ගෝඨාභයගේ හෙවණැල්ල

June 29, 2014
Publication:
Ivan credits Defence Secretary Gotabaya Rajapaksa with driving the war to a conclusion, but argues that he failed at what must follow the defeat of an internal rebellion: the humane rehabilitation of the defeated, as after 1971 and 1989, and letting a people mourn its dead. His gravest wrongs, Ivan writes, were the killing of criminals without trial, which continued after the war, and his patronage of extremist groups, from the halal campaign to the Beruwala and Aluthgama violence, which threatens to undo the peace won by defeating Prabhakaran.

ගෝඨාභය රාජපක්ෂ කෙනකු ලංකා දේශපාලනයට එකතුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. ඔහු හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු දශක එකහමාරක පමණ කාලයක් ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය. ඔහු ප්‍රකට හෝ බලවත් පුද්ගලයකු බවට පත්වන්නේ සහෝදරයා ජනාධිපති ධුරයට පත්වීමත් සමග සිදුවන ආගමනයෙන් පසුවය. ඒ සමග ඔහුට ඉතා බලවත් තනතුරක් ලෙස සැලකිය හැකි ආරක්ෂක ලේකම් ධුරය හිමිවූ අතර ඉන්පසු ආරම්භ වන සිව්වන ඊලාම් යුද්ධයේ ආරක්ෂක හමුදා සම්බන්ධීකරණය කරන පුද්ගලයා බවට පත්වන්නේ ඔහුය. යුද ජයග්‍රහණයේ වැදගත්ම නියමුවකු ලෙස සැලකිය හැකි ජෙනරාල් ෆොන්සේකාට විශ්‍රාම යන්නට ඉඩ නොතබා ඔහු හමුදාපති ධුරයට පත්කරවා ගැනීමට ජනාධිපති එකඟ කරවා ගත්තේද ඔහුය. මොන මොන හේතු නිසා හෝ ෆොන්සේකාට හමුදාපති ධුරය දෙන්නට ජනාධිපති තුළ කැමැත්තක් තිබී නැති අතර ඒ අකමැත්ත සමනය කොට ෆොන්සේකාට එම තනතුර ලබාදීමට ජනාධිපති කැමති කරවාගෙන ඇත්තේ ඔහුය.

ඊට අතිරේකව ඔහු යුද්ධය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑම සඳහා තමන්ට තිබුණු අවදානම නොසලකා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිගේ සහෝදරයා වීම හේතු කොට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය සැපයුම් නිර්ලෝභී ලෙස හා ප්‍රමාදයකින් තොරව ලබාදීමට සමත් වූ අතර ත්‍රිවිධ හමුදාවට අභිමානයක් ලබාදීම සඳහා දියත් කෙරුණු මහා ප්‍රචාරක වැඩපිලිවෙළ පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයාද ඔහු විය. යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය ඔහුට අතිවිශාල පිළිගැනීමක් සේ ම වීරත්වයක්ද හිමිකර දුන්නේය. ඔහු යුද්ධය විසින් බිහිකරන ලද ලොකුම වීරයන් තිදෙනාගෙන් කෙනෙකු බවට පත්විය. ඒ සමග ඔහු රාජ්‍ය නිලධාරියකුට සීමාවී සිටියදීත් රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වූ අතිවිශාල බලයක් හිමිකරගත් පුද්ගලයා බවට පත්විය. ජෙනරාල් ෆොන්සේකා චිත්‍රයෙන් ඉවත් කිරීමත් සමග රටේ ආරක්ෂක සේවාවන්ට සම්බන්ධ බලවත්ම පුද්ගලයා බවට පත්වූයේ ඔහුය. ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති හා ඔහු අතර තිබුණේ සාමාන්‍ය පරතරයක් නොව, අහසට පොළොව වැනි පරතරයකි. ඔහු රජයේ නිලධාරියකු වී සිටියදීත් ඔහු සිටියේ ජනාධිපතිට පමණක් දෙවැනි වූ සියලු කැබිනට් ඇමතිවරුන්ට වඩා ඉහළින් සිටින තත්ත්වයකය. ජනාධිපති සේ ම ඔහුගේ අනෙක් සොහොයුරන් වන චමල් හා බැසිල් දේශපාලන අත්දැකීම් ඇති දේශපාලන වශයෙන් පදම් වූ අය වශයෙන් සැලකිය හැකි වුවත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන සත්වයෙකු නොවීය. ඔහු මිලටරි සත්වයෙකු පමණක් විය. ඔහු හැම දෙයක්ම දකින්නට උත්සාහ කළේ මිලිටරි කෝණයකිනි.

