ජනාධිපතිනිය බහුබූත ව්යවස්ථාවක් බව කියමින් 78 ව්යවස්ථාවට බැණ වදිමින් ඒ යටතේ ඇති කර තිබූ විධායක ජනාධිපති ක්රමයේ බලයෙන් ජනිත කරන රසය ගිජු ලෙස භුක්ති විඳින ප්රතිපත්තියක් පවත්වාගෙන ගියා විනා, එම ක්රමය අහෝසි කරනවා තබා ඒ ක්රමය තුළ පැවති පරස්පරතා අහෝසි කෙරෙන ආකාරයේ ප්රතිසංස්කරණයටවත් නොගියාය. දැන් ජනාධිපතිනිය ද ඒ වෙනුවෙන්ම වන්දි ගෙවිය යුතු තැනකට පත්ව සිටී.
ඇටිකෙහෙල් උගුඩුවන්ට රස ආහාරයකි. එහෙත් ඇටිකෙහෙල්වල ඇති රසය පමණක් සලකා ඒවා ගිජු ලෙස බුක්ති විඳින උගුඩුවන්ට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ද ගෙවන්නට සිදුවන්නේය. ශ්රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්රමය ද ඇටිකෙහෙල් බඳුය. එහි බලයෙන් ජනිත වන රසය ඉතා රසවත්ය. එහෙත් එහි රසය පමණක් සලකා ගිජු ලෙස බුක්ති විඳින අයට ඒවා දිරවා ගැනීමේ අමාරුකමක් ද ඇතිවිය හැකිය.
1978 ව්යවස්ථාව සම්මත කරගත් අවස්ථාවේදි එම ක්රමයේ ඇති හොඳ නරක විග්රහ කරමින් ආචාර්ය එන්.එම්. පෙරේරා කීවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණු එම අවස්ථාවේදි එම ක්රමය පෙන්නුම් කරමින් තිබුණු නිසල පැවැත්ම හා මෘදු ක්රියාකාරිත්වය ඉන්පසු ඇතිවන පාර්ලිමේන්තුවක් තුළ දැකිය නොහැකි වනු ඇති බවය. දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු හෝ වාමාංශික ව්යවස්ථාදායකයක් හෝ වාමාංශික ජනාධිපතිවරයෙකු හෝ දක්ෂිණාංශික ව්යවස්ථාදායකයක් යන දෙකින් එකක් ඇති වන අවස්ථාවක එය ඇති කරන අර්බුදය සමස්ත දේශපාලන ක්රමයම නිගාවට ලක් කිරීමට හේතුවනු ඇති බව ප්රකාශ කළේය.
මෙම ව්යවස්ථාවේ නිර්මාතෘවරයා සිය ව්යවස්ථාව මගින් අනුපාත ක්රමයක් හඳුන්වාදි තිබුණත් කේවල ක්රමයෙන් ලැබුණු හයෙන් පහේ බලය ඉතාමත් සටකපට ලෙස සිය නිල කාල දෙක සඳහාම යොදා ගත්තේය. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ඇතිවන කැරලි මිස පාර්ලිමේන්තුවෙන් කැරලි ඇතිවීමට ඉඩක් නොතිබුණි.
එහෙත් 1989දි අනුපාතික ක්රමය යොදාගැනීමත් සමග චිත්රයේ වෙනසක් ඇතිවිය. එකම පක්ෂයකින් ජනාධිපති හා ව්යවස්ථාදායකය තේරි පත්වී ජනාධිපතිට වැඩ කිරීමට අවශ්ය තරම් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබී තිබියදිත් ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ව්යාජ ආකාරයකින් හෝ දෝෂාභියෝගයක් එල්ලවීම නිසා පළමු වරට ජනාධිපති ක්රමය විශාල අර්බුදයකට ලක්වුවේය. එකම පක්ෂයකින් ජනාධිපති හා ව්යවස්ථාදායකය තේරි පත්වන අවස්ථාවල පවා මේ ආයතන දෙක අතර ගැටුමක් ඇතිවිය හැකි බව ඉන් ඔප්පු විය. එය ආචාර්ය එන්.එම්. පෙරේරා විසින් පුරෝකථනය කර තිබුණු කරුණකි.
