ඔබාමාගේ ජය සැමරුම හා විජේවීරගේ ඉල්මහ සැමරුම

October 29, 2026
Publication:
Ivan reads everything written about Obama in the Sinhala press, and finds two sentences in the JVP's own paper and no analysis at all. The same weekend the papers give Rohana Wijeweera large space. From there he asks the question the two commemorations put together: who may lead this country — and answers that leadership here is still fixed by race, religion and caste, and that the day talent alone decides it is the day the country becomes free.

ඔබාමා ජයගැනීමෙන් පසුව ඔහු පිළිබඳව ලියවෙන විශ්ලේෂණ කියවූයේ මහත් අභිරුචියකිනි. එම ජයග්‍රහණයෙන් පසුව හා ඉන්පසු සති අන්ත පුවත්පත්වල ඔහු ගැන දයාන් ජයතිලක, ඇමති චම්පික රණවක, එස්.එල්. ගුණසේකර, නලින් ද සිල්වා වැනි දේශීය විචාරකයන් කරන විශ්ලේෂණ කියවූයේ ද මහත් ආශාවකිනි. ඔබාමා ගැන ජේවීපීය කියන්නේ කුමක්දැයි දැනගැනීමේ මහත් ආශාවකින් යුතුව ඔවුන්ගේ සතිඅන්ත “ලංකා” පුවත්පත පෙරළනු ලැබුවත් එහි මුල් පිටුවේ පළකර තිබුණු පුංචි ඡායාරූපයක් සහිත “ඔබාමා දිනුම්” බව කියන වාක්‍ය දෙක හැරුණු විට කිසිදු විවේචනයක් හෝ විශ්ලේෂණයක් ඊට ඇතුළත් නොවීය.

පසුගිය සතිඅන්ත පුවත්පත්වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ ඉන් බොහොමයක රෝහණ විජේවීර වෙනුවෙන් විශාල ඉඩ ප්‍රමාණයක් වෙන්කර තිබීමය. ඔහු ගැන ලියැවුණු හැම ලිපියකම පාහේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කියා තිබුණේ විජේවීර ඉතාමත් සුවිශේෂ ගණයේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු වන බවය.

රෝහණ විජේවීර

මා ඔබාමා ගැන පුද්ගලිකව දන්නේ නැත. මට ඔහු ගැන ඇත්තේ, කියවා ඇති සීමිත දේවල් අනුව ඇති කරගත් දැනුමක් පමණය. එහෙත් මම විජේවීර පෞද්ගලිකව දැන සිටියෙමි. මාගේ තරුණ වියේ එක් යුගයකදී මට ඔහු පෙනෙුණේ ද වීරයෙකු ලෙසය. එහෙත් ඔහු කෙරෙහි පැවති ඒ හැඟීම මා තුළ බොහෝ කල් නොපැවතුණි. ඉන්පසු ඔහු මට පෙනුණේ කිසියම් අරමුණක් වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමේ ශක්තියක් ද, අනුගාමික පිරිසක් තමන් වටා ඒකරාශී කරගැනීමේ ශක්තියක් ද ඇති සටන්කාමී පෙනුමකින් යුතු බලලෝභී නිසරු දේශපාලන නායකයකු ලෙසය.

ඔහු වීරයෙකු ලෙස සලකා ලියා තිබූ බොහෝ ලිපිවල ඔහුගේ ඝාතනය ගැන ද සඳහන් වී තිබුණි. ඔහු ඝාතනය කරන ලද ආකාරය අනුමත කළ නොහැකිය. එහෙත් විජේවීර ඝාතනය මහත්මා ගාන්ධි ඝාතනයට හෝ මාර්ටින් ලුතර් කිං ඝාතනයට සමාන කළ නොහැකිය. ඒ දෙදෙනාගේම අත්වල ලේ තැවරී තිබුණේ නැත. ඔවුහු සිය අරමුණු සපුරා ගැනීම සඳහා ඒ අරමුණට එකඟ නොවන හා එරෙහිව යන අය ඝාතනය කරන දේශපාලන වැඩපිළිවෙලකට නායකත්වය දුන් නායකයෝ නොවූහ. සිය අනුගාමිකයන්ට පමණක් නොව සිය ප්‍රතිපක්ෂයේ හදවත්වලට ද වෛරයකින් තොරව කතා කළ නායකයෝ වූහ.