කැරලි පරාජය කිරීමෙන් පසු

යුද්ධය අවසන් කිරීමෙන් පසු පරාජය කරනු ලැබූ ජනතාවකගේ තත්ත්වයට පත්කරනු ලැබූ දෙමළ ජනතාව බලාගැනීමේ වගකීම භාරදෙන ලද්දේද යුද්ධයේ ලොකු වීරයකුගේ තත්ත්වය හිමි කරගෙන සිටි ගෝඨාභයටය. ගෝඨාභයගේ මිලිටරි හෙවණැල්ල උතුරේ දෙමළ ජනතාව කෙරෙහි පමණක් නොව මුළු රටටම බලපාන තත්ත්වයක් ඒ නිසා ඇතිවිය.

රටක අභ්‍යන්තර කැරැල්ලක් පරාජය කළ පසු පරාජිත කැරලිකරුවන් හා ඔවුන්ගේ අනුගාමික ජනයා පාලනය කිරීමේ වගකීම ජයග්‍රාහී ආරක්ෂක හමුදාවන්ට භාරදෙන්නේ නැත. මෙය පිළිගත් රීතියකි.

71 කැරැල්ල පරාජය කිරීමෙන් පසු භාරවූ හා අත්අඩංගුවට ගනු ලැබූ සිරකරුවන් 18,000 බලාගැනීමේ වගකීම සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව එම කැරලිකරුවන් පරාජය කරනු ලැබූ ආරක්ෂක හමුදාවන්ට භාරදුන්නේ නැත. ඒ වෙනුවට කළේ ඒ සියලුදෙනා බලාගැනීමේ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදීමය. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන්ගේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් අලුතෙන් බඳවා ගැනීමට සිදුවිය. තිබුණු සිරගෙවල් ඉඩ මදිවීම නිසා තාවකාලික කඳවුරු ඇති කිරීමට සිදුවුවද එම කඳවුරු පාලනය කළේද බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මිස ආරක්ෂක හමුදා විසින් නොවේ.

ආරක්ෂක හමුදා ඔවුන් වෙසෙන කඳවුරුවලින් එළියට ගැනෙන්නේ යුදමය තත්ත්වයක් හෝ විශේෂ ව්‍යසනයක් ඇතිවූ අවස්ථාවකදීය. යුදමය තත්ත්වය අවසන් වූ වහාම නැවත සිවිල් පාලනයකට ඉඩ ලැබෙන පරිදි යුද නීතිය ඉවත් කොට ආරක්ෂක හමුදා නැවත ඔවුන්ගේ බැරැක්කවලට යැවිය යුතුය. එයද පිළිගත් රීතියකි.