ජනාධිපති ප්රේමදාස ඝාතනයෙන් පසුව ජනාධිපති ධුරයට පත් විජේතුංග ජනාධිපතිවරයා 94 මැතිවරණයෙන් පාර්ලිමේන්තු බලය ලබාගන්නා පොදු පෙරමුණට බලය පෙන්වන තැනකට යන්නේ නැත. ඔහු අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කිරිමේදි තමන්ට ලැබී තිබුණු බලය සමග සෙල්ලම් කරන ප්රතිපත්තියකට නොගියා සේ ම කැබිනට් මණ්ඩලය නම් කිරිමේදි ද ඒ සමග සෙල්ලම් කරන ප්රතිපත්තියකට නොගියේය. ඔහු නමට පමණක් සීමාවූ ජනාධිපතිවරයෙකු බවට පත්වෙමින් බලයට පැමිණි අයට බාධා කිරීමකින් තොරව සිය කටයුතු කරගෙන යාමට ඉඩ හැරියේය.
ඉන්පසු ජනාධිපතිකමට එන චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ද පාර්ලිමේන්තු බලය සිය පක්ෂයට ලැබී තිබුණු තත්ත්වයක් යටතේ පළමු නිල කාලය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට සමත් වුවත්, අනාගත පිපිරිමක් සඳහා අවශ්ය සියලු සාධක ද එම පළමු නිල කාලය තුළම එහි රැස්කර තැබුවාය. මෙවැනි ක්රමයක් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා සිය පක්ෂයට අයත් ඇමති සගයින්ට හා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෙරෙහි කාරුණක පිළිවෙතක් අනුගමනය කිරීම අත්යවශ්ය වන්නා සේ ම, ඊට අතිරේක වශයෙන් විරුද්ධ පක්ෂ කෙරෙහි ද ඔවුන්ගේ ගෞරවයට හේතුවන පිළිවෙතක් පවත්වාගෙන යාම අත්යවශ්ය වන්නේය.
ඇයට තිබුණේ ඉතාමත් සීමිත පාර්ලිමේන්තු බලයක් වුවත්, ඇගේ හැසිරිම හයෙන් පහක බලයක් තිබූ ජේ.ආර්. ජයවර්ධනගේ හැසිරිමටත් වඩා අහංකාර විය. විරුද්ධ පක්ෂ හැකි උපරිම මට්ටමකින් පීඩාවට පත් කළාය. සිය පාලන කාලය තුළ පවත්වන ලද කිසිම මැතිවරණයක් සාධාරණ නොවීය. ඒ හැම මැතිවරණයක්ම දූෂණයෙන්ද, බලහත්කාරයෙන් ද පිරි පැවතුණ. කැබිනට් ඇමතිවරුන් හා සිය පක්ෂ මන්ත්රීවරුන් කෙරෙහි පවත්වාගෙන ගිය පිළිවෙත ද ඔවුන්ගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතු නොවීය. ඒ සියලු දෙනා ඇයට පක්ෂපාතී වූයේ බලයට ඇති බිය නිසා මිස, ඇය කෙරෙහි ඇති කරගත් ගෞරවයකින් නොවීය.
ප්රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඇතිවූ පාර්ලිමේන්තු කැරැල්ලේ මූලිකත්වය ගත්තේ විරුද්ධ පක්ෂය නොව, ආණ්ඩු පක්ෂයේම කණ්ඩායමකි. ඒ මහතාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය ව්යාජ එකක් වී එය ජයගැනීමට ඔහු සමත් වුවත්, එම කැරැල්ල ඔහු ඉතාමත් බෙලහීන තත්ත්වයකට ඇද දැමීමට සමත් විය. එයින් චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ද ඉගෙන ගැනීමට වැදගත් පාඩම් කිහිපයක් තිබුණත්, ඒ කිසිවක් ඇය ඉගෙන ගත් බවක් පෙනෙන්නට නැත. තමන්ගේ ඇමතිවරුන් හා මන්ත්රීවරුන් කෙරෙහි ඔවුන්ගේ ගෞරවයට හේතු නොවන පිළිවෙතක් අනුගමනය කරන තත්ත්වයක් ඉදිරියේ ඒ සියලු දෙනා සුදුසු අවස්ථාවක් ලැබුණු කලක වෛරයෙන් තමන්ට එරෙහිව නැගී සිටීමේ හැකියාවක් ඇති බව ඇය මුලසිටම තේරුම් ගත යුතුව තිබුණි. අධිකරණය ඇතුළු සියලු වැදගත් මර්මස්ථානවල තෝරාගත් විශ්වාසවන්තම සගයන් රඳවා තබන පිළිවෙතකින් පමණක් කැරැල්ලක් ඇතිවීම වැළකිය නොහැකි බව ද ඇය තේරුම් ගත යුතුව තිබුණේය.