එහෙත් විජේවීර ඒ ගණයෙහිලා සැලකිය හැකි නායකයෙක් නොවීය. ඔහු ප්‍රභාකරන් මෙන් පෞද්ගලිකව මනුෂ්‍යයන් ඝාතනය නොකළා විය හැකි වුවත්, සිය විරුද්ධවාදීන් ඝාතනය කොට බලය ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් වූයේය. ඔහු සිය අනුගාමිකයන් මගින් සිය දේශපාලන වැඩපිළිවෙලට විරුද්ධ වන්නන් පමණක් නොව, විරුද්ධ වනු ඇතැ”යි සිතෙන අය ද ඝාතනය කරවීය. සමහරවිට දේශපාලන විරුද්ධවාදීන් මරා දැමිය නොහැකිවූ අවස්ථාවලදී එවැනි අයගේ අඹුදරුවන් පවා මරා දැම්මේය. ඔහු විප්ලවීය ආස්වාදයකින් යුතුව එම ක්‍රියා දෙස බලා සිටියේය. ඒවාට අනුබල දුන්නේය. ඒ අර්ථයෙන් ඔහු සාහසික ලෙස මනුෂ්‍යයන් ඝාතනය කරන ව්‍යාපාරයකට නායකත්වය දුන් මනුෂ්‍ය ඝාතකයෙක් විය. ඔහු මහත් මානව දයාවකින් යුතුව මානව වර්ගයා ගලවා ගැනීමේ උමතු ආශාවකින් යුතුව එසේ කළාද විය හැකිය.

අවසානයේදී ඔහු ඔහුගේ ව්‍යාපාරය ලවා සිය විරුද්ධවාදීන් ඝාතනය කරවූ ආකාරයටම ප්‍රතිපක්ෂය ඔහු ඝාතනය කළේය. ඒ නිසා ඔහුගේ ඝාතනය කවර මට්ටමකින්වත් මහත්මා ගාන්ධිගේ ඝාතනයට හෝ මාර්ටින් ලුතර් කිංගේ ඝාතනයට සමාන කළ නොහැකිය.

විජේවීර දැනුවත්ව ඔහු නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරය විසින් කරන ලද සාහසික අපරාධ අනුව (සමහරවිට ඒවා උදාර අරමුණකින් කරන ලද අපරාධ විය හැකිය.) විජේවීර යනු සාධාරණ නඩු විභාගයකින් පසුව මරණ දණ්ඩනයට නියම විය යුතුව සිටි පුද්ගලයෙකි. විජේවීරට සිදුවූ වැරැද්ද ලෙස සැලකිය හැක්කේ, සාධාරණ නඩු විභාගයකින් පසුව මරා දැමිය යුතු පුද්ගලයෙකු සාධාරණ නඩු විභාගයකින් තොරව මරා දැමීමය.

විජේවීරගේ ව්‍යාපාරය විසින් මරා දමන ලද අයගේ සංඛ්‍යාව, හිට්ලර්ට, ස්ටාලින්ට, මාඕ සේතුංට, පොල්පොට්ට හෝ ප්‍රභාකරන්ට සමාන කළ නොහැකි වුවත්, විජේවීරට හෝ ඔහුගේ ව්‍යාපාරයට එම සාහසික වැඩපිළිවෙල තවත් දීර්ඝ කාලයක් ඉදිරියට ගෙනයන්නට ඉඩ ලැබුණේ නම්, සමහරවිට තවත් දස දහස් ගණනක් මිනිසුන් ඝාතනයට ලක්වන්නට ඉඩ තිබුණු බව ද අමතක නොකළ යුතුය.

ශ්‍රේෂ්ඨ නායකයන් ලෙස සැලකෙන්නේ තමන්ගේ අනුගාමිකයන් පමණක් නොව, තමන් ජීවත් වන සමාජය ද ආරක්ෂා කරගනිමින් රටට හෝ ලෝකයට ගැලවීම උදාකර දෙන නායකයන්ය. පන්තිය, වර්ගය, ආගම හෝ කුලය යන සාධක මත මිනිසුන් බෙදා සිය සතුරන් ලෙස සැලකෙන මිනිසුන් තොග ගණනින් ඝාතනය කොට සිය වර්ගයාට විමුක්තිය ලබාදෙන්නට වැර දරන මොනම නායකයකුවත් නූතන ලෝකය ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස සලකන්නේ නැත.