එල්ටීටීඊය පරාජය කිරීම අභ්‍යන්තර කැරැල්ලක් පරාජය කළ පළමු අවස්ථාව නොව තුන්වැනි අවස්ථාවය. ජේවීපී දෙවැනි කැරැල්ල පැවති අවධියේදී රටේ බොහෝ ප්‍රදේශවල තාවකාලික හමුදා කඳවුරු ඇති කර තිබුණි. ජේවීපී කැරැල්ල එහි උච්චතම අවස්ථාවේදී පරාජය කරනවා දකින්නට මහජනයා කැමති වුවත් ආරක්ෂක හමුදා විසින් එය මර්දනය කෙරුණු ආකාරය දකුණේ සිංහල ජනයාගේ විරෝධයට මිස පිළිගැනීමට හේතුවූයේ නැත. දෙමළ තරුණ කැරැල්ලක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊ යුද ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසු දකුණේ සිංහල ජනයා ආරක්ෂක හමුදා රණවිරුවන් ලෙස සලකන තත්ත්වයකට ගියද එම ආරක්ෂක හමුදා විසින්ම සිංහල ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුව ආරක්ෂක හමුදා රණවිරුවන් ලෙස සැලකුණේ නැත. ඔවුන්ට ආරක්ෂක හමුදා ගැන රළු විවේචනයක් තිබුණි. වර්තමානයේදී ආරක්ෂක හමුදා රණවිරුවන් ලෙස කට පුරා ප්‍රකාශ කරන චම්පික රණවක විමල් වීරවංශ වැනි අය අතර පවා එදා ආරක්ෂක හමුදා ගැන තිබුණේ ගොරහැඬි විවේචනයකි.

ජේවීපී කැරැල්ලට පක්ෂපාත නොවන දකුණේ සිංහල ජනයා අතර පවා ආරක්ෂක හමුදා ගැන ලොකු අප්‍රසාදයක් තිබෙන බව ජනාධිපති ප්‍රේමදාස දැන සිටියේය. කැරැල්ල පරාජය කළ වහාම රටේ විවිධ තැන්වල ඉදිකර තිබූ තාවකාලික හමුදා කඳවුරු ඉවත් කොට ආරක්ෂක හමුදා බැරැක්කවලට යවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඒ නිසාය.

එම ධර්මතාව උතුරේ දෙමළ කැරැල්ල පරාජය කිරීමෙන් පසු ක්‍රියාත්මක නොවූයේ ගෝඨාභය රාජපක්ෂ නිසාය. එසේ වන්නට ඇත්තේද ඔහුට මිලිටරි දැක්මක් මිස දේශපාලන දැක්මක් නොතිබුණු නිසා විය යුතුය. සමහරවිට ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරයේ නොසිටියේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා අගමැති සිරිමා බණ්ඩාරනායක මෙන් හෝ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙන් උතුරේ කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ ජනතාව බලාගැනීමේ වගකීම ආරක්ෂක හමුදාවන්ට භාර නොකොට ඔවුන් බැරැක්කවලට යවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඉඩ තිබුණේය. ජනාධිපති රාජපක්ෂ කොයි කාගේ දේවලට ඇඟිලි ගැසුවද ගෝඨාභය කරන දේවලට ඇඟිලි නොගැසුවේය. ඒ ගෝඨා ඔහුගේ ප්‍රියතම සහෝදරයා වූ නිසා පමණක් නොව යුද්ධයේදී විශාල අවදානමක් භාරගනිමින් යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු කර තිබුණු විශේෂ කාර්යභාරය නිසා විය හැකිය. ජනාධිපති ගෝඨා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ ඔහු කරන කිසිවකට ඇඟිලි නොගසා ඔහුගේ දේවල් ලෙස සැලකුණු දේවල් ඔහුට කැමති ලෙස කරගෙන යන්නට ඉඩහැරීමය. ඒ තත්ත්වය ආරක්ෂක ලේකම්වරයාට කිසිවකුගේ පාලනයට යටත් නැති බලයක් ලබාදීමට හේතුවූවේයැ”යි කිව හැකිය. ගෝඨාභය තුළ පවා සිය සහෝදරයා අබිබවා යෑමේ වුවමනාවක් නොතිබුණා වුවද ඔහු දේශපාලන දේවල්ද මිලිටරි කෝණයකින් බලා ක්‍රියාකරන තත්ත්වයක් තුළ ඔහු දැන් සිය සහෝදරයාගේ පමණක් නොව ඔහුගේ ආණ්ඩුවේද දේශපාලන මිනීවළ හාරන්නාගේ තත්ත්වයට පත්ව සිටින්නේයැ”යි කිව හැකිය.