ඇගේ දෙවැනි ධුර කාලය ඇරඹෙන්නේ අභ්යන්තර කැරැල්ලක් ඇතිවීමට අවශ්ය සියලු සාධක තමන් විසින්ම නිර්මාණය කර තිබූ තත්ත්වයක් යටතේය. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගන්නා ප්රතිඵලය ද එම තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවී තිබුණි. ඉන්පසු ගොඩ නැගෙන්නේ පක්ෂ ගණනාවක් අමාරුවෙන් එකට ගැට ගසා තනන දුර්වල ආණ්ඩුවක් වුවත්, ඒ සියලු පක්ෂ තවදුරටත් එකට තබාගත හැකි කාරුණික ප්රවේශයක් ඉදිරියට ගෙන යාමට ඇය අසමත් වූවාය.
ආණ්ඩුවේ අභ්යන්තර ප්රතිවිරෝධතා මෝදුවෙමින් තිබෙන අවස්ථාවක මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් ඇමති මණ්ඩලයෙන් ඉවත් කළාය. ඒ සමග ඔහු සමග සිටි හත්දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමත් සමග ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබූ සුළු බහුතර බලය ද අහිමිවී විපක්ෂය බහුතර බලය ඇති පිරිස බවට පත්විය. ඒ සමග ජනාධිපති ක්රමය විසින්ම අදූරදර්ශී ජනාධිපතිවරුන් සඳහා නිර්මාණය කර තිබුණු උගුලට ජනාධිපතිනිය අසුවූවාය. තමන් පහසුවෙන් ගැලවිය නොහැකි උගුලකට අසුවී තිබෙන බව ජනාධිපතිනියට දැනෙන්නේ ද ඒ සමගය.
ඒ සමග විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොතබා පාර්ලිමේන්තු සැසි වාරය කල් දමන හිතුවක්කාරි පිළිවෙතකට ජනාධිපතිනිය තල්ලු වූයේ ද විශ්වාසභංගය පරාජය වී නම් විපක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදිමේ හැකියාවක් ඇයට නොතිබුණු නිසාය. එය එසේ වුවහොත් තමන් සමග සිටින පිරිසක් ද ඔවුන්ට එකතුවෙමින් තමන් පලවා හරින තත්ත්වයකට එම ආණ්ඩුව ගමන් කළ හැකි බව ඇය දැන සිටියාය. ඒ ගැන ඇති කරගත් තක්සේරුව නිවැරදි විය. දිගින් දිගට විපක්ෂයේ පක්ෂ කෙරෙහි පීඩාකාරි ප්රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඔවුන් කෙරෙන් ඇය කෙරෙහි පැවති ආකල්පය සහනශීලී එකක් නොවීය. අනෙක් අතට ඇය කෙරෙහි එවැනි කෝප සහගත ආකල්පයක් පැවතියේ ආණ්ඩුවෙන් විපක්ෂයට එකතුවන්නට සිටි පිරිස් අතරය.
දැන් ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ප්රකාශ කර ඇතත්, තමන්ගේ ආරක්ෂාව සඳහා ඉන් විපක්ෂය ජයගැනීම වැළකීම සඳහා කළ හැකි උපරීම දේ කරන තත්ත්වයකට ඇය තල්ලුවීම නොවැළැක්විය. එහෙත් මේ මැතිවරණයේදි විරුද්ධවාදින් පීඩාවට පත් කරන තරමට ජනාධිපතිනිය කෙරෙහි ඔවුන් අතර පවත්නා විරෝධය ද තව තව වර්ධනය වන්නේය. ඒ සියල්ල එසේ සිදුවෙද්දි මැතිවරණයෙන් ජය ලැබීමට විපක්ෂය සමත් වෙතොත්, ජයග්රාහී ජනතා බලවේගයක් සේම ගොඩ නැගෙන නව ආණ්ඩුව ද ජනාධිපතිනිය කෙරෙහි දැඩි කෝපයකින් යුතුව ක්රියාකරන තැනකට යොමුවීම නොවැළැක්විය හැකිය.
නොවෙතොත්, ඉන්පසු දෙපක්ෂය අතර ඇතිවන ගැටුම සමස්ත දේශපාලන ක්රමයම නින්දා සහගත තත්ත්වයකට ඇද දැමීමට හේතුවනු නොවැළැක්විය හැකිය.