම් වලංගු නැත. සිංහල නායකයන් සේ ම දෙමළ නායකයන් ද එම අලුත් අවකාශයට ගැළපෙන අලුත් විසඳුම් ඉදිරිපත් කළ යුතුය. එල්ටීටීඊය චිත්‍රයෙන් ඉවත් කිරීමෙන් පසු දෙමළ ජනයා ඉදිරියේ ඇත්තේ අලුත් අවකාශයක් බව දෙමළ සන්ධානයේ නායකයන් ද දැන සිටියේය. උතුරු නැගෙනහිර එකතු කිරීම හෝ 13 වන ව්‍යවස්ථා සංශෝධනය විවර වී තිබෙන අලුත් අවකාශයට විසඳුමක් නොවන බව දෙමළ සන්ධානයේ නායකයන් දැන සිටියේය.
ඒ බව ඔවුන් අනියම් ලෙස හෝ ප්‍රකාශ කර ද තිබුණේය. එහෙත් අවාසනාවකට මොන මොන හේතු නිසා හෝ ඔවුන් වඩුක්කොඩෙයි ප්‍රකාශයේ හෝ තිම්පු මූලධර්ම වෙනුවෙන් නැවත පෙනී සිටින තැනකට ගියේය. ඇතිවී තිබෙන නව අවකාශයට ඊට ගැළපෙන නව විසඳුම් අවශ්‍ය බව තේරුම් නොගනිමින් දෙමළ සන්ධානයේ සහාය ලබාගැනීමේ පටු අරමුණින් ඔවුන්ගේ පැරණි ප්‍රවේශය පිළිගැනීම මගින් විරුද්ධ පක්ෂ සන්ධානයද වරදක් කර තිබෙන බව පෙනේ.
එක්සත් ජාතියක් ඇතිකර ගැනීම
රටේ ජනතාව එක්සත් කළයුතු නම් හා එම එකමුතුව මගින් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කරගත යුතු නම් එම ක්‍රියාවලියට දෙමළ හා මුස්ලිම් වර්ගයාද එකතු කරගත යුතුය. ඒ සියලුදෙනා සිංහල වීමට කැමති නම් ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. එහෙත් ඔවුන් සිංහල වීමට කැමති නැත. සිංහලයන්ට තමන්ගේ සිංහලකමද, දමිළ හා මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ දමිළකම හා මුස්ලිම්කමද ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඒ සියලුදෙනා එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් එකට එකතු කරන ක්‍රමවේදයක් අප සොයාගත යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතික වාදියකු වුවත් ජාතිවාදියකු ලෙස සැලකිය නොහැකිය. ඔහු වර්තමානයේ මහ ජාතිය වන සිංහල ජාතීන්ගේ විශ්වාසයට හේතුවී සිටින ජන නායකයාය. එහෙත් මහ ජාතියේ විශ්වාසයට හේතුවීමෙන් පමණක් සාර්ථක ජන නායකයකු විය නොහැකිය. ඔහුට බෙදී සිටින මේ රටේ ජනවර්ග එකතු කිරීමට අවශ්‍ය නම් ඔහු මහ ජාතීන්ගේ පමණක් නොව සුළු ජාතියේද විශ්වාසයට හේතුවන නායකයකු බවට පත්විය යුතුය.
ඔහු එය කළයුතුව තිබෙන්නේ සිංහල මහ ජාතියේ අයිතිවාසිකම් පාවා නොදෙමින් හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්ද පාවා නොදෙමින්ය. සිංහලකමට උනන්දුවක් දක්වන අයට ඔවුන්ගේ සිංහලකම සේ ම දෙමළ හා මුස්ලිම් අයට ඔවුන්ගේ දෙමළකම සේම මුස්ලිම්කමද ආරක්ෂා කරගනිමින් ඒ සියලුදෙනාට එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා ආදරයෙන් එකට එකතු වී ජීවත්විය හැකි දේශපාලන ක්‍රමයක් ඇති කිරීමෙනි.
ප්‍රතිපක්ෂ වෛරය
ඒ සමග ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පවතින ෙවෙරසහගත ආකල්ප තුරන් කරන තැනකට යායුතුය. ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති පරිදි දැන් ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ජන නායකයා පමණක් නොව තමන්ට ඡන්දය නොදුන් ජනතාවගේද ජන නායකයා වේ. ඒ නිසා ඔහු ප්‍රතිවාදී අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා පමණක් නොව ඔහුගේ විරුද්ධ පක්ෂ ආධාරකරුවන් ද ආදරයෙන් හා ගෞරවයෙන් බලාගන්නා තැනකට යා යුතුය. විරුද්ධ මතධාරී දේශපාලන ව්‍යාපාරවලටද සමගියෙන් හා ගෞරවයෙන් ක්‍රියාකළ හැකි දේශපාලන වටාපිටාවක් ඇති කළ යුතුය. ජනාධිපතිවරයා භේදයකින් තොරව සියලුදෙනාගේ ගෙ!රවය හිමි කරගත් ජන නායකයා බවට පත්වනු ඇත්තේ එවිටය. එවැනි ප්‍රවේශයක් ඉතාමත් සංකීර්ණ හා දුෂ්කර විය හැකි වුවත් රටට සාර්ථක ඉදිරි ගමනක් සඳහා එවැනි ප්‍රවේශයක් අවශ්‍ය වී තිබේ.
Editor’s Note
Published four days after the presidential election of 26 January 2010. Ivan records that the UNP, having accused an army group reporting to the Commander of Lasantha Wickrematunge’s killing — a claim Ranil Wickremesinghe made publicly and Joseph Michael Perera raised in parliament — adopted that same Commander as its common candidate without withdrawing the allegation. Fonseka was arrested on 8 February 2010, nine days after this article appeared. The politician referred to as Mangala is Mangala Samaraweera.