මාර්ටින් ලුතර් කිං

මාටින් ලුතර් කිංට ද ඇමරිකානු සමාජය සමග විසඳා ගන්නට ප්‍රශ්න වැළක්ම තිබුණේය. ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ වර්ගයා වහල්භාවයෙන් නිදහස් කර තිබුණ ද, ඇමරිකානු සුදු ජනයා ඔවුන්ට සලකන ලද්දේ මනුෂ්‍යයන් ලෙස නොව තිරිසනුන් ලෙසය. එහෙත් මාටින් ලුතර් කිං නමැති ශ්‍රේෂ්ඨ නායකයා සිය වර්ගයාගේ නිදහස අපේක්ෂා කළේ ප්‍රතිපක්ෂ ලෙස සැලකුණු සුදු ඇමරිකානුවන්ගේ ලේ මත නොවේ. ඔහු ඔවුන්ට එරෙහිව වෛරය හා ක්‍රෝධය වැපිරුවේ නැත. අනුගාමිකයන් තමන් වටා ඒකරාශි කරගැනීමට තිබුණු පහසු මාර්ගය වෙනුවට ඔහු ගාන්ධි මෙන් දුෂ්කර හරි මාවත තෝරා ගත්තේය. ඔහු විජේවීර හා ප්‍රභාකරන් මෙන් වෛරයෙන් පීඩකයාගේ ලේ උරා බොන සටන් මාවතක් වෙනුවට ඔවුන්ගේ හදවත් කිතිකවන අවිහිංසාවාදී සටන් මාවතක් තෝරා ගත්තේය. ඔහු සුද්දන් නැතිකොට කල්ලන්ට බලය ලැබෙන ඇමරිකාවක් ගැන හෝ ඇමරිකාව තුළ කල්ලන් සඳහා වන වෙනම රාජ්‍යයක් ගැන හෝ සිහින නොදැක්කේය. මාර්ටින් ලුතර් කිංගේ පැතුම වූයේ “කිසියම් දිනක කල්ලන් වූ තම දරුවන් සිව්දෙනා දෙස හමේ වර්ණය අනුව නොව, ඔවුන්ගේ හැකියාව අනුව බලන දිනයක්” ගැනය.

ඔහු කල්ලන්ගේ පැවැත්ම සේ ම ඇමරිකාවේ පැවැත්ම ද අවුලකට නොයවා තමාගේ වර්ගයාට සමාන පිළිගැනීමක් ලබාදෙන හෙට දිනයක් වෙනුවෙන් සුද්දන්ගේ ද ගෞරවයට හේතුවන ආකාරයේ අවිහිංසාවාදී අරගළයක යෙදුණේය. මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී අරගළ මාවත බ්‍රිතාන්‍ය පාලනයක් තුළ ඉන්දියාවට හැර අන් රටවලට අදාළ නැතැ”යි කියන තර්කයට මාටින් ලුතර් කිං හොඳ පිළිතුරකි. ඔහු ලෝක බලවතා ලෙස සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය තුළ ගාන්ධිගේ අත්හදා බැලීම සාර්ථකව සිදු කළේය. ඔහුගේ ජීවිත පූජාවෙන් වසර 45 කට පසුව ඇමරිකාවේ ජනාධිපති ධුරයට ප්‍රථම වතාවට කල්ලෙක් තේරී පත්විය. මාර්ටින් ලුතර් කිං සිය අරමුණ වෙනුවෙන් ජීවිතය පූජා කළ ද අනුන්ගේ ජීවිත බිලිගත්තේ නැත. ඒ අරමුණ වෙනුවෙන් සිය අනුගාමිකයන්ගේ ජීවිත බිලි කළේ ද නැත. ඇමරිකානු ජනාධිපති ඔබාමා මාර්ටින් ලුතර් කිංගේ දේශපාලන ගර්භාෂය තුළ බිහිවූ විශිෂ්ටතම ඵලය ලෙස සැලකිය හැකිය.