මරණකරුවන් සැමරීම

දෙමළ උතුරේ ඇතිවූයේ එක කැරැල්ලක් පමණය. සිංහල දකුණේ එකම ව්‍යාපාරයක් අතින් කැරලි දෙකක් ඇතිවිය. 71 කැරැල්ලේදී මරණයට පත්වූ කැරලිකරුවන්ගේ දෙමාපියන් හා අඹු දරුවන් මරණකරුවන් සැමරුවේය. දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුද මියගියවුන්ගේ දෙමාපියන් හා අඹුදරුවන් මියගියවුන් සැමරුවේය. ඒ සඳහා මව්වරුන්ගේ පෙරමුණක් ගොඩනගන ලද අතර එකල මහින්ද රාජපක්ෂද එම මව් පෙරමුණේ ප්‍රබල ආධාරකරුවකු විය. මියගියවුන් කරන ලද දේවල හරි වරද කුමක් වුවද ඔවුන් සැමරීමේ අයිතිය ඔවුන්ගේ දෙමාපියන්ට දූ දරුවන්ට හා ඥාතීන්ට තිබෙන්නේය. ගෝඨාභය රාජපක්ෂ මීට පෙර කිසිවකුත් නොකළ ආකාරයට උතුරේ දෙමළ ජනතාවට තමන්ගේ මියගියවුන් සැමරීමේ අයිතිය පවා අහිමි කරන්නට ඇත්තේ ඔහු තුළ මිලිටරි හදවතක් මිස දේශපාලන හදවතක් නොතිබුණු නිසාය.

ඔහුට මේ කැරලිවල සමාජ, දේශපාලන වටාපිටාව පිළිබඳව මොනව අවබෝධයක්වත් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔහුගේ මිලිටරි ඇහැට පෙනුණේ කැරලිකරුවන් තුළ ජීවත් වූ ත්‍රස්තවාදියා පමණය. ඔවුන් එවැනි සාහසික ක්‍රියාමාර්ගයකට තල්ලු කිරීමට බලපෑ හේතු ඔහුට නොපෙනුණේය. අඩුම වශයෙන් තමන් විසින් පරාජය කරන ලද්දේ විදේශ ආක්‍රමණික හමුදාවක් නොව මේ රටේ ජනතාවගේ දූ දරුවන් පිරිසක් බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය.

යුද්ධයේදී සිදුවූ සීමාන්තික ක්‍රියා සොයා බලන තැනකට යන්නට ඉඩ නොදුන් පුද්ගලයා වන්නේද ගෝඨාභයය. සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකොට වැරදි කර තිබෙන පුද්ගලයන්ට දඬුවම් කොට නැවත ඒ සියලුදෙනාට සමාව දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන බාධාවන්ගෙන් තොරව වේගවත් ඉදිරි ගමනක යෙදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන්නට ඉඩ තිබුණි. ඒ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කොට ලංකාවට පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා අවුලකට තල්ලුකිරීමේ ප්‍රධාන වගකීම භාරගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂයය. තමන්ගේ ප්‍රියතම මල්ලීට ඕනෑම හිතුවක්කාරකමක් කරන්නට ඉඩදී ජනාධිපති අයියාද අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙනේ.

ඕනෑම යුද්ධයකදී සීමාන්තික ක්‍රියා ඇතිවීම නොවැළැක්විය හැකිය. 71 කැරැල්ල මර්දනයේදීද සීමාන්තික ක්‍රියා සිදුවිය. ඒවා අතරින් ජාත්‍යන්තර තලයේ වඩාත්ම කතාබහට හේතුවී තිබුණේ රූප සුන්දරියක් වූ ප්‍රේමා මනම්පේරිගේ ඝාතනයයි. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඒ ගැන පරීක්ෂණයක් කොට වගඋත්තකාර හමුදා නිලධාරීන්ට නඩු පැවරුවේය. ඒ නඩුව ඇසුණු අධිකරණ ඔවුන්ට උපරිම දඬුවම් දුන්නේය. ඒ මගින් හමුදාව පාවාදීමක් සිදු නොවීය. ඉන් සිදුවූයේ එම සාහසික සිද්ධියෙන් හමුදාවට සිදුවී තිබූ අපකීර්තිය නැති කිරීමය.

