ඡන්ද ක්‍රමය සේම දේශපාලන ක්‍රමයද වෙනස් විය යුතුය

January 30, 2010
Publication:
Rajapaksa promised during the campaign to change the preferential voting system before the next parliamentary election. Changing the electoral system alone is not enough — the political system must change with it, and for the country's good rather than a party's. An executive president answerable to parliament and the courts between elections is possible; so is subjecting every presidential act to judicial review, as in the United States. The president should hold no ministry, lose the power to dissolve parliament at will after a year and to call an early election after four, and face a cap on cabinet size. A mixed proportional and constituency system will only work if the parties themselves are made internally democratic, since the present arrangement gives each leader autocratic power. India requires parties to file accounts with the election commission and auditor general, and candidates to declare assets with their nominations. Any amendment must rest on agreement across all parties, not be built for the ruling party as in 1972 and 1977.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යන්නට පෙර මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී රටට පොරොන්දු විය. මෙම දූෂිත ඡන්ද ක්‍රමය පමණක් නොව, දේශපාලන ක්‍රමයද වෙනස් විය යුතුය. ඡන්ද ක්‍රමය වෙනස් කරන්නේ නම් ඒ සමග දේශපාලන ක්‍රමයේද වෙනස්කම් ඇති කරගත යුතුය. ඒ වෙනස්කම්වල සැබෑ අරමුණ විය යුත්තේ රටේ පොදු යහපත මිස, දේශපාලන පක්ෂයක යහපත නොවේ. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කරන්නේ නම් එයද විධිමත්ව සිදුවිය යුතුය. ජනතාවට පමණක් නොව ජනාධිපතිවරණ දෙකක් අතරතුර කාලයේදී පාර්ලිමේන්තුවට සේ ම අධිකරණයටද වගකියන විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරගත හැකිය. වැරදි කරන ජනාධිපතිවරයකු තනතුරෙන් පහකිරීම සඳහා ඇති කර තිබෙන විධිවිධානද විධිමත් කළ යුතුය. තිබෙන දේශපාලන ක්‍රමය තුළ ජනාධිපතිවරයා ස්ථාන ගතකොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් වන නිසා මෙතෙක් බලයට පැමිණි හැම ජනාධිපතිවරයකුම පාහේ අඩු වැඩි වශයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අතර එම තත්ත්වය නීතියේ පාලනයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

බලයට පත්වන මොනම ජනාධිපතිවරයකුටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නොහැකි තත්ත්වයක් ඇති කළ යුතුය. ඇමරිකාවේ මෙන් ජනාධිපතිවරයාගේ ඕනෑම ක්‍රියාවක් අධිකරණයේ පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් ඇති කිරීමෙන් එම විසම තත්ත්වය ජයගත හැකිය. ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය හැර වෙනත් ඇමති තනතුරු දැරිය නොහැකි තත්ත්වයක් ඇති කළ යුතුය. අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු සිය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සේම ධුර කාලයේ අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට තිබෙන බලයද නැතිවිය යුතුය. කැබිනට් මණ්ඩලයට පුද්ගලයන් ඇතුළත් කරගත හැකි සංඛ්‍යාවද සීමා කිරීමට හේතුවන විධි විධානද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය. උසස් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබිය යුතු වුවත් සුදුසුම පුද්ගලයන් හැර අවශ්‍ය සුදුසුකම් නැතිව දේශපාලන හිතවතුන් පත්කිරීමට තිබෙන බලය පාලනය කරන හා තනතුරුවලට පත්කරන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කරගත යුතුය.

ජනාධිපති ක්‍රමය පමණක් නොව පාර්ලිමේන්තු ක්‍රමය සේ ම මැතිවරණ ක්‍රමයද විධිමත් කරගත යුතුය. දැන් පවතින අනුපාතික ක්‍රමය වෙනුවට අනුපාතික ක්‍රමය හා කේවළ ක්‍රමයේ මිශ්‍රණයක් සඳහා ඇති කරගෙන තිබෙන දේශපාලන එකඟතාව ක්‍රියාවට නගන තැනකට යාහැකිය. එහෙත් එවැනි ක්‍රමයක් සාර්ථක වනු ඇත්තේ රටේ පවතින පක්ෂ ක්‍රමයද අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහිත පක්ෂ ක්‍රමයක් බවට පත් කරන නීති ඇති කිරීමෙන් හා ඒ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කිරීමෙනි. දැන් පවතින පක්ෂ ක්‍රමය හැඩගැසී ඇත්තේ පක්ෂයේ නායකයාට ඒකාධිපති බලයක් ලැබෙන ආකාරයටය. දේශපාලන තලයේ පවතින දූෂිත තත්ත්වය හා අකාර්යක්ෂම තත්ත්වය කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. පක්ෂ ව්‍යවස්ථාව පාක්ෂිකයන්ට පමණක් නොව, මහජනතාවටද විවෘත විය යුතුය. පක්ෂ අරමුදල් ද විනිවිදව පෙනෙන තැනක තිබිය යුතුය.

මහජනයා තෝරාපත් කරගන්නා හා ආණ්ඩු සල්ලිකාරයන් කිහිපදෙනකුට මිලදී ගත නොහැකි හා සල්ලිකාරයන් කිහිප දෙනකුට අවශ්‍ය විට පුද්ගලයන් මුදලට මිලදී ගෙන ආපසු පෙරළිය හැකි තත්ත්වය අහෝසි කළ යුතුය. ඉන්දියාවේ මැතිවරණ නීති සකස් කර ඇත්තේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන ආකාරයටය. හැම පක්ෂයක්ම වාර්ෂිකව සේ ම මැතිවරණයකට පසුවද සිය ගිණුම් වාර්තා මැතිවරණ කොමිසම වෙතද, විගණකාධිපති වෙතද ඉදිරිපත් කළ යුතුය. පක්ෂවලට මුදල් ලැබෙන මාර්ග හා ලැබුණු මුදල් පිළිබඳ විස්තර ඊට ඇතුළත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් හා බැරකම් ප්‍රකාශ ද භාරදිය යුතුය. එවැනි විධිවිධාන අපටද ඇති කරගත හැකිය. වෙළෙඳ දැන්වීම් මගින් ප්‍රචාරක කටයුතු කිරීමද පාලනය කළ හැකිය. ඉතාම වැදගත් දේ ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම් 1972දී හෝ 1977දී මෙන් පාලක පක්ෂයට පමණක් බර තබා ක්‍රියාකරන තැනකට නොගොස් අවශ්‍ය වෙනස්කම් සියලු දේශපාලන පක්ෂවල පොදු එකඟතාවකින් යුතුව ඇතිකර ගන්නා තැනකට යාමය.