විජේවීර හා ප්‍රභාකරන් පන්ති හෝ වර්ග අර්ථයෙන් තමන් නියෝජනය කළ අවවරප්‍රසාදිත ජනයාගේ ජීවිත කාලකණ්ණි තත්ත්වයකට පත් කළා මිස, ඔවුන්ට විමුක්තිය ගෙන දුන්නේ නැත.

ප්‍රභාකරන්ගේ විමුක්ති යුද්ධයට පෙර අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න තිබියදීත්, මේ රටේ දෙමළ ජනතාව වර්තමානයේ ගත කරන ජීවිතයට වඩා යහපත් ජීවිතයක් ගත කළේය. ප්‍රභාකරන් සිය විමුක්ති යුද්ධයෙන් සිය වර්ගයා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමීය. ඊට තරමක් වෙනස් ආකාරයකින් හෝ විජේවීර කළේ ද ඒ දේමය. ඔහු නියෝජනය කළ ග්‍රාමීය සිංහල සමාජයේ අවවරප්‍රසාදිත තරුණ පරපුර කැරලි ගසන තත්ත්වයකට පත් නොකළේ නම්, ඔවුන් ගෙන් සමහරෙකුට දියුණුවීමට හැකිවීම මගින් ඔවුන් සිය වර්ගයාට වඩා හොඳ සමාජ තත්ත්වයක් හිමිකර දෙන්නට සමත්වන්නට ඉඩ තිබුණි. එහි තේරුම කාලය අනුව සිදුවන පරිණාමයට ඉඩදී පීඩිතයන් නිකම්ම බලා සිටිය යුතු බව නොවේ. සාහසික හා විනාශකාරී අත්හදා බැලීම්වල යෙදෙනවාට වඩා බලා සිටීම යහපත්ය. වෛරය පතුරුවන, ප්‍රචණ්ඩත්වය ඇති කරන කවර දහමක්වත් නූතන ලෝකයේ විමුක්තිකාමී දහමක් වීමට ඉඩක් නැත.

ප්‍රභාකරන්ට මුලාවී සිටින දෙමළ ජනයා සේ ම විජේවීරට මුලාවී සිටින ග්‍රාමීය සිංහල සමාජයේ අව වරප්‍රසාදිත තරුණ පරපුර ද මාටින් ලුතර් කිංගෙන් ඉගෙන ගත්තේ නම්, තමන් ද විනාශ නොවී අනුන් ද විනාශ නොකොට යුක්තිය දිනාගැනීම සඳහා යොදාගත හැකි ඵලදායී සටන් ක්‍රමයක් හඳුනා ගැනීමට ඔවුන් සමත් වනු ඇත්තේය.

නලින්ද සිල්වා ඔබාමා ගැන කරන විග්‍රහයේදී රටේ නායකත්වයට ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයකුට හැර වෙනත් කෙනෙකුට ඉඩක් නැතිකම හා ඇමරිකාවේ කල්ලෙකුට ඇමරිකාවේ නායකයාවීමට ලැබී තිබෙන පුළුවන්කම ගැන අපූරු විග්‍රහ කර තිබුණි.

රණසිංහ ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ නායකයා වීම පිළිබඳ ප්‍රශ්නයේදී බලපාන්නේ වර්ගය හා ආගම පමණක් නොවේ. ඒ කෙරෙහි කුලය ද බලපායි. සිංහල බෞද්ධ වූ පමණකින් මේ රටේ ඕනෑම කෙනෙකුට රටේ නායකයා විය නොහැකිය. ඒ කෙරෙහි කුලය ද බලපායි. නායකයා සිංහල බෞද්ධ හා ගොවිගම විය යුතුය.

රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් එය බොරුවූයේ නැත. ප්‍රේමදාසට ඉඩ නොදී ව්‍යවස්ථාව සංශෝධනය කොට ධුර කාල තුනක අයිතිය තමන් වෙත හිමිකර ගැනීමේ සූදානමක් ජේ.ආර්. ජයවර්ධනට තිබූ බව ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය ලියූ මහාචාර්ය කේ.එම්. ද සිල්වා ද පිළිගනී. එහෙත් එම අදහස අත්හැරීමට බලපෑ හේතු මහාචාර්යවරයා විස්තර කොට නැත. ප්‍රේමදාස වැන්නෙකුට මෙවැනි තැනකට එන්නට ඉඩදිය යුතු නැතැ”යි සිතන පිරිසක් පක්ෂය තුළ සිටියේය. ඒ ගැන වන වික්ෂිප්තභාවයක් ජේ.ආර්. ජයවර්ධන තුළ ද තිබුණේය. ඒ සමග කැරැල්ල හා ප්‍රේමදාස අතර සම්බන්ධයක් තිබුණේයැ”යි කියන මතයක් ද දේශපාලන තලයේ තිබුණේය. එවැනි අදහසක් ජේ.ආර්. ජයවර්ධනට ද තිබුණේය. තුන්වැනි වරටත් තමන්ට තරග කිරීමට ඉඩ ලැබෙන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කරන තැනකට ජේ.ආර්. නොගියේ ජේවීපී කැරැල්ල නිසාය. ප්‍රේමදාස මහතාට එම ඡන්දයෙන් ජයගැනීමට හැකිවූයේ ද රටේ පැවති එම කැරලිකාර වටාපිටාව නිසාය. එම ජනාධිපතිවරණය පැවතියේ සාමකාමී වටාපිටාවක් තුළ නම් කුලය පිළිබඳ ප්‍රශ්නය බලවත් ලෙස ඉස්මතු වන්නට ඉඩ තිබුණි. ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසු රටේ ගොඩනැගෙමින් තිබූ ප්‍රේමදාස විරෝධය කෙරෙහි කුලයද එක් වැදගත් සාධකයක් විය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා කැරලිකරුවන් සමග සමාදානයක් ඇති කරගැනීමට අවංකවම උත්සාහ කළේය. කැරැල්ල කෙරෙහි කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව ඔහු දැන සිටියේය. ඔහු කැරලිකරුවන්ට අනුකම්පා කළ ද කැරලිකරුවන් සිතුවේ ඊට වෙනස් ආකාරයකටය. ජේ.ආර්. ජයවර්ධන බලයේ සිටින තෙක් ඔවුන් තුළ ද ප්‍රේමදාස කෙරෙහි අනුකම්පාවක් තිබුණි. ඔවුහු ප්‍රේමදාස විවේචනය කිරීමෙන් හෝ ඔහුට පහරදීමෙන් වැළකී සිටියෝය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන දේශපාලන චිත්‍රයෙන් ඉවත් වූ පසු ඔවුන් කල්පනා කළේ දුෂ්කර ගමනක මෙතරම් දුරක් පැමිණි පසු අප ප්‍රේමදාස පාලනයකින් සතුටු නොවී අපේම පාලනයක් සඳහා ඉදිරියට යායුතු බවය. ප්‍රේමදාස බලයට පත්වීම නිසා ඒ අරමුණ ජයගැනීම වඩා පහසු වනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළහ. ඔවුන් ද පීඩිත වියහැකි වුවත්, ඔවුන් තමන්ට අවනත නොවන බව ප්‍රේමදාස තේරුම් ගත්විට, ඔහු එතෙක් ඔවුන් කෙරෙහි පවත්වාගෙන ගිය අනුකම්පාව අතහැර ඔවුන් අනුකම්පා විරහිතව මර්දනය කරන තැනකට ගියේය. ප්‍රේමදාස මහතා බලයට පත්වීම කැරැල්ලේ පැවැත්ම දුර්වල කළේය. අවවරප්‍රසාදිත ජනයාට ඉන්පසු එක විකල්පයක් වෙනුවට තෝරා ගැනීමට විකල්ප දෙකක් ලැබුණි. සමහරෙක් ප්‍රේමදාස තෝරා ගත්තෝය. තවත් සමහරෙක් තවදුරටත් කැරැල්ල සමග ඉදිරියට ගියෝය. අවසානයේ අවවරප්‍රසාදිතයන්ගේ කැරැල්ල අවවරප්‍රසාදිත නායකයකු අතින්ම කුඩුපට්ටම් විය.

අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කැරැල්ල කෙරෙහි බලපෑ හේතු සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේය. කුලය කැරැල්ල කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් බව කොමිසමේ නිගමනය විය. එය කුලය මුල් කරගත් බරපතළ ප්‍රශ්නයක් රටේ තිබෙන බව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව විය.

ඊට පෙර 71 කැරැල්ලේදී ද, කැරැල්ල කෙරෙහි කුල සාධකය ද ප්‍රධාන කොට බලපා තිබෙන බව ආණ්ඩුව දැන සිටියේය. ඒ නිසා ඔවුහු අත්අඩංගුවට ගන්නා ලද තරුණයන්ගේ කුලය ගැන ද සොයා බැලුවෝය. එහෙත් ඒ ගැන කිසිවක් නිල වශයෙන් කතා කළේ නැත. තරුණ අසහන කොමිසමේ නිගමන ද ප්‍රමාණවත් තරමින් අද දක්වා රටේ සාකච්ඡාවට ලක්වී නැත. අපේ රටේ සමාජ විද්‍යාඥයන් පවා මෙම ප්‍රශ්න ගැන කතා කරන්නට කැමති නැත.

තරුණ අසහන කොමිසම ප්‍රකාශ කර තිබෙන නිගමනයන්ගෙන් ඔප්පු කෙරෙන්නේ කුලය ද සිංහල තරුණ පරපුර දේශපාලන ප්‍රචණ්ඩත්වයකට තල්ලු කිරීමට තරම් බලපා තිබෙන වැදගත් සාධකයක් වන බවය. මාගේ මතය, ජවිපෙ කැරලි දෙක පිරිසිදු අර්ථයෙන් පන්ති අරගළ නොවෙනවා සේම ප්‍රභාකරන්ගේ සන්නද්ධ අරගළය ද පිරිසිදු අර්ථයෙන් වාර්ගික අරගළයක් නොවන බවය. සිංහල තරුණ කැරලි දෙකට පන්ති ප්‍රශ්නවලට අතිරේකව කුල ප්‍රශ්නය ද බලපා තිබෙන අතර, ප්‍රභාකරන්ගේ ඊළාම් අරගළයට ද වාර්ගික ප්‍රශ්නවලට අතිරේකව කුල ප්‍රශ්නය බලපා තිබේ. ප්‍රභාකරන් සිංහල ආධිපත්‍යයට එරෙහිව සටන් කරන අතර, දෙමළ සමාජයේ වෙල්ලාල නායකයන් ද අනුකම්පා විරහිතව මරා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මෙම ලක්ෂණය අඩු වැඩි වශයෙන් ජවිපෙ කැරැල්ල තුළ ද ග්‍රාමීය මට්ටමෙන් කෙරුණු ඝාතන තුළ පැහැදිලිව දක්නට තිබුණි.

සුළු ජාතික ප්‍රභේද තුන

මෙයින් පෙනීයන්නේ සුළු ජාතික ප්‍රභේද තුනක් රටේ සිටින බවය. වර්ගය අනුව වන සුළු ජාතියක්ද, ආගම අනුව වන සුළු ජාතියක්ද හා කුලය අනුව වන සුළු ජාතියක්ද යනාදී වශයෙනි. තුන්වැනි ප්‍රභේදයට අයත්වන්නේ ගොවිගම හා වෙල්ලාල නොවන සුළු කුලවලට අයත් සිංහල දෙමළ ජනයාය.

බැහැර කිරීමක් සඳහා මේ සාධක තුනෙන් ඕනෑම සාධකයක් හේතුවිය හැකිය.

දැඩි සිංහලවාදී මතධාරියෙකු ලෙස සැලකිය හැකි එස්.එල්. ගුණසේකර මහතා ජාතික හෙළ උරුමයෙන් බැහැර කිරීමට අවශ්‍ය වූ විට ඔහු උත්පත්තියෙන් ගෙනා ආගම සාධකයක් වශයෙන් පාවිච්චි විය. විමල් වීරවංශ අවමානයට ලක් කිරීම සඳහා ඔහුගේ කුලය සාධකයක් ලෙස පාවිච්චි කළේය. විමල් වීරවංශ, රෝසි සේනානායක අවමානයට ලක්කිරීමට අවශ්‍ය වූ විට ඇගේ වර්ගය සාධකයක් ලෙස පාවිච්චි කළේය. සිංහල වර්ගයා කුල්මත් කිරීම පිණිස අබා චිත්‍රපටිය නිපදවූ ජැක්සන් ඇන්තනි බැහැර කිරීමට උත්පත්තියෙන් ගෙනා ආගම සාධකයක් ලෙස පාවිච්චි කෙරිණි. මීට පෙර ලක්ෂපාන නිර්මාතෘ විමලසුරේන්ද්‍ර බැහැර කිරීම සඳහා පාවිච්චි කෙරුණේ ද කුලයයි. ඊ.ඩබ්. පෙරේරා බැහැර කිරීමට ආගම පාවිච්චි විය. ඩී.ඇස්. සේනානායකගේ බිරිඳගේ ආගම එජාපයේ ඉදිරි ගමනට හානිකර ලෙස බලපෑවේය. සී.පී. ද සිල්වා බැහැර කිරීම සඳහා යොදා ගැනුණේද කුලයයි.

උත්පත්තියෙන් ගෙනා ආගම අත්හැරීමෙන් හා නව ආගමක් වැළඳ ගැනීමෙන් ආගම පිළිබඳ සාධකය ඇති කරන පීඩනය ජයගත හැකි වුවත්, කුලයක් අත්හැර තවත් කුලයක් වැළඳ ගත නොහැකිය. වර්ගයක් අතහැර තවත් වර්ගයක් වැළඳ ගත නොහැකිය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ාරනායක සේ ම, ජේ.ආර්. ජයවර්ධන ද ආගම තමන්ගේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි බව කල්තියා තේරුම් ගනිමින් තමන් උපන් ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. බණ්ඩාරනායක පරපුර මෙම ධර්මතාව හැම යුගයකදීම ඉතා දක්ෂ ලෙස පාවිච්චි කළ පරම්පරාවක් බව එම පරම්පරාවේ ඉතිහාසය විමර්ශනය කිරීමේදී පෙනීයයි. ඉංග්‍රීසි යුගයේදී ඔවුහු ඉංග්‍රීසි ආගම ඇදහුවෝය. ඉංග්‍රීසි භාෂාව කතා කළෝය. ඉංග්‍රීසි ඇඳුම් පැළඳුම් ඇන්දෝය. ලන්දේසි යුගයේදී ලන්දේසි ආගම ඇදහුවෝය. ලන්දේසි භාෂාව කතා කළෝය. ලන්දේසි ඇඳුම් පැළඳුම් ඇන්දෝය. ඊට පෙර හින්දු ආගම ඇදහුවෝය. දෙමළ භාෂාව කතා කළෝය. හින්දු සිරිත් විරිත්වලට අනුකූලව ජීවත් වූහ. එහෙත් මෙම විෂයේදී ඩාවින්ගේ අනුවර්තන න්‍යාය වලංගුවන්නේ ආගමට පමණය. ජන්මයෙන් ගෙනා වර්ගය හෝ කුලය වෙනස් කළ නොහැකිය. කුලයෙන් සැඟවීමට නම වෙනස් කරගැනීමේ හැකියාවක් ඇතත්, ඒ මගින් ද සදා සැඟවිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ විමුක්තිය සඳහා සකස් කෙරෙන දේශපාලන ධර්මයකට පන්ති, වර්ග හා ආගම් වශයෙන් පවත්නා විසමතා පමණක් නොව, කුල වශයෙන් ද පවත්වන විසමතා ඉවත් කෙරෙන මතවාදයක් අඩංගු විය යුතුය. එය පන්ති, වර්ග ආගම් හෝ කුල වශයෙන් එකිනෙකාට එරෙහිව වෛරය කුළුගන්වන ව්‍යාපාරයක් නොවිය යුතු අතර, සමාජ දැනුවත්භාවය වර්ධනය කිරීම මගින් වෙනස්කම් තුනී කොට ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් ඇතිව, රැකගත යුතුයැ”යි සිතන අනන්‍යතාවක් වෙයි නම් ඒවාද රැකගනිමින් එක්සත් හා සමගිසම්පන්න ජාතියක් ගොඩනගන ව්‍යාපාරයක් විය යුතුය. මෙරට නිදහස් රටක් බවට පත්වනු ඇත්තේ ද පන්තිය, වර්ගය, ආගම හෝ කුලය නොසලකා දක්ෂතා ඇති ඕනෑම පුද්ගලයෙකුට මේ රටේ නායකයා වීමේ හැකියාව ලැබෙන දිනයේදීය.