ගෝඨාභයගෙන් සිදුවූ වැරදි

ගෝඨාභය රාජපක්ෂ අතින් රටට සිදුවූ නරකම දේ ලෙස සැලකිය හැක්කේ රට බැරැක්කකරණයකට තල්ලු කිරීමය. සිවිල් නිලධාරීන් ඉසිලිය යුතු තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කළේය. නිසි පුහුණුවක් ලබාදීමෙන් පවා තොරව හමුදා නිලධාරීන් තොග ගණනින් තානාපති සේවයට පත් කළේය. අධ්‍යාපනයද හමුදාකරණයකට ලක් කළේය. ඒ මගින් සිවිල් දේශපාලන ආයතන ක්‍රමය විකෘති කළේය.

අපරාධකරුවන් නඩු නොඅසා වෙඩි තබා මරා දැමීමේ බිහිසුණු සම්ප්‍රදාය රටට හඳුන්වා දුන්නේද ඔහුය. එය ලොව පිළිගත් සියලු නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි ෆැසිස්ට් ක්‍රියාදාමයක් විය.

දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප්‍රචණ්ඩ ප්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ නැත. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයන් අබිරහස් ලෙස අතුරුදන් විය. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

යුද්ධය අවසන්වීමෙන් පසුත් ඒ ක්‍රියාදාමය අවසන් නොවීය. විවිධ හේතු මත රටේ විවිධ තැන්වල සිදුවූ උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහාද නිල වශයෙන් පමණක් නොව නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිසක් යොදා ගත්තේය. තතු දත් ආණ්ඩුව සම්බන්ධ සමහර අය එම ක්‍රියාදාමය දෙස බලා සිටියේ කැමැත්තකින් නොව මහත් අප්‍රියාවකිනි.

අන්තවාදීන් පෝෂණය කිරීම

ආරක්ෂක ලේකම්වරයා සමහර අන්තවාදී බලවේගයන් කිරි පොවා ඒවා ලොකු මහත් කිරීමෙන් නොනැවතී ඒවාට රැකවරණයද ලබා දුන්නේය. බොදු බල සේනාව ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ඥානසාර හිමියන්ගේ නිර්භීතකම ස්වාභාවික දෙයකට වඩා ආරක්ෂක අමාත්‍යාංශයේ හයියෙන් ඇති කරගත් දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ හිමියන්ගේ විවිධ රංගනයන් ඉදිරියේ ආරක්ෂක අංශ ඒ හිමියන්ට කැමති දෙයක් කරන්නට ඉඩදී බලා සිටියේ ඒ හිමියන් හා ආරක්ෂක ලේකම් අතර තිබුණු ගුප්ත සම්බන්ධය ඒ හැම කෙනකුම දැන සිටි නිසාය. ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන්ද ඒ බව දැන සිටියේය. ඒ හිමියන් රඟපාමින් තිබූ සාහසික භූමිකාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් අනුමත කළේ නැතත් ඒ සියලුදෙනා නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඒ හිමියන් කෙරෙහි බලපෑ ගෝඨාභයගේ හෙවණැල්ල නිසාය. රටේ නාමධාරී භික්ෂූන්වහන්සේලාද ඥානසාර හිමියන්ගේ රංගනය අනුමත කළේ නැතත් ඒ සියලුදෙනාද නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේද ඒ හිමියන් හා ආරක්ෂක ලේකම්වරයා අතර තිබෙන අන්තර් සම්බන්ධය ඒ සියලුදෙනාට රහසක් නොවූ නිසාය.

හලාල් ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී රටේ පිළිගැනීමක් තිබෙන ප්‍රධාන පෙළේ නාමධාරී භික්ෂූන් වහන්සේලා කිහිපදෙනකු ප්‍රශ්නය දුරදිග යන්නට ඉඩ නොදී සාමකාමී ලෙස විසඳාගැනීම සඳහා ඉදිරියට ආවේය. ඒ සමග ඒ සියලු භික්ෂූන්වහන්සේලාට ඔවුන්ගේ දුරකතනවලට කතා කොට අසභ්‍ය ලෙස බැණ වදින සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. එය උන්වහන්සේලාට නුහුරු අත්දැකීමක් වූ අතර එම ක්‍රියාකලාපයෙන් උන්වහන්සේලා කොතරම් භීතියට පත්වූවාද කියහොත් උන්වහන්සේලා කිසියම් කාලයක් යන තෙක් උන්වහන්සේලාගේ දුරකතන විසන්ධි කරගෙන සිටියේය. එහි අරමුණ වූ බව පෙනෙන්නේ නාමධාරී භික්ෂූන්වහන්සේලා සියලුදෙනා භීතියට පත් කොට ඒ සියලුදෙනා අදහස් පළනොකරන තත්ත්වයක තබාගැනීමය.

මෙම නොමනා සම්බන්ධයද පුපුරන තැනකට ආවේ බේරුවල ඛේදවාචකයෙනි. ශාසන ආරක්ෂක බලමණ්ඩලය කැඳවන ලද රැස්වීම මහා ගැටුමක් ඇති කිරීමට හේතුවිය හැකි බව ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය දැන සිටියේය. ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් වැනි ඇමතිවරුන් පමණක් නොව සමහර සිංහල ඇමතිවරුන්ද පොලිස් ලොක්කන්ට කතා කොට රැස්වීම වළකන ලෙස ඉල්ලා සිටියද ඒ කිසිවකු ඔවුන්ගේ ඉල්ලීමට එකඟ නොවූයේ ආරක්ෂක ලේකම්ගෙන් ඔවුන්ට උපදෙස් ලැබී තිබුණු නිසා විය යුතුය. අලුත්ගම රැස්වීමේදී ඥානසාර හිමි තමන්ට කළ හැකි උපරිමය කළේය. මුළු ප්‍රදේශය තෙත්වන ආකාරයට පෙට්‍රල් වත්කොට යන්නට ගියේය. භූමියට ගිනි තබන ලද්දේ වෙනත් අය විසිනි. කලබල අය අතර සිවිල් ඇඳුම් ඇඳගත් ආරක්ෂක නිලධාරීන්ද සිටි බව ප්‍රදේශයේ ඇතිවූ ඒ මහා විනාශයෙන් පසු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ලවන්නට වූ අතර බොදු බල සේනාවට තමන්ගේ සම්බන්ධයක් නැති බව පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ඥානසාර හිමියන්ට දැනුම් දුන්නේය. බළලා මල්ලෙන් එළියට ආවේ ඥානසාර හිමියන්ගේ එම පුවත්පත් සාකච්ඡාව සූදානම් කෙරෙන අතර වාරයේදීය. එය තවමත් ජනමාධ්‍යවේදීන් සුළු පිරිසකට සීමාවූ රහසක් ලෙස සැලකිය හැකිය. මෙම පුවත්පත් සාකච්ඡාව සමහර ජනමාධ්‍යවේදීන්ට දැනුම් දෙන ලද්දේ ආරක්ෂක ලේකම්වරයාට සමීප බුද්ධි අංශයේ ප්‍රධානියෙකි. ආරක්ෂක ලේකම්වරයාද සමහර ජනමාධ්‍ය අංශවල ප්‍රධානියාට කතා කොට ඥානසාර හිමියන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඥානසාර හිමියන් පුන පුනා කීවේ තමන්ගේ ව්‍යාපාරයට ගෝඨාභය රාජපක්ෂගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.

මෙසේ එක් ඓතිහාසික අවස්ථාවකදී ප්‍රභාකරන්ගේ යුද ව්‍යාපාරය පරාජය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම මතින් මහජනයා අතර වීරයකුගේ තත්ත්වය හිමි කරගත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටේ ඉදිරි ගමන අවුල්කරන අවුල්කාරයